පළාත් පාලන ඡන්දයේදී හඳුන්වා දෙන නව මැතිවරණ ක්‍රමය​

නව පළාත් පාලන ඡන්ද ක්‍රමය 2017 අගෝස්තු 31 වැනි දින පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වුණා කියළා ඔබ දන්නවා. ඉතින් මේ විශේෂාංගයෙන් අපි අදහස් කරන්නෙ අලුතෙන් රටට හඳුන්වා දීපු පළාත් පාලන ඡන්ද ක්‍රමය ගැන සරළ හැඳින්වීමක් කරන්න. විශේෂයෙන්ම මේ ඡන්ද ක්‍රමයේ හැඩරුව පිළිබඳවයි අපි කතා කරන්නෙ. ඒ නිසා මේ විශේෂාංගය කියවන ඔබට නව පළාත් පාලන මැතිවරණ ක්‍රමය පිළිබඳව සැලකිය යුතු අවබෝධයක් ලැබේවි.

නව ඡන්ද ක්‍රමය ගැන කෙටියෙන්

මෙම ඡන්ද ක්‍රමය දැනට​ අදාළ වන්නේ පළාත් පාලන ආයතන සදහා පමණි. එනම් ප්‍රාදේශීය සභා නගර සභා සහ මහ නගර සභා වලටය. නව පළාත් පාලන ඡන්ද ක්‍රමය 2017 අංක 16 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම (සංශෝධන) පනත​ නමින් හඳුන්වයි. මෙම ක්‍රමය කොට්ඨාස මැතිවරණ ක්‍රමයකි. නව ඡන්ද ක්‍රමය අනුව මනාප ක්‍රමය අහෝසි වන අතර කොට්ඨාසයට මන්ත්‍රීවරයකු ලැබෙයි. ඊට අමතරව සමානුපාතික ක්‍රමයද ආරක්ෂා වෙයි.

සමානුපාතික ක්‍රමය යටතේ සිදුවූයේ සමස්ත පළාත් පාලන ආයතනයම ආවරණය වන පරිදි අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමයි. නමුත් නව ක්‍රමය යටතේ පළාත් පාලන ආයතනයට​ අදාළ ග්‍රාම නිලධාරී වසම් අනුව කොට්ඨාස ක්‍රමයක් හඳුන්වා දී ඇත. ඒ අනුව පළාත් පාලන ආයතනයකට කොට්ඨාස කිහිපයක් පැවතිය හැකිය. එක් කොට්ඨාසයකට අවම වශයෙන් ග්‍රාම නිලධාරී වසම් දෙකක්වත් අයත් වේ. ඇතැම් විට පහක් හයක් වීමටද ඉඩ ඇත. ඇතැම් විට ඊටත් වැඩි විය හැකිය. එය බෙදෙන්නේ පළාත් පාලන ආයතනයන්හි ජන අනුපාතයට අනුවය.

නාම යෝජනා ලබා දීම

නව ක්‍රමය යටතේ පළාත් පාලන ආයතනයක සාමාජිකයන් සියයට 60 ක් කොට්ඨාශ ක්‍රමයෙන් ද සියයට 40 ක් සමානුපාතික ක්‍රමයෙන් ද පත් කරගනු ලබයි. පළාත් පාලන ආයතනයක් සඳහා නාමයෝජනා පත්‍රයේ කොටස්, එනම් ලැයිස්තු, දෙකක් වේ. එයින් එකක් කොට්ඨාශවලට​ තරඟ​ කරන අපේක්ෂක ලැයිස්තුවයි. අනෙක් නාමයෝජනා ලැයිස්තුව අතිරේක ලැයිස්තුවයි. කොට්ඨාස ලැයිස්තුවට නම් කරන අපේක්ෂකයින් එම කොට්ඨාසයේම පදිංචිකරුවන් වීම අනිවාර්ය නැත. නමුත් යම් කොට්ඨාසයක් සදහා තරඟ​ කරන අපේක්ෂකයෙක් අදාළ පළාත් පාලන බලප්‍රදේශයේ පදිංචි කරුවකු විය යුතුය.

