Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තල්මසුන් දඩයම නැවතත් ආරම්භ කරන ජපානය

ජාත්‍යන්තරයෙන් එල්ල වෙන චෝදනා නොතකා ජපානය පසුගිය දා තල්මසුන් දඩයම් කිරීම නැවත ආරම්භ කරනවා. ඒ වසර තිහකට පසුව යි. තල්මස් දඩයම සම්බන්ධ ජාත්‍යන්තර කොමිසම (International Whaling Commission (IWC)) විසින් එම කොමිසමට අදාළ රටවලට තල්මසුන් දඩයම් කිරීම තහනම් කරන්නේ 1986 වසරේ දී යි. ඒ සමහර තල්මසුන් වර්ග වඳ වී යාමේ තර්ජනයකට මුහුණ පෑම හේතුවෙන් 

නමුත් එම සංවිධානයෙන් ඉවත් වී සිටින ජපානය වසර ගණනාවකට පසුව වෙළඳ කටයුතු සඳහා තල්මසුන් දඩයම් කිරීම සඳහා සිය පළමු යාත්‍රාව සාගරය වෙත දියත් කරනවා. ඒ පසුගිය ජූලි 1 වෙනි දා යි. මේ සඳහා ජපාන රජයේ අනුග්‍රහය යටතේ ජපාන තල්මසුන් දඩයම් කරන්නන්ගේ කුඩා පරිමාණ සංවිධානයට අයත් Kushiro යාත්‍රාව පිටත් කර හරිනවා.

තල්මසුන් දඩයම් කිරීම තහනම් කිරිම

පර්යේෂණ සඳහා බව පවසමින් තල්මසුන් දඩයමේ යන ජපන් යාත්‍රා (thestar.com)

1946 වසරේ දී තල්මස් දඩයම සම්බන්ධ ජාත්‍යන්තර කොමිසම ආරම්භ වෙන්නේ තල්මස් දඩයම නියාමනය පිළිබඳව ජාත්‍යන්තර සම්මුතිය (International Convention for the Regulation of Whaling (ICRW)) නිර්මාණය කිරීමට යි. 1946 වසරේ දෙසැම්බර් 2 වන දා එම සම්මුතියට රටවල් සමූහයක් විසින් අත්සන් තබනවා. ඒ ඇමෙරිකාවේ වොෂින්ටන් ඩි.සී හි දී යි. වර්තමානය වන විට මෙහි සාමාජික රටවල් සංඛ්‍යාව 89ක් පමණ වෙනවා.

එම කොමිසම විසින් සාමාජික රටවල් විසින් සිදුකෙරෙන වෙළඳාම සඳහා තල්මසුන් දඩයම් කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කරන්නේ 1986 වසරේ දී යි. 1986 වසර දක්වා වාණිජ මට්ටමින් තල්මසුන් දඩයම් කිරීමේ යෙදුනු ජපානය වෙළඳ කටයුතු සඳහා තල්මසුන් දඩයම් කිරීම නවත්වන්නේ මෙම කොමිසමේ සාමාජික රටක් වූ බැවින්.

පර්යේෂණවලට මුවා වී තල්මසුන් දඩයම් කිරීම 

නැවතත් ආරම්භ වූ තල්මස් දඩයම (nydailynews.com)

1986 වසරෙන් පසුවත් විවිධ විද්‍යාත්මක පරීක්ෂණ සඳහා ජපානය තල්මසුන් දඩයම් කරනවා. එම දඩයම් කිරීම් බොහෝ විට ක්‍රියාත්මක වෙන්නේ උතුරු ශාන්තිකර සාගරයේ හා දකුණුදිග සාගරයේ යි. එම විද්‍යාත්මක ව්‍යාපෘති ජපානය විසින් හඳුන්වා දී ඇත්තේ JARPN හා JARPA ලෙස යි. එම ව්‍යාපෘති විවේචනය කරන අනෙකුත් රටවල් පවසා සිටින්නේ පරීක්ෂණ සඳහා බව පවසමින් ජපානය තල්මසුන් වෙළඳාමේ යෙදෙන බව යි. මෙම ක්‍රියාවලිය දැඩි ලෙස හෙලා දකින එක්සත් ජාතීන්ගේ සංවිධානය 2014 වසරේ දී ජපානයේ එම පර්යේෂණ සීමා කිරීමට කටයුතු කරනවා. ඊට අමතරව පර්යේෂණ මුවාවෙන් තල්මසුන් දඩයම් කිරීම නීති විරෝධී බව එම වසරේ දීම හේග් ජාත්‍යන්තර අධිකරණය නිවේදනය කරනවා.

