යාන්ඔයෙන් මතුවූ කොක්එබේ මෙගලිතික මානවයාගේ පැටිකිරිය

මහාශිලා හෙවත් මෙගලිතික සුසාන කියන විට ම අපට මතක් වන්නේ දඹුල්ලේ ඉබ්බන්කටුව සුසානය යි. ඉබ්බන්කටුවටත් වඩා පැරණි දින වකවානුවකට අයත් කහටගස්දිගිලිය කොක්ඇබේ සුසානය ගැන වැඩි පිරිසක් දන්නේ නැහැ.

මහා වනාන්තරයක් මැද පුරාණ නටබුන් සංඝාරාමයකට නුදුරින් පිහිටි කොක්ඇබේ මහා ශිලා සුසානය ගැන කළ සොයා බැලීමක් මේ.

 යාන්ඔය නිම්නයේ කොක්එබේ – archaeogy.lk

යාන්ඔය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොක්එබේ අවට දැඩි වියළි කාලගුණයෙන් බැට කන පෙදෙසක්. මේ මිටියාවතට ජලය සපයන්නේ යාන් ඔය මඟින්. ශ්‍රී ලාංකික බෞද්ධ ශිෂ්ටාචාරයට අයත් විනාශ වී ගිය නටබුන් ස්ථාන රාශියක් කොක්ඇබේ අවට පිහිටා තිබෙනවා.  පුරාණ විහාර ආරාමවල නටබුන් හැරෙන්නට මෑතකදී මේ මිටියාවතේ පිහිටි මහාශිලා සංස්කෘතියට අයත් ජනාවාස සහිත බිමක් පිළිබඳව පර්යේෂණ සිදු වුණා.  

රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය තුසිත මෙන්ඩිස් ඇතුළු විද්වතුන් කොක්ඇබේ මිටියාවතේ, යාන්ඔය නිම්නයේ සිදු කළ පුරාවිද්‍යා ගවේෂණයක දී පූර්ව ඓතිහාසික යුගයට අයත් මෙගලිතික සුසාන භුමියේ නටබුන් කැණීමෙන් අපුරු තොරතුරු රැසක් අනාවරණය කර ගත්තා.  

අනුරාධපුර රිටිගල කඳුවැටියේ බෑවුම්වලින් ආරම්භ වන යාන්ඔය  රිටිගල හා හුරුළුවැව රක්‍ෂිත වලින් පෝෂණය ලබා ගලෙන්බිදුණු වැව, මොරකෑව, හොරොව්පතාන, රත්මලේ, කපුගොල්ලෑව, කහටගොල්ලෑව, ගෝමරන්කඩවල ආදී ප්‍රදේශ සරුසාර කරමින් ගලා යන ජල ප්‍රවාහයක්. එය මුහුදට වැටෙන්නේ ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ කල්ලරාව අසලින්.

මේ ජලයෙන් පෝෂිත මධ්‍ය යාන්ඔය නිම්නයේ  සෑම පූර්ව ඓතිහාසික ස්ථානයක් ආශ්‍රිත ව කුඩා වැවක් වර්තමානයේ දී ද හඳුනාගත හැකි යි. නියං සමයේදී ජලය බොහෝ දුරට අඩුවන මේ ඔය වැසි සමය තුළ දෙගොඩ තලා යන මහා ජල කඳක් බවට පත් වෙනවා. එම තැනිතලාවේ වැව් ඉදි කර ජල හිඟය තරමක් දුරට අඩුකර ගැනීමට අතීත මිනිසුන් කටයුතු කර තිබුණා.  

