අද අප සමරන අප්‍රෙල් අලුත් අවුරුද්ද ආරම්භ වී ඇත්තේ ඉංග්‍රීසි පාලන කාලයේ බව පැවසෙනවා. පුරාණ රාජධානි කාලයේ එවැනි අවුරුදු උළෙලක් පැවැත්වී නැහැ. මහාචාර්ය මැන්දිස් රෝහණධීර සඳහන් කොට ඇත්තේ අවුරුදු උත්සවය ගැන පළමු සඳහන හමුවන්නේ න්‍රිස්තු වර්ෂ 15 වැනි සියවසේදී බව යි.
කෝට්ටේ හයවන පරාක්‍රමබාහු රජුගේ මෑණියන් වන සුනේත්‍රා දේවිය පැපිලියානේ තැනවූ පිරිවෙනේ පිහිටවූ සෙල්ලිපියක අවුරුදු පූජාව ගැන සටහනක් ඇති බව ඔහු සඳහන් කරනවා. පුරාණ අවුරුදු උත්සවවල ශේෂ රජරට ගොවි ගම්මානවලදී අදත් අපට දැකගන්න ලැබෙනවා. මේ ඒ ගැන විමසීමට ගත් උත්සාහයක්.
නැකත් කෙළිය
මුලින් ම මෙරට ජනාවාස කළ ආර්යයන් එකල ඉන්දියාවේ පැවැති ‘ගිරග්ග සමජ්ජ’ වැනි සැණකෙළිවලට අනුව මෙරට ද වාර්ෂික සැණකෙළි පවත්වා ඇතැයි සිතීමට පුළුවන්. මිහිඳු හිමි ලංකාවට වැඩිය අවස්ථාවේ දේවානම්පියතිස්ස රජතුමා ‘නැකැත් කෙළියෙහි’ යෙදුණු බව මහාවංශයෙහි සඳහන් වෙනවා. වර්තමාන අවුරුදු උත්සවය සම්පූර්ණයෙන් ම නැකැත් මුල් කරගෙන පවත්වන්නක්. ඒ අනුව නැකැත් කෙළියේ පරිණාමයක් ලෙස අවුරුදු උත්සවය හැඳින්විය හැකියි. අනුරාධපුර සමයේ ‘නැකැත් කෙළි’ තිබී ඇත්තේ පොසොන් මාසයේ යි.
“නැකැත් කෙළිය” රජුගේ මූලිකත්වයෙන් පැවැත්වූ විශාල උත්සවයක්. රජු නැකැත් වේලාවට අනුව ඔසුපැන් ස්නානය කර අලුත් සළු පිළියෙන් සැරසී වීදි සංචාරය කරද්දී රටවැසියන් මග දෙපසට වී ඔල්වරසන් දෙමින්, රබන් වයමින් සතුට ප්‍රකාශ කර තිබෙනවා. නැකැත් කෙළිය අනුරාධපුර පොළොන්නරු යුගවලින් අනෙක් රාජධානිවලටත් හුවමාරු වුණා. කන්ද උඩරට අවසන් රාජධානි සමයේ දී නැකැත් කෙළිය ඉතා ප්‍රබල ලෙස පැවැත්වුණා. කන්ද උඩරට දී එය පැවැත්වූයේ ඇසළ මාසයේදි යි.
සුද්දන්ගෙ කාලෙ අවුරුදු උත්සවය
වර්ෂ 1815 දී බ්‍රිතාන්‍ය පාලකයන් යටතට රට පත්වූ පසුව නැකත් කෙළිය “අවුරුදු කෙළිය” ලෙස වෙනසට ලක්වෙනවා. “අවුරුදු කෙළිය” පිළිබඳ බ්‍රිතාන්‍යයන් තැබූ සටහන්, වාර්තා හා ලියූ පොත – පතද තිබෙනවා. ඊට පසු මේ උත්සවය අප්‍රෙල් මාසයේ සමරන්නට පටන් ගත්තා. එය සූර්යයා මීන රාශියෙන් මේඝ රාශියට සංක්‍රමණය වීම මුල්කොට පවත්වන්නට පටන් ගෙන තිබෙනවා.
