වැස්ස ඉල්ලා දෙවියන් ඉදිරියේ ඇඳුම් ගලවන “හෙළුවැලි බලිය”

හැඳ සිටින ඇඳුම් ගලවලා අමු නිර්වස්ත්‍රෙන් දෙවියන්ට කරන යාතුකර්මයක් පැරණි නුවර කලාවියේ පැවතුණා. අද නම් මේ අභිචාර විධි ගැන අහන්න ලැබෙන්නෙ කලාතුරකින්. නුවර කලාවිය කියන්නේ  වසරේ වැඩි කාලයක් නියඟයෙන් පීඩා විඳින පළාතක්. මහ වැව්, කුඩා වැව් රාශියක් තිබුණත් ඒවා නියඟ කාලෙට සිඳී යන්නේ බීමට පවා දියබිඳක් අහිමි කරමින්. ගොවිතැන මුල්කරගත් පළාතක වැස්සේ වටිනාකම ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. 

වැස්ස ලබාගැනීමට කරන යාතුකර්ම රාශියක් ද පුරාණ නුවරකලාවියේ දක්නට ලැබුණා. ඒ අතරින් විශේෂත්වය ගන්නා අභිචාර විධියක් තමයි “හෙළුවැලි බලිය”. ලංකාවට වැසි රහිත උණුසුම් කාලගුණයක් ලැබී තිබෙන මේ දවස්වල එදා වැහි ඉල්ලා ගොවි ජනතාව කළ යාතු කර්ම ගැන විමසා බලමු.

වැස්සට අධිපති දෙවියා

වැස්සට අධිපති වරුණ දෙවියා-toflegendindia.blogspot.com

වැස්සට අධිපති දෙවියකු ඇදහීමක් නම් ලංකාවේ සිදුවන්නේ නැහැ. ඒත් ඉන්දියාවේ දේව මණ්ඩලයේ සිටින ඉන්ද්‍ර දෙවියා වැස්සට, හෙණ පිපිරුමට, සහ කුණාටුවලට අධිපති කෙනෙක්. ඔහු තමා අත තිබෙන වජ්‍රායුධයෙන් හෙණ පුපුරව යි. ඉන්පසු වැස්ස ලැබෙන බව විශ්වාසය යි. වැස්සට සහ අහසට අධිපති ලෙස සැලකෙන්නේ වරුණ දෙවියා යි. ලංකාවේ වැහිගම්පල මුත්තා නම් දෙවියකු සම්බන්ධ කරගෙන රජරට නුවර කලාවියේ ද  රාජ වන්නිපත්තුවේ ද, හත්කෝරළේ සමහර ප්‍රදේශවල ද වැහි බලි යාගය පැවැත්වුණා. වැස්ස පතා කෙරෙන ඇදහිලි ක්‍රම සුභූත බලි, හෙළුවැලි බලිය, හා ශ‍්‍රී විෂ්ණු වර්ෂාධිපති බලිය නමින් විවිධාකාරයෙන් හැඳින්වෙනවා.

වැහිබලිය

වැස්ස ගොවිතැනට අහිමිව ගිය කල – glogalriskinsight.com

වැහි බලිය නිර්මාණයට බලි ඇදුරන් හෙවත් කපු මහත්වරු සහභාගි වූයේ නැහැ. ගොවියන්ම එකතුවී බලි රූප අඹා ගන්නවා. මේවා ඇදුරන් අඹන බලිරූප තරම් අලංකාර නම් නැහැ. 

එහිදී මුලින්ම කෙරෙන්නේ ප්‍රධාන ගමරාළ සමග ගමේ කපුරාළ ද ගමේ සංහිඳට හෝ දේවාලයට ගොස් නියඟයෙන් වගා හානි වී සතා සීපාවන් විපතට පත්ව ඇති බව නොපෙනේදැ යි පලි ගසමින් යාතිකාවක් කිරීම යි. දෙවියන් මැදිහත් වී වැහිගම්පළ මුත්තාට කියා වර්ෂාව ලබාදුන මැනවැ යි එසේ ඉල්ලා සිටිනවා. එසේ නොවුණහොත් වැහි බලියක් අරින බව ද, එය මහත් ලජ්ජාවකට කරුණක් බව ද පැවසෙනවා.

