ඈත අතීතයේ සිටම ලාංකිකයන්ගේ ප්‍රධාන ආහාරය වුණේ බත. එම නිසා වසර දහස් ගණනක සිට අප රට තුළ වී ගොවිතැන සිදුකෙරුණා. එදා මෙරට විසූ රජවරුන් වැව් අමුණු ඉදිකරවා වී වගාව සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදුන්නා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සහලින් ස්වයංපෝෂිතව පැවතුණු අපේ රට එකල පෙරදිග ධාන්‍යාගාරය නමින් හඳුන්වනු ලැබුවා.
වසර දහස් ගාණක සිට කිසිදු ගැටලුවකින් තොරව බත් ආහාරයට ගත් ලාංකිකයන්ට අද වන විට හිතේ හැටියට බත් කන්න තිබුණු අවස්ථාවත් අහිමිවී ගොස් තිබෙනවා. ඒ, වෙළඳපොළ තුළ විශාල සහල් හිඟයක් නිර්මාණය වී තිබීම නිසා යි. එසේම මේ වන විට වෙළඳපොලේ විකිණීමට තිබෙන සහල් වර්ගවල මිල ගණන් ද දැරිය නොහැකි තරම් ඉහළ ගොස් තිබෙන නිසා පාරිභෝගිකයන් දැඩි ලෙස අපහසුතාවයට පත්ව සිටිනවා. සහල් ගැනීමට වෙළඳපොළට යන බොහෝ දෙනෙකු මැසිවිලි නගමින් ආපසු පැමිණෙන ආකාරය දක්නට ලැබෙනවා.
පසුගිය වසර කිහිපය තුළ විවිධ අවස්ථාවන්වල දී දේශීය වෙළඳපොළේ සහල් මිලෙහි වැඩිවීමක් සිදුවුණා. දරාගත නොහැකි ආකාරයට සහල් මිල ඉහළ යාමට බලපාන ප්‍රධානතම හේතු පිළිබඳව කතාබහ ආරම්භ කිරීමට පෙර ලංකාවේ වී වගාව සිදුවන ආකාරය පිළිබඳව කෙටියෙන් කතා කළ යුතු යි.
මෙරට වී වගා කරන ප්‍රධාන කන්නයන්
ලංකාවේ වී වගාකරන ප්‍රධාන කන්නයන් දෙක වන්නේ යල කන්නය සහ මහ කන්නය යි. එහි දී යල කන්නය සඳහා අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා වී වගා කරන විට මහ කන්නය සඳහා ඔක්තෝබර් සිට මාර්තු දක්වා වී වගාකරනු ලබනවා. සාමාන්‍යයෙන් යල කන්නයේ දී තෙත් කලාපයට, කඳුකර බිම්වලට, සහ අතරමැදි කලාපයේ සමහර ප්‍රදේශවලට වර්ෂාව හොඳින් ලැබෙනවා. එම නිසා යල කන්නයේ දී ඒ ප්‍රදේශවල වී වගාව සිදුවන්නේ වර්ෂා ජලයේ ආධාරයෙන්. නමුත් එම කන්නයේ දී වියළි කලාපයටත්, අතරමැදි කලාපයේ සමහර ප්‍රදේශවලටත් සැලකිය යුතු වර්ෂාවක් පතිතවන්නේ නැහැ. එකලට එම ප්‍රදේශවල යල කන්නයේ වී වගාව සිදුකරනු ලබන්නේ රැස්කරගත් ජලය භාවිතා කිරීමෙන්. යල කන්නය අවසන් වී මහ කන්නය ආරම්භවීමත් සමග වියළි කලාපයට ඊසාන දිග මෝසම සක්‍රීයවීමෙන් සැලකිය යුතු වර්ෂාවක් ලැබෙනවා. එනිසා මහ කන්නයේ දී වියළි කලාපයේ වැඩි බිම් ප්‍රමාණයක් වගා කිරීමට හැකියාව ලැබෙනවා.
