සිංහල මෙන්ම මුස්ලිම් බැතිමතුන්ට ද අයිති ගලේබණ්ඩාර දෙවිඳු 

අප රටේ දේවාලවලට වන්දනාමාන කරන්නේ හින්දු සහ බෞද්ධ බැතිමතුන්. ඉස්ලාම් දහම අදහන මුස්ලිම් ජාතිකයන් ද ගෞරව කරන දේවාල දෙකක් ශ්‍රී ලංකාවේ තිබෙනවා. ඒවා පිහිටා ඇත්තේ පුරාණ ඇතුගල රාජධානිය පිහිටි කුරුණෑගල නගරය ආශ්‍රිත ව යි. 

එයට හේතුව නම් කුරුණෑගල රාජධානියේ රජ කෙනකු ලෙස මුස්ලිම් ජාතිකයෙක් ටික කලක් කටයුතු කර ඝාතනයට ලක්වීම යි. මරණයට පත් රජු අධීගෘහිත ලෙස සැලකෙන මේ දේවාල වටා ගෙතුණු රසවත් කතා සොයා බැලීමට ගත් උත්සාහයක් තමයි මේ.

කුරුණෑගල දෙවැනි බුවකෙනබාහු  රජු

වසර හතළිස්අටක පමණ කෙටි කාලයකට සීමා වූ කුරුණෑගල සමයේ ඉතිහාසය ද සංවේදී සිදුවීම් හා බැඳී තිබෙනවා. කුරුණෑගල රාජධානියේ කිරුළ දැරූ දෙවැනි බුවනෙකබාහු (ක්‍රි.ව. 1293 – 1303) රජුට රජකම බාරදීමට පිරිමි දරුවෙක් සිටියේ නැහැ. අසීරුවෙන් රජකම ලබා ගත් නමුත් දෙ වැනි බුවනෙකබාහු සිංහල රාජාවලියේ කැපී පෙනෙන රජෙක් වුණෙත් නැහැ. මහාවංශයෙහි ඔහු ගැන සඳහන් වනුයේ ඔහු සිදු කළ පුණ්‍ය ක්‍රියා පමණ යි. ඔහුගේ  රජකම ගැන ජනප්‍රවාදවල කරුණු රාශියක් සඳහන් වෙනවා. 

කුරුණෑගල රාජධානියේ නටබුන් – Lankapradeepa.com

රාජකීය දෛවඥයා රජුට පවසා සිටියේ වෙනත් ආගමක් අදහන කාන්තාවක් තම බිසව කරගත්තොත් රජුට පිරිමි දරුවෙක් උපත ලබන බවයි. දිනක් රජතුමා අස්වැද්දුම නම් ගම හරහා ගමනක යෙදී සිටින අතර රූමත් මුස්ලිම් තරුණියක් දැක ගත හැකි වුණා. ඇය ගැන කැමැත්තක් ඇතිවූ රජු ඒ කාන්තාව යකඩ දෝලියක් කර ගෙන විවාහ කර ගත්තා.

ගලේබණ්ඩාර උපත හෙවත් කාලිංග සිරිමල් එතනා නම් කවිපොතේ ඒ සිද්ධිය දැක්වෙන්නේ මෙසේයි:

‘‘තම පුර සිරි බලමින් රජු ඇතු       පිටින

යනවර අස්වැද්දුම නම් ගම         මැදින

දිවසර වැනි තුනු රුසිරෙන් දිළි    තරුණ

මනහර යොන් අඟනක් දැක සිත ඇලුණ‘‘

රාජධානිය පැවතුණේ ඇතුගල පාමුලයි- Wikipedia.org

මේ රජු ඉතා  සුඛෝපභෝගී පෞද්ගලික ජීවිතයක් ගත කළ රජකු බවයි ජනප්‍රවාදවල සඳහන් වන්නේ. ඒ හරියට කන්ද උඩරට වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු වගේ. දෙවැනි බුවනෙකබාහු  ප්‍රබල රජකු නොවුණත් ඔහුගේ අන්ත:පුරය අග මෙහෙසිය ඇතුළු තරුණ බිසවුන් හැට හය දෙනකුගෙන් සමන්විත වී තිබෙනවා. ඒ අතරට මුස්ලිම් බිසව ද එක් වූවා.

පාතිමා බිසව

රජුගේ අගමෙහෙසිය වූයේ වීරගල් දේවිය යි. යෝනක බිසවගේ නම  පාතිමා යි. ඇය රජ වාසලට පැමිණි පසු හැඳින්වුණේ මැද්දෙකැටියේ කුමාරි කියල යි.  මේ බිසවුන් සියලු දෙනාට ම එක සේ ආදරය කිරීමත්, ඒ සියල්ලන්ගේ ම ජීවිත අතිශයින් සුඛෝපභෝගී ලෙස ගත කිරීමට අවශ්‍ය සෑම පහසුකමක් ම  සලසාදීමත් රජු සිදු කර තිබුණා.

