දැන් යළිත් පළාත් සභා ඡන්දය ගැන කතාබහක් මතුව තිබෙනවා. 1980 දශකයට කලින් පළාත් සභා වත් ප්‍රාදේශීය සභාවත් තිබුණේ නැහැ. ගම් පාලනය කළෙත් ගමේ ගැටලු විසඳුවෙත් ගම් සභාව යි. ගම් සභාව ගම් කිහිපයකට එකක් විදිහට තමයි තිබුණේ. ගම් නියෝජනය කරන නියෝජිත හෙවත් මැම්බර් මහත්තයා තමයි ගමේ ගැටලු විසඳුවේ, සහ සංවර්ධන යෝජනා ක්‍රමවලට මුල් වුණේ.
ඉතිහාසය විමසා බලමු
රටේ ගම් පාලනය කළ පාලන ක්‍රමයක් පණ්ඩුකාභය රජ දවස පටන් පැවති බව ඓතිහාසික මූලාශ්‍රවලින් පැහැදිලි වෙනවා. ක්‍රි. පූ. 3-2 වගේ සියවස්වලට අයත් සෙල්ලිපිවල ගමික කියලා හඳුන්වන්නේ ගම් ප්‍රධානියා යි.
ගම්සභාව ගමේ පවුල්වල ප්‍රධානීන්ගෙන් සමන්විත වූ බව සැලකෙනවා. 10 වැනි සියවස වන විට ගම්සභාවල කටයුතුවලට රජයේ නිලධාරියෙකු සම්භන්ධ වූ බව 4 වැනි මහින්ද රජුගේ වේවැල්කැටිය සෙල් ලිපිය සහ සොරබොරින් හමුවූ 3 වැනි උදය රජුගේ හෝපිටිගම සෙල් ලිපිය යන සෙල් ලිපිවලින් පැහැදිලි වෙනවා. වේවැල්කැටිය සෙල් ලිපියෙහි 4-6 වගන්ති දස ගම්වලට පවරන ලද අධිකරණ බලතල, ගම්මුලාදෑනීන් මෙන්ම ගම් ප්‍රධානීන් සහ ගෘහ මූලිකයින්ගෙන් ද සමන්විතවූ මණ්ඩලයකින් ක්‍රියාත්මක කර තිබෙන බව සඳහන්.
2 වැනි රාජසිංහ රජ කාලේ මහනුවර රාජධානියෙහි සිරකරුවකු ලෙස සිටි රොබට් නොක්ස් (1660-1679) ලියූ පොතේ ගම්සභා ක්‍රමයක් ගැන මෙසේ සඳහන් වෙනවා.
“අසල්වැසියන් අතර නඩුහබ පිළිබඳ පැමිණිලි විසඳීමත්, යුක්තිය ඉටුකර දීමත් සඳහා මෙම නිලධාරීන්ගෙන් සහ ප්‍රදේශයේ ප්‍රධානීන්ගෙන් සැදුම්ලත් අධිකරණ උසාවි වර්ගයක් තිබිණි. ඒවා ගම්සභා වශයෙන් හඳුන්වනු ලැබේ.”
සුද්දන් යටතේ ගම්සභාව
වර්ෂ 1815 දී බ්‍රිතාන්‍යයන්ට රට යටත්වූ පසු එවකට පැවති වැඩවසම් පාලන ක්‍රමයේ අඩුපාඩු ඔවුන් දකිනවා. ඒ අතර ගම්සභා ක්‍රමය අභාවයට යනවා. ගමේ ගැටලුවලට ප්‍රශ්න නැතිව ගම්වැසියන් තුළ විශාල පීඩනයක් ඇතිවන අතර, ඉංග්‍රීසි පාලනය කෙරෙහි විශාල විරෝධතා පැන නගිනවා. මේ නිසා අධිකරණ ක්‍රමයක් සහිත පාලන ක්‍රමයක් ගම්වලට ලබාදීමට ඉංග්‍රීසි පාලකයන් උනන්දු වෙනවා. ඒ වන විට පැවති අවිධිමත් ගම්සභා වඩාත් විධිමත්ම පවත්වාගත යුතු බව 1833 දී නිකුත් කළ විලියම් කෝල්බෘක් සහ චාල්ස් කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනාවල සඳහන් වෙනවා. ඔවුන් යෝජනා කරන ලද්දේ ඔවුන්ගේ උසාවි ලංකාවේ සාමාන්‍ය ගැමි ජනතාව අතර පැනනගින සුළු නඩුහබ විසදීමට සුදුසු නැති බවත්, ගම්සභා වෙනුවට උසාවි පිහිටුවා තිබු ප්‍රදේශයන්හි ගම්සභා නැවත ප්‍රතිෂ්ඨාපනය කළයුතු බවත්. මේ නිසා රජයේ වියදම් අඩුවන අතර ගමේ ගැටලු විසඳාගැනීමට ගමට අවස්ථාව ලබාදීමෙන් ගැමියන් තුළ සතුටක් ඇතිවන බව ද සුළු නඩු විසඳීම ඔවුන්ට බාරකළ යුතු බව ද කෝල්බෘක් යෝජනා කරනවා. නමුත් මේ යෝජනා ක්‍රියාත්මක කිරීමට යටත්විජිත පාලකයන් උනන්දු වුණේ නැහැ. එහිදී ක්‍රියාත්මක වුණේ වැඩවසම් ක්‍රමය අහෝසි කිරීම පමණ යි. මේ නිසා ගම ගැන හැඟීමක් ගැමියන් තුළ නැතිව ගියා.
