ලංකාවේ දැන් හැම තැනකටම වගේ ඉන්ටර්නෙට් එක පැතිරිලා තියෙන්නේ. ඉස්සර සල්ලි ගෙවලා ෆෝන් ලයින් එකෙන් ගන්න. ඒ වුණත් දැන් නොමිලේම වගේ සිම් එකක් ගන්න පුළුවන්. 2000ට තියෙන ෆෝන් වලින් පවා ඉන්ටර්නෙට් යන්න පුළුවන්. ඉස්සර KB එකකට සත දෙකක්, නැතිනම් GB එකට රුපියල් 20,000ක් (ඔව්, එහෙම කාලයක් තිබුණා!) අය කරාට දැන් GB එකක් රුපියල් 100ටත් අඩුවෙන් මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් හැම තැනකම පැතිරිලා තියෙන්නේ. ඉතින් කාට වුණත් දැන් ඉන්ටර්නෙට් සම්බන්ධතාවක් ගන්න බැරි කමක් නෑ.
කොහොම වුණත් ලංකාවේ වැඩි දෙනෙක්, විශේෂයෙන්ම වැඩිහිටි පරම්පරාව පරම්පරාව පත්තර කියවලා තමයි තොරතුරු දැන ගන්න යොමු වෙලා තියෙන්නේ. වැඩි දෙනා මිලට ගන්නෙත් තමන්ගේ මවු භාෂාවෙන් පළ කරන පත්තර තමයි. ඉන්ටර්නෙට් එක තුළ සිංහල දෙමළ වෙබ් අඩවි මොන තරම් තිබුණත් වැඩි දෙනා කැමතියි පත්තරයක් නිදහසේ කියවන්න පුළුවන් එකට. ගෙදර විවිධ දේට පත්තර කොළ අවශ්‍ය නිසා හරි හැම ගෙදරකටම වගේ අනිවාර්යෙන් සති අන්ත පත්තරයක්වත් ගේනවා.
ඉතින් මේ පත්තර වල වාර්තාකරණය කොයි වගේද? ලඟදි පටන් ගත්තු Ethics Eye නැත්නම් “සදාචාරයේ ඇස” කියන විමර්ශන ආයතනයක් තියෙනවා. සිංහල, දෙමළ හා ඉංග්‍රීසි කියන ලංකාවේ පාවිච්චි වන ප්‍රධාන භාෂා වලින් පළ කෙරෙන පුවත් පත් වල මාධ්‍ය සදාචාරය දරුණුවටම උල්ලංඝණය කරන තැන් ගැන සෙවිල්ලෙන් ඉන්න එක තමයි එයාලගේ ප්‍රධාන රාජකාරිය.
මෙන්න එහෙනම් එයාල හොයා ගත්තු තොරතුරු කිහිපයක්.
අනතුරු, විනාශයන් වවාගෙන කන එක
ලංකාවේ ප්‍රධාන මාධ්‍ය හැම එකක්ම මේ ලඟදි සිදු වුනු කණගාටුදායක දුම්රිය අනතුරක් ගැන සෑහෙන්න උනන්දු වුණා. දෙහිවල ප්‍රදේශයේදී කොළඹ පාසලක ගැහැණු ළමයි දෙන්නෙක් දුම්රියේ හැප්පිලා මිය ගිය එක තමයි ඔවුන්ගේ ප්‍රධාන ප්‍රවෘත්තිය වුණේ. කොහොම වුණත් මේක වාර්තා කරපු විදිහ නම් හරිම පිළිකුල් සහගත බව කාටත් තේරෙන්න ඇති. Ethics Eye එකට අනුව ලංකාවේ ප්‍රධාන පුවත් පත් හතකින් හයක්ම මේ ගෑනු ළමයි දෙන්නාගේ ලස්සන ගැන ලොකු අවධානයක් දීල තිබුණා. පැහැදිළිවම අනතුරකට ලස්සනේ අදාළත්වයක් තියෙන්න බැහැනේ නේද? මේ විදිහට අනවශ්‍ය ප්‍රචාරණයක් ගෙන ගියපු පත්තර අතර රජයේ ප්‍රධාන පුවත් පත වන සිළුමිණත්, වැඩිම අලෙවියක් තියන ලංකාදීප පත්තරයත් තිබුණා කියලා කියන්නත් ලැජ්ජයි. මේ ගැහැණු ළමයි දෙන්නගේ ලස්සන ගැන ප්‍රචාරණයක් නොදී සිදු වීම ගැන විතරක් වාර්තා කරපු එකම පුවත් පත ලක්බිම විතරයි.