වැස්ස පතා දෙවියන්ට කන්නලව් කරමින්- ips.lk

කෙම්මුරයක් තුළ වැසි නොලැබුණහොත් ගමේ සියලු පිරිමි පිරිස එක්ව වැහි බලි පූජාව පවත්වනවා. රාත්‍රිය පුරා පවත්වන මෙම බලි පූජාවට කාන්තාවන්ට හා දරුවන්ට සහභාගිවීම තහනම්. දෙවියන් අපහාසයට, ලජ්ජාවට පත්කරවන අසභ්‍ය අශ්ලීල යෙදුම්වලින් යුත් බලියාග කවි හා කෝල්මුර කවි මෙහිදී ගායනා කරනවා. එය ගැමියන්ට එක්තරා විනෝදජනක වැඩක් ද වෙනවා. මේ එවැනි කෝල්මුර කවියක්:

වැහැපං දෙවියා කහපන් දෙඤ්ඤං

දොරකඩ පොල්ගහ නින්දෙම දෙඤ්ඤං

හංකඩ මීගොන් බානක් දෙඤ්ඤං

තනිකඩ අක්කා දීගෙක දෙඤ්ඤං

හෙළුවැලි බලිය

බලියාග පවත්වමින් – youtube.com

සමහර ගම්මානවල මෙය පවත්වන්නේ රහසිගතව, ගොවීන් නිර්වස්ත්‍රව යි. එවිට එය හඳුන්වන්නේ හෙළුවැලි බලිය කියලයි. මෙය එක්තර කෙමක් වැනි අභිචාර ක්‍රමයක් බව යි පෙනෙන්නේ. වැහිගම්පල මුත්තාගෙන් හොඳින් බැරි නම් නරකින් වැස්ස ලබා ගැනීමේ අරමුණින් තමයි මෙම චාරිත්‍රය පවත්වන්නේ. 

ගම්මු අතරින් පිරිමි පිරිසක් එකතු වී ගමරාළ හා රහසේ හෙළුවැලි බලියක් පැවැත්විය යුතු බව සාකච්ඡා කරනවා. මේ ගැන කිසිම තැනක ප්‍රසිද්ධියේ කතාබහ කරන්නේ නැහැ. නිවසේ කවුරුවත් සමග කතා කරන්නෙත් නැහැ. දිනයක් නියමකර ගෙන බිරියන්ට හා දරුවන්ට නොකියා රාත‍්‍රියේම ගෙවල්වලින් පිටතට පැමිණෙනවා. වැවේ සංහිඳ නම් ගස ආසන්නයට ගොස් සියලුම දෙනා ඇඳුම් උනා දමා නිර්වස්ත‍්‍ර වෙනවා. මෙතැන් සිට නොයෙකුත් භාණ්ඩලින් ශබ්ද, අසැබි වචන, නොසරුප් කවි, යාතිකා කියනවා. නැටුම් නටනවා. මේ යාගය එකම ඝෝෂාවක්‌ ලෙසින් මුළු ගම් ප්‍රදේශයටම ඇසෙනවා. රැගෙනවිත් තිබූ දේවරූප කඹ, වැල් ආදියෙන් ගැට ගසාගෙන බිම දිගේ ඇදගෙන රැගෙන යන්නේ දිය සිඳී ගිය වැවේ මඩකඩිත්තට යි. එම රූප මඩේ දමා පාගනවා. නැවත වැව් බැම්මට ඇදගෙන යනවා. ඒ රූප මතම මඩ, මැටිවලින් බලි රූප අඹනවා. සිරුරේ අඟ පසඟ විකෘතිව දක්‌වා අපහාස කරනවා.

අහල ගං හතක ගවයෝ නැති වෙච්චී

පහළ වැවේ දිය පතුලට හිඳිච්චී

ඉහළ දෙවියන්ට මඩිතිය කැවෙච්චී

අපල දෝස වැහි බලියෙන් ගෙවිච්චී

අභිචාර සඳහා පුරාණයේ යොදාගත් බව සැලකෙන නිරුවත් ටෙරාකොටා ස්ත්‍රී රූපයක්- archaeology.lk 