වැව් ගමේ අවුරුද්ද නවම් මාසේ පටන් ගන්නවා
සිංහල අලුත් අවුරුද්ද නොනගතයෙන් හෙවත් සූර්ය සංක්‍රාන්තියෙන් පසුවයි ආරම්භ වන්නේ. ගොවිතැන පදනම් කර ගත් රජරට වැව් ගම්මානවල සිරිත්වලට අනුව සිංහල අලුත් අවුරුද්ද උදාවන්නේ නවම් මාසය මුල්කර ගෙන යි. නවම් මහට මී ගව පට්ටිවලට අලුත් පැටවු බහුල ව ලැබෙනවා. මේ නිසා යහමින් ගවපට්ටිවලට කිරි ලැබෙනවා. එහෙයින් ඒ මාසය හඳුන්වන්නේ ‘මීකිරිමහ’ කියලයි. එය සෞභාග්‍යය සංකේතවත් කරන කාලයක්.
මී කිරිමහේදී ‘පට්ටිකිරි ඉතිරීම’ කළ යුතු යි. එය අවුරුද්ද උදාවීමේ මුල් පියවර වෙනවා. ‘පට්ටිකිරි ඉතිරීම’ ගොවියන්ට දැනුම් දෙන්නේ මහගමරාල හෙවත් විදානේ විසින්. එය දැනුම්දීමට ගම්මානය පුරා අඬබෙරයක් යවනු ලබනවා. නැතිනම් පාන්දර ‘පන්සලේ ගෙඩිය’ ගසනවා.
පට්ටි කිරි ඉතිරුම
මී කිරි මහ ගෙවී යාමට මත්තෙන් පට්ටි කිරි ඉහිරුමක් කිරීම ගොවියන්ගේ සිරිතක්. ඊට නවම් මස හෝ මැදින් මාසය යොදා ගන්නවා. පට්ටිකිරි ඉතිරීම ගම්වල සියලු ගවපට්ටි හිමිකරුවන් ඉටු කරන චාරිත්‍රයක්.
පට්ටිකිරි ඉතිරුම් සඳහා ගෙඩිය ගසන්නේ පාන්දර ගවපට්ටිවලින් කිරි දොවන විට යි. මේ ගෙඩිය ගසන රටාව පහසුවෙන් හඳුනාගන්නා ගැමියන් පට්ටිකිරි ඉතිරීම එළඹෙන කෙම්මුර දිනයේ සිදුවන බව වටහා ගන්නවා. නැතිනම් කන්න රැස්වීමක් පවත්වා මහ ගමරාළ ‘පට්ටිකිරි ඉතිරීම’ සිදුකළ යුතු බව දන්වනවා. මේ සඳහා කෙම්මුර දිනයක් යොදා ගැනෙනවා.
පළමුවෙන්ම පාන්දර ඉර නැගෙන්නට පෙර ගවපට්ටිය හිමිකරුවා තම ගව පට්ටිය වෙත ළඟා වෙනවා. ඒ යන්නේ නැවුම් මැටි මුට්ට්යක් අතැතිව යි. කතා නොකර ගොස් පට්ටියේ දෙනුන්ගේ බුරුල්ල සෝදා කිරි ගන්නවා. බොහෝ විට පට්ටියේ කඩුල්ල අද්දර නැතිනම් පට්ටි කඩුල්ල සමඟ පට්ටියේ සිවුකොන තෝරාගෙන කිරි ඉතිරවීම සිදුකරනවා.
ගමේ ගොයම් කපා අවසන් කළ ද මෙසේ කිරි ඉතිරීමට පෙර යායට ගවයන් ඇතුළු කිරීමට අවසර නැහැ. යායේ වැටකඩුලු ලිහීමට ඉඩ ලැබෙන්නේ පට්ටිකිරි ඉතිරීමේ මංගල්ලයෙන් පසුව යි.
සංහිඳේ කිරි ඉතිරුම
‘පට්ටි කිරි ඉතිරීමේ’ මංගල්ලයෙන් පසුව සිංහල අවුරුද්දට පෙර සංහිඳේ කිරි ඉතිරීම කළ යුතු බව ගැමි විශ්වාසය යි. මහකන්නයේ නෙළාගත් අස්වැන්නෙන් ‘අගහස්’ කොටස දෙවියන්ට පූජා කිරීමට කිරි ඉතිරුම් මංගල්ලයක් පවත්වන තුරු අලුත් සහල් ආහාරයට ගැනීම සිදුවන්නේ නැහැ. කිරි ඉතිරුම් මංගල්ලය ගැන ගැමියන්ට දැනුම් දෙන්නේ මහගමරාල හෝ විදානේ ඇත්තනු යි. එය කන්න රැස්වීමක් පැවැත්වීමෙන් හෝ අඬබෙරකරු ලවා දැනුම් දීමට කටයුතු කෙරෙනවා.