වී වගා කරන ප්‍රධාන කලාප
ලංකාවේ වී වගාව සිදුකරන ප්‍රධාන කලාපයන් හතරක් හමුවනවා. වියළි කලාපය, අතරමැදි කලාපය, තෙත් කලාපය, සහ කඳුකර බිම් එම කලාපවලට අයත්වෙනවා. පහත දක්වා තිබෙන්නේ එම කලාප හතරෙහි වී වගාව සම්බන්ධ විශේෂ ලක්ෂණ යි.
තෙත් කලාපය
1) ගාල්ල, කොළඹ, කෑගල්ල, රත්නපුර, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්ක මෙම කලාපය සඳහා අයත් වනවා.
2) ප්‍රධාන වශයෙන් වර්ෂා ජලයෙන් වී වගාව සිදුකරනු ලබනවා.
3) ගංගා මිටියාවත්වල සහ පහත්බිම්වල වී වගාව සිදුකරන නිසා ජලගැලීම්වලට හසුවී අස්වැන්න විනාශවීමේ අවදානමක් තිබෙනවා.
4) වියළි කලාපයට සාපේක්ෂව ලැබෙන්නේ අඩු අස්වැන්නක්.
වියළි කලාපය
1) අනුරාධපුරය, මඩකලපුව, පොළොන්නරුව, හම්බන්තොට, යාපනය, අම්පාර, වව්නියාව, ත්‍රිකුණාමලය, පුත්තලම, සහ යාපනය යන දිස්ත්‍රික්ක මෙම කලාපය සඳහා අයත් වනවා.
2) වර්ෂා ජලයෙන් සහ සම්පාදනය කරන ජලයෙන් වී වගාව සිදුකරනු ලබනවා.
3) බිම් ඒකකයකින් ලබාගන්නා අස්වනු ප්‍රමාණය ඉතාමත් වැඩි නිසා සහල් අතිරික්තයක් ඇතිවනවා.
4) යන්ත්‍ර සූත්‍ර බහුලවම යොදාගනු ලබනවා.
අතරමැදි කලාපය
1) කුරුණෑගල දිස්ත්‍රික්කයත්, බදුල්ල, මොණරාගල, මාතලේ, මාතර යන දිස්ත්‍රික්කවලින් කොටස් ද මෙම කලාපයට අයත්වෙනවා.
2) ලංකාවේ වැඩිම බිම් ප්‍රමාණයක් වී වගා කරන දිස්ත්‍රික්කය වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කය යි.
3) වැසි ජලයෙන් සහ සම්පාදනය කරන ජලයෙන් වී වගාව සිදුකරනු ලබනවා.
4) බිම් ඒකකයකින් ලබාගන්නා අස්වනු ප්‍රමාණය වැඩියි.
5) යන්ත්‍ර සූත්‍ර බහුලවම යොදාගනු ලබනවා.
කඳුකර බිම්
1) මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කත්, බදුල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්කවලින් යම් කොටස් ද මෙම කලාපය සඳහා අයත්වෙනවා.
2) ලංකාවේ අඩුම බිම් ප්‍රමාණයක් වී වගා කරන දිස්ත්‍රික්කය වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කය යි.
3) හෙල්මළු ක්‍රමය භාවිතා කරමින් වී වගාව සිදුකරනු ලබයි.
4) බිම් ඒකකයකින් ලබාගන්නා අස්වනු ප්‍රමාණය අඩු යි.
යල සහ මහ කන්නවල දී අප රට තුළ වී වගාව සිදුවන ආකාරයත් එක් එක් දේශගුණික කලාපය තුළ වී වගාව සිදුවන ආකාරයත් ඉහත සඳහන් කළ නිසා සහල් මිල ඉහළ යාම පිළිබඳව දැන් අපි කතා කරමු.