මෙම අවස්ථාවේ දී දේවරූපවලට පූජා ලෙස තබන්නේ පලතුරු ආදිය නොව හුඹස්‌ මැටි, පොල්කුඩු ගුලි, තෙල් හිඳුවා ඉතිරිවූ රොඩු ආදී කසළ ද්‍රව්‍ය යි. ආලෝකයට ගිනි කොටයක්‌ දල්වාගන්නවා මිසක් පහන් දල්වන්නත් නැහැ. එළිවෙන යාමය තෙක්‌ම මේ විකෘති බලි යාගය පවත්වනවා. පාන්දර ජාමයේ කපුරාළ යාතිකාවට පැමිණ දෙවියන්ට වූ මේ ලජ්ජාව පවසමින් දුක්‌ අඳෝනා කියමින් කන්නලව් කරනවා. අලුත් වර්ෂාව ලබාගෙන දේවරූපවල මඩ සෝදාහැර ගන්නා තුරුම මේ තැන්වලින් දෙවියන් නොසොල්වන බව ද පවසනවා. අනතුරුව සියලු දෙනාම උනුන් අතරවත් කතා නොකරම සංහිඳ ළඟට ගොස්‌ උනා දැමූ ඇඳුම් ඇඳගෙන නිවෙස්‌වලට යනවා. නැවත ඔවුන් හමුවුවත්, ගමේ මීට සහභාගි නොවූ කෙනෙකු මුණ ගැසුණත් බලියාගය ගැන කතා කරන්නෙ නැහැ.

වැහිබලි රූප

දෙවියන්ගෙන් පිහිට පතමින් – exploreasia.lk

මෙම යාතු කර්මයේ දී වැව් පිටියේ අඹන වැහිබලිය නිරුවත් ස්ත්‍රී සහ පුරුෂ බලි දෙකින්ම සමන්විත යි. ඒ රූපවලින් නියෝජනය වන්නේ වැහිගම්පල මුත්තා සහ ඔහුගේ බිරිය වන වැහිගම්පල මුත්තම්මා යි.

වැහිගම්පල මුත්තාගේ පුරුෂ බලිය මත ස්ත්‍රී බලිය සතපවා එක්වරම දියෙන් සෝදාහැරීම එක් ලිංගික අභිචාර ක්‍රමයක් වෙනවා.

නිසි කලට වැසිපල ලබා දීමට ඇති නොහැකියාව වැහිගම්පල මුත්තාගේ දුර්වලතාවයක් බව ඔහුට දැක්වීම පිණිස ඔහුගේ නිරුවත් බලිය මත ස්ත්‍රී බලියක් තැන්පත් කිරීම සිදුවෙනවා. එය ඔහුගේ වැඩ බැරි බව ප්‍රසිද්ධියේ කියා පෑමක් ලෙස සැලකිය හැකියි. එවැනි නිග්‍රහයකින් කෝපයටත්, ලැජ්ජාවටත් පත්වන ‘වැහිගම්පල මුත්තා’ කල්නෑර ප්‍රදේශයට වැසි ලබාදෙන බවට ගැමියෝ විශ්වාස කරනවා. 

කොටහළු වූ ළමිස්සියන්

අලුත් වැස්සට තෙමෙමින් – pinrest.com

වැහිගම්පල මුත්තාගෙන් වැසි ලැබුණු පසු ඔහුට තුති පිදීම පිණිස අලුත

වැඩිවියපත් හෙවත් කොටහළු වූ ළමිස්සියන් අලුත් වැස්සට තෙමෙමින් නැටීමේ චාරිත්‍රයක් අතීතයේ පැවත තිබෙනවා. එමඟින් අස්වනු සරුවී, ගේ දොර බතින් බුලතින් සරුවීම අපේක්ෂා කරනවා. එමෙන්ම එම තරුණියන් රූමත්ව වැඩී, ඔවුන්ට සුදුසු සහකරුවන් ලැබී විවාහ වී දරුපල ලද පසු වඩාත් හොඳින් කිරි බරවීමට පවා හේතු වන බව අතීත ගැමියෝ

විශ්වාස කළා.

කාන්තා හෙළුවැලි බලිය

බලි රූප අඹමින්- deshaya.lk

පුළුටු මැටි රූපවල දක්නට ලැබෙන පිරිමි ලිංගික රූප හා කාන්තා රූපවලට සමානව, වර්තමානයේ රජරට හොරෙව්පතාන හා කුඹුක්ගොල්ලෑව-මහපොතාන ග‍්‍රාමයේ කාන්තාවන් වර්ෂාව අපේක්ෂාවෙන් කුඹුරු හා වැව් තාවුල්ලේ රාති‍්‍ර කාලයේ දී “හෙළුවැලි බලිය” යනුවෙන් බලි නිර්මාණය කරනු ලබනවා. වර්ෂාව නැති කාලවල දී ගමේ වැඩිහිටි කාන්තාවන් හා ගැහැණු ළමුන් 15-20ක් පමණ එකතු වී තමයි මේ වැඩේ කරන්නේ. හුඹස් මැටි, බැටරි කුඩු, නිල් කුඩු හා වෙනත් දෑ උපයෝගි කරගෙන මොවුන් ගිරි දේවි හා දළ කුමාරා ලෙස හඳුන්වන නිරුවත් මැටි රූප නිර්මාණය කරනවා. පුළුටු මැටි රූප තුළ දක්නට ලැබෙන ග‍්‍රාම්‍ය කලා ලක්ෂණ ද හෙළුවැලි බලියේ දැකිය හැකි යි. ඉන් පසු පිරිමි පවත්වන බලි යාගයට සමානව පොල් කටු හා කටින් නොයෙක් නාද නිකුත් කරමින් විවිධ පරුෂ වචන හා භාවිතයෙන් විවිධ කවි ගායනා කරනු ලබනවා. හැබැයි මෙහිදී කාන්තාවන් නිරුවත් වන බවක් නම් සඳහන් වන්නේ නැහැ.