ඊට පසු වැව අද්දර ‘සංහිඳ’ පිහිටි ගස ළඟ බිම පිරිසුදු කිරීම හා ඒ අවට ගොක් රෑන් ඇද සැරසීම සිදුකෙරෙනවා. කිරිවලින් සෞභාග්‍යයත් එය ඉතිරවීමෙන් එළඹෙන අවුරුද්දේ වැවට, වෙලට, ගමට වාසනාව උදාවීම ගොවීන් අපේක්‍ෂා කරනවා. කුඹුරු යාය හා වැව ආරක්‍ෂා කරදීම වෙනුවෙන් පුල්ලියාරේ ඇතුළු ගම්භාර, වැව් භාර දෙවි දේවතාවුන් වෙත පිරිනැමෙන කළගුණ සැලකීමේ මංගල්‍යයක් ලෙස මෙය සැලකෙනවා. කිරි උතුරන ස්ථානයේ පිහිටි රූස්ස ගස ඔවුන් නම් කරන්නේ ‘කිරි ඉතුරුම් ගහ’ කියලයි.
ගම මල්වර වෙයි
කිරි ඉතිරීමෙන් පසු අලුත් සහල්වලින් බත් මෙන්ම කිරිබත් පිසීමත් කළ හැකි යි. මේ කාලයේ ගමේ ගෙවල් අලුත් පෙනුමක් ගන්නවා. ගෙවල් සියල්ලේ ගෙබිමට ගොම මැටි ගා ගෙන වහලට අලුතින් පොල්අතු හෙවිල්ලා ගැනීම සිදුවෙනවා. මේ වෙනස නිසා ගමේ ගෙවල වහලවල් සියල්ලට අලුත් පෙනුමක් ලැබෙනවා. බිත්තිවලට සුදු මකුළු මැටි හෝ රතු හුඹස් මැටි ගා ගැනීමත් අවුරුද්දට පෙර සිදුවෙනවා.
වී බිස්සත් අලුත් වෙනවා
ගෙදර ඉදිරිපස මිදුලේ තිබෙන වී බිස්සේ වහලය අලුතෙන් පිදුරු යොදා හෙවිල්ලා ගන්නවා. එහි බිත්තිවලට අලුතින් හුඹස් මැටි ගා පිරියම් කරනවා. ගෙදර මිදුලට පාත් වී තිබෙන ගංඅතු කපා වදුල ඉවත් කෙරෙනවා. මිදුලේ තණකොළ ඉවත් කර සුදුවැලි අතුරනවා. මේ නිසා ගමේ ගෙවල්වලට ලැබෙන්නේ සුන්දර පෙනුමක්.
කෙහෙල්කැන් අතු බැඳීම
අලුත් අවුරුදු කැවිලි මේසයට ඉදුණු කෙසෙල් අවශ්‍ය ම පලතුරක්. මේ නිසා කල් ඇති ව කෙසෙල්කැන් තෝරාගත යුතු වෙනවා. පැසුණු කෙසෙල්කන් තිබෙන ගස් හඳුනා ගෙන ඒවා වියළී ගිය කෙසෙල් අතුවලින් වසා තැබීම සිරිතක්. මේකට කියන්නේ ‘කෙහෙකන් අතුබැඳීම’යි.
තෙල්වළං ළිප තැබීම
අලුත් අවුරුදු උදාවන විට ගමේ ගෙවල්වල රබන් ගැසිම මෙන් ම උණ වෙඩි පැවැත්වීමත් දකින්නට ලැබෙනවා.මේ සිරිත් පටන් ගන්නත් වැව් ගම්මානවල නැකතක් අනුගමනය කරනවා. එම නැකතට කියන්නේ ‘තෙල්වළං ළිප තැබීමේ’ නැකත කියලයි. නැකත උදාවන තෙක් කිසිදු විදියකට හෝ රබන් වාදනය, උණ වෙඩිලි හා බීරංග පත්තු කිරීමක් සිදුවන්නේ නැහැ.