අනිත් අතින් ඉංග්‍රීසි පත්තර මේ ළමයින්ගේ ලස්සන ගැන විශේෂ අවධානයක් දීල නොතිබුණත් එයාලගේ පෞද්ගලික ඡායාරූප පළ කරලා තිබුණා. රජයෙන් මුද්‍රණය කරන සති අන්ත ඉංග්‍රීසි පත්තරයක් කිසිම හැඟීමක් නැතිව ඔවුන්ව “මැලවුණු මල්” (Wilted Flowers) කියලා හඳුන්වලා තිබුණු බව Ethics Eye එකෙන් දැන ගන්න ලැබුණා.
වගකීමක් නැතිව ප්‍රවෘත්ති පළ කිරීම
අප්‍රේල් 25 වන දා පුද්ගලික අංශයෙන් පළ කෙරෙන ජාතික පුවත් පතක මේ විදිහේ සිරස්තලයක් පළ කරලා තිබුණා. “R. සම්බන්ධන් සමග ටීඑන්ඒ පිරිස් කිලිනොච්චි හමුදා කඳවුරකට පැනලා”
කොහොම වුනත් Ethics Eye එකෙන් කියන්නේ මුළු පුවත්පත පුරාවටම සම්බන්ධන්ගෙන් ගත්තු කිසිම ප්‍රකාශයක් හරි පිළිතුරක් හරි තිබුණේ නැහැ කියන එකයි. මේ වගේ බරපතල චෝදනාවක් එල්ල කරද්දී ඒ ගැන අදාළ පුද්ගලයාගේ අදහස මොකක්ද කියන එකත් පල කරන්න අවශ්‍යයි නේද?
“අඩුම වශයෙන් අදාළ පුද්ගලයා සම්බන්ධ කර ගන්න උත්සාහ කළත් නොහැකි වුණා, අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා වගේ දෙයක් තියෙන එක අත්‍යවශ්‍ය දෙයක්” නම කියන්නට අකමැති වුණු ප්‍රකාශකයෙක් අපිට කිව්වේ එහෙමයි.
ලංකාවේ පුවත්පත් වාර්තා පිලිබඳ පැමිණිලි විභාග කිරීමේ කොමිසම (Press Complaints Commission of Sri Lanka – PCCSL) මගින් ලබා දී ඇති නිර්දේශ වලට අනුව යම් අවස්ථාවක වැරදි ප්‍රවෘත්තියක් පළ වීම නිසා තමන්ගේ කීර්තියට හානියක් වුනොත් ඔවුන්ට එම පුවත්පතටම පිළිතුරක් යැවීමට උනන්දු කෙරෙනවා. ඒ වගේ අවස්ථාවක ඒ පිළිතුරු ලිපිය පළ කිරීම සහ වැරදීමක් වෙලා ඇත්නම් සමාව ගැනීම හා/හෝ අතිරේක හේතු ඉදිරිපත් කිරීම තමයි සදාචාරාත්මක මාධ්‍යකරණයක අත්‍යවශ්‍ය කරුණක් වෙන්නේ. විශේෂයෙන්ම බරපතල චෝදනාවක් එල්ල කරන වෙලාවක මේ වගේ ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන එක අත්‍යවශ්‍ය වෙනවා.
ලිංගික අපරාධ වාර්තාකරණය සහ කාමුක හැඟීම් අවුස්සන එක අතර වෙනස
ලිංගික අපරාධයක් වාර්තා කරද්දී පුවත්පත් වලට උපදෙස් දීල තියෙන්නේ පාසල් යන දරුවෙක්ට වුණත් කියවන්නට සුදුසු විදිහට ඒ දේ වාර්තා කරන්න කියලයි. Ethics Eye එකට අනුව ලඟදි සිදු වුන ලිංගික අතවරයක් ගැන වාර්තා කරද්දී එක්තරා දෙමළ පුවත්පතක් අදාළ තරුණියගේ රූසපුව ගැන විස්තරාත්මක වර්ණනාවක් කරන්න පෙළඹිලා. ඒ වගේම සිංහල පුවත්පත් පවා මේ විදිහට අතවරයන්ට ලක් වුනු කාන්තාවන් ගැන වාර්තා කරද්දී රූමත්, සුරූපී වගේ අනවශ්‍ය වචන උලුප්පලා දක්වන්න යොමු වෙන බව තමයි ඔවුන්ගේ අදහස.
