ලංකාවේ දැකගත හැකි ස්ථූප වර්ග පහක්

බෞද්ධ විහාරස්ථානයක වැඳපුදාගත යුතු මූලික අංග තුනක් ඇත, එනම් ස්ථුපය, බෝධිය සහ බුදුගෙයයි. ස්ථුපයට සැම විටම පන්සලේ වැදගත්ම ස්ථානය හිමිවන අතර  විහාරස්ථානයේ පළමුව වැඳපුදාගතයුත්තේ එහි ඇති වෙහෙරටයි. මෙතරම් වැදගත් ස්ථානයක් හිමිවන්නේ මන්ද යත්; එය තනා ඇත්තේ යම් ධාතුවක් හෝ ධාතු කිහිපයක් නිධාන කරමිණි. බුදුරජාණන් වහන්සේගේ හෝ රහතන් වහන්සේ නමකගේ හෝ වෙනත් වැදගත් ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ ධාතු මෙලෙස දාගැබ් වල නිධන් කර ඇත. පහත රූපයේ දාගැබක ප්රධාන කොටස් දක්වා ඇත.

දාගැබක ප්රධාන කොටස්

දාගැබක ප්රධාන කොටස්

ස්තුපයක ගර්භය ඉතාමත්ම ශක්තිමත් පේසා වළලු කිහිපයක් මත තනා ඇත. දාගැබක ප්‍රමුකතම ලක්ෂණය වනනේ ගර්භයයි. මීට කලින් සඳහන් කල ධාතූන් වහන්සේලා නිධන් කර තබා අත්තෙය් දාගැබේ ගර්භය ඇතුළතයි. මෙයට ඉහළින් හතරැස් කොටුව පිහිටා ඇති අතර, ඇතැම් දාගැබ් වල පෙනෙන දේවතා කොටුව මේ මත තනා ඇත. කොනාකාර කොත් කැරැල්ල දාගැබේ ඉහලින්ම පිහිටා ඇති අතර, එය මත විශාල පලින්ගු මැණිකක් පිහිටුවා තිබේ.          

මෙම සාමන්යකෘත කොටස් වලින් ස්ථුපයක් සමන්විත වන නමුත්, ගර්භය විවිධ හැඩරූප ගනී. ලංකාවේ ස්ථුප පහත සඳහන් ප්‍රධාන හැඩ පහෙන් එකක් ගනී;

  1. බුබ්බුලාකාර (සබන් බුබුලක හැඩය ඇති)
  2. ධාන්‍යාකාර (වී ගොඩක හැඩය ඇති)
  3. ඝාන්ඨාකාර (සීනු හැඩය ඇති)
  4. ඝඨාකාර (කළයක් හැඩය ඇති)
  5. පද්මාකාර (නෙළුම් මලක හැඩය ඇති)

1.බුබ්බුලාකාර

ලංකාවේ ප්‍රසිද්ධතම ස්තුපය වන රුවන්වැලිසෑයේ ගර්භය මෙම හැඩය ගනී. එමෙන්ම, පොළොන්නරු රාජධානි සමයේ නිමවූ රන්කොත්වෙහෙර හා කිරිවෙහෙර යන චෛත්යයන් ද මෙම ස්වරූපය ගනී.

අනුරපුර රුවන්වැලි සෑය (ඡායාරූපය : රධිකා විජේසේකර)

අනුරපුර රුවන්වැලි සෑය (ඡායාරූපය : රධිකා විජේසේකර)

2. ධාන්‍යාකාර

දිවයිනේ ඇති ඉපැරණිම පන්සලක් වන කැළණිය රජමහා විහාරයේ දාගැබ මේ හැඩය ගනී. බුදුරජාණන් වහන්සේ කැලණියේදී ධර්ම දේශණා කරද්දී වැඩම කර සිටි, මිණි මුතු සහිත රන් සිංහාසනය මෙම දාගැබ තුල නිධන්කර ඇති බව පැවසේ. මෙම විහාරය අනුරාධපුර යුගයටත් ප්‍රථමව තනා ඇතිබවට විශ්වාස කෙරෙයි.