තෙල්වළං ළිප තැබීම බක්මහ අවුරුදු උදාවට සති කීපයකට පෙර උදාවන නැකතක්. ඒ නැකත උදාවත් සමඟ මුළුතැන්ගේ ළිප දල්වා කැවිලි පිසීම පටන් ගන්නවා. මේ නැකත ගැන පුරාණ විදිහට දැනුම් දෙන්නේ පන්සලේ ගෙඩිය හෝ ඝණ්ටාව නාදකරමින්. ඒ සමඟ ම අවුරුදු පැමිණෙන බව දැනුම්දෙමින් රබන් හා වෙඩි පත්තු කිරීම ඇරඹෙනවා.
කෝඳුරු කැවුම
තෙල්වළං ළිප තබන නැකතට සාමූහික ලෙස ගමේ ගෘහණියන් එකතු වී කැවිලි තනා ගැනීම පුරාණයේ සිදුවුණා. ඒ සිරිතට අනුව පළමුව පිසින කැවුම්වලින් සියලුදෙනාගේ නිවෙස්වලට අවශ්‍ය ‘කෝඳුරු කැවුම’ වෙන් කරනවා. ‘කෝඳුරු කැවුම’ ලෙස හඳුන්වන්නේ කෝඳුරුවන්ට වැසීමට වෙන්කරන කැවුම යි.
අවුරුදු කාලෙට තෙල්කැවිලි බහුල වනවිට ගෙවල්වල කෝඳුරුවන් බහුල ව පැමිණෙනවා. කෝඳුරුවන් සිරුරේ සහ මුහුණේ වැසීමත් දකින්න පුළුවන්. කෝඳුරුවන්ට මුළුතැන්ගෙයි වහලේ කැවුම එල්ලූ පසු එම කැවුම වටා උන් රැස්වීම සිදුවෙනවා.
පිටි පේ කිරීම
සිංහල අලුත් අවුරුදු උදාවත් සමඟ ම සිදුවන තවත් සිරිතක් තමයි පිටි පේ කිරීම. පත්තිනි දේවිය උදෙසා පවත්වන ‘අං කෙළිය’ හා පොරපොල් කෙළිය’ට අවශ්‍ය පිට්ටනිය කල්ඇතිව වෙන් කිරීම ‘පිටි පේ කිරීම’ නමින් හැඳින්වෙනවා. මෙහිදී සිදුවන්නේ නැකත් දිනයක අංකෙළියට හා පොල් කෙළියට යෝග්‍ය හිස් බිමක් තෝරාගෙන ඒ වටා කණු හතරක් සිටුවා හතර පැත්තේ මල්පැල හතරක්ද කණු වටා ගොක්කොළ රැහැන් එල්ලීම ද සිදුකිරීම යි. ඉන් පසු මේ පිටිය මැදින් ගමන් කිරීම තහනම් වෙනවා
කුණුමුත්තා පිදීම
නොනගත උදාවට පෙර අවුරුදු දවසේ කළ යුතු අවසන් සිරිත වන්නේ කුණුමුත්තා පිදීම යි. රාත්‍රී කාලයේ අන්ධකාරයේ කුණුමුත්තා පිදීමත් නොකළ යුතු බව සැලකෙනවා. ඒ නිසා උදේ – දිවා හෝ හවස් කාලයේ වෙලාවක කුණුමුත්තා පිදීම ගෙවිලියන් සිදු කරනවා.
ගෙවිලිය කුස්සිය සම්පූර්ණයෙන් ඉලපතකින් අතු ගා එහි රැස්වී තිබෙන සියලු ම කුණුරොඩු හා ළිපේ අළු මලු පිටතට හෝ අබලන් වූ කුල්ලකට හෝ දාගන්නවා. ඒ මතට අවුරුදු කැවිලි කීපයක්, බුලත් විටක් ආදියත් තබනවා. ගෙවිලිය එම ද්‍රව්‍ය සහිත කුල්ල ගෙන කුස්සියේ දොරින් පිටත්වී ගොස් වත්ත කෙළවර හෝ අසල වනවදුලක ගසක් මුලට පැමිණෙනවා.
මේ සඳහා තෝරාගන්නේ කිසිවකුගේ පයට නොපෑගෙන තැනක ගසක්. ගස මුලට රැගෙන ආ කුණු කුල්ල තබා “ඔන්න මේ වංගියේ අපි කුණුමුත්තා පුදන්නටයි ආවේ. මේ සියල්ල උන්දැටයි අයිති” කියලා පවසනවා. ඉන් පසුව ගෙවිලිය වැවට හෝ ළිඳට ගොස් අත්පා සෝදාගෙන ඉදිරිපස දොරින් ගෙදරට ඇතුළු වෙනවා.