අද ලංකාවේ දවල් එලියට බහින කෙනෙක්ට කුඩයක් තොප්පියක් නැතුව යන්න අමාරුයි. ලංකාව කියන්නේ කොහොමත් ඝර්ම කලාපයට අයිති රටක්. වසරේ සෑම කාලකයකීම පාහේ යහමින් හිරු එළිය වැටෙන අපේ රටේ හිරු එලිය ලැබෙන වේලාවේ ලොකු වෙනසක් පෙනෙන්නට නැහැ. වායුසමන යන්ත්‍ර, පංකා ආදිය සොයාගත්තේ කාර්මීකරණයට පසු.
ඊට පෙර කාලයේදී අපේ ආත්තල මුත්තලා සීයලා කොහොමද ජීවිත ගෙනගියේ? ඔවුන්ට අපිට තරම් රස්නේ දැනුනේ නැද්ද? කියල කෙනෙකුට හිතෙන්නට පුලුවනි. ඒ ගැන අපි ටිකක් සොයාබලමු.
ජීවන රටාව
කාර්මීකරණයට පෙර බොහෝවිට ගම්බද ජනතාව ජීවත් වුනේ ගොවිතැනින්. ඔවුන් පාන්දරින්ම ගොවිබිම් වලට යනවා. ගිහින් පාන්දරම වැඩකටයුතු ටිකක් කරලා ඇවිත් දවල් තදින් හිරු එළිය වැටෙනවිට වැඩ නවත්වා නැවත නිවෙස් කරා හෝ කුඩා නවාතැන් වූ පැල කරා ඇදෙනවා. ඉන් පසු දිවා ආහාරය ගෙන මදක් නිදාගෙන එහෙම නැවතත් හවස් වන විට වැඩ පටන් ගන්නවා. ගොවිතැන් බත් ආදිය තමුන්ගේම වගාවන් නිසා නියමිත රාජකාරි වෙලාවක් තිබුනේ නෑ .කාලගුණය අවුව සැර අනුව වැඩකටයුතු පාලනය කරගෙන කරගෙන යන්නට හැකියාව ලැබුනා.
එකල ප්‍රධාන ගොවිතැනක් උනේ වී වගාව. වී වගා කරන කුඹුරු ඉඩම් පිසගෙන නිතරම සිහිල් සුලං රැලි හමාගෙන එනවා. ඒ වගේමයි වනාන්තර කොටසක් එලිපෙහෙල් කරලා කරන හේන් ගොවිතැනකදී වනයේම කොටහක් එලිකරගත්තාට ඉර මුදුන් වෙන වෙලාවකට හැර වෙනත් වෙලාවට යාන්තමින් හෙවනක් හේන ඇතුලෙ නිතරම රැදෙනවා. ඒ නිසා හේන් කොටන්න පාන්දරම යන ගොවියාටත් උයා පිහාගෙන දවල් වෙන්න හේනට ඇවිත් වැඩේට සෙට් වෙන ගෙවිලියටත් වැඩි වෙලාවක් අවුවේ රැස් කන්න උනේ නෑ.
ජීවන රටාව කාර්මීකරනය වෙද්දි ඉස්සර වගේ බෑ. අපි එක්තරා සංකීර්ණ දාමයක එක් රාජකාරියක් පමණක් ඉටුකරන අය බවට පත් වෙනවා. උදාහරණ ලෙස වතුවගාවන්හි යෙදෙන්නට සිදු වුනු අයට රබර් කිරි කැපීම, තේ නෙළීම, පොල් කැඩීම වැනි ස්ථාවර වූ රැකියා කොටස් නියම වුනා. පෙර කාලයේදී වගේ සෑම සියලු ගොවි කටයුත්තක්ම කරන්නට යටත් විජිත කාලේයෙන් පසු ජීවත් වූ රැකියා වල නියුතු අයට නියම වුනේ නෑ. ඒ එක්කම පසුකාලීනව යන්ත්‍ර සූත්‍ර නිපදවීම, නඩත්තු කටයුතු, වාහන, කාර්යාල, රාජකාරි පැමිණීමත් එක්ක ඒ ඒ රැකියාව අනුව පුද්ගලයින් වැඩ කරන වටපිටාවත් වැඩකල යුතු කාලයත් නියම වුනා.
