ලොව පැරණි ම දියුණු රෝහල: මිහින්තලේ

මේ දිනවල කවුරුත් කතාබහ කරන්නේ රෝහල්වල ඖෂධ හිඟය ගැන යි. ලෝකයේ පැරණි ම විධිමත් රෝහල ලෙස සැලකෙන මිහින්තලේ රෝහල අපට නිහඬ ව පවසන්නේ අනුරාධපුර යුගයේ මෙරට පැවති දියුණූ වෛද්‍ය ක්‍රමය ගැන යි.

මිහින්තලා පුදබිමේ දැක බලා ගත යුතු ම තැනක් වන පුරාණ රෝහල් සංකීර්ණය අපේ පැරණි වෛද්‍ය ක්‍රමයේ ඉතිහාසයේ පමණක් නොව ලෝක වෛද්‍ය ඉතිහාසයෙත් සඳහන් වන තැනක්. මේ පොසොන් සමයේ අපිත් මිහින්තලේ රෝහලට ගිහින් එමු.

 පොළොන්නරුව ආලාහන පිරිවෙන රෝහලේ කැණීමෙන් ලද ශල්‍ය උපකරණ- චමිල රත්නායක, මහාවංශයේ නැවුම් පෙළහර facebook page

අපේ පුරාණ වෛද්‍ය ක්‍රමය

රෝහල් සංකල්පයෙන් කියවෙන්නේ රෝගීන් රාශියකට නේවාසික ව ප්‍රතිකාර ගත හැකි සත්කාර සේවයක් ගැන යි. අප රටේ ක්‍රිස්තු පූර්ව සිව්වැනි සියවස තරම් අතීතයේ දී ( අදින් වසර 2400කට පෙර) පණ්ඩුකාභය රජුගේ කාලයේ දී අනුරාධපුර අග නගරයේ රෝහල් පිහිටවූ බව මහාවංශය සඳහන් කරනවා. ඇසිරියාව, බැබිලෝනියාව හා මුල් කාලයේ දී ඊජිප්තුවේ ද පැරණි වෛද්‍ය ක්‍රම පැවතුණ ද රෝහල් පැවති බවට සාක්ෂි හමුවන්නේ නැහැ.

බුද්ධදාස (ක්‍රි.ව.362-409), (ම.ව.37,148) ධාතුසේන (ක්‍රි.ව. 460-478) II උපතිස්ස, (ක්‍රි.ව. 522-524) සහ I උදය යන රජවරුන් කොරුන් සඳහා ප්‍රතිකාර ආයතන පිහිටුවා තිබෙනවා. බුද්ධදාස සහ II උපතිස්ස යන රජවරු අන්ධයන් සඳහා ද රෝහල් ඉදි කළා. බුද්ධදාස රජු සෑම ගම් 10කට ම රෝහලක්‌ තැනවූ බව මහාවංශය සඳහන් කරනවා. ප්‍රථම මාතෘ නිවාසය පිහිටුවන ලද්දේ II උපතිස්ස රජ විසින් විය හැකි යි. වසංගත රෝගයක් වූ “උපසග්ග” රෝගයට එරෙහි ව IV වෙනි කාශ්‍යප රජු (896-913) අනුරාධපුරයෙහි සහ පොළොන්නරුවෙහි රෝහල් ඉදි කළ බව සඳහන්.

මේවා ශ්‍රී ලංකාවේ ප්‍රථම බෝවෙන රෝග සඳහා වුණූ රෝහල් වුණා. පුරාණ රෝහල්වලින් මිහින්තලේ, මැදිරිගිරිය හා පොළොන්නරුවේ ආලාහන පිරිවෙන යන ආරාමවල පිහිටුවූ රෝහල් ගොඩනැගිලිවල නටබුන් අද ද දක්නට පුළුවන්. එම ස්ථානවලින් හමු වූ ඛෙහෙත් ඔරු, ශිලාලේඛන හා ශල්‍ය උපකරණ මගින් ඒවා රෝහල් බව තහවුරු වී තිබෙනවා.