තවද, ගඩොලින් නිමවා ඇති ගොඩනැගිලි අතරින් ලොව විශාලතම ඉදිකිරීම වන ජේතවනාරාමය ද, අභයගිරි ස්තුපය ද, මෙලෙස ධාන්‍යාකාර ස්වරූපයක් ගනී.

කැලණිය රාජමහා විහාරය. (ඡායාරූපය : රධිකා විජේසේකර)

කැලණිය රාජමහා විහාරය. (ඡායාරූපය : රධිකා විජේසේකර)

3. ඝාන්ඨාකාර

ලංකාවේ දාගැබ් අතරින් සුලභවම දක්නට ඇති හැඩය මෙයයි. මෙරටට බුද්ධාගම පැමිණිමෙන් පසු තැනූ පළමු දාගැබ ලෙස සැලකෙන අනුරාධපුර ථුපාරාමය මෙලෙස ඝාන්ඨාකාර හැඩති දාගැබකි. එය එතරම් විශාල ඉදිකිරීමක් නොවන නමුත් ඉහත සඳහන් කරුණ හේතුවෙන් එක ලංකාවේ වැදගත්ම විහාරයක් වේ. තවද, මෙමෙ දාගැබේ ගර්භය තුල බුදුරජාණන් වහන්සේගේ අකු ඇට ධාතුව (collar bone) නිධන් කර ඇත.

අනුරාධපුර ථුපාරාමය (ඡායාරූපය : රධිකා විජේසේකර)

අනුරාධපුර ථුපාරාමය (ඡායාරූපය : රධිකා විජේසේකර)

4. ඝඨාකාර

කලයක හැඩය ගත් මෙම ගර්භය හා බුබ්බුලාකාර ගර්භය අතර ඇත්තේ ඉතා සුළු වෙනසකි. ඝඨාකාර ගර්භය නියම අර්ධ කවාකාර ස්වරූපයක් ගන්නා අතර බුබ්බුලාකාර ගර්භය පේසා වළලු හමුවන ස්ථානයේ දී එයට ලම්බකව නිමවා ඇත.

තිස්සමහාරාමය (ඡායාරූපය : රධිකා විජේසේකර)

තිස්සමහාරාමය (ඡායාරූපය : රධිකා විජේසේකර)

5. පද්මාකාර

නෙළුම් මලක හැඩය ගත් ස්ථුප ලංකාවේ වැඩිපුර දක්නට නැත. එහෙත් මෙම හැඩයට තැනූ විහාර කිහිපයක් උදාහරණ වශයෙන් දැක්විය හැක. මිහින්තලේ ඉඳිකටුසෑය, අනුරාධපුර විජයාරාමය සහ, තනා නිම කල නොමැති පොළොන්නරුවේ පිහිටි දෙමළ මහා සෑය යනාදිය මෙලෙස පද්මාකාර ස්ථුප වේ. අනිත් දාගැබ් ස්වරූප හා සැසඳූ කල කැපී පෙනෙන්නේ, පද්මාකාර ස්ථුපයේ ඇති විශාල පේසා වළලුය.

අර්ධ සම්පූර්ණ දෙමළ මහා සෑයේ ඉහළ කොටස (ඡායාරූපය : චමින්ද ජයරත්න)

අර්ධ සම්පූර්ණ දෙමළ මහා සෑයේ ඉහළ කොටස (ඡායාරූපය : චමින්ද ජයරත්න)

ගර්භ ස්වරූප පහකට පමණක් සීමිතද?

ඉහත විස්තර කෙරුණු ස්වරූප පහ ලංකාවේ පැරණි දාගැබ් අතර බහුලවම දක්නට ඇති හැඩයන්‍ය. ආමලාකාර යනුවෙන් හැඳින්වෙන තවත් ගර්භ ස්වරූපයක් තිබෙන නමුත්, එම හැඩය ගත් විහාර අද ලංකාවේ දක්නට නැත. ආමලාකාර යනු නෙල්ලි ගෙඩියක හැඩය ගත් ස්ථුපයකි. එහෙත්, අමලාකර හැඩයට නිමවූ ධාතු කරඬුවක් ලංකාවේ සොයාගෙන ඇත.