 කොක්එබේ අවට වැවක්- Lanka-excursions-holidays.com

කොක්එබේ

අනුරාධපුර සිට හොරොව්පතාන මාර්ගය හරහා හෝ හබරණ සිට පලුගස්වැව හරහා මධ්‍ය යාන්ඔය නිම්නයේ පිහිටි කොක්එබේ ගම්මානයට යන්න පුළුවන්. කොක්එබේ විවිධ තැන්වල කොක්එබේකොක්-එබේකොක්ඇබේ සහ කොක් ඇබේ ලෙස විවිධාකාරයෙන් ලියනු දැකගත හැකි යි. මෙම ගම්මානය පුරාණයේ මහදුටුවැව නමින් ද  හඳුන්වා තිබෙනවා. ගම්මානය යාන් ඔයට ආසන්නයෙන් පවතින බැවින් වැසි කාලවල දී යාන් ඔය පිටාර ගලා වළවල්වල වතුර එකතු වී තිබෙනවා.

ඉබේ සෑදුණු වළවල් යන අර්ථයෙන් ගැමියන් මේවා එබේ” ලෙස හඳුන්වා තිබෙනවා. ජලය හිඟ කාලයට ගැමියන් මෙම වළවල් වල එබී නාන බැවින් ඒවා පසුකාලීනව එබේ” නම ලැබූ බවට තවත් මතයක් ද තිබෙනවා. දැඩි වියළි කාලගුණයට අයත් පෙදෙසක් වන කොක්ඇබේ නිතර ජල හිඟයෙන් පීඩා වින්ඳා.  කොක්ඇබේට නුදුරින් යාන්ඔය හරස් කර ජලාශය ඉදිකිරීමේ අරමුණ වුණෙත් මේ ජල හිඟය දුරු කිරීම යි. ජලාශයට යටවන බිම් පෙදෙස්වල පුරාවිද්‍යා නටබුන් පිළිබඳ සොයා බැලීමට ජලාශය ඉදිකිරීමට පෙර ඒ අවට පුරාවිද්‍යා ගවේෂණයක් ද සිදු වුණා.  

 පූර්ව ඓතිහාසික ජනාවාසයක් – Sites.google.com

මෙගලිතික සුසානය ගැන පර්යේෂණ

කහටගස්දිගිලිය පඩරැල්ලාව ගම්මානයට නුදුරු මහවන මැද තමයි කොක්ඇබේ පුරාණ සුසානය පිහිටා ඇත්තේ. මේ අවට පිහිටි පුරාණ ආරාම සංකීර්ණයක් පුරාවිද්‍යා දෙපාර්තම්න්තුව 1970 දශකයේ සංරක්ෂණය කළා.  කටාරම් සහිත ලෙන් රාශියක් ද එහි පිහිටා තිබෙනවා. 1970 දශකය වන විට කොක්එබේ මෙගලිතික සුසාන භූමියක් ලෙස ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හඳුනා ගෙන තිබුණා.  1979 පුරාවිද්‍යා කොමසාරිස්ගේ පරිපාලන වාර්තාවේ සඳහන් වන් වනයෙන් වැසී තිබුණු බිමේ වෘක්ෂලතාදිය ඉවත් කිරීමෙන් පසු ශිලා මංජුසා සූසාන 201 ක සලකුණු මතුවී බවයි.

පුරාවිද්‍යා කොමසාරිස් සිටි ආචාර්ය රාජා ද සිල්වා සහ කේ. එස්. සිත්‍රම්පලම් කළ පර්යේෂණ වාර්තාවක ද  කොක්එබේ   සුසාන 200 ක් පමණ ඇති බව සඳහන් කර තිබෙනවා. ආචාර්ය ශිරාන් දැරණියගල 1982 දී පළ කළ  වාර්තාවක ඔහු කොක්ඇබේ වවුල්ලෙන තුළින් සොයාගත්  ගල් ආයුධ විය හැකි පාෂාණ පතුරු ගැන සඳහන් කර තිබෙනවා.  1984 දී සුදර්ශන් සෙනෙවිරත්න විසින් කළ ගවේෂණයකට අනුව මෙහි අක්කර 10-15 ක භූමි ප්‍රමාණයක් ආවරණය වන පරිදි ශිලා මංජුසා සුසාන පවතින බව වාර්තා කරනවා.