1951 සිට මෙම කොමිසමේ සාමාජිකත්වය දරන ජපානය 2018 වසරේ දී එම කොමිසමෙන් තම රට ඉවත්වන බව නිවේදනය කරනවා. පසුව ජපානය නැවතත් වාණිජමය වශයෙන් තල්මසුන් දඩයම් කිරීම ආරම්භ කරන බව එරට රජය පසුගිය ජූලි 1 දින නිවේදනය කරනවා. ඒ අනුව තල්මසුන් දඩයම් කිරීම සඳහා වන පළමු ජපන් ධිවර යාත්‍රාව පසුගිය ජූලි 1 වන දා දියත් වෙනවා. ජපන් තල්මසුන් දඩයම් කරන්නන්ගේ කුඩා පරිමාණ සංවිධානයට අනුව මේ වසර අවසන් වන විට ඔවුන්ගේ ඉලක්කය වන්නේ 200කට අධික තල්මසුන් ප්‍රමාණයක් දඩයම් කිරීම යි.

ජපන් රුචිකත්වය 

තල්මසුන් ආහාරයට ගැනීම ජපන් වැසියන් දැඩි රුචිකත්වයක් දක්වයි (wp.com)

ජපානය පවසන්නේ තල්මසුන් ආහාරයට ගැනීම ඔවුන්ගේ සංස්කෘතියේ කොටසක් බව යි. තල්මසුන් ආහාරය සඳහා යොදාගැනීමට ජපන් ජාතිකයන් දැඩි රුචිකත්වයක් දක්වනවා. එහි ගවමස්වලට වඩා පස්ගුණයකින් කැලරි ප්‍රමාණය අඩු බවත්, දස ගුණයකින් කොලොස්ටරෝල් අඩු බවත්, කුකුළු මස්වලට වඩා දෙගුණයකින් කොලෙස්ටරෝල් අඩු බවත් ජපන් ජාතිකයන් පවසනවා. ඒවා ජපාන ආපනශාලාවල ඉතා ජනප්‍රිය යි. මේ පිළිබඳව විවේචනය කරන අනෙකුත් රටවල් හා සංවිධාන තල්මසුන්ගේ රසවත්භාවය නොදන්නා බව යි බොහෝ ආපනශාලා කෝකිවරුන් BBC ප්‍රවෘත්ති සේවයට පවසා තිබෙන්නේ.

අන්තර්ජාතික විවේචන 

සංරක්ෂිත තල්මසුන් විශේෂයක් ලෙස නම් කළ මින්ක් (ytimg.com)

තල්මසුන් දඩයම් කිරීම පිළිබඳ ජාත්‍යන්තර කොමිසම විසින් වඳ වී යන සංරක්ෂිත තල්මසුන් විශේෂයක් ලෙස නම් කළ මින්ක් (Minke) තල්මසුන් ඇතුළු ඕනෑම තල්මසෙකු දඩයම් කිරීමේ බලය ජපානය විසින් ධීවරයන්ට ලබා දී තිබෙනවා. මේ කරුණ හේතුවෙන් අනාගතයේ දී එවැනි වර්ගයේ තලමසුන් මිහිපිටින් තුරන්වනු බවත් ඒ සඳහා ජපානය සෘජුව වගකිව යුතු බවත් ලොව පුරා පරිසර සංවිධාන දැඩි ලෙස ප්‍රකාශ කරනවා.

තල්මසුන් දඩයම් කරන තවත්  රටවල් ඇති නමුත් විශාල රාජ්‍ය අනුග්‍රහයක් සහිතව තල්මසුන් දඩයම් කරන එකම රට ලෙස පරිසරවේදීහු විසින් ජපානය නම් කර තිබෙනවා. තමන් අන්තර්ජාතික මුහුදේ තල්මසුන් දඩයම් නොකරන බවත් ජපානයට අයත් මුහුදු සීමාවේ පමණක් තල්මසුන් ඇල්ලීම සිදුකරන බව ජපාන රජය වැඩි දුරටත් නිවේදනය කර තිබෙනවා.

කවරයේ පින්තූරය - googleapis.com

මූලාශ්‍රයයන්- 

bbc.com

dw.com

economist.com

Related Articles