මේ අතර 1848 මාතලෙන් හටගෙන රටේ ප්‍රදේශ රාශියක ව්‍යාප්ත වූ මාතලේ කැරැල්ල නිසා යළිත් ඉංග්‍රීසි ආධිපත්‍යයට අභියෝග ඉදිරිපත් වෙනවා. මේ වන විට ගමේ පරිපාලනය බිඳවැටී කෝරාළවරු සහ මුදලිවරු යටතේ දූෂණයෙන් පිරි, ගැමියන් තලාපෙලා දමන පාලනයක් ව්‍යාප්ත වී තිබුණා. ඇළ වේලි, වැව් අමුණු නටබුන් වෙමිත් පැවතුණා. පාරක් ඉදිකිරීමට ශ්‍රමය වැටුප් ගෙවාවත් ලබාගැනීමටවත් පහසු වුණේ නැහැ.
ගම්සභා පිහිටවූ හෙන්රි වෝඩ්
ගම්වල ගැටලු ගැමියන්ගේ සහභාගිත්වයෙන් විසඳා ගැනීමට ග්‍රාමීය ක්‍රමයක් පිහිටුවීමට උනන්දු වුණේ ආණ්ඩුකාර හෙන්රි වෝඩ් (1855-1860). ඔහු 1856 දී අංක 9 දරන වාරිමාර්ග පිළිබඳ පනතින් පැරණි ගම්සභාවට සමාන ආයතනයක් පිහිටුවා වාරිමාර්ග නඩත්තු කිරීමට සැලසුම් කළා. එම ක්‍රමය සාර්ථක වූ බව පසුව ඒ ගැන විමසීමේදී පෙනී ගියා.
ඒ කාලෙ ගමේ ආණ්ඩුව
මුල් කාලයේ අපේ රටේ පළාත් පාලන ආයතන වර්ග හතරක් දැකගත හැකි වුණා. ඒ ගම්සභා, සුළු නගර සභා, නගර සභා, මහ නගර සභා වශයෙන්.
මෙම ආයතන හතරින් ලංකාවේ වඩාත්ම පැතිර තිබුණේ ගම්සභාව යි. ඇතැම් ගම් සභාවලට විශාල භූමි ප්‍රමාණයක් අයිති වූ අතර දිවයිනේ විශාලම ගම්සභාව වන අඹගමුව ගම්සභාවේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 482ක් වුණා. වර්ෂ 1946 දී ගම්සභා ආඥා පනත මඟින් මේ පාලන ක්‍රමයට අවශ්‍ය විධිවිධාන ලබා දී තිබෙනවා. ගැම ගමකටම ගම්සභාව රැස්වීමට කාර්යාලයක් ඉදිවුණා. සමහර පිටිසර පළාත්වල මේ ගම්සභා ගොඩනැගිලි අදත් දැකගත හැකියි.