ඒ වගේම දුෂණය වෙනවා, කෙළෙසනවා වගේ වචන පාවිච්චි කරන එක කිසිසේත් සුදුසු නැති බවයි Ethics Eye එක කියන්නේ. මේවගේ වචන පාව්ච්චි කිරීම මගින් එසේ අතවරයන්ට ලක් වූ අය සිවිල් සමාජයට නුසුදුසු අපිරිසිදු වූ අය බවට ව්‍යංගයෙන් හැඟවෙනවා කියලා තමයි ඔවුන්ගේ අදහස. මේ වගේ නරක විදිහට වාර්තා කිරීමෙන් වෙන ලොකුම හානිය තමයි තමන්ට සිදු වෙන ලැජ්ජාව නිසා මේ විදිහේ අතවරයක් සිදු වුණාම ඒ ගැන නීතිය හමුවට එන ප්‍රමාණය අඩු වෙන එක. අතවරය, ලිංගික අපයෝජනය කියන වචන දෙක පාවිච්චි කරන්න කියලා තමයි Ethics Eye එකේ උපදෙස වෙන්නේ.
ඡායාරූප පළ කරන්නේ පරිස්සමෙන්!
අතවරයන්ට ලක් වූ සිද්ධියක් වාර්තා කරද්දී අතවරයට ලක් වූ පුද්ගලයා හඳුනා ගන්න පුළුවන් විදිහේ තොරතුරක් වාර්තා කරන එක කිසිසේත් සුදුසු නැහැ. විශේෂයෙන්ම නම පළ කිරීම හෝ ඡායාරූප පළ කිරීම කරන්න ඕන ඒ පුද්ගලයාගේ හෝ භාරකරුවෙක්ගේ අනුදැනුම මත පමණයි. විශේෂයෙන්ම අතවරයට ලක් වුණේ බාල වයස්කරුවෙක්/කාරියක් නම් මේ උපදෙස අනිවාර්යෙන් අනුගමනය කරන්න අවශ්‍යයි.
අතවරයකට ලක් වූවෙක්ගේ නම් හෝ ඡායාරූප පළ කිරීමේදී සැලකිලිමත් වෙන්න.
නීතියෙන් වරදකරුවෙක් කරන තුරු සැකකරුවෙක් පමණයි
හැම වෙලාවකදීම පෙනෙන්න තියෙන දෙයක් තමයි යම් වරදකට අත්අඩංගුවට ගත සැකකරුවන්ව මිනීමරුවා, දුෂකයා, හොරා වගේ නම් වලින් හැඳින්වෙන එක. මේක බොහෝ වෙලාවට උසාවියකට ඉදිරිපත් කරන්නත් කලින් දකින්නට ලැබෙනවා. සැකකරුවන්ගේ ඡායාරූප, නම් එහෙම ඔවුන්ගේ අනාගතයට සිදු විය හැකි හානිය ගැන කිසිම සැලකිල්ලක් නොදක්වා පළ කරනවා. (ඔවුන් බාලවයස්කාරයන් වුණත්) මේකට හොඳම උදාහරණයක් විදිහට සේයා දැරියගේ ප්‍රශ්නය ගැන වාර්තා කිරීම පෙන්නලා දෙන්න පුළුවන්. මාධ්‍ය නීතිය තමන්ගේ අතට අරගෙන එක මනුස්සයෙක් වැරදිකරුවා කළත් අවසානයේ ඔවුන්ටම එහි අදුරදර්ශී බව නිසා තවත් කෙනෙක් වරදකරු වූ විට ලජ්ජා වෙන්න සිද්ධ වුණා.
Ethics Eye එකේ ප්‍රකාශකයෙක් Roar එකට කිව්වා තමන්ගේ ආයතනයෙන් දීල තියෙන නිර්දේශ වලට අනුව කිසිදු බාලවයස්කාර දරුවෙක්ගේ පාසල් ජීවිතයට හානියක් සිදු වෙන විදිහේ නම් පළ කරමින් පුවත් වාර්තාකරණයක් සිදු කළ යුතු නැහැ කියලා.