ක්‍රිස්තු වර්ෂ 782 දී රජකළ අග්බෝ රජතුමා වසර 6ක්‌ වූ සිය පාලන කාලය තුළ රෝගීන් සඳහා බෙහෙත් ද්‍රව්‍ය බෙදා දුන් බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ක්‍රිස්තු වර්ෂ 795 දී රජකළ දප්පුල රජු පොළොන්නරුවේ රෝහලක් ඉදිකර තිබෙනවා. එයට අමතරව පදවිය ගමෙහි රෝහලක්‌ සාදා ගම්මුන්ට එහි අයිතිය පිරිනමා තිබෙනවා. පරාක්‍රමබාහු රජු (ක්‍රිස්තු වර්ෂ 1163 සිට ක්‍රිස්තු වර්ෂ 1196) රෝගීන් සිය ගණන් සඳහා සියලු‍ පහසුකම් සහිත අංගසම්පූර්ණ ආරෝග්‍ය ශාලාවක්‌ ඉදිකරවා තිබෙනවා.

 රෝහල් බිම සහ එහි ගොඩනැගිලි සැලසුම-mawratanews.lk

මිහින්තලේ රෝහල

ගිහියන් සඳහා රජවරුන් ඉදිකළ රෝහල් ගැන මහාවංශය පැවසුවත් භික්ෂුන් සඳහා ඉදිකළ රෝහල් ගැන සඳහන් වන්නේ නැහැ. එහෙත් මිහින්තලේ චේතියගිරියෙහි දෙවැනි සේන රජු (ක්‍රිස්තු වර්ෂ 851-885) රෝහලක් ඉදි කරවා තිබෙන බව මහාවංශය දක්වනවා. ක්‍රිස්තු වර්ෂ 9 වැනි සියවසේ තැනවූ මේ රෝහල ලෝකයේ පැරණිත ම රෝහල යැයි දැනට සැලකෙනවා.

ථූපාරාමය සහ රුවන්වැලි සෑය ආසන්නයේ ද බෙහෙත් ඔරු හමුවුණත් රෝහල් ගොඩනැඟිලිවල නටබුන් හමු වී නැහැ. මේ වන විට එම ඉපැරැණි නටබුන් අතරින් පැහැදිලිව දැක බලා ගත හැකි ලෙස, ගොඩනැඟිලිවල නටබුන් ශේෂ ව පැවතීම නිසා මිහින්තලේ ගිලන් හල හෙවත් රෝහල සුවිශේෂත්වයක් ගන්නවා. මෙම ගොඩනැඟිලි දශක කිහිපයකට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කැණිම් කැර සංරක්ෂණය කළා.

 රෝහලේ නටබුන් බිම – sudarshanafeatures.blogspot.com

මෙම රෝහල පිළිබඳ පළමු වතාවට 1910 දි එච්. සී. පී බෙල්  පර්යේෂණයක් සිදු කර ඇත. ඉන්පසු 1947 සෙනරත් පරණවිතානයන් ද පර්යේෂණ සිදු කර තිබේ. එච්.සී.පි බෙල් සහ සෙනරත් පරණවිතාන සිදු කළ පර්යේෂණාත්මක කැණීම්වලදී මෙම ඉපැරැණි රෝහල් බිමෙන් බුජම් දෙකක් සහ මැටි බඳුනක් සොයා ගැනිණි.

මේවා රෝහලේ වෙද හෙදකම් කටයුතු සඳහා භාවිතයට ගන්නට ඇතැයි නිගමනය කරන අතර මේවා දැනට අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ සුරක්ෂිතව තබා ඇත. පුරාවිද්‍යාත්මක පර්යේෂණයන්ට අනුව මෙහි ඇති නටබුන් ක්‍රිස්තු වර්ෂ 10 වැනි සියවසට වඩා පැරණි බව පැහැදිලි වී තිබෙනවා. මෙහි කැණීම්වලදී මැටි බඳුන්, ශල්‍ය උපකරණ සහ නිල් පැහැති බරණි හමු වී තිබෙනවා. එම බරණි නිපදවා ඇත්තේ ඉරානයේ නිසා අනුරාධපුර යුගයේ ඉරානය හා ලංකාව අතර පැවති වෙළෙඳ සබඳතා පිළිබඳ සාධක ද ඉන් හෙළිවී ඇති කරුණක්.