දැන් අපේ රටේ පාරේ වැඩකරන කම්කරුවෙකුට වුනත් පාන්දරින්ම ඇවිත් ඉරට කලින් වැඩකරන්න හැකියාවක් නැහැ.ඒ වගේම දැඩි සූර්ය රශ්මිය නිසා කියලා ඔහුට මගහරින්නත් බැහැ. මොකද ඔවුන් බැදිලා තියෙන්නේ නියමිත වෙලාවේදී නියමිත රාජකාරිය කිරීම සහ එයට අනුමත මුදල් ලබාගැනීමට.
නිවාස සහ ගොඩනැගිලි
එකල ලංකාවේ විශාල ගොඩනැගිලි හදන්නට අවසර තිබුනේ රජවරුන්ට, සිටුවරුන්ට වැනි ඉහල කුලවල අයට පමණයි. ඊට අමතරව ආගමික ගොඩනැගිලි ලෙස පන්සල් කෝවිල් දේවාල ආදිය මිනිසුන්ට හදා දීමට හැකියාවක් තිබුනා.
විසිවන සියවසේ ඇති වූ කාර්මික විප්ලවයත් එක්ක ඉන් පෙර තිබුනු ගෘහනිර්මාණ ශිල්පයේත් විශාල වෙනස්කම් සිදුවුනා. පෙර කලදී තිබුන ආරුක්කු, මැදමිදුල් අවකාශ සහිත නිවාස සහ ගොඩනැගිලි වෙනුවට අවකාශය වැඩිමනක් ක්‍රියාවන්ට භාවිතයට ගත හැකි නව නිවාස සැලසුම් කරළියට ආවා.
වෙනත් ගොඩනැගිලි වුවත් යකඩ, කොන්ක්‍රීට් වැනි දේ යොදාගෙන වඩාත් ශක්තිමත්ව සැකිලි නිර්මාණය කොට ඒවා සකසාගැනීම 1900 සියවසේ මුල් භාගයේදී යුරෝපා රටවලදී ආරම්භ වුනා. ඒත් සමගම වඩාත් ඉඩකඩ භාවිතා කිරීමෙන් සිහින් බිත්ති සහිත, ඇස්බැස්ටස් රට උළු වැනි සෙවිලි තහඩු සෙවිලි කරන ලද, පෙරට වඩා මිලෙන් අඩු ගොඩනැගිලි නිර්මාණය වෙන්නට වුනා.
මේ සමගම පැරණි ගොඩනැගිලි කලාවේ තිබුනු මිනිසුන්ට වඩාත් සනීපදායී වාතාශ්‍රය සැපයෙන සුලං කවුලු, විශාල ජනේල දොරවල්, වායු සංචරන ක්‍රමවේද, එලියේ තාපය ඇතුලට නොයෙන පරිවාරක ආදිය ගැන එතරම්ම සැලකීමක් නැතිව අවකාශයේ වාසිය වැඩිමනක් ලබාගත හැකිවන ආකාරයට ගොඩනැගිලි නිර්මාණය වන්නට වුනා.
ඒ සමගින් ගොඩනැගිලි ඇතුලත වාතාශ්‍රය පෙර තරම් සෞම්‍ය උනේ නෑ. ඉන් පසු පංකා යොදා වායුසමනය කොට මනුෂ්‍යයින්ට ගැලපෙන ආකාරයට අභ්‍යන්තර පරිසරය සකසා ගන්නට සිදුවුනා.
ලාංකික පැරනි ගෙවල්
ඉපැරනි ලාංකික ගැමි ගෙවල් මැටියෙන් තැනූ ඉලුක් මානා හෝ පොල් අතු සෙවිලි කල නිවාස වුනා. ඒ නිවාස වල බිත්ති ඝනකමින් වැඩියි. එසේම ලෝහ සහ තහඩු භාවිතයක් නොවන නිසා ඒ නිවෙස් වල බාහිර තාපය ඇතුලට ඒම බොහෝ දුරට අඩුයි. කොන්ක්‍රීට් යකඩ සහ ගල් භාවිතයක් නොවන නිසා එම නිවෙස්හී ඇතුලත සැලකිය යුතු තරම් සිසිලකින් යුක්ත වුනා. 1900 ගනන් වල මුල් භාගයේදී ගැමි නිවාස වල වරිච්චි බිත්තියෙන් සැදූ නිවසක වුව හුනුබදාම ආලේප කොට අලංකාරව තිබුනත් ඒවායේ වහලට සෙවිලි කරන්නට යොදාගත්තේ සිංහල උලු. අඟල් කිහිපයක ඝනකමින් යුතු උලු තට්ටුව හරහා වහලට ලැබෙන දැඩි හිරුරැස් වල තාපය නිවස තුලට පැමිණීම බොහෝදුරට අඩු වුනා.