ලංකාවේ අලුතෙන් සාදන සමහර දාගැබ් මීට වඩා නවීන හැඩයන්ගෙන් නිම කර ඇත.

තවද, ලංකාවෙන් බැහැරව ඇති බෞද්ධ විහාරස්ථාන වල දාගැබ් මීටවඩා හාත්පසින්ම වෙනස් ස්වරූප ගනී. මියන්මාරයේ ප්‍රමුඛතම විහාරස්ථානය වන ශ්වේදගොන් පැගොඩාව කේතුවක් මෙන් තනා ඇත. තවත් විවිධාකාර ලෙස නිමවා ඇති දාගැබ දහස් ගණන් ම්යන්මාරයේ පැරණි බගාන් රාජධානියේ අදත් දක්නට ඇත. නේපාලයේ හා තායිලන්තයේ ද ලංකාවේ දක්නට ඇති දාගැබ වලට වඩා වෙනස් හැඩයෙන් යුත් විහාරස්ථාන දක්නට ඇත.

ම්යන්මාරයේ යැන්ගොන් නුවර ශ්වේදගොන් පැගොඩාව (ඡායාරූපය : රධිකා විජේසේකර )

ම්යන්මාරයේ යැන්ගොන් නුවර ශ්වේදගොන් පැගොඩාව (ඡායාරූපය : රධිකා විජේසේකර )

වෙනත් සුවිශේෂ හැඩයෙන් තැනූ ස්ථුප ලංකාවේ තිබෙනවද?

කොළඹ, කොටහේනේ පිහිටි දීපදුත්තාමාරාමය තායිලන්තයට වැදගත් වන විහාරයකි. 1775 වර්ෂයේ දී තායිලන්ත කුමරෙකු විසින් තැනවූ මෙය, කොළඹ නගරය ඇතුලත තැනු පළමු බෞද්ධ විහාරස්ථානයයි.

වස්කඩුවේ ශ්‍රී සුභූති මහනායක ස්වාමීන් වහන්සේ සහ බුරුම හා සියම් රාජ්‍යයන් අතර සිදුවූ සුහද හුවමාරු හේතුවෙන් මෙම තායිලන්ත කුමාර බුදු සසුන වැළඳගෙන ලංකාවේදී මහණ විය. ඔහු ඉන්පසු ජිනවාරවන්ස ස්වාමින් වහන්සේ යන නමින් හඳුන්වා ඇත. 1904 වර්ෂයේදී උන් වහන්සෙය් මෙම විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ බවට පත් විය.

අවසාන වශයෙන්;

සමහර පැරණි ස්ථුපවල ආරක්ෂාව පිණිස වටදාග තනා ඇත. අනුරපුර ථුපාරාම දාගැබ වටකර ඇති ගල් කුළුණු වළලු තුන මෙලෙස තැනවූ වටදාගෙයක කොටස්ය. අද ලංකාවේ ඇති ප්‍රසිද්ධතම වටදාග තුනකි; එනම් තිරියාය (දිවයිනේ තැනුණු පළමු විහාරය), මැදිරිගිරිය සහ පොළොන්නරු වටදාගෙයයි. මේවා සම්බන්ධ වැඩි විස්තර වෙනත් දවසක විමසමු.

කරුණු උපුටාගත් මූලාශ්‍ර : http://www.srilankaheritages.com/, Ancient Stupas in Sri Lanka – Largest brick structures in the world (Munidasa P Ranaweera), Buddhist Stupa in Sri Lanka (Dilbhadra Maharjan), Origination and development of the stupa (Ven. Polgolle Kusaladhamma), Little known Thai temple with a long history (www.sundaytimes.lk)

Related Articles

Exit mobile version