මහනුවර රාජධානි යුගය වර්ෂ 1815 දී අභාවයට ගිය පසු ඉංග්‍රීසි බලපෑම නිසා එවකට පැවති සරල සමාජය විශාල වෙනසකට ලක් ණා. එදා අපට අත්‍යවශ්‍ය සහ සුඛෝපභෝගී උපකරණ සේ සැලකුණු බොහොමයක් දේ භාවිතයෙන් ඉවත් ව ඒ වෙනුවට වෙනත් විකල්ප පැමිණියා. මේ කෞතුකාගාරවල දී පමණක් අද නැරඹීමට හැකි එදා අත්‍යවශ්‍ය වූ භාණ්ඩ කිහිපයක්.
කෙණිස්ස
කෙණිස්ස කියන්නේ ජලය ලබා ගැනීමට භාවිත කළ හැන්දක් වැනි උපකරණයක්. මහනුවර යුගයේ දී විහාරවල මෙන් ම රාජකීය සහ ප්‍රභූ නිවාසවල තිබු ජල භාජනවලින් ජලය ලබාගෙන වෙනත් භාජනවලට වත් කළේ කෙණිස්ස භාවිතයෙන්. මහා මාර්ග අසල මහජනයාගේ පැන් පවස නිවා ගැනීමට තබා තිබූ පින්තාලියෙන් ජලය ලබා ගැනීමටත් යොදා ගත්තේ කෙණිස්ස යි.
විවිධ ප්‍රමාණයන්ට අනුව නිර්මාණය කළ කෙණිසි හමුවන අතර, ඒවායින් බොහොමයක භාජන කොටස තනා ඇත්තේ අලංකාර ලෙස කැටයම් කළ පොල් කටුවලින්. පොල් කටුවේ හතරෙන් තුනක ප්‍රමාණයක් සිටින සේ ඉතිරි කොටස ඉවත් කර කටුව සුද්ද කර අලංකාර ලෙස කැටයම් යොදා කෙණිස්ස තනා තිබෙනවා.
වාත්තු තාක්ෂණය අනුව පිත්තලවලින් නිම වූ කෙණිස්ස ද හමුවෙනවා. පොල්කටුව කොටසට පිත්තල පටි අල්ලා ඒවා කැටයමින් අලංකාර කිරීමත් දැකගත හැකි යි. ජලය පුරවන භාජනය කොටසේ පිටත විවිධ රේඛාවන්ගෙන් හා පලාපෙති ආදී මොස්තර රටාවලින් කැටයම් කර අලංකාර කිරීමට ශිල්පීන් උනන්දු වී තිබුණා. කෙණෙසි මිටද දැවවලින්, මෙන්ම පිත්තල දණ්ඩකින් ද සකස් කළ අවස්ථා දැකගත හැකියි.
මෙහි තිබෙන කෙණිස්සේ මිටට අත්දෙකින් වැඳ සිටින නර්තනකරුවකු යොදා තිබෙනවා. මුව අයාගත් සිංහ රූපයක් එක්කර ඇති කෙණිස්සක් කොළඹ ජාතික කෞතුකාගාරයේ දැකගත හැකි යි. අලංකාර ලෙස කැටයම් කළ කෙණිසි දණ්ඩ කෙණිස්ස හා සම්බන්ධ කොට ඇත්තේ කපන ලද කුඩුම්බය සිදුරු කර දැමූ ඇණයකින්. කෙණිස්ස ද විවිධ ප්‍රමාණවලට නිර්මාණය කර තිබෙනවා. සාමාන්‍ය භාවිතයේ දී කිසිදු කැටයමක් නැති දැව මිටක් සවිකළ කෙණිසි යොදා ගත්තා.
පෑතැටිය
ඔරලෝසුව අද නැතුව ම බැරි සේ මහනුවර රාජ්‍ය සමයේ දී කාලය මැන ගැනීමට යොදා ගත්තේ පෑතැටිය යි. මෙය එකල සාමාන්‍ය ජනතාව භාවිත නොකළ අතර වැඩි වශයෙන් භාවිතයට ගත්තේ ජ්‍යොතිෂවේදීන්. පොල්කටුවක හැඩයට තඹවලින් කළ භාජනයකට පෑ තැටිය යැයි කියනවා.