ස්වභාවික විපත් ඇතිවීම නිසා අස්වැන්න විනාශ වීම
අප රටට සංවහන, මෝසම් සහ වාසුළි යන වර්ෂා රටාවලින් වැසි ලැබෙනවා. සාමාන්‍යයෙන් ඒවා නිශ්චිත කාල සමයක දී ලැබෙන එක් එක් කලාපවලට ලැබෙනවා. එම නිසා මෙරට වී ගොවිතැන සිදුකරන කාල සීමාව තීරණය වන්නේ වර්ෂාව ලැබෙන කාල සීමාවන් අනුව යි. නමුත් වර්තමානයේ දී මිනිසා අධික ලෙස පරිසරයට හානි කරනවා. දිනෙන් දින වැඩිවන පරිසර විනාශයත් සමගම වර්ෂා රටා වෙනස් වනවා. පසුගිය කාල සමය තුළ දී අප රට තුළ එවැනි තත්ත්වයක් දක්නට ලැබුණා.
එලෙස නියමිත කාලයට වර්ෂාව නොලැබීම නිසා ඇතිවන නියං තත්ත්වය සේම බලාපොරොත්තු නොවන කාලවල දී වැඩි වර්ෂාවක් පතිත වීම නිසා ඇතිවන ගංවතුර තත්ත්වයන් නිසා හේතුවෙන් වගා බිම් විනාශ වෙනවා. එවිට වාර්ෂිකව ලැබෙන වී අස්වැන්න විශාල ලෙස අඩුවන්නට ඉඩ තිබෙනවා. ඒ අයුරින් වී වගා බිම් විනාශ වුණු මෙරට ජනතාවගේ පරිභෝජනයට ප්‍රමාණවත් තරම් අස්වැන්නක් ලැබෙන්නේ නැහැ. එම නිසා ලැබෙන අස්වැන්නෙන් නිෂ්පාදනය කරන සහල්වලට තිබෙන ඉල්ලුම වැඩි වනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සහල් මිල බලාපොරොත්තු නොවන තරම් ඉහළ යනවා.
පළිබෝධකයන් සහ සතුන් නිසා අස්වැන්න හානිවීම
පැල මැක්කා, කොළ හකුලන දළඹුවා, දුඹුරු පැල කීඩෑවා, ගොයම් මැස්සා, පුරුක් පණුවා, ගොක් මැස්සා වැනි පළිබෝධකයන් වී වගාවට නිතරම හානි කරනු ලබනවා. මොවුන් මර්ධනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් විවිධ කෘමිනාශක වර්ග නිර්දේශ කර තිබෙනවා. අතීතයේ දී මෙම රෝගවලින් ගොයම ආරක්ෂා කරගැනීම සඳහා කාබනික ද්‍රව්‍යය භාවිතා කළත් වර්තමානය වන විට බොහෝ ගොවි මහතුන් පළිබෝධනාශක භාවිතයට හුරුව තිබෙනවා. මෙම සාමාන්‍ය පළිබෝධකයින්ට අමතරව වෙනත් වර්ගයේ විශේෂ කෘමීන් ද වී වගාවට හානිකළ අවස්ථාවන් ගැන පසුගිය කාල සමයේ දී අසන්නට ලැබුණා
මිනිසා විසින් කැලෑ එළිපෙහෙලි කර වගා කටයුතුවල නිරතවීම නිසා සතුන්ට සිය වාසස්ථාන අහිමි වී තිබෙනවා. එම නිසා පසුගිය කාල සමයේ දී වන සතුන් ගම් වදින ආකාරය දක්නට ලැබුණා. එලෙස ගම් වදින වන සතුන් වී වගාවන්ට හානි කරන ආකාරය සුලබවම දක්නට ලැබෙනවා. එහි දී වන අලි, මොණරුන්, වැනි සත්ත්ව විශේෂයන් වී ගොවියාට හිසරදයක් වී තිබෙනවා.
දිනෙන් දින වැඩිවන පළිබෝධ සහ සත්ත්ව හානිය නිසා ගොවියාට බලාපොරොත්තු වන තරම් අස්වැන්නක් ලබාගන්නට බැහැ. එලෙස එක් කන්නයක දි සැලකිය යුතු තරම් වී අස්වැන්නක් විනාශ වුණු විට වෙළඳපොළ තුළ සහල් හිඟයක් ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක්. ඒ අනුව පළිබෝධකයන් සහ සතුන් නිසා සිදුවන අස්වනු හානිය ද සහල් මිල ගණන් වැඩිවීම කෙරෙහි වක්‍රාකාරයෙන් බලපානවා.
