මේ බිග් මැච් සීසන් එකයි

කලබලකාරී ‘බිග් මැච්’ සමයේ ආගමනයත් සමග බොහෝ ශ්‍රී ලාංකීය පාසල් ළමුන් හටනම් මාර්තු මාසය අතිශයින්ම උද්යෝගජනක කාලයක් වේ. ඒ බෑන්ඩ් ගසා ප’රේඩ්  යාමටත් ඇඟේ කොඩි ඔතාගෙන පාසලේ අභිමානය ලොවට හඬගා කියන්නටත් ලහිලහියේ සූදානම් විය යුතු බැවිනි. බිග් මැච් සංකල්පය ගැන වැඩි යමක් නොදන්නා පාඨකයන් හට ඒ ගැන පොඩි හැඳින්වීමක් දෙන්නේ නම්, බිග් මැච් එකක් යනු ප්‍රතිවාදී පාසල් දෙකක් අතර වසරකට වරක්  පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියකි.

ඉතින් බිග් මැච් සීසන් එක පැමිණ ඇති බව ඔබ හරියට දැනගන්නේ කොහොමද? මෙහි දක්වා ඇති ලක්ෂණ ඔබේ වටපිටාවේ පෙනෙන්නට තිබේද බලන්න, තිබේ නම් අනිවාර්යයෙන්ම බිග් මැච් එකක් අත ලඟයි!

1. දසත ලෙලදෙන පාසල් කොඩි

මෙය සැහෙන කාලයක් තිස්සෙම බිග් මැච් සමයේ ආගමනය ගැන අපට ප්‍රථම හෝඩුවා ලබා දෙන්නකි. බස්, කාර්, පාසල් වෑන් ආදී නානාප්‍රකාර රථ වාහන වල ජනෙල් වලින් අපට පාසල් වල සංකේත වර්ණ රැගත් කොඩි දක්නට ලැබෙන්නේ නම් අනිවාර්යයෙන්ම බිග් මැච් එකක් ආසන්නයේම පැමිණෙයි. මීට අමතරව අතීතයේ සිටම පැවත එන ‘කොඩි උදුරා ගැනීමේ’ සම්ප්‍රදායක් ද තිබේ. ප්‍රතිවාදී පාසලේ කොඩි පාරේ යන පාසල් වෑන් හා බස් රථ වලින් උදුරා ගැනීම මේ කාලයේදී වැඩි වැඩියෙන් සිදුවේ.

පාසල් කොඩි හැමතැනම ද? එහෙනම් අනිවාර්යයෙන්ම මේ බිග් මැච් සීසන් එකයි! (sundaytimes.lk)

පාසල් කොඩි හැමතැනම ද? එහෙනම් අනිවාර්යයෙන්ම මේ බිග් මැච් සීසන් එකයි! (sundaytimes.lk)

2. නිල (සහ නිල නොවන) ප’රේඩ්

කොළඹ යන්තම් හෝ සාමකාමී වන වෙලාවක් බලා ගමනක් යන්නට නිවසෙන් එළියට බසින සමහරු නම් මේ කාලයට සෑහෙන තරම් ලේ කෝප කරගනිති. හන්දියක් හන්දියක් ගානේ යටිගිරියෙන් තම පාසලේ නම සහ අභිමානය ලොවට හඬ ගා පවසන පාසල් ළමුන් රැගත්  වාහන වලින් පිරුණු නිල පාපැදි පෙරට්ටු සාමාන්‍යයෙන් කිලෝමීටර දෙක තුනක් දිගය. මේ අතරතුර, අඟලෙන් අඟල ඉදිරියට ඇදෙන රථ වාහන පෝලිමේ හිරවී සිටින්නන්ටනම් කල හැක්කේ තමන්ගේ ඉවසීමේ හැකියාව ප්‍රගුණ කිරීම පමණි.

මේ හැරුණු විට නිල නොලත් ප’රේඩ්ද දකින්නට ලැබේ. මෙහිදී සිදුවන්නේ නම් පාසල්  සිසුන් බුරුතු පිටින් කාන්තා විද්‍යාල වලට කඩා පැනීමයි. මෙම කාන්තා විද්‍යාල වල පාලන තන්ත්‍රය වසරේ මේ කාලයටම පමණක් මෙයට ඉඩ දී මදකට පැත්තකට වෙන්නේ ඔවුන්ට ඒ අහිංසක විනෝදය ලබා ගැනීමට ඉඩ සලසා දෙමිනි.

3. හෙඩ් බෑන්ඩ්, ආම් බෑන්ඩ් හා වෙනත් වෙනත් ආයිත්තම්

පාසලේ පාට රැගත් නානාවිධ පටි ඔලුවේ සිට පැළඳ පාසලට ඇතුළු වීමට අවසර තිබෙන වසරේ එකම කාලය මෙයයි. සාමාන්‍යයෙන් දැඩි වියනකින් ළමුන් හසුරුවන මෙම පාසල් වල එවන් ක්‍රියා වලට බිග් මැච් කාලයට පොඩි බුරුලක් ලැබෙයි.

