ගිනි ගහන අව්වේ, කන් බිහිරි කරවන ඝෝෂාවන්ගෙන් හා දැඩි අවිවේකයෙන් පිරුණු කොළඹ නගරයේ වීදි වල සැරිසරන ඔබ මිට දශක තුනකට පමණ ඉහතදී මෙම භූමිය වල් අලින් ප්‍රමුඛ වන සතුන්ගෙන්ද, සිසිල් දියදහරාවන්ගෙන් මෙන්ම සොබා අසිරියෙන්ද සපිරි වනරොදයන්හි රජදහනක් වූ බව කිසිසේත්ම විශ්වාස නොකරනු ඇති.
ඉතින් මෙම ලිපිය තුළින් අද ඔබට ගෙන එන්නේ මීට සියවස් තුනකට පමණ ඉහත, එනම් පෘතුග්‍රීසි, ලන්දේසි හා ඉංග්‍රීසි යුග වලදී කොළඹ හා ඒ ආශ්‍රිත ප්‍රදේශ වල පැවති ජෛව විවිධත්වය හා බැඳී සුන්දරත්වයයි. කොළඹ ප්‍රදේශයේ අතීත පාරිසරික වගතුග දැනගන්න ආශාවකින් පෙළෙන ඔබට මෙම ලිපිය ඉතා වැදගත් වේවි. තවත් සමහර කරුණු ඔබ මවිතයට පත් කරනු නොඅනුමානයි. කියවලාම බලන්න. ලියන්නට මගහැරුණු දෙයක් තියනවානම් comment එකකින් ඒ බව සටහන් කරලා යන්නත් අමතක කරන්න එපා.
කොළ – අඹ, කොළඹ වූ ආකාරය
කොළඹ නගරයට නම ලැබීම පිළිබඳව ස්ථිර නිගමනයක් මේ දක්වා නැතත් ඒ හා බැදුණු මත කිහිපයකින්ම නිරුපණය වන්නේ ජෛව විද්‍යාත්මකව මෙම නම ලැබීඇති බවයි. ශ්‍රී ලංකාවේ පෘතුග්‍රීසි යුගය පිළිබඳව විස්තර කරන පර්නාවෝ ක්වේරෝස් පියතුමන්ට අනුව කොම්සරේයට් වීදිය අසළ පිහිටා තිබුණු ඵල නොමැති කොළ පමණක් ඇති විශාල අඹ වෘක්ෂය හේතුවෙන් මෙම නම නිර්මාණය වී ඇත. කොළ අඹ යන වචන දෙක කාලයත් සමඟ වැරදි ලෙස උච්චාරණය වී අනතුරුව කොළඹ යන නාමය නිර්මාණය වූ බව පවසනවා. තවත් මතයක් වන්නේ විශාල කොලොන් වෘක්ෂයක් මුල් කරගෙන මේ නම ලැබුණු බවයි.
කොළඹ අවට ඇති ග්‍රාම නාම හා ස්ථාන නාම බොහොමයක් නිර්මාණය වීමට පාදක වී ඇත්තේ ගැස්වැල්, සතා- සිවුපාවා ඇතුළු සොබා දහමයි.
බ්ලුමැන්ඩල් හි ලන්දේසි අරුත වන්නේ “ගස් වලින් සමන්විත වූ යන්නයි” තවද ලන්දේසි යුගයේ මෙම ප්‍රදේශයේ Bloemen නම් මල් විශේෂයක් විශාල වශයෙන් පැතිරී තිබු බවද සදහන්.
“බම්බ” නම් ශාක විශේෂයක් හේතුවෙන් බම්බ+වල+පිටිය පසු කාලයේ බම්බලපිටිය බවට පරිවර්තනය වී ඇත. වනය ගින්නක් හේතුවෙන් විනාශ වී කොට පමණක් ඉතුරු වූ ප්‍රදේශය කොටහේන ලෙසද, කුරුදු කැළයකින් සමන්විත ප්‍රදේශය කුරුදු වත්ත ලෙසත් හදුන්වා තිබෙනවා.දෙමටගොඩ හා තිඹිරිගස්යාය සදහා නම් නිර්මාණය වී ඇත්තේ එහි පිහිටි එම ශාක වර්ග පදනම් කරගෙනයි.
