රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යය මේ දිනවල පැවැත්වෙනවා. ගිය අවුරුද්දේ කොඩිව් අවදානම නිසා බොහෝ දෙනාට එයට සහභාගි වීමට ඉඩ ලැබුණේ නැහැ. මෙවර බැතිමතුන් විශාල පිරිසක් කතරගම වැඳ පුදා ගැනීමට පැමිණ තිබෙනවා.
කතරගම ඇසළ මංගල්ලය ළංවීමත් සමඟ ස්වාභාවික ව පොළවෙන් හට ගන්නා තින්නෝරු ලබා ගැනිමට පසුගිය කාලයේ තින්නෝරු පතල් කැපීමත් දකින්න ලැබුණා. සුදු පාට පව්ඩර් වර්ගයක් වැනි මේ පූජනීය තින්නෝරු මොනවද කියලා සොයා බලමු.
ලොව එක ම ස්වභාවික තින්නෝරු
අප රටේ පමණක් නොවෙයි, ලොව ඇති ඕනෑම දේවාලයකට කෝවිලකට පැමිණෙන බැතිමතුන්ට දේව ආශිර්වාදය ප්‍රාර්ථනා කර නළලේ ආලේප කරන්නේ තින්නෝරු යි. තින්නෝරු, විභූති, පරහද යන නම්වලින් ද මෙය හදුන්වනවා. කතරගම දි නම් කපු මහතා ආශිර්වාද කර ඔහු ම බැතිමතුන්ගේ නළලේ තින්නෝරු ගානවා. තින්නෝරු හෙවත් විභූති නම් සුදු පැහැති පිටි වැනි පාෂාණ කුඩු ලොව ස්වාභාවිකව ම ලැබෙන එකම ස්ථානය ඇත්තේ කතරගම පමණ යි.
ඉන්දියාවේ ද කෝවිල් සඳහා විශාල වශයෙන් විභූති තනා ගන්නවා. ඔවුන් තින්නෝරු නිපදවන්නේ වියළා ගත් ගොම මතට පිදුරු දමා හොඳින් ගිනි අවුළුවා ගැනීමෙන් පසු එකතු වන අළුවලින්. එය තැනීමත් පුජනීය කාර්යයක් ලෙස සිදු කරන්නේ වේද මන්ත්‍ර ගායනා කරමින්. එසේ තනන තින්නෝරු පැකට් කර විකිණීමත් ඉන්දියාවේ සිදුවෙනවා.
තින්නෝරු කතරගම දී ස්වභාවික ව හට ගැනීම දේව හාස්කමක් බව කතරගම වැසියන්ගේ විශ්වාසය යි. කතරගම දේවාලයේ සෑම පුජාවක් අවසානයේ දී බැතිමතුන්ට තින්නෝරු ලබා දීම සිරිතක්. දේවාලය වෙත පැමිණෙන සෑම බැතිමතකු ම සිය නළලේ තින්නෝරු ආලේප කරගැනීමට කැමැත්තක් දක්වනවා.
දේවාලයේ පූජාවෙන් පසු පෝලිමේ ගොස් තින්නෝරු නළලේ අලේප කරවා ගන්නා අන්දම දැක ගත හැකි යි. ශ්‍රී ලංකාවේ පවතින අනෙක් දේවාල සහ කෝවිල්වලත් බැතිමතුන්ට තින්නෝරු ලබා දෙනවා. අලූත් වාහනයක් රැගෙන කතරගම පැමිණෙන බැතිමතුන් සිය වාහනයට තින්නෝරු කුඩු ඉසිම හෝ එහි තින්නෝරුවලින් දේව සංකේත ඇඳීමත් දැකගත හැකි යි.
තින්නෝරු කන්ද
සැම වසරක දී ම කතරගම ඇසළ උළෙල ආසන්න වන ජුනි – ජූලි මාසය ආසන්නයේ සුදු පැහැති පිටි වැනි මෙම ද්‍රව්‍යය පොළොවේ හට ගන්නෙවා. තින්නේරු පිහිටි බිම කතරගම වැඩ සිටි කන්දට ඊසාන දිගින් සහ ප්‍රකාශ කන්දට උතුරින් මහා දේවාලයට ගිනිකොන දිසාවෙන් පිහිටි වන වදුලක්. වර්තමානයේ මෙම ප්‍රදේශය හුණුකැටවල ලෙසයි හඳුන්වන්නේ.