කාන්තා නියෝජනය

තරඟ​ වදින ලැයිස්තුවේ අපේක්ෂකයන්ගෙන් සියයට 10 ක් අනිවාර්යයෙන්ම කාන්තා නියෝජනයක් සිදු විය යුතුය. එමෙන්ම අතිරේක ලැයිස්තුවේ සියයට පනහක කාන්තා නියෝජනයක් තිබිය යුතුය. මැතිවරණයෙන් පසුව ඒ ඒ පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට හිමිවන මන්ත්‍රී ධුර සංඛ්‍යාවෙන් සියයට විසි පහක් කාන්තාවන් පත් විය යුතුය.

මන්ත්‍රී ධුර බෙදෙන හැටි

මන්ත්‍රී ධුර දොළහක් හිමි සභාවක් තිබෙනවා යැයි සිතමු. එනම් කොට්ඨාස දොළහකි. මෙම කොට්ඨාස දොළහ සඳහා අපේක්ෂක ලැයිස්තු සෑදෙන්නේ මෙලෙසය… සියයට හැට යනු අපේක්ෂකයින් දොළහයි. අතිරේක ලැයිස්තුවේ සියයට හතලිහ යනු ( කොට්ඨාස දොළහට අදාළව ගණනය කිරීමේදී) අට දෙනෙකි. ඒ අනුව එම සභාව විසි දෙනෙකුගෙන් යුතු සභාවකි.

අතිරේක ලැයිස්තුවෙන් මෙම සභාවට අට දෙනෙකු නම් වන බැවින්, එක් පක්ෂයක් විසින් ඉදිරිපත් කෙරෙන අතිරේක ලැයිස්තුවේ ඊට එකොලොස් දෙනෙකු නම් කළ යුතුය. එහි පදනම වන්නේ ඇත්තේ ඇතැම් විට තේරී පත්වන මන්ත්‍රීවරුන් ප්‍රමාණය වෙනසකට පත්වීම සහ කාන්තා නියෝජනය පුළුල් වීමයි. තුනක් එකතු කිරීමේ ක්‍රමය සමානුපාතික පළාත් පාලන මැතිවරණය ක්‍රමයටද ඇතුළත්ව තිබුණු අතර කොට්ඨාස ක්‍රමයටද එය ඇතුළත් වී ඇත.

තරග නොවදින ලැයිස්තුව හෙවත් සමානුපාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් පත් කිරීමේ පූර්ණ බලය ඇත්තේ ඒ ඒ පක්ෂ මහ ලේකම්වරුන්ටය  ස්වාධීන කණ්ඩායම් වල එම බලය ඇත්තේ ස්වාධීන කණ්ඩායම් වල නායකවරුන්ටය.

සභිකයින් පත් කිරීමේ තාක්ෂනික පැත්ත

උදාහරණ –  ( උපකල්පනයක් අනුව කොට්ඨාශ දොළහකින් සමන්විත පළාත් පාලන අයතනයක දළ සැලැස්ම මෙසේය)

කොට්ඨාස දොළහට අදාළව තරග වදින ලැයිස්තුවේ මන්ත්‍රීවරුන් ගණන 12කි. එනම් සියයට 60 ට අයත් ලැයිස්තුවයි. (12 = 60%)

තරග නොවදින ( අතිරේක ලැයිස්තුවේ) ලැයිස්තුවේ මන්ත්‍රීවරුන් ගණන 08 කි. එනම් සියයට 40 ට අයත් ලැයිස්තුවයි. ( 08 = 40%)

මෙම අතිරේක ලැයිස්තුවට තවත් 03 ක් එකතු කළ යුතුවේ. 8+3 = 11

12 ( කොට්ඨාශ මට්ටමින් තේරී පත් වුණු සංඛ්‍යාව) + 11 (අතිරේක ලැයිස්තුවෙන් ) = 23 (සමස්ථ සභාව සඳහා නාම යෝජනාවේ සිටිය යුතු සංඛ්‍යාව​)

කොට්ඨාශ 12 ට සභිකයන් පත් වන්නේ කේවල ක්‍රමයටය​. අනෙක් සභිකයන් 8 දෙනා තෝරාගන්නේ එක් එක් පක්ෂය ලබාගත් ඡන්ද ප්‍රතිශත සැළකීමෙනි.