මෝදර ආරුප්පු වීදිය ප්‍රදේශය එකළ හිවලුන්ගෙන් පිරී පැවති වන රොදකින් හා මඩ වගුරු බිමකින් සමන්විත විය. ලන්දේසින් හිවලුන්ව වැරදි ලෙස හදුනා ගත්තේ වෘකයන් ලෙසයි. වෘකයන්ගේ තැන්න ලෙස අර්ථ ගන්වන “වුල්ෆන්ඩොල්” ලෙස අතීතයේදී මෙම ප්‍රදේශය හදුන්වා තිබෙනවා. එකළ මේ ප්‍රදේශයේ නරින්ගේ හූ හඩ සෑම විටම රැවුදුන් බව සදහන්.
ලන්දේසි යුගයේදී පිට කොටුවේ සිට කොටුවට නැගෙනහිර දෙසින් ඇතුළු වීමට පැවති දොරටුව හැදින්වූයේ කයිමන් දොරකඩ නමින්. මෙම නම නිර්මාණයටත් පාදක වී තිබෙන්නේ සොබාදහම හා සම්බන්ධ සිදුවීමක්. එකළ පිටකොටුවේ කෙලින් වීදිය අසළින් ගලා ගිය බේරේ වැව හා බැදුණු ඇළ මාර්ගයෙන් පැමිණි කිඹුලන් විශාල ලෙස මෙම ප්‍රදේශයේ සැරිසරා තිබෙනවා. කයිමන් (kaiman) යන්න ලන්දේසි බසින් හදුන්වන්නේ කිඹුලායි. ඒ අනුව දොරකඩ kaiman Poort ලෙසද පසුව එය ඉංග්‍රීසි යුගයේදී Kaiman’s Gate ලෙසද සිංහලෙන් කයිමන් දොරකඩ ලෙසද හදුන්වා තිබෙනවා.
අද ඩි. ඇස් සේනානායක විද්‍යාලය පිහිටා තිබෙන ප්‍රදේශය යටත් විජිත යුගයේ හදුන්වා ඇත්තේ කූඹි කැළය නමින්. එය ඉතා ඝනව වැඩුණු වනාන්තර ප්‍රදේශයක් විය. අභිරහස් ලෙස මරා දැමූවන් මෙහි සඟවා තැබූ බව පැරණි කොළොම්පුර ගැන ඇති කතා වල සටහන් වෙනවා.
වල් අලි සිටි කොළොම්පුරේ
මේ බව සදහන් වන්නේ ලන්දේසි යුගයේ කොළඹ කොටුව තුළ සිදු වූ සියළුම වැදගත් සිදුවීම් සටහන් කර ඇති “කොළඹ නිළ වාර්තාව (Official Diary of Colombo)” නම් ලේඛණය තුළයි. 1751 නොවැම්බර් 27 වනදා එහි මෙසේ සටහන්ව තිබෙනවා.
“වෙලාව පෙරවරු දෙක පසුවෙනවාත් සමඟම වල් ඇතෙකු කොළඹ කොටු පවුර කඩාගෙන නගරය තුළට කඩාවැදී ඇතිබවට ආරංචියක් පැතිරිණි. රොටර්ඩෑම් යුධ අට්ටාලය (වර්තමානයේ රීගල් සිනමාශාලාව ඇති තැන) අසළ සෙබළෙකු මරා දමා තවත් සෙබළෙකුගේ අත්පා කඩා දමා ඇත. ආණ්ඩුකාරතුමාගේ ආඥාවකට අනුව පස්වරු තුන පමණ වන විට වල් ඇතාව ග්‍රහණය කරගත් සෙබළුන් ඌව කොළඹ නගරයෙන් සැතපුම් තුන්කාලක් පමණ ඈතට ඇද දැමීමට සමත් වූහ. මෙහිදී වෙලා දමා තිබූ සියළුම බැමි කඩා දමා හස්තියා කැලේට රිංගා ඇත.”