 රජුගේ අන්ත:පුරයට පැමිණ ටික කාලයකින් ෆාතිමා බිසව ගර්භිනී බවට පත්වුණා. ඒ කාලයේදී බිසව රජුගෙන් එක්තරා වරයක් ඉල්ලා සිටියා. ඒ  පුතකු ලැබුණහොත් ඔහු ඉස්ලාම් භක්තිකයකු ලෙස ඇතිදැඩි කර ගැනීමට අවසර ලබා දෙන ලෙස යි. රජුගෙන් ඒ සඳහා අවසරය හා පහසුකම් හිමි වුණා. 

රජු සිය දිවි නසා ගත් ඇතුගල දසුනක් – Priyantha Bandara – I love kurunegala facebook page

බිසවට ලැබුණේ පුත් කුමරෙක්. ඉන්  රජු මහත් සතුටට පත් වුණා. බිසව පුත් කුමරුට තැබුවේ මොහොමඩ් ඉස්මයිල් යන මුස්ලිම් නම යි. මුස්ලිම් කුමරාට මාලිගයේ මැති ඇමැතිවරු ඇතුළු නිලධාරීන්ගෙන් විරෝධතා එල්ලවෙන බව දැන ගත් පාතිමා හෙවත් මැද්දකැටියේ කුමාරි ඔහු තම ඥාතීන් ජීවත්වන බේරුවලට පිටත් කර හැරියා. එහිදී ඔහු අරාබි බස හා කුරානය ඉගෙන ගෙන තිබෙනවා. 

බුවනෙකබාහු රජුට ප්‍රාදේශීය රජකු සමඟ යුද්ධයකට ටික කලකට යාමට සිදු වූ අවස්ථාවක මුස්ලිම් කුමරා කුරුණෑගලට කැඳවා ඔහුට රාජධානිය බාර දුන් බව පැවසෙනවා. රජු  යුද්ධය  ජය ගත් අතර ඒ බව බිසෝවරුන්ට දන්වා ඇත්තේ පරාජය වූ බවට විහිළුවක් කරමින්. ආපසු පැමිණෙන සේනාවේ කළු කොඩියක් එසවීමෙන්. රජු පරාජයට පත්ව මිය යන්නට ඇතැයි සිතූ බිසෝවරුන් වීරගල කන්දෙන් පැන දිවි නසා ගෙන තිබෙනවා. රජ මාලිගයට පැමිණි රජුත් බොහෝ දුකට පත් ව ඇතුගලින් බිමට පැන සිය දිවි හානි කර ගත් බව ජනප්‍රවාදවල සඳහන් වෙනවා. 

වත්හිමි බණ්ඩාර රජු වැටුණු තැන පිහිටි ඇත්කඳ විහාරය- Discover.lk

  මෙහොමඩ් කුමරු රජවේ

රජුගේ මරණයෙන් පසු මොහොමඩ් කුමරා වත්හිමි බණ්ඩාර නමින් කුරුණෑගල රජු ලෙස  කිරුළු පැළඳිනවා. ඔහු තම ඇමැති මණ්ඩලයට බහුල ව පත්කර ගත්තේ මුස්ලිම් ජාතිකයන්. රජු අත්තනෝමතිකව ඇමැතිවරුන්ගේ අදහස් නොවිමසා කටයුතු කිරීම අරඹනවා.  රජුගේ මේ වැඩ කටයුතු   බෞද්ධ භික්ෂූන් වහන්සේ මෙන් ම ප්‍රභූවරුන් ද අනුමත කළේ නැහැ. ඔවුන් රහසිගත ව රජු විනාශ කිරිමට කුමන්ත්‍රණය කළා.  දිනක් ඇතුගල පර්වතය මත පිරිත් සජ්ඣායනයක් ප්‍රභූවරු එක්වී සංවිධානය කෙරුණා. ඒ  ඇතුගල වැවේ නිදන්කර ඇතැයි ඇතැයි පැවසෙන රන් කෙණ්ඩියක් රජුට ලබා දීමට යැයි පවසමින්. 