ගම්සභා ඡන්දෙ
එක් ගම් සභාවකට අයත් ඡන්ද කොට්ඨාසය බොහෝවිට එක ගමක් වූ අතර සමහර විට විශාල ගම්සභාවලට කුඩා ගම් කිහිපයක් අයත් වුණා. තම ගම් ප්‍රදේශය නියෝජනය සඳහා ගම්වලින් නියෝජිතයන් පත්කර ගැනුණා. බොහෝවිට ඡන්දය සඳහා ඉදිරිපත් වූයේ ද එම ගමේ ස්ථිර පදිංචිකරුවෙක්. ඔහු ගමට නායකත්වය දුන් ජනප්‍රිය අයෙකු වීම සාමාන්‍ය දෙයක් වුණා. ගම්සභා මැතිවරණවල දී ද පක්ෂ දේශපාලනය තිබූණා. නමුත් බොහෝ විට ඡන්දදායකයන් ඡන්දය ලබාදුන්නේ ගමට වැඩක් කරගත හැකි පුද්ගලයා පිළිබඳ සලකමින්. ඔවුන්ට මාසික වැටුපක් හිමි නොවූ අතර රැස්වීම්වලට සහභාගි වූ විට සුළු දීමනාවක් ලැබුණා.
අතීතයේ ගම්සභා ඡන්දය සාමකාමීව පැවැත්වූවා සේම ඡන්දයෙන් තේරී පත්වූ ගම්සභා නියෝජිත හෙවත් ගමේ මැම්බර් මහත්මයා ගමේ ප්‍රභූවරයෙක් වුණා. ඔහු ගමේ මඟුලට, අවමඟුලට නැතිවම බැරි පුද්ගලයෙක්. එදා ඇතැම් ගම්සභා නියෝජිත මහතුන්ට බයිසිකලයක්වත් තිබුණේ නැහැ. ඔවුන් පයින්ම ගොස් තමයි රාජකාරී ඉටු කළේ. ගම් සභාවට පත් වූ ප්‍රථම කාන්තාව නන්දා රාජපක්‌ෂ මහත්මිය යි. නන්දා රාජපක්‌ෂ මහත්මිය හාරිස්පත්තුව පල්ලේගම්පහ දකුණු ගම්සභා සභික ධුරයකට පත්වූයේ 1958 දී යි.
ගම්සභා මැතිවරණ අඥාපනත අනුව ඡන්දදායකයකු වීමට නම් ලංකාවේ පුරවැසියකු වීම, වයස අවුරුදු 21ට අඩු නොවීම, අදාල කොට්ඨාසයේ ස්ථිරව පදිංචිව සිටීම යන සුදුසකම් සපුරා සිටිය යුතුය. ගම්සභාවක මැතිවරණයක් සඳහා නියෝජිතයෙකු ලෙස අයදුම් කිරීමට ඡන්දදායකයකු වීමට තිබිය යුතු සුදුසුකම්වලට අමතරව තවත් සුදුසුකම් තිබිය යුතුයැ යි සඳහන් වෙනවා.
රුපියල් 200කට අඩු නොවන වටිනාකමක් ඇති ස්ථාවර දේපලක හිමිකරුවෙකු වීම හෝ රුපියල් 60කට නොඅඩු වාර්ෂික ආදායමක් ඇති අයකු වීම, සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි යන භාෂාවකින් එකකින් ලියන්නට හා කියවන්නට හැකි වීම, ප්‍රධාන ගම්මුලාදෑනියකු, සුළු ගම්මුලාදෑනියකු හෝ ගම්සභාවක සේවකයකු නොවීම, නියම හෝ අනියම් ආකාරයෙන් ගම්සභාවක් සමග කිසිදු කොන්ත්‍රාත්තුවකට සම්බන්ධ වී නොසිටීම, අපරාධ වැළැක්වීමේ ආඥා පනත අනුව කවර නමුත් අපරාධයක් ගැන වරදකරැවකු වී තුන් මාසයක් හෝ ඊට වැඩි කාලයක් බන්ධනාගාරගතව නොසිටීම ඒ කොන්දේසි වුණා.
ඇපේ රුපියල් දහය යි
නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කරන අපේක්ෂකයන් තැබිය යුතු ඇපයේ වටිනාකම රුපියල් 10 යි. එක කොට්ඨාසයක් සඳහා එක අයදුම් පත්‍රයකට වඩා ඉදිරිපත් වූවහොත් සුදුස්සා තෝරාගැනීමට ඡන්දයක් පැවැත්වෙනවා. නාම යෝජනා ඉදිරිපත් කළ දිනයේ සිට ඡන්ද සටන ඇරඹෙනවා.