උදාහරණයක් ලෙස කොට්ඨාශ 12 දී A නම් පක්ෂයක අපේක්ෂකයින් සමස්ථ ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද සියයට 50 ක් ද​, B නම් පක්ෂයක අපේක්ෂකයින් සියයට 30 ක් ද, C නම් පක්ෂයක අපේක්ෂකයින් සියයට 20 ක් ද ලැබී යයි සිතන්න​.

එවිට A, B, C පක්ෂ තුනට​ පිළිවෙලින් මන්ත්‍රී ධූර 10, 6, 4 ලෙස ලැබිය යුතුය​.

A පක්ෂය කොට්ඨාශ 7 ක් දිනා ඇතැයි සිතන්න​. එවිට සමස්ථ මන්ත්‍රී ධූර ගණන 10 වන ලෙස අනෙක් ලැයිස්තුවෙන් තුන් දෙනෙකු පත් කිරීමට ඊට අවසර ලැබේ.

B පක්ෂය කොට්ඨාශ 5 ක් දිනුවේ නම් තවත් එක් සභිකයකු පත් කිරීමට අවසර ලැබේ.

කිසිදු කොට්ඨාශයක් දිනුවේ නැතත් C පක්ෂයට සමස්ථ ඡන්ද ගණනින් සියයට 20 ක් ලැබී ඇත​. එහෙයින් මන්ත්‍රීන් 4 දෙනකු පත් කිරීමට අවස්ථාව ලැබේ.

ඇතැම් විට සභිකයන් ගණන 20 ට වඩා වැඩි විය හැක​. එය සිදු විය හැක්කේ මෙසේය​.

ඉහත උදාහරණයම ගමු. යම් හෙයකින් A පක්ෂය කොට්ඨාශ ක්‍රමයෙන් ආසන 12 ම දිනුවේ යයි සිතමු. ඡන්ද ප්‍රතිශත හැටියට ආසන 10 ක්, ආසන 6 ක් සහ ආසන 4 ක් ලැබිය යුතුය​. මේ අනුව B සහ C ට හිමි වන ආසන 6 සහ 4 ට අදාළ සභිකයන් දෙවන ලැයිස්තුවලින් පත් කිරීමට ලැබෙන අතර A පක්ෂයෙන් පත් වූ 12 දෙනාට ද සභාවේ අසුන් ගැනීමේ ඉඩ ලැබේ. මෙවිට සභික සංඛ්‍යාව 22 දක්වා වැඩිවේ. මෙසේ වැඩිවන ආසනවලට අමතර ආසන නැතහොත් එල්ලෙන ආසන (Overhang Seats) යයි කියනු ලැබේ.

එහෙයින් යම් පළාත් පාලන බලප්‍රදේශයක අවසන් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වන තුරු නිශ්චිත මන්ත්‍රීධුර සංඛ්‍යාවක් පිළිබඳව නිගමනය කළ නොහැක.

බහු ආසන යනු මොනවාද ?

බහු ආසනයක් යනු එක් මැතිවරණ කොට්ඨාසයකට මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු පත් කිරීමයි. මේ ක්‍රමය නිර්මාණය කර ඇත්තේ කරුණු දෙකක් පදනම් කර ගනිමිනි.