සත්දිනකට මුලකට බොලන්නේ

සත්දිනකට ඉරිදා බොලන්නේ

බැද්ද වැව් අමුණු වේලිගෙන යන්නේ

ශුද්ධ ඉරිදා වැස්ස වහින්නේ

සුභූත බලිය

පිරිත් දේශනා කරමින් – serendib.btoptions.lk

බලියාග කියන්නේ බුදුදහමට අනුව සිදුකරන ඒවා නොවෙයි. මේ නිසා ඒවාට භික්ෂූන්වහන්සේ දායක වුණේ නැහැ. නමුත් වැස්ස පතා කෙරෙන සුභූත බලියේ විශේෂත්වය වන්නේ ඒ සඳහා  ගමේ භික්ෂූන්වහන්සේ නමකගේ සහභාගිත්වය ලබාගැනීම යි. සුභූත බලියේ දී සුභුත නම් මහරහතන් වහන්සේගේ රූපය මැටියෙන් මූර්තිමත් කෙරෙනවා. එම බලිය අඹා එය ඉදිරිපිට තබාගෙන භික්ෂූන්වහන්සේ සත්නමක් තුන්වරුවක් සුභූත පිරිත සජ්ඣායනය කරනවා. ඒ වැව අද්දර යි. ඉන්පසුව බලිමැස්ස ඔසවාගෙන ගොස් වැවේ තාවුල්ලේ තබනවා. මෙහි දී බලි ඇදුරන් බලියට අදාළ කවි ගායනා කරන අතර භික්ෂූන්වහන්සේ සිටගෙන පිරිත් සජ්ඣායනය කරනවා. පිරිත් සජ්ඣායනය කිරීමෙන් දින හතක් ඉක්මයාමට මත්තෙන් පිටාර ගලා යන තරමට වැසි වසින බව වැව් ගම්වාසීහු විශ්වාස කරනවා.

කිරිඅම්මා උල්පත

කිරිඅම්මා උල්පත අසල – facebook

මාතලේ දිස්ත්‍රික්කයේ වියළි කලාපයට අයත් ලග්ගල ද නියඟයෙන් බැටකන ප්‍රදේශයක්. ලග්ගල කිරිඅම්මා උල්පත නම් දිය පහරක් තිබෙනවා. නියඟයටවත් නොසිඳෙන එම දිය උල්පතට ගැමියෝ පැමිණ, එහි ජලය අරන් කිරි උතුරවා යාතිකා කර, ඊට පසු එම කිරි කුඹුරුවලට ඉසීමට රැගෙන යනවා. එම කිරි රැගෙන යන අතරම වැස්ස ලැබෙන බව තමයි ඔවුන් විශ්වාස කරන්නේ. 

වැස්ස පමාවන බවට සොබාදහමේ නිමිතිවලින් ද නුවර කලාවියේ ගොවියා දැනගන්නවා. කිරල්ලු වැවේ ජලය රඳන කොටසේ බිත්තර දමන්නේ නම්, වඩු කුරුල්ලා වැව් තාවුල්ලේ කුඹුක් ගස්වල පහළ අතුවල කූඩු තනන්නේ නම් වැස්ස පමා වෙනවා. අහසේ වැහි වලාකුළු (වැහි බිත්තර) රවුම් හැඩයට පැතිරේ නම් වැස්ස හිඟ යි. වැහි වලාකුළු දිගවී නම් වර්ෂාව නිසැක යි.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

amudakote.blogspot.com

archaeology.lk

divaina.com/2010/10/03

නුවර කලාවියේ නිමිති- ඔරුක්මාන්කුලමේ චන්දන

කවරය- වැස්ස ඉල්ලා නිරුවත් වන ගොවියෝ- dailymail.co.uk

Related Articles

Exit mobile version