වැරදි තොරතුරු පළ කළොත් ලැජ්ජාව තමන්ටමයි
මේක නම් ඒ තරම් පැහැදිලි කරන්න දේකුත් නෙවෙයි. හැම වෙලාවකම තහවුරු කළ හැකි දේවල් විතරයි පළ කරන්න ඕනේ. ඇත්ත විකෘති කරලා පල කරන එක මාධ්‍ය සදාචාරයට පටහැනියි වගේම අනිවාර්යයෙන්ම පිටු දකින්න අවශ්‍ය ක්‍රියාවක්.
Ethics Eye දෙන උදාහරණයකට අනුව තහවුරු කර ගත්තේ නැති, කවුරුත් කිව්ව පලියට විශ්වාස කරමින් තමන් දන්නවා වගේ පළ කිරීමෙන් පසුව තමන්ටම ලැජ්ජාවට පත් වෙන්න සිදු වේවි. දෙහිවල සිදු වූ දුම්රිය අනතුර ගැන මුලින් පල වූ වාර්තා බැලුවම මේ ගැහැණු ළමුන් දෙන්නා ඉයර් ෆෝන් පැළඳ හිටපු බව කියවුණා. පස්සේ එහෙම නැති බව පල වුනත් මේ සිද්ධිය නිසා ඉයර් ෆෝන් හෙඩ් ෆෝන් වල හානිකර බව ගැන මත පළ කරන එක සෑහෙන්න ඉහළ ගියා.
Ethics Eye ආයතනය දැන් මේ විදිහේ මාධ්‍ය සදාචාරය පැහැදිලිවම උල්ලංඝනය කරන අවස්ථා ගැන විමසිල්ලෙන් ඉන්නවා. නිවැරදිකිරීම් සහ සමාව අයැදීම්, රහසිගත මුලාශ්‍ර, ජර්නල් ලිවීම හා වාර්තාකරණය, පෞද්ගලිකත්වය, බලපෑම් කිරීම, අවශ්‍යතාව හඳුනා නොගැනීම වගේ අංශ වලට වර්ග කරලා එක්රැස් කිරීමේ වැඩක් පටන් අරගෙන.
ඔබ “ලේ කකියන දේශප්‍රේමියෙක්” නම් ඒක ඔබට විතරක් සීමා කර ගන්න
සිංහල සහ දෙමළ පුවත් පත් සියල්ලම වගේ මිනිස්සු අවුස්සන, දේශප්‍රේමී, ජාතිවාදී සිරස්තල පල කරන බව නිතරම දකින්නට ලැබෙනවා. මේවා තමන්ගේ පුවත්පත විකුණා ගන්න කලත් මිනිසුන් අතර අනවශ්‍ය කලකෝලාහල ඇති වෙන්න හේතුවක් වෙන්න ඉඩ තියෙනවා. Ethics Eye කරපු අධ්‍යයනයකට අනුව ෆෙඩරල්වාදය ගැන පල කරපු ලිපි කිහිපයකම දෙමළ දේශපාලනඥයෙක්ගේ නම කිසිම පදනමක් නැතිව ඈඳලා තියෙන බව සොයා ගෙන තියෙනවා. මේ පල කරපු වාර්තා කිසිම එකකට අදාළ පුද්ගලයාගේ කිසිම සම්බන්ධයක් නැති බව ඔවුන් වටහා ගෙන තියෙනවා.
අපි මෙහෙම කිව්වාට මීට වඩා වෙනස් විදිහට මේ දේවල් ගැන අදහස් තියෙන පිරිසක් ඉන්න පුළුවන්. ඉතින් Roar වෙත එන ඔබගෙන් වැඩි දෙනා හිතන පතන විදිහ ගැන අවධානයක් ලබා ගන්න අපි මේ විදිහේ ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කරන්න හිතුවා. ඔබ හිතන විදිහට අදාළ පිළිතුර මෙතනින් තෝරන්නට කාරුණික වෙන්න.
[total-poll id=937]
[total-poll id=940]
[total-poll id=941]
[total-poll id=942]
මේ ප්‍රශ්න කිහිපයට පිළිතුරු තෝරනවා වගේම ඔබට මාධ්‍ය සදාචාරය ගැන කියන්න අවශ්‍ය දෙයක් තියනවා නම් මෙතනම හරි අපේ ෆේස්බුක් පිටුවේ අදාළ පොස්ට් එකේ හරි කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.
කවරයේ පින්තුරය: මාර්යම් අස්වර්