මේ භාජනයේ අඩියේ හරි මැද අල්පෙනිති තුඩක් වැනි සිදුරක් තිබෙනවා. පැය ගණනය කිරීමට ජලය පිර වූ කොරහක් වැනි භාජනයක මැද පෑ තැටිය තබනවා. එවිට පෑ තැටියේ බරට සිදුරෙන් ඇතුළට ජලය පිරෙන්නට පටන්ගන්නවා. වතුර පිරුණු පෑ තැටිය දියේ ගිලෙන වේලාව සිංහල පැයක් ලෙසින් එදා හැඳින්වුවා.
ඒ කාලයේ පැයක් යනුවෙන් හඳුන්වා තිබුණේ මිනිත්තු 24ක්. මේ ආකාරයට පැය, පැය භාගය, පැය කාල ආදිය මැන ගැනීම සඳහා අවශ්‍ය වන විවිධ ප්‍රමාණයෙන් වූ පෑ තැටි එකල භාවිත වී ඇති බව හෙළි වී තිබෙනවා. පෑතැටි තනා ඇත්තේ කිසිදු කැටයමකින් තොර ව යි.
රජවාසලේද දොරටු හතරේ පෑ තැටි හතරක් තබා ඒවායෙන් වේලාව බැලීම සඳහා නිලධාරීන් පත්කර තිබුණා. අතපත්තු මුරපොළේ ඇත්තෝ නමින් හඳුන්වා ඇත්තේ එම නිලධාරි කණ්ඩායම යි. පෑ තැටිය භාර ව සිටි නිලධාරියා එම ස්ථානයේ කෙනකු රඳවා පෑ තැටිය වතුරෙන් පිරෙන සෑම පැයකදී ම මිණි ගෙඩියක් නාද කරමින් රජ වාසලටත්, නගරයටත් වේලාව දැනුම් දුන්නා.
මහනුවර යුගයේ අවසාන භාගය දක්වා ම වේලාව බැලීම සඳහා පෑ තැටිය භාවිත කළා. ඒ බව මේ කාලයේ රචිත සාහිත්‍ය හා ඉතිහාස කෘතිවලින් පැහැදිලි වෙනවා. දළදා මාලිගාවේත්, ශ්‍රී පාදස්ථානයේත් ප්‍රසිද්ධ මහා දේවාලවලත් මෙවැනි පෑ තැටි වාහල්කඩ මත පිහිටුවා වේලාව දැනුම් දුන් බවට ඓතිහාසික සාධක තිබෙනවා. ඉංග්‍රීසි පාලන සමයේ රටින් ගෙනා ඔරලෝසු හඳුන්වා දීමත් සමඟ පෑතැටිය කෞතුක භාණ්ඩයක් වුණා.
සේරක්කලය
මෙම උපකරණය මහනුවර රජ කාලේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස තිබුණා. ඒ කාලේ සාමාන්‍ය නිවෙස්වල, ඒ කියන්නේ දැන් කියන වචනවලින් නම් මධ්‍යම පන්තියේ ගෙවල්වල මේස පුටු භාවිත වුණේ නැහැ. ගොම මැටි ගෑ ගෙබිම කලාල එළා ඒ මත කෑම තබා සංග්‍රහ කිරීමේ සිරිතක් තමයි තිබුණේ. එවැනි ගෙදරකට එන ප්‍රභූ පන්තියේ කෙනකුට සංග්‍රහ කරන විට ඔහුගේ ආහාර පිඟාන තබන්නේ සේරක්කලය නම් උපකරණය මත යි. මුල් ම කාලයේ මේ උපකරණය තනා ඇත්තේ පන් හෝ වේවැල්වලින්. මහනුවර යුගයේ දී එය ලෝකඩවලින් තනා තිබෙනවා සේරක්කාලිය ලෙසත් මෙය හඳුන්වනවා.