එය පිහිටා ඇත්තේ දෙටගමුව ග්‍රාම සේවා වසමෙ යි. අතීතයේ දී එය තිරිනෝරුමල වීභූති කන්ද ලෙසත් හඳුන්වා තිබෙනවා. අතීතයේ සිට කතරගම දේවාලයට සහ විවිධ දේවාල, කෝවිල් වෙත තින්නෝරු ලබා ගන්නා මෙම පාෂාණය ඇති හුනුකැටවල ඉඩම දෙවියන් වෙනුවෙන් වෙන් වූ ස්ථානයක් ව පැවැතුණා. ඒ අවට මිනිස් වාසයෙන් තොර වනගත වටපිටාවක් තමයි පැවතුණේ.
තින්නෝරු ලබා ගැනීම
ඇසළ මංගල්‍යය ළංවීමත් සමඟ කුඩා කැට වශයෙන් පස්වල හට ගන්නා තින්නෝරු මාස 3 වැනි කෙටි කාලයකින් නැවත ගල් වී අතුරුදහන් ව යනවා. තින්නෝරු හට ගන්නා කාලයේ දී කතරගම ප්‍රදේශවාසින් මස් මාංශයෙන් තොර ව පේවි දෙවියන්ට බාර හාර වී තින්නෝරු නෙළා ගැනීමට පැමිණෙනවා. ඔවුන් පොළාවේ මතුපිට සිට අඩි 3 ක් පමණ ගැඹුරට වළක් කැපීමෙන් පසු කුඩා දෝනා ලෙස හාරමින් මෙම ද්‍රව්‍ය ලබා ගැනීම සිදුවෙනවා. ඉන්පසු ඒවා එකතු කර හලා ගල් වැලි ඉවත් කරනවා.
සුදුවු මෙම කැට අව්වේ වියළා ගෙන පිටි බවට පත්කර හලා ගෙන දේවාලයට ලබා දීම සිදුවෙනවා. පුරාණයේ පටන් ම තින්නෝරු නෙළීම සිදුකරන පාරම්පරික පිරිසක් කතරගම සිටිනවා. ලබා ගන්නා තින්නෝරු ශ්‍රී ලංකාවේ පිහිටි වෙනත් දේවාල කෝවිල් වෙත විකීණීමත් සිදුවෙනවා. කතරගමට පැමිණෙන ඉන්දිය හින්දු බැතිමතුන් ඉන්දියාවේ ඇති කෝවිල් සඳහාත් කතරගම තින්නෝරු රැගෙන යාම සිදුවෙනවා. ඊබේ වෙබ් අඩවියේ ද කතරග තින්නෝරු අලෙවියට ඉදිරිපත් කර ඇත්තේ ශුද්ධ වූ අළු වශයෙනුයි. එහි ග්‍රෑම් 100ක මිල ඩොලර් 15ක් පමණ වෙනවා.
තින්නෝරු උපන් හැටි
තින්නෝරු ලැබුණු ආකාරය සම්බන්ධව දේවකතාවක් කතරගම පැතිර තිබෙනවා:
ස්කන්ධ කුමරු හා යුද වැදුණු සුරපත්මා අසුරයාගේ සියලු සේනා මරණයට පත් ව ඔවුන් පරාජයට පත්වුණා. සුරපත්මා අසුරයා පමණක් පණ බේරා ගෙන පලා ගියා. සුරපත්මා සිටියේ මහත් කනගාටුවෙන්. එම අවස්ථාවේ දී ඔහුගේ සිත සැනසීමට අසුරයාගේ මව වන මායා පැමිණියා. ඇය තම පුතණුවන්ට පැවසුවේ ලොව එක ප්‍රහාරයකින් යටත් කර ගැනීමේ වික්‍රමයක් ඇති තොපට ඊශ්වර මුර්ති ස්වරූප ස්කන්ධයන්ගෙන් නම් කවදාවත් ජයගත නොහැකි බව යි. කඳ කුමරු සමඟ කරන මෙම සටන නවතා දමන ලෙස මව සුරපත්මා අසුරයාගෙන් ඉල්ලා සිටියා. නමුත් අසුරයා එයට කන්දුන්නේ නැහැ. යළිත් සුරපද්මා අසුරයා තම සහෝදරයන් වන තාරකා සහ සිංහමුඛ යන අසුරයන් සමඟ ගොස් කඳ කුමරු හා සටන් කළා. සිදුවුණේ එම සහෝදරයන් දෙදෙනාත් කඳ කුමරුන් අතින් මිය යාම යි.