අත් වල පාට පාට පටි බැඳගෙන, දසත රථ වාහන තදබදයට වගකියන සද්ද බද්ද දමාගෙන යන මෙවැනි ප’රේඩ් බිග් මැච් සමයේ දී පොදුවේ දර්ශනයකි. (Isipathana Media Group)

අත් වල පාට පාට පටි බැඳගෙන, දසත රථ වාහන තදබදයට වගකියන සද්ද බද්ද දමාගෙන යන මෙවැනි ප’රේඩ් බිග් මැච් සමයේ දී පොදුවේ දර්ශනයකි. (Isipathana Media Group)

4.කොඩි වලින් සැරසෙන පාසල් ගොඩනැගිලි

මේ කාලයට පාසලේ ගොඩනැගිලි වල දක්නට ලැබෙන ඒ සාමාන්‍ය පෙනුම පන්තිකාමර වල ජනෙල් පවා වැසෙන පරිදි දැවැන්ත කොඩි කැමති හැටියට ඔතා මුළුමනින්ම වෙනස්කර ගනු ලැබේ. මේ කොඩි වල විශාලත්වයත් වසරෙන් වසර ඉහල යන අතර විපර්යාසයට භාජනය කරන ගොඩනැගිලි ගණන ද කෙසේ හෝ සෑම වසරේම ඉහළ නගියි!

5. ක්‍රිකට් ක්‍රීඩාංගනය තුළ සහ ඉන් පිටත දක්නට ලැබෙන පොලිස් නිලධාරීන් ප්‍රමාණය

බිග් මැච් එකක් පැවැත්වෙන විට කොයි කවුරුත් තම පාසල පිලිබඳ අභිමානයෙන් සහ කණ්ඩායම් හැඟීමෙන් ඔද වැඩී  සිටින නිසාහෝ (බොහෝවිට පමණට සප්පායම් වී සිටින නිසා) සාමන්‍යයෙන් ප්‍රධාන පෙලේ ක්‍රිකට් ක්‍රීඩාංගන (එස් එස් සී, පී සරවනමුත්තු, ගාල්ල හෝ අස්ගිරිය වැනි ඒවා) ඇතුළත සේම පිටතද ඇත්තේ කරදර වලට අතවනන වාතාවරණයකි. මෙවන් අවථාවකදී යන්තමට ඇඟේ හැපුණ ද කලකෝලාහලයකින් ඇතිවියහැකි නිසා පොලීසිය සහ ආරක්ෂක නිලධාරීන් සිටින්නේ දැඩි විමසිල්ලකිනි.

බිග් මැච් සමරන එක් පොදු (එහෙත් මදක් අසම්මත) ක්‍රමයක්. (asianmirror.lk)

බිග් මැච් සමරන එක් පොදු (එහෙත් මදක් අසම්මත) ක්‍රමයක්. (asianmirror.lk)

6. කෙතරම් වයසට ගියත් මේ කාලයට සිතින් පාසල් සිසුන් වන ආදි-ශිෂ්‍යයන්

බොහෝ ආදිශිෂ්‍යයන් හට තම පැරණි මිතුරන් සහ සහචරයන් හමු වීමට වසරේ ලැබෙන එකම අවස්ථාව බිග් මැච් සමයයි. මේ මාහැඟි අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගන්නා ඔවුහු තම අතීත මතකයන් අවධි කරමින් ක්‍රීඩාව නරඹන අනෙක් දරුවන් තරම්ම විනෝදයක් සතුටක් ලබති.

7. පපර බෑන්ඩ්

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවටම අනන්‍ය මේ පපර ශබ්දය ගුවන් විදුලි රුපවාහිනී වෙළඳ දැන්වීම් වල සිට රින්ග් ටෝන් දක්වා ම පොදුවේ ක්‍රිකට් සංකේතවත් කිරීමට භාවිතා කෙරෙන අතර බිග් මැච් වලට ද නැතුවම බැරි පසුබිම් සංගීතයක් සපයයි.

වසරේ මේ කාලයට ලොකු කුඩා සියලු දෙනාම බිග් මැච් වසන්තයෙන් ප්‍රමෝදමත් ව තම පාසලේ ජයග්‍රහණය වෙනුවෙන් ජයඝෝෂා නගති. (lankauniversity-news.com)

වසරේ මේ කාලයට ලොකු කුඩා සියලු දෙනාම බිග් මැච් වසන්තයෙන් ප්‍රමෝදමත් ව තම පාසලේ ජයග්‍රහණය වෙනුවෙන් ජයඝෝෂා නගති. (lankauniversity-news.com)

දක්ෂ ක්‍රිකට් කරුවන්ට තෝතැන්නක් වූ කොළඹ, ගාල්ල සහ නුවර ප්‍රදේශ වල ප්‍රධාන පාසල් බොහොමයක දශක ගණනාවක් මුළුල්ලේ සිට මේ බිග් මැච් සංස්කෘතිය ඉදිරියට පවත්වාගෙන යයි. රාජකීය විද්‍යාලය (කොළඹ) හා ශා/තෝමස් විද්‍යාලය (ගල්කිස්ස) අතර පැවැත්වෙන වාර්ෂික බිග් මැච් එක ලොව මේ දක්වා දෙවැනියට වැඩිම කාලයක් නොකඩවා පවත්වා ඇති ක්‍රිකට් තරඟාවලිය ලෙසේ සැලකෙන අතර මේ වසරේ තරඟය ඔවුන් පවත්වන්නේ 137 වන වරටයි!

මේ දිනවල ද දසත පුරා පැතිර යන ඩ්‍රම් සහ ට්‍රම්පට් නලා හඬ සහ සුපුරුදු පපර පපර නාදය අපට සිහිකරන්නේ තවත් ලංකාවට පමණක්ම අනන්‍ය ඒ බිග් මැච්  වසන්තය උදා වී ඇති බවයි.

Related Articles

Exit mobile version