ආනන්ද කුමාරස්වාමි සඳහන් කරන්නේ මෙය සුලබ පිත්තල වාත්තු භාණ්ඩයක් බව යි. ‘
‘මෙය ආහාර අනුභවයේ දී පිඟානක් හෝ බත් පතක් තබා ගැනීමට යොදන මිටි ආධාරකයකි. ඇතැම්විට බුලත් කෑමට වුවමනා පහේ තැබීමට ද යොදනු ලැබේ. එසේ වුවද නියම බුලත් තට්ටුව සේරක්කලයෙන් වෙනස් වන්නේ බෙහෙවින් සමතල ධාරකයක් වෙනුවට බේසම් හැඩයෙන් යුත් ධාරකයක් ඇති නිසා ය. සේරක්කලයට යොදන සැරසිලි වැඩ බෙහෙවින් සිත්ගන්නාසුලුය. මේ අලංකරණ සුළි සහ දෙපට සුළිවලින් යුක්ත ය. මේ අලංකරණ ලබාගන්නේ මුල් අච්චුවට ඉටි ‘පණුවන්‘ යෙදීමෙනි. (ආනන්ද කුමාරස්වාමි- මධ්‍යකාලීන සිංහල කලා, 201 පිට).
සේරක්කලය එක් එක් උස ප්‍රමාණවලින් තනා තිබුණා. වැඩිහිටි අයකු භාවිත කරන සේරක්කලය මඳක් උස යි. දරුවන් සඳහා උසින් අඩු සේරක්කල තිබුණා. මෙවැනි උස් මෙවලමක් මත ආහාර බඳුන තබා පිළිගැන්වීම එකල ගෞරවයක් ලෙස සලකා තිබෙනවා. යුරෝපීය බලපෑම නිසා සාමාන්‍ය නිවෙස්වලට පවා මේස පුටු පැමිණීමෙන් මේ උපකරණය අභාවයට ගොස් තිබෙනවා.
ඇත්දළ සෙමෙඩිය
මෙම උපකරණය වැඩිපුර යොදා ගත්තේ දළදා මාලිගය වැනි මහා විහාරවල යි. එය යොදා ගත්තේ සුවඳ පැන් සහ සුවඳ විලවුන් වැනි දෑ ඉසීමට යි. එය අද භාවිත කරන ස්ප්‍රේ උපකරණවලට සමාන යි. සෙමිඩිය නිර්මාණය කිරීමට ඇත්දළ කැටයම් කලාව ගැන සියුම් තාක්ෂණයක් අවශ්‍ය වුණා. ඝන ද්‍රව්‍යයක් වුණූ ඇත්දළය මෘදු වන සේ තමයි මෙය තනා තිබෙන්නේ.
ඇත්දළයේ මැද කොටස් ඉවත් කර තුනී සිවියක් සේ තනාගෙන තිබෙනවා. ප්ලාස්ටික් බෝතලයක් බඳෙන් මිරිකූ විට ජලය කටින් පිට වන සේ මෙය ද බඳෙන් තද කළ විට කටෙන් විලවුන් පිට වන සේ තනා තිබෙන උපකරණයක්. ඒ සඳහා ඉහළම දක්ෂතාවයක් අවශ්‍ය වුණා.
සිමිඩියේ ඉහළින් පිහිටා ඇත්තේ දිග කෙමියක්. සුවඳ පැන් එයට දමා කෙමිය වසා අවශ්‍ය විට ඒවා ඉසීමට සෙමිඩිය යොදා ගත්තා. කොළඹ කෞතුකාගාරයේ අඩි එකහමාරක් දක්වා උසැති සෙමඩි දැකගත හැකි යි. මෙහි පතුල සියුම් කැටයම්වලින් අලංකාර කර තිබෙනවා. කෙමිය ද ඉතා අලංකාර ලෙස තතා තිබෙනවා. එය වර්ණගැන්වීමත් දැකගත හැකි වෙනවා.