 රෝහල් බිම – dinamina.lk

රෝහලේ නටබුන්

අනුරාධපුර යුගයේ ශාසනික වර්ධනයත් සමඟ මිහින්තල ආරාමයේ වැඩසිටි භික්ෂූන් සංඛ්‍යාව අතිවිශාල වුණු බව පේනවා. පාහියන් හිමි සඳහන් කරන්නේ ක්‍රිස්තු වර්ෂ සිව්වන සියවස වන විට මිහින්තලේ දෙදහසක් භික්ෂූන් වැඩ සිටි බව යි. එම භික්ෂූන්ගේ රෝගවලට අවශ්‍ය ප්‍රතිකාර සැපයීම සඳහා මෙම රෝහල ඉදිකර තිබෙනවා. මෙහි ප්‍රධාන පිවිසුම පිහිටා තිබෙන්නේ මිහින්තලා කන්දට මුහුණලා යි. කඳු පාමුල මිහින්තලා පුරාවිද්‍යා කෞතුකාගාරයට නුදුරින් එම නටබුන් බිම අපට දැකගත හැකියි. රෝහලේ නටබුන් දැකබලා ගැනීමට නම් යන්නේ කලාතුරකින් කෙනෙක් බවයි පේන්නේ.

මෙම රෝහල එකිනෙකට සම්බන්ධ කොටස් දෙකකින් යුක්ත යි. ඒවා විවෘත භුමියක් සහිත ඉදිරිපස කොටස සහ බුදු පිළිමය සහිත ඇතුළත කොටස ලෙස වෙන් කරන්න පුළුවන්. විවෘත අංගනය සහිත ඉදිරිපස කොටස බාහිර රෝගී අංශයක් ලෙස භාවිතයට ගන්නට ඇතැයි සිතිය හැකි යි. සෙන්ටිමීටර් 65ක් පමණ පළල්, සෙන්ටිමීටර් 40-75ක් තරම් උස් ප්‍රාකාරයකින් මෙම කොටස වටවී තිබෙනවා. ප්‍රධාන පිවිසුමට අයත් ගල් උළුවස්ස මීටර් 1.95ක උසකින් සහ සෙන්ටිමීටර් 125ක පමණ පළලින් යුක්ත යි. එයින් ඇතුළු වූ පසු දකුණු පසින් ඇතුළත දිග හා පළල මීටර් 5.20 සහ 4.20 සහිත කුටියක් තිබෙනවා. එහි ගල්කණු 6ක් තිබීමෙන් වහලයක් තිබෙන්නට ඇති බව පේනවා.

ඖෂධ නිෂ්පාදනය හා ගබඩා කිරීමට යොදා ගත් කාමර ද, දානශාලාව ද, උණු දිය නාන භාජන සහිත කාමර ද, දොරටු පාලකයාගේ කුටිය සහිත ප්‍රධාන දොරටුව ද පිටත අංගනයෙහි පිහිටා තිබුණා. නාන උණුදිය භාජනය ලෙස ප්‍රධාන ඔරුවක් තිබුණා අතර එය අද නාන කාමරවල තිඛෙන බාත් ටබ්වලට සමාන යි. ඖෂධ සහිත ජලය පුරවා රෝගියා මේවායේ ගිල්වා තැබීම කර තිබෙනවා. ඖෂධ පිළියෙළ කරන කාමර අසල ඇඹරුම් ගල් ද තිබූ බවට සාධක හමුවුණා. එම ඇඹරුම්ගල් අදටත් දැකගත හැකියි.

 නේවාසික රෝගී කුටි- Gamunu Hettiarachchi -Gamanu Photography facebook page

නේවාසික භික්ෂු කාමර

ඇතුළත අංගනයෙහි වටේට චතුරස්‍රාකාර කාමර හෝ කුටි කිහිපයක් පැවති බවට සාධක හමුවුණා. කෙළවර කාමර හතර අනික් ඒවාට සාපේක‍ෂව විශාල යි. නැගෙනහිර පැත්තෙහි කාමර පහක් ඇති අතර සෙසු පැතිවල කාමර හත අටක් පමණ තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකි යි.

සමහර විට වර්ග අඩි දහයක් පමණ වන කුඩා කාමර රෝගී වූ භික්ෂූන් වහන්සේලාට නේවාසික ඉඩ පහසුකම් ලබා දුන් බව පේනවා. මෙම කාමරවල දොරටු ආලින්දයකට විවෘත ව පවතිනවා. ඒ සියල්ල ප්‍රධාන අංගනයට මුහුණලා තමයි ඉදිකර තිබෙන්නේ. ප්‍රධාන අංගනය මැද පිළිමයක් සහිත විහාර ගෙයක් පිහිටා තිබෙනවා. එය රෝගීන්ගේ මානසික සුවයට අවශ්‍ය ආගමික කටයුතුවලට යොදාගෙන තිබෙන බව පැහැදිලි යි. බුදු මැදුර, ඉපැරණි මිහින්තලා රෝහලේ කැපී පෙනෙන අංගයක්. රෝහලේ මැද අංගනයේ බුදු පිළිමය තැන්පත් කළ පද්ම පීඨිකා දෙකක් දැක ගත හැකි යි. එහි තැන්පත් කළ බුදු පිළිමය නම් හමු වී නැහැ.