එනම් යම් කොට්ඨාසයට සිංහල, දෙමළ, මුස්ලිම් යන ජනවර්ගයන් සමාන ලෙස සිටීනම්, එහිදී ජනවර්ගයන් තුනම නියෝජනය වන සේ එය බහු ආසනයක් ලෙස නම් කර ඇත. එහිදී අදාළ කොට්ඨාසයට අපේක්ෂකයන් තරග කරති. යම් කොට්ඨාසයක සිංහල සහ මුස්ලිම් ජනවර්ගයන් සමානව සිටී නම් එය ඒ ඒ ජාතිකත්වයන්ගෙන් සමන්විත අපේක්ෂකයන් දෙදෙනෙකුගෙන් යුත් බහු ආසනයකි. තවත් කොට්ඨාසයක සිංහල හා දෙමළ ජනවර්ගයන් සමානව සිටී නම් එම ජාතිකත්වයන් දෙකම නියෝජනය කරන අපේක්ෂකයන් දෙදෙනෙකු තරග කරති.

අනෙක් ක්‍රමය වන්නේ කොට්ඨාසයක සිටින ජනහනය අධික වීමයි. එහිදී ද බහු ආසන ක්‍රමය ක්‍රියාත්මක වෙයි.

යම් බහු ආසනයක් වන කොට්ඨාසයක් සඳහා ඉදිරිපත් වන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ඇසුරින්, කොට්ඨාසය ජයග්‍රහණය කරන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට බහු ආසනයට අදාළ මන්ත්‍රීවරු හිමි වෙයි. එබැවින් එම බහු ආසනයට අදාළව වෙනත් පක්ෂවලට හෝ ස්වාධීන කණ්ඩායම් වලට එම මන්ත්‍රී ධුරයන් බෙදී නොයයි. අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට පමණක් බහු ආසනයට අදාළ මන්ත්‍රී ධුර හිමිවෙයි.

 

ඡන්දය දෙන්නේ කොහොමද ?

පැරණි මැතිවරණ ක්‍රම තරම් මෙම ඡන්ද ක්‍රමය සංකීර්ණ නැත. මෙය ඉතා සරළ  ක්‍රමයකි. මනාප ක්‍රමය මුළුමනින් අහෝසි කරන ලද මැතිවරණ ක්‍රමයකි. ඔබ නියෝජනය කරන කොට්ඨාසයේ එක් පක්ෂයකින් එක් අපේක්ෂකයා බැගින් තරග කරනු ඇත. එබැවින් ඔබට අරයාට දෙනවාද මෙයාට දෙනවාද කියා සිතා බැලීමට දෙයක් නැත. ඔබට කතිරය ගසන්නට තිබෙන්නේ අදාල පුද්ගලයා නියෝජනය කරන දේශපාලන පක්ෂයට පමණි. ඡන්ද පත්‍රිකාවේ තිබෙනුයේ දේශපාලන පක්ෂවල නම් සහ ඊට අදාළ සලකුණුය. ඔබ කැමැති පක්ෂයේ සළකුණ ඉදිරියේ ඔබේ කතිරය යොදන්න. එපමණකි.

මේ සියළු කරුණු සැලකිල්ලට ගත් කල පැවති මැතිවරණ ක්‍රමයන්ට වඩා සාපේක්ෂව සාධනීය ලක්ෂණ ගණනාවක් නව මැතිවරණ ක්‍රමය තුළ අඩංගු වී තිබේ. මනාප ක්‍රමය අහෝසි වී ඇත. එමෙන්ම ඡන්ද දායකයන් විසින් ලබා දෙන සෑම ඡන්දයකට ම වටිනාකමක් ලැබෙන්නා වූ මැතිවරණ ක්‍රමයක් වීම නිසා මෙම ඡන්ද ක්‍රමය අතිශය සාධනීය සහ සාධාරණ ඡන්ද ක්‍රමයක් වීම සුවිශේෂී කාරණාවකි.

Cover Image: USAID

Related Articles

Exit mobile version