එම පැරණි නිවෙස්හී සැලසුම් බැලූ විට විශාල එලිමහන් කොටසක් ලෙස එලිපත්ත නිමවුනු අතර එලිපත්ත හෝ ඉස්තෝප්පුව කොටසේදි වහල තරමක් කොට වුවත් නිවාස අභ්‍යන්තරයේදී වහල වඩාත් උසින් යුක්ත වුනා. පැරණි ලන්දේසි ආක්‍ෘතියට අනුව නිමවුනු පැරණි නිවාස වල නම් වා කවුලු සහ කුඩා ප්‍රමාණයේ කාමරද නිවසේ අංගයක් වුනා. ඉහලින් සහ පහලින් යන දෙදිශාවෙන්ම වාකවුලු නිර්මිත වූ පැරනි මාදිලියේ නිවාස වල වායු සංසරණය වඩාත් සාර්ථක ලෙසින් ක්‍රියාත්මක වුනා.
විශාල ගහ කොල පිහිටි බිමක නිවස පිහිටා තිබු හෙයින් එයින්ද යම් සිසිලසක් නිවසට ලැබුනා. දරුවන් සෙල්ලම් කිරීමට නිවසේ ඉදිරිපස මිදුල යොදාගනු ලැබුවා. නිවසට අමුත්තෙක් ආ පසු වෙන්කර දීමට අමතර කාමර එකල බොහෝ ගැමි නිවෙස්හි නොතිබුන අතර පැදුරු කඩමාල්ලක් රැගෙන නිවසේ ඉදිරිපස පිලේ නිදාගැනීම එකල ගැමිගෙදරක ඉතාම සාමාන්‍ය සිදුවීමක්.
නිවාස ඉදිකිරීමේදී පරිවාරක ද්‍රව්‍ය වැඩිවශයෙන් භාවිත කිරීමත් සැලසුම අනුව වාතාශ්‍රය වැඩිමනක් ලැබෙන ආකාරයට නිම වීමත් නිසා එකල පැරණි නිවෙස් වලට අමතර යාන්ත්‍රික ක්‍රම මගින් වායු දහරා ඇතිකරන්නට හෝ අමුතුවෙන් වායුසමන සවිකරන්නට උවමනාවක් එදා ගැමියන්ට තිබුනේම නැති තරම්.
වර්ථමානයට අතීතයෙන් පාඩම්
වර්ථමානයේ ඉතාම පහසුවෙන් නිම කරවාගැනීමට ඇති හැකියාව නිසා මැටි ගැඩොල්, සිංහල උළු, විශාල දැවමය ජනේල ආදිය වෙනුවට ලෝහ තහඩු,සිමෙන්ති,කොන්ක්‍රීට්සහ සෙවිලි තහඩු වලින් නිවාස ඉදිකරන්නට බොහෝ අය පෙළඹී තිබෙනවා. එසේම නිවාස සැලසුම් සකස් කිරීමේදීත් සාමාන්‍ය වායු සංසරණ ක්‍රමවේද ගැන තැකීමක් කරන්නේම නැති තරම්. ඉඩකඩ සීමාවත් සමග තිබෙන ගහකොල පවා සියල්ලම ඉවත්කොට විශාල මාලිගා ලෙස නිවාස සකසාගන්නවා විනා සොබාදහම සමග අනුගත වීම දකින්නට ලැබෙන්නේ අඩුවෙන්.
අපි නිවසක් හෝ ගොඩනැගිල්ලක් ඉදිකරන්නට ප්‍රථම වායු සංසරණය, එතුල ඇති අභ්‍යන්තර වාතයේ ස්වභාවය ගැන මදක් හෝ සිතන්නට හැකි නම් පසුකලෙක වායුසමන යන්ත්‍ර වලට සහ පංකා වලට යන විශාල බලශක්ති වියදම් අඩුකරගන්නට ලෙහෙසියෙන්ම හැකි වේවි.
කවරයේ පින්තුරය: queenofretreats.com