එදින පිරිත් ඇසීමට රජුට හිඳ සිටීමට සැකසූ මණ්ඩපය මහ රෑ ගලෙන් බිමට කඩා වැටෙන ලෙසයි සකස් කර තිබුණේ. වත්හිමි බණ්ඩාර රජු ඇතුගලින් බිමට වැටී මිය ගියේ ඇත්කඳ රජමහා විහාරය අසල යි. ඇතුගලින් පහළට ඇද වැටුණු වත්හිමි බණ්ඩාර රජුගේ සිරුරෙන් බෙල්ල කැඩී විසිවුණු බවද පුරාවෘත්තවල සඳහන් වෙනවා. එම දේහය වැටුණු ස්ථානයේ පසු කාලයේ වත්හිමි බණ්ඩාර දේවාලය නමින් සිංහල දේවාලයක් ඉදි වුණා. දේහය මුස්ලිම් චාරිත්‍රානුකූල ව මිහිදන් කළ බව පැවසෙන්නේ මුස්ලිම් දේවාලය ඇති ස්ථානයේ යි. එම දේවාලය මැද ඇත්තේ ඔහුගේ සොහොන යැයි සැලකෙනවා.

වත්හිමි බණ්ඩාර ගලෙන් බිමට වැටී මැරුණු නිසා ගලේබණ්ඩාර නමින් යක්ෂයෙක් බවට පත් වුණු බව ජනප්‍රවාද පවසනවා. කුරුණෑගල රාජධානිය කෙරෙහි කෝපයෙන් මහත් විනාශයක් කරමින් සිටි ඔහු පසුව කතරගම දෙවියන් පැමිණ අල්ලා ශීලයෙහි පිහිටවූ බව පැවසෙනවා.

සුදු අසු පිට යන වත්හිමි බණ්ඩාර කුමරු ( ගලේ බණ්ඩාර දේවාලය) -niminda chaturanga facebook page

ගලේබණ්ඩාර දෙවි

ගලේ බණ්ඩාර දේවාලය පිහිටා ඇත්තේ කුරුණෑගල නුවර පාරේ ඇත්කඳ විහාරය පසු වූ විට ම  දකුණු පසින්.  මෙය වඩාත් පුරාණ ගලේ බණ්ඩාර දේවලය ලෙස සැලකනවා. දේවාල යාතිකාවේ කියවෙන්නේ ගලේබණ්ඩාර දෙවියන් කුරුණෑගල තුන්පත්තුව රජ කරගෙන නිධාන හැට හතරක් බලාගෙන පත්තිරිප්පුවට, ඇළේ දොළේ පෙරහරට, පන්දම් දොළහට, දිය කැපුම් තොටට, ඇතුගල දොළහට, සිංහාසනයට, අරං හළඹට, කඩුවට අධිගෘහිත ව වැඩවාසය කරන බව යි. ඇත්කඳ ගලේබණ්ඩාර දේවාලයට ද බොහෝ පිරිස් පැමිණෙනවා.

ගලේ බණ්ඩාර දෙවියන්ගේ ආභරණ ලෙස අත් හළං, පා හළං, උර හළං, උර බන්දිය, මල් දම, සඟල, බඳපිටිය, තැලි මාල, තිලකය, නෙත් අඳුන්, සුදු අශ්වයා, කඩුව, ත්‍රිශූලය යනාදිය සැලකෙනවා.  පුරාණ චාරිත්‍ර අනුව යමින් මෙහි සෑම වසරක ම අප්‍රෙල් මාසයේ දේවාල මංගල්‍යය පැවැත්වෙනවා. වාර්ෂිකව ඇත්කඳ රජමහා විහාරයේ පවත්වන  දළදා පොසොන් පෙරහරේ අංගයක් ලෙස ගලේබණ්ඩාර දෙවියන්ගේ දේවරූප, ආභරණ සහ දෙවියන්ගේ වාහනය ලෙස සැලකෙන සුදු අශ්වයකු ගමන් කරවීමත් සිදුවෙනවා.

දේවාලය ඉදිරිපස –  dinamina.lk

කෙටි කලකට රජකම් කළ වත්හිමි බණ්ඩාර

  මහාවංශයේ දෙවැනි බුවනෙකබාහුට පසුව කෙටි කලකට රජකම් කළ වත්හිමි බණ්ඩාර ගැන කිසිවක් සඳහන් වන්නේ නැහැ. නිකාය සංග්‍රහයේ පමණක් වත්හිමි නම් රාජවංශයේ නමින් ඔහු රාජ්‍යත්වයට පැමිණි බව පැවසෙනවා.  කුරුණෑගල නගරය වටා ප්‍රදක්ෂිණා කරන ඇත්කඳ විහාර පෙරහරේ ගලේබණ්ඩාර දේවාල පෙරහර කොටස දැකබලා ගැනීම පැමිණෙන බෞද්ධ සහ ඉස්ලාම් බැතිමතුන් පඬුරු දමමින් තමන්ට ආරක්ෂාව සහ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා.