 වන මැද කැණීම් කරමින්- departmentofarchaeologyrajarata.blogspot.com

රජරට සරසවියේ පර්යේෂණ

කොක්එබේ මෙගලිතික සුසාන භූමිය පිළිබඳ නවත ම අධ්‍යයනය  සිදු කළේ රජරට විශ්ව විද්‍යාලය යි.  ඔවුන් වනාන්තරයේ  අක්කර 25 ක පමණ භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි කළ ගවේෂණයෙන් අනාවරණය වූ සුසාන සොහොන් ගැබ් 267 ක් වාර්තා කළා.

මෙම සුසානයෙන් මුලින් සිතා සිටියාට වඩා සුවිශේෂී ආකාරයේ සොහොන් ගැබ් සොයා ගැනීමට ලැබී තිබෙනවා.  යාන්ඔය නිමිනයෙන් හමුවූ තඹ මිශ්‍ර ලෝහ සමඟ සේරුවිල තඹ නිධිය හා සම්බන්ධතාවක් ඇතැයි ආචාර්ය තුසිත මෙන්ඩිස් පෙන්වා දෙනවා.  යාන්ඔය නිම්නයේ ක්‍රිස්තු පූර්ව හාරසියය පමණ කාලයේ දී ජීවත්වූ පිරිස  දියුණු තාක්ෂණයක් සහිත පිරිසක් වියහැකි බව මෙගතිලික සුසානවලින් හමුවන ද්‍රව්‍යවලින් පෙනීයන බව ආචාර්ය මෙන්ඩිස් පෙන්වා දෙනවා.

 ශිලා මංජුසා සුසානයක්- Thusitha Mendis- archaeogy.lk

සුසාන ආකෘති පහක්

රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශය කොක්එබේ මෙගලිතික සුසාන භූමිය ආශ්‍රිත ව කළ  පර්යේෂණවලදී  ගල් සොහොන්  ගැබ් 267ක් පමණ පවතින බව හඳුනා ගැනීමට ලැබුණා. එම ගවේෂණයේ දී සුසාන භූමිය ආශ්‍රිත ව එතෙක් හඳුනා ගෙන තිබූ ශිලා මංජුසා සුසාන ආකෘතියට අමතර ව තවත් සුසාන ආකෘති හතරක් පවතින බව පර්යේෂකයන්ට  මුල් වරට හඳුනා ගැනීමට ලැබීම විශේෂයක්.  එසේ හඳුනා ගත්  සුසාන ආකෘති පහත ආකාරයක් ගන්නා බව ආචාර්ය තුසිත මැන්ඩිස් සඳහන් කරනවා:

ශිලා මංජුසා සූසාන (Cist burial)

ශිලා කේතුක සූසාන (Cairn heap / Cairn mounds)

ශිලා මණ්ඩල සූසාන (Cairn circle)

ශිලා පෙළ සූසාන (Alignment)

බරණි සුසාන (Urn pot) (මැන්දිස් 2016:150-153)

 කොක්එබේ වර්තමාන කුඹුරු යායක්  – Lanka-excursions-holidays.com

සුසානයේ කැණීම්

මෙගලිතික සොහොන් භූමිය ආශ්‍රිත මූලික ගවේෂණයෙන් පසු ව තෝරා ගත් සුසාන තුනක පර්යේෂණ පුරාවිද්‍යා කැණීම් සිදු කළා. ඒ සඳහා පුරාවිද්‍යාඥයන් සමඟ රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා සිසුන් ද සහභාගි වුණා.  කැණීම් සිදුවන අවස්ථාවේ දී පුර්ව ඓතිහාසික යුගයේ මධ්‍ය යාන්ඔය නිම්නයේ ජීවත් වූ මිනිසුන්  නිර්මාණය කර භාවිත කළ උපකරණවල අවශේෂ රාශියක් මතු කර ගැනීමට ලැබුණා.  විවිධ හැඩයන්ගෙන් යුත් කාලරක්ත වර්ණ මැටි බඳුන් (Black and Red Ware) හා නිල්, කොළ, දුඹුරු වැනි පාටවලින් නිපද වූ 100කට අධික වීදුරු පබළුත් හමු වූ දෑ අතර තිබුණා.