වී අස්වැන්නට සහතික මිලක් නොලැබීම
වී ගොවීන් මාස ගණනාවක් ඉතාමත් වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් පසුව නෙළාගන්නා අස්වැන්න ඉහළ මිලකට විකුණා ගැනීමට බලාපොරොත්තු වනවා. නමුත් කලෙක සිට එම අස්වැන්න විකුණාගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැති වීම නිසා වී ගොවියා අසරණ වී තිබෙනවා. එහි දී රජය වී අස්වැන්නට සහතික මිලක් නොදීම නිසා බොහෝ ගොවීන් අතරමැදියෙකුට කුණු කොල්ලයට සිය අස්වැන්න විකුණන ලබනවා. එලෙස ගොවීන්ගෙන් අස්වැන්න මිල දී ගන්නා විශාල මෝල් හිමියන් අස්වැන්න ගබඩා කරගන්නවා. එහි දී රජය මඟින් වී අස්වැන්න සහතික මිලකට ලබාගන්නවා නම් ගොවියා හාල් මෝල් හිමියන්ට අස්වැන්න විකිණීම සිදුකරන්නේ නැහැ. එවිට රජය සන්තකයේ ප්‍රමාණවත් තරම් වී තොග තිබෙන නිසා රට තුළ සහල් හිඟයක් නිර්මාණය වන්නේ නැහැ. එම නිසා රටේ සහල් හිඟයක් ඇතිවීම නැවැත්වීමට නම් රජය මඟින් සහතික මිලකට වී මිල දී ගැනීමේ ක්‍රමවේදයක් සකස් විය යුතු යි.
අතරමැදියන්ගේ සහ විශාල සහල් මෝල් හිමියන්ගේ බලපෑම
වී අස්වනු නෙලන කාලයේ දී ගොවිබිම්වලට යන අතරමැදියන් සහ සහල් මෝල් හිමියන් මහා පරිමාණයෙන් අස්වැන්න මිලදී ගන්නවා. ඔවුන්ට ඒ සඳහා විශාල ණය මුදල් පවා බැංකුවලින් ලැබෙනවා. රජයෙන් වී සඳහා සහතික මිලක් නොලැබෙන නිසා ගොවීන් පාඩු විඳිමින් අස්වැන්න විකුණා දමනවා. එවිට ලංකාවේ වී වගා බිම්වලින් ලැබෙන සමස්ත අස්වැන්න හාල් මෝල් හිමියන් කිහිපදෙනෙකුගේ ගබඩාවල තැන්පත් වනවා.
එලෙස මිල දී ගන්නා වී අස්වැන්නෙන් නිපදවන සහල් විශාල සහ කුඩා මෝල් හිමියන්ගේ ගබඩාවල සඟවා තැබීම මඟින් රට තුළ සහල් හිඟයක් නිර්මාණය වීමට ඉඩ තිබෙනවා. මේ දිනවල රට තුළ විශාල හාල් හිඟයක් නිර්මාණයවීමට මහා පරිමාණයේ හාල් මෝල් හිමියන් වගකිව යුතු බවට ද විවිධ පාර්ශවවලින් චෝදනා එල්ලවෙනවා. පසුගිය කාලයේ දී පත්වුණු රජයන් සහ දැනට පවතින රජය ගොවියන්ගේ අස්වැන්න මිල දී ගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කළා නම් වී මෝල් හිමියන්ට දේශීය වෙළඳපොළේ වී මිල ගණන් හැසිරවීමට නිල නොවන බලයක් හිමිවන්නේ නැහැ.
ලංකා ඉතිහාසය දෙස ආපසු හැරී බැලුවොත් හාල් සේරුවේ මිල වැඩිකිරීම නිසා පරාජයට පත්වුණු ආණ්ඩු කිහිපයක් හමුවනවා. එම නිසා මිනිසුන්ට අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයක් වන සහල් සහන මිලට හිඟයකින් තොරව ලබාදීම රජය සතු වගකීමක්.