බෙහෙත් ඔරුව

 බෙහෙත් ඔරුව -researchgate.net

 

මිහින්තලේ රෝහල් බිමේ ඇති බෙහෙත් ඔරුව විශිෂ්ටත්වයෙන් කැපී පෙනෙන බැව් පුරාවිද්‍යාඥයන්ගේ අදහස යි. බෙහෙත් ඔරුව නැඟෙනහිරට දිශානුගතව ස්ථාන ගත කර තිබෙනවා. රෝගියාගේ හිස නැඟෙහිර සිටින සේ සකසා තිබෙනවා. මිනිස් රුවට සමාන හැඩයකින් ඇතුළත හාරා ඇති මෙහි සියුම් බොරදම් කැටයම් ද දැකගත හැකි යි.

ඖෂධීය කොළ-පොතු කොටාගත් ඖෂධීය දියර, බෙහෙත් තෙල් ගැල්වීම, වාෂ්ප ගැල්වීම, කළල් හෙවත් මඩ නෑම ආදී විවිධ ඖෂධීය ප්‍රතිකාර විධික්‍රම රෝග නිවාරණයට යොදාගන්නට ඇතැයි සිතිය හැකි යි. එළිමහන් භුමියේ වම්පසට වන්නට බෙහෙත් ඇඹරීම සඳහා යොදාගත් සෙන්ටිමීටර් 90ක පමණ විෂ්කම්භයකින් යුත් ඇඹරුම් ගලක් ද දැක ගත හැකි යි. දාන ශාලාව සහ රෝගී භික්ෂූන්ට නෑමට උණු පැන් ගෙයක් ද රෝහලේ ඉදිරිපස කොටසේ ඉදිකර තිබෙනවා.

 රෝහලේ තවත් දසුනක් – Heritage and Culture Traveller

සෙල්ලිපි සාධක

වෛද්‍යමය වැදගත්කමක් ඇති කරුණු මිහින්තලේ සිව්වන මහින්ද රජුගේ පුවරු ලිපියේ සඳහන් වෙනවා. වෙදකුට නින්දගම් ලෙස දෙතිසෑ හේනෙන් පෑලක් ද ( වී විය යුතුයි) වියගමින් කොටසක් ද හිමි විය යුතු අතර කුණ්ඩල වෙදකුට කිරියෙන් භාගයක් ද දටිය ගමින් කොටසක් ද හිමි විය යුතු බවට නියෝග පනවා තිබෙනවා. වෙදහලක නඩත්තුව සඳහා දුන් කුඹුරු දීමනා ගැන මිහින්තලේ වෙදහල අසල දොරටුපාල ගලක කොටා ඇති 10 වන සියවසට අයත් සෙල්ලිපියක සඳහන්.

මහින්ද රජුගේ සෙල්ලිපියෙන් පැහැදිලි වන්නේ එකල අතුරු වෛද්‍ය සේවාවක් ක්‍රියාත්මක වූ බව යි. කුණ්ඩල වෙදුන් ලෙස හඳුන්වා ඇත්තේ ඔවුන්. එහි දී වෛද්‍යවරුන්ගේ වැටුපට වඩා අඩු වැටුපක් කූඩැල්ලන් යොදන කුණ්ඩල වෛද්‍යවරුන්ට හිමිවූ බව පැහැදිලි වෙනවා. (කූඩැල්ලන් යොදා දූෂිත රුධිරය ඉවත් කිරීම ආයුර්වේදයේ දී අදත් භාවිත කරන යොදන චිකිත්සාවක්)

 කවරයේ ඡායාරූපය - රෝහලේ නටබුන් ගොඩනැගිලි Gamunu Hettiarachchi -Gamanu Photography facebook page

මූලාශ්‍ර:
pasaraniroga.com
dinamina.lk
සිංහල ශිෂ්ටාචාරයේ උදාහිර- මිහින්තලාව, අනුරාධ සෙනෙවිරත්න

Related Articles

Exit mobile version