 ඇත් දළවලින් නිර්මාණය කළ පබළු කිහිපයක් හා කානීලියන්වලින් නිර්මිත පබළු ද හමු වූ පුරාවස්තු අතර දැකගත හැකිව තිබුණා.  එම දේවල්  සියල්ල ම ලැබුණේ සුසාන තැන්පතු ලෙස සුසාන කුටිය තුළ මිනිස් අස්ථි  සමඟ තැන්පත් කර තිබු ඒවා ලෙස යි.  ඉබ්බන්කටුව ඇතුළු වෙනත් මහාශිලා සුසාන භුමිවලින් ද මෙවැනි දේවල් ලැබී තිබෙනවා. මියගිය පුද්ගලයා ජීවත් ව සිටි කාලයේ දී ඔහු හෝ ඇය භාවිත කළ දෑ මෙසේ තැන්පත් කරන්නට ඇති බවයි පේන්නේ.

 කැණීම්වලින් ලැබුණු මැටි භාණ්ඩ- silumina.lk

කාල නිර්ණය

සුසාන බරණි ඇතුළෙන් ලබාගත් අඟුරු සාම්පල තුනක් අමෙරිකාවේ මියාමි හි  බීටා ඇනලිටික් ආයතනයට යවා රේඩියෝ කාබන් කාලනීර්ණ ක්‍රමය අනුව කාලය සොයා ගැනීම සිදුවුණා. එක් අඟුරු සාම්පලයක් ක්‍රිස්තු පූර්ව 790 (අදින් අවුරුදු 2,790) කාලයටත්, අනෙක් සාම්පලය ක්‍රිස්තු පූර්ව 770ටත් (අදින් අවුරුදු 2,770) තුන් වැනි සාම්පලය සඳහා  ක්‍රිස්තු වර්ෂ 50ටත් (අදින් අවුරුදු 1967) යන කාලනීර්ණ ලැබී තිබෙනවා. මේ අනුව කොක්එබේ මහාශිලා සුසානය ක්‍රිස්තු පූර්ව 790 සිට ක්‍රිස්තු වර්ෂ 50 දක්වා වූ අවම වශයෙන් අවුරුදු 840 භාවිත කර ඇති බව හෙළිව තිබෙනවා.

එය සහශ්‍රක වර්ෂයකට ආසන්න දීර්ඝ කාලයක්. ලංකාවේ මෙගලිතික සුසානයක් සඳහා ලැබුණු පැරණිත ම කාලනීර්ණය ද මෙය යි. යාන්ඔය නිම්නය ආශ්‍රිත පූර්ව ‌ඓතිහාසික යුග සංස්කෘතිය අනුරාධපුරය ඇතුළු පුරය තරම් ම පැරණි බව මෙම දත්තවලින් හෙළීවන කරුණක්. පූර්ව ඓතිහාසික සංස්කෘතියට අයත් කැණිම් නොකළ  සුසාන විශාල ප්‍රමාණයක් මධ්‍ය යාන්ඔය නිම්නයේ පිහිටා තිබෙනවා.  එලෙස ජනාවාස රාශියක් බිහිවීමට ආහාර පහසුවෙන් සපයා ගැනීමට හැකිවීම,  ලෝහ තාක්‍ෂණ ශිල්පයේ දියුණුව ඇතුළු හේතු බලපාන්නට ඇති බවයි පේන්නේ. අදටත් මේ අවට සශ්‍රීක කෘෂි කර්මාන්තයක් සිදුවනු දැකගත හැකි යි.

කවරයේ ඡායාරූපය- මහා ශිලා සුසාන ගර්භයක් සහ කැණීම්වලට සහභාගි වූ කණ්ඩායම - departmentofarchaeologyrajarata.blogspot.com 

මූලාශ්‍ර:

Lankadeepa.lk

Amazing lanka.com

Archeaogy.lk

Related Articles

Exit mobile version