ඉහත සිදුවීමට අනුව එකළ උතුරු, නැගෙනහිර හා දකුණු දිශාවන් වල ඝන වනාන්තර පිහිටා තිබු බව බ්‍රෝහියර් පවසනවා. තවද වන මැද අතරින් පතර වගා බිම්ද, ගම්මානද විසිරී පැවතී තිබේ. තවද ජනයා කොටු බැම්මෙන් වටවුණ අභ්‍යන්තර නගරයට ඉතා ආසන්නයෙන් අලි ඇල්ලීමේ ක්‍රීඩා වල නිරත වූ බව බ්‍රෝහියර් වැඩිදුරටත් සදහන් කරනවා. 18 වන ශත වර්ෂයේ කොළඹ ප්‍රදේශය නිරූපණය කර ඇද ඇති සිතුවමක කොළඹ නගරයේ පිහිටි ඇත් ගාලක සිතුවමක් අඩංගු වෙනවා. (නගරය හා කොටුව දැක්වෙන සිතුවමේ අංක 131 දරණ ලේඛනාගාර පිටපත)
තලගොයින් ගෝනුස්සන් හා පිඹුරන්ගෙන් සමන්විත වූ කුරුදුවත්ත
ඉංග්‍රීසි ජාතික සිවිල් නිලධාරියකු වූ එමර්සන් ටෙනන්ට් සදහන් කරන ආකාරයට කොළඹ කුරුදුවත්ත ඉතා සුවදායක පරිසරයකින් යුක්ත වූ බව පැහැදිලි වේ. නමුත් වන සතුන්ගෙන් ඉතා උස පුළුල් ආලින්දවලින් යුත් මනස්කාන්ත නිවාස වලට නිතරම බාධා ඇති වූ බව සදහන් කරනවා. තලගොයින්, වදුරන්, ගෝනුස්සන් මෙන්ම විශාල පිඹුරන්, නාගයන් හා ගැරඩින් නිතරම මේ කුරුදු කැලය ආශ්‍රිතව සැරිසැරූ බව සදහන් වෙනවා. කුරුදු මල් පිපෙන සමයේ මල් සුවදින් මුළු ප්‍රදේශය පිරී යන බව ඔහුගේ වාර්තා වල තවදුරටත් සටහන් වෙනවා.
1895 දී ශ්‍රී ලංකාවට පැමිණි ජර්මන් ජාතික පඬිවරයෙක් වූ විල්හෙල්ම් ගයිගර් තම සංචාරය අතරතුර කුරුදුවත්තේ ජර්මන් ජාතික කාන්තාවකගේ නිවසේ නාගයකු මරා දමා සිටි ආකාරයක් දුටු බව සදහන් කරනවා.
කොළඹ නගරයේ සුන්දරත්වය
මෙරට නියෝජ්‍ය රාජ නීතිඥයෙක් ලෙස සේවය කළ 1850දී මෙරටට පැමිණි ඉංග්‍රීසි ජාතික හෙන්ද්‍රි චාල්ස්ගේ Ceylon & Cingalese කෘතියේ කොළඹ නගරයේ පාරිසරික සුන්දරත්වය මැනවින් විග්‍රහ කර තිබෙනවා. පෙරදිග තවත් මෙවැනි රටක් සොයා ගත නොහැකි බව ඔහු එම කෘතියේ සදහන් කරනවා.
“පාරවල් සැතපුම් ගණනක් දිවයන්නේ කුරුදු වතු හරහායි. තද හරිත වර්ණ පත්‍ර සහිත ගස් නෙත් සිත් පැහැර ගන්නවා. කොළඹ නගර මධ්‍යයේ පිහිටා තිබූ අඩි 2000කට වඩා උස නුග රුක වෙත රාත්‍රී කාලයේ ඇදී එන කණාමැදිරියන්ගේ එළියෙන් දිදුළන නුග වෘක්ෂය චමත්කාර දසුනක් මවයි”
අතීත වාර්තා වලට අනුව දූපත් කිහිපයකින් යුතු බේරේ වැවේ ඕලු, නෙළුම් වැනි පුෂ්පයන් පිරී පැවතුණු බවත් විශාලම දූපත වූ වහල් දූපතේ කුරුදු වගාවක්ද පොල් ගස් 600ක් සහිත ගම්මානයක් තිබු බවත් සදහන් වෙනවා.