නව වාහනයක් මිලදී ගත් විට දෙවියන් බැහැදැකීමට යැයි පවසමින් පැමිණෙන කුරුණෑගල නගරයේ ව්‍යාපාරිකයන් වැඩි දෙනකු ඇත්කඳ රජමහා විහාරයේ බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ලබාගෙන, ගලේබණ්ඩාර දෙවියන්ගේ ආරක්ෂාව ප්‍රාර්ථනා කරනවා.  විභාගවලට යන දරුවන් ගලේබණ්ඩාර දෙවියන්ගේ ආරක්ෂාව ප්‍රාර්ථනා කරමින් මෙම දේවාලයට  රැගෙන යාම  සමහර වැඩිහිටියන්ගේ  පුරුද්දක් වී තිබෙනවා.

දේවාල වාහල්කඩ – Deshaya.lk

 ඇත්කඳ විහාරය ආශ්‍රය කරගෙන පවත්නා ගලේබණ්ඩාර දේවාලයේ උපාලි රත්නායක කපු මහතා ප්‍රමුඛ පරම්පරාවේ අය අදාළ තේවා කටයුතු කරමින් පදිංචි ව සිටිනවා. එම ස්ථානයට පැමිණෙන හින්දු සහ බෞද්ධ හෝ අන්‍ය ආගමිකයකු වෙනුවෙන් ආශිර්වාද කරන්නට ද එම කපු මහත්වරු කටයුතු කරනවා.   

වත්හිමි බණ්ඩාර දේවාලය

කුරුණෑගල කච්චේරිය අසලින් දිවෙන වත්හිමි පාරේ දකුණට හැරී ටික දුරක් ගියපසු දකුණු පැත්තේ උස්බිමේ දේවාලය පිහිටා තිබෙනවා. කොළ පැහැය ආලේප කළ එය ස්වරූපයෙන්  මුස්ලිම් පල්ලියක් වැනි යි. ෂෙහෙරාන් දේවාලය  ලෙසත් එය හැඳින්වෙනවා. එහි පැමිණෙන තරුණ පෙම්වතුන්, පොලිස් නිලධාරීන්, ව්‍යාපාරිකයන්, ගැමියන් මුදල් නෝට්ටු පූජා කරමින් පලතුරු වට්ටි පූජා කරමින් විවිධ භාරහාර වෙන ආකාරය දකින්නට පුළුවන්.  එහි කපු මහතා ද මුස්ලිම් ජාතිකයෙක්. 

වත්හිමි බණ්ඩාර  ෂෙහෙරාන් දේවාලය – Niminda Chaturanga  facebook page

ඉස්ලාම් ආගමට අනුව එකම දෙවියන් වහන්සේ වශයෙන් සලකන “අල්ලා“ දෙවියන්ගේ දුතයකු (අවුල්යා) වශයෙන් ගලේ බණ්ඩාර දෙවියන් සලකනවා. දේවාලයේ මුස්ලිම් කපු මහතා  සිංහල යාතිකාව අරඹන්නේ මොහොමඩ්ගේ නාමය සඳහන් කරමින්. අවසාන කරන්නේ ගලේබණ්ඩාර ඔලියුල්ලාහ් දේවාරක්ෂාව පිහිට ලැබේවායි කියමින්.

දේවාලය මුස්ලිම් ජාතිකයන් පවත්වාගෙන ගිය ද එහි පිහිට පතා පැමිණෙන්නේ සිංහලයන්. ඔවුන් අතුරින් බහුතරයක් දිනපතා ම රැකියාවට යන ගමන්, ව්‍යාපාරික කටයුතුවලට යන ගමන් ගලේබණ්ඩාර දෙවියන්ගෙන් පිහිට පතන ආකාරය දැකගන්න පුළුවන්.

දේවාලයේ වත්හිමි බණ්ඩාරගේ බව සැලකෙන සොහොන – Lanka – excursions- holidays. com

කුරුණෑගල පොලිසියේ නිලධාරීන් රැසක් නිල ඇඳුම පිටින් ම දවසේ රාජකාරි ඇරඹීමට පෙර මේ දේවාලයට පැමිණෙන අන්දම සාමාන්‍ය දසුනක්. අපට නම් සිතුණේ මෙය සිංහල – මුස්ලිම් සංහිඳියාවට ද අපූරු තැනක් බව යි. ඒ අනුව ගලේබණ්ඩාර දෙවිඳු සිංහල මෙන් ම මුස්ලිම් බැතිමතුන්ට ද අයිති යි.

කවරයේ ඡායාරූපය: ඇතුගල පාමුල ගලේ බණ්ඩාර දේවාලය- සත් පත්තිනි දේව මාතාව බුදුවේවා  facebook page
මූලාශ්‍ර:
Deshaya.lk
Dinamina.lk
ලංකා විශ්වවිද්‍යාලයීය ලංකා ඉතිහාසය - 2 කාණ්ඩය, 1 භාගය

Related Articles

Exit mobile version