ගමතුළ ඡන්ද රැස්වීම් පැවැත්වීම ද ගෙයින් ගෙට ආධාරකරුවන් සමග ගොස් ඡන්දය ඉල්ලා සිටීම ද සිදු කෙරෙනවා. ගමේ ඡන්ද ගැටුම් ඇති වුණෙත් කලාතුරකින්. මේ ඡන්දවලට ජාතික දේශපාලනඥයන් අතපෙව්වේ නැහැ. ඡන්ද ප්‍රචාරයට පෝස්ටර් අලවා දැන්වීම් පත්තරවල දමා විශාල මුදලක් වැය කළෙත් නැහැ. අත් පත්‍රිකා, කවිකොළ වගේ ඒවා තමයි ප්‍රචාරයට තිබුණේ.
මැතිවරණ දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීම අදාළ මධ්‍යස්ථානවල දී රහසේ සිදුවූ අතර, ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වූ පසු එම ඡන්ද මධ්‍යස්ථානයේ දීම ඡන්ද ගණන්කර ප්‍රතිඵල ප්‍රකාශ කිරීම සිදුවුණා.
මැතිවරණයෙන් අපේක්ෂකයන් තෝරා පත්කර ගත් පසු පළාත් පාලන දෙපාර්තමේන්තුවේ උප කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම රැස්වීම පවත්වන අතර, එහිදී නියෝජිතවරයන්ගේ වැඩි ඡන්දයෙන් සභාපති සහ උප සභාපති තෝරා ගැනෙනවා. පත් වූ සභාපතිවරයා අවුරුදු තුනම සභාපති ධූරය දරනවා. උප සභාපති ධූරයට අවුරුදු පතා නියෝජිතයන් පත්කර ගැනීම සිදු වුණා.
ගම්සභාවෙන් පාර්ලිමේන්තුවට
ගම් සභාවලට වැඩි වශයෙන් පත්වූයේ වමේ පක්ෂවල නියෝජිතයන් බව පෙනෙනවා. මාම්පේ කැස්බෑව ගම් කාර්ය සභාවෙන් පැමිණි සෝමවීර චන්ද්‍රසිරි, කනදරා කෝරළේ ගම් කාර්ය සභාවෙන් පැමිණී පී. ඇම්. කේ. තෙන්නකෝන්, පිලැස්ස ගම් සභාවෙන් පැමිණි ඩී. පී. වික්‍රමසිංහ, හමන්ගල්ල ගම්සභාවෙන් සභාපති ලීලානන්ද වීරසිංහ, මතුගම දයා ටී. පැස්කුවල්, කුරුවිට කෝරළයේ ගම් සභාවෙන් පැමිණි සරත් මුත්තෙට්ටුවගම, හෝමාගම ගම් සභාවේ සභාපති විලෆ්‍රඩ් සේනානායක ආදී නායකයෝ අනුක්‍රමයෙන් ඉදිරියට පැමිණ පාර්ලිමේන්තුව දක්වා ගමන් කළා. එගොඩපොත ගම් සභාවෙන් පැමිණි ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක පසුව අගමැති බවටත් පත් වුණා.
ගමේ රාජකාරි
ගම්සභාවක රාජකාරි ලෙස පැවතුණේ ඉඩම් පිළිබඳ පාලනය, සෞඛ්‍ය හා සෞඛ්‍ය සංරක්ෂණ, හා සමාජ සංවර්ධන කටයුතු යි. ගම්සභාවට අයිති පාරවල් නඩත්තු කිරීම, ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම, ජනතා සෞඛ්‍ය ඉහළ නැංවීමට රෝග පාලනය, වෙළඳ බලපත්‍ර නිකුත්කිරීම, සුනඛයන්, අශ්වයන්, හස්තීන් සඳහා බලපත්‍ර නිකුත්කිරීම, පාපැදි ලියාපදිංචි කිරීම, මුඩුක්කු සංහාරක නිවාස ක්‍රම ඇති කිරීම, සුසාන භූමි නඩත්තුව, කැලිකසල ඉවත්කිරීම, මලාපවාහන කටයුතු, සතිපොළ පවත්වාගෙන යාම, රා තැබෑරුම්, මස්කඩවලට බලපත්‍ර ලබාදීම, පෙර පාසල්, පුස්තකාල ආදිය පවත්වාගෙන යාම ද එකල ගම්සභාවකට අයිති රාජකාරි අතර තිබුණා.
වර්ෂ 1981 දී ගම්සභා සහ සුළු නගර සභා අහෝසි වී, ඒ වෙනුවට ප්‍රාදේශීය සභා ස්ථාපිත කෙරුණා. ඒ සමගම සරල ගම්සභා පාලන ක්‍රමය අතීතයට අයත් මතකයක් බවට පත්වුණා.