1882දි මෙරටට පැමිණි ප්‍රකට ජීව විද්‍යාඥයෙක් වන අර්නස්ට් හේකල් ප්‍රධාන වීදි දෙපස රත් හා කහ පැහැති මල් ගස් වලින් අලංකාරව පැවති බවත් මාර්ගය පුරා මල් වැටී මනස්කාන්ත දර්ශනයක් මවා පෑ බවත් පවසනවා. සාමාන්‍ය ජනයාගේ නිවෙස් අසළ කෙසෙල්, පොල්, පුවක් හා කිතුල් වැනි ශාක මෙන්ම කොස් දෙල් හා හබරලද වගා කර තිබූ බව සදහන් කරනවා.
ඔහු විසින් රචිත A Visit to Ceylon කෘතියට අනුව ඔහුගේ බංගලාව පිහිටා තිබී ඇත්තේ කැළණි ගං මෝයට ආසන්නයේය. මේ අවට වැටකෙයියා, මුහුදුකෙයියා මෙන්ම රත් පැහැති මලින් යුත් බිම්තඹරු හා මහා රාවනා වලින්ද ගැවසී ගත් බව සදහන්. සැළලිහිණින්, සුටික්කන්, නිල්පැහැ පිළිහුඩුවන්, සමනළයන් හා පලගැටියන්ගෙන්ද මෙහි වාසය කළ බවත් පවසනවා.
ගයිගර් දුටු කොළඹ
1895දී කොළඹ වරායට ගොඩ බැසීමටත් පෙර විල්හෙල්ම් ගයිගර් නැවේ සිට කොළොම්තොට දුටු අයුරු මෙසේ සදහන් කරනවා.
“තද නිල් පැහැති සාගරයත් ඊටම ගැළපෙන සුදු පැහැති වෙරළ තීරයත් ඉතාම සිත් ඇද ගන්නා සුළුයි. වෙරළෙන් එපිට පෙනෙන තෙක් මානයම ඝන පොල් රූප්පාවෙන් වැසී ඇත.”
කොළඹ සිට ගල්කිස්ස දක්වා දුම්රියෙන් ගමන් කළ ඔහු
“මෙතෙක් කල් මගේ සිහින ලෝකයේ පමණක් රජ කළ ඉතා වර්ණවත් ඝර්ම කලාපීය වන ලැහැබ් හා ගහකොළ සියැසින්ම දැක ගත්තෙමි. සෑම තැනම විසිරී පවතින්නේ තද පැහැති කොළ පාටක් පමණයි. පාර දෙපස උස්, නොඋස්, විශාල හා කුඩා ශාක වර්ග දැක ගැනීම මා ලැබූ නැවුම් අත්දැකීමක් විය.”
යටත් විජිත යුගයන් වලදී ලංකාවේ වාසය කළ රාජ්‍ය නිලධාරීන් විසින් රචිත ලිපි ලේඛණ වලින් හා සංචාරකයන් ලෙස මෙරටට පැමිණි විජාතිකයන් රචනා කළ පොත පත ඇසුරෙන් එදා කොළඹ සොබා අසිරිය පිළිබඳව අපට වැඩි දුරට විස්තර ලබා ගන්නට පුළුවන්. කෙසේ වෙතත් එදා හරිත පැහැතිව දිස් වූ කොළඹ අද කොන්ක්‍රීට් පැහැයට හැරී අවසන්ය. ඒ වීදි දිගේ කලබලයෙන් ඇවිද යන අප සියළු දෙනා මින් දශක තුනකට ඉහත පැවති සුන්දර කොළොම්පුරයේ අසිරිය සිතින් පමණක් විද දරා ගැනීම හැර වෙන කුමක් කරමුද?
මුලාශ්‍ර- ලංකාව හා සිංහලයෝ – පේමචන්ද්‍ර අල්විස්, කොළොම්පුර පුරාවෘතය – පද්මා එදිරිසිංහ, ගයිගර් දුටු ලංකාව – සුදන්තක විජේතුංග, කොළොම්පුරයේ ස්ථාන නාම හා වීදි නාම – පද්මා එදිරිසිංහ