සිය මව යළිත් හමු වූ සුරපද්මා අසුරයා සටන් රණ ශූරයකු වු තමන්ට මින් අත්වන ලජ්ජාව නිසා තමන් කඳ කුමරු සමඟ තනිව ම සටන් කරන බව කිව්වා. හිතුවක්කාරකමින් සටන් කරන්නේ නම් හිමාල කඳු මුදුනේ ඇති මෘත සංජිව නම් ඖෂධයෙන් පිරුණු කන්ද මෙහි ගෙනවිත් තබන ලෙස මායා මෑණියන් අසුරයාට කිව්වා.
කඳ කුමරු කන්ද අළු බවට පත් කළා
මෙම කන්ද ලංකාවට රැගෙන ආවොත් තුවාල ලබා මිය යන සේනාවලට යළිත් නින්දෙන් පිබිදුණා මෙන් ජිවය ලැබිය හැකි බව ඇය පැවසුවා. ඒ අවවාදය පිළිගත් අසුරයා ඖෂධ කන්ද අද තින්නෝරු පිහිටි බිමට රැගෙන ආ බව පැවසෙනවා. එය දුටු කඳ කුමරු කන්ද අළු බවට පත් කළා. ඖෂධ පැළෑටි පිරි කන්ද ගිනි ගෙන අළු ගොඩක් බවට පත් වු අතර එම අළු අද තින්නෝරු ලෙස ගොඩ ගන්නා බවයි ජනප්‍රවාදයේ පැවසෙන්නේ.
බැතිමතුන්ගේ තුවාල සුව කරයි
දෙවියන් වෙනුවෙන් කරන පුද සිරිත්වල දී සමහර බැතිමතුන් ශාරීරික වද හිංසා හා වේදනා ඇති කරවන කාර්යයන් හි යෙදෙනවා. ශරීරය පුරා කටු ගසා ගෙන එම කටුවලින් හම ඇදී යන සේ එල්ලෙමින් ඔවුන් සිටිනු දැකගත හැකි යි. එහිදී ඇති වන තුවාලවලට ඖෂධ ප්‍රතිකාරයක් කරන්නේ නැහැ. කතරගම මහ දේවාලයේ දී ඔවුනට කරන්නේ තුවාල ඇති ස්ථානවල “තින්නෝරු” ආලේපය පමණ යි.
තින්නෝරු ඉඩමත් අල්ලාගෙන
දේවාල, කෝවිල් වෙත පැමිණෙන බැතිමතුන් සඳහා නළලේ තබන තිලක සඳහා ගන්නා තින්නෝරු පාෂාණය ඇති රුහුණු මහා කතරගම දේවාලයට අයත් අක්කර 55ක ඉඩමේ කෙටස් මේ වනවිට කොළඹ ධනපති ව්‍යාපාරිකයන් නිවාඩු නිකේතන සාදවා අත්පත් කර ගෙන තිබෙන බව වාර්තා වෙනවා. කතරගම නිවාඩු නිකේතනවලට ඇති අධික ඉල්ලුම නිසා තමයි එසේ ඉඩම් අල්ලාගෙන තිබෙන්නේ. මෙම ප්‍රදේශය අත්පත් කර ගැනීම නිසා ඉකුත් 2010 වසරේ මෙම ඉඩම් මැන කතරගම ප්‍රාදේශීය ලේකම්වරයකු ව සිටි බී.එම්. අතපත්තු, අක්කර 55ක ඉඩම එවකට සිටි බස්නායක නිලමේ වූ ශෂීන්ද්‍ර රාජපක්ෂ වෙත ලබා දීමත් සිදුවුණා. එසේ නීත්‍යනුකූලට ලබා දුන් ඉඩමත් ඉන්පසු ව්‍යාපාරිකයන් අත්පත් කර ගෙන ඇති බව පවැසෙනවා.
මේ වනවිට බැතිමතුන්ගේ නළලේ තබන තිලකයට අවශ්‍ය තින්නෝරු නෙළා ගැනීමට ඇත්තේ සුළුබිම් කොටසක් පමණ යි. තින්නෝරු බහුල ව ඇති ස්ථාන වෙත ඇතුළු වීමට ඉඩම් අල්ලා ගත් පිරිස් ඉඩ ලබා නොදෙන බව ද කතරගම ජනතාව පවසති. රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමීපාල ටී. රත්නායක පවසන්නේ මෙම ඉඩම් අතීතයේ සිට ජනයා භක්තියෙන් රැක ගත් භූමියක් බව යි. දේවාලයට අයත් මෙම ඉඩම් සම්බන්ධ ව කටයුතු දේවාලයේ බස්නායක නිලමේවරයා නිරන්තයෙන් සොයා නොබැලීම නිසා ඒවාට විවිධ පුද්ගලයන් අයිතිය කියමින් පැමිණ අල්ලාගෙන තිබෙන බවයි පැවසෙන්නේ.