Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

 ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදයට ‘බයෝ ඩීසල්’ පිළියමක් ද?

වර්තමානය වන විට ශ්‍රී ලංකාව උග්‍ර ඉන්ධන හිඟයකට මාස ගණනාවක් තිස්සේ මුහුණ දෙමින් සිටිනවා. මේ නිසා විකල්ප ගමනාගමන ප්‍රභව මෙන් ම සහ ඉන්ධන ප්‍රභව පිළිබඳ ද සොයා බලන්නට මෙරට ජනතාව යුහුසුළු වී සිටිනවා. එලෙස සොයාබැලෙන නොයෙක් විකල්ප අතුරින් ඉදිරියෙන් ම කියැවෙන එක් ද්‍රව්‍යයක් වන්නේ ‘බයෝ ඩීසල්’ හෙවත් ‘ජෛව ඩීසල්’ යන සංඝටකය යි.

අයෙක් එය ආරක්ෂාකාරී මෙන් ම ලාභදායී ඉන්ධනයක් ලෙස කරුණු දක්වන විට, තවත් අයෙක් පවසන්නේ එය නිපයන්නට දැරිය යුතු පිරිවැය සාමාන්‍ය ඩීසල්වල පිරිවැයට වඩා අධික බව යි. එමෙන්ම ‘ජෛව ඩීසල්’  නිපදවීම අනතුරුදායක බවත් ඔවුන් පවසනවා.

ජෛව ඩීසල් කියන්නේ මොනවාද? – choosesq.com

 

ජෛව ඩීසල් කියන්නේ මොනවාද?

ලොව පුරා බහුල ව භාවිත කෙරෙන පොසිල ඩීසල්වලට අතිශයින් සමාන ඉන්ධනයක් ලෙස ජෛව ඩීසල් හඳුන්වා දිය හැකි යි. මේවා එළවළු තෙල්, සත්ත්ව තෙල් සහ ඉවත දමන පොල් තෙල් වැනි තෙල් වර්ග වලිනුත් නිපදවා ගත හැකි යි. මෙම තෙල් ජෛව ඩීසල් බවට පරිවර්තනය කරගන්නා ක්‍රියාවලිය ‘ට්‍රාන්ස් එස්ටරීකරණය’ ලෙස හැඳින්වෙනවා. වර්තමානය වන විටත් ලොව සමහර රටවල් මෙලෙස ජෛව ඉන්ධන නිපදවන අතර මේ සඳහා රැප්සීඩ්, ෆාම් තෙල් සහ සෝයා තෙල් වැඩිමනත් ම යොදා ගන්නවා. 

ලොව බොහෝ ජෛව ඩීසල් නිපදවන්නන් ඉවත දමන පිසින තෙල් ද මේ සඳහා යොදා ගන්නවා. ලොව සමහර ආහාර නිෂ්පාදන සමාගම් තමන් ඉවතලන පිසින තෙල් මහා පරිමාණයෙන් මේ නිෂ්පාදන සඳහා ලබා දෙනවා. ඔවුන් මේවා ලබා දෙන්නේ සුළු මුදලකට යි. කෙසේ නමුත් ජෛව ඩීසල් නිෂ්පාදන ක්‍රියාවලිය තරමක් සංකීර්ණ සහ වියදම්කාරී ක්‍රියාවලියක් බැවින් ඉවත දමන පිසින තෙල් ජෛව ඩීසල් බවට පත් කර, භාවිතයට ගන්නා අවස්ථාව වන විට ඒ සඳහා සැලකිය යුතු මුදලක් වියදම් වී තිබීම දැකගත හැකි යි.

 රැප්සීඩ් හෙවත් කැනෝලා වගාවක්- Sandsun/Getty Images

 

ජෛව ඩීසල් වල වාසි

ජෛව ඩීසල් වල වාසි බොහොමයක් ද තිබෙනවා. විශේෂයෙන් ජෛව ඩීසල්, පොසිල ඉන්ධනවලට වඩා පරිසර හිතකාමී වෙනවා. ජෛව ඩීසල් සබැඳී වඩාත් හොඳ ම වාසිය වන්නේ එය ‘කාබන් උදාසීන’ වීම යි. එනම් එය පරිසරයට මුදාහරින  කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය සමස්තයක් ලෙස ගත් විට ශුන්‍ය වීම යි. මෙමඟින් මෙම ඉන්ධන පරිසරයට කාබන් මුදා නොහැරෙන බවට ගම්‍ය නොවන අතර, ජෛව ඩීසල් නිපදවීමට යොදා ගන්නා ශාකවලින් අවශෝෂණය කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් පරිසරයට නැවත  මුදාහැරීම සිදුවන නිසා එය ‘කාබන් උදාසීන’ ලෙස සැලකෙනවා. කෙසේ නමුත් මෙම ගණනය කිරීම්වලට ඒවාට යොදන පොහොර ඇතුළත් නොවන බැවින්, නිෂ්පාදන ක්‍රියාවලියේ දී, ප්‍රවාහන ක්‍රියාවලියේ දී යම් පොසිල ඉන්ධන ප්‍රමාණයක් එයට වැය වන බැවින්, මෙම ගණනය කිරීම ඉතාමත් නිරවද්‍ය වන්නේ නැහැ. කෙසේ නමුත් පැහැදිලිව ම මෙම ජෛව ඩීසල් මඟින් සිදුවන පරිසර දූෂණය සාමාන්‍ය පොසිල ඉන්ධනවලින් සිදුවන පරිසර දූෂණයට සාපේක්ෂ ව අවම වෙනවා.

ජෛව ඩීසල් පොසිල ඉන්ධනවලට සාපේක්ෂ ව ඉක්මනින් වියෝජනය වන අතර, ජල ප්‍රභවයකට මේවා එකතු වුවහොත් සිදුවන පරිසර දූෂණය සාපේක්ෂ ව අවම වෙනවා.  මේවා සම්පූර්ණයෙන් නිර්විස ද වෙනවා. එම නිසා පරිසරයේ වෙසෙන ජීවීන්ට ඉන් සිදුවන හානියත් අවම යි. ජෛව ඉන්ධනවල ජ්වලනාංකය පොසිල ඉන්ධනවලට වඩා ඉහළ අගයක් ගන්නවා. මේ නිසා හදිසි අනතුරු වලදී ගිනි ගැනීමේ ආවදානමත් අවම වෙනවා.

ජෛව ඩීසල් නිෂ්පාදනය

ලිපියේ පෙර සඳහන් කළ පරිදි ජෛව ඩීසල් එළවළු තෙල්, සත්ත්ව තෙල් සහ ඉවත දමන පිසින තෙල්වලින් නිපදවා ගත හැකි යි. මෙම නිෂ්පාදන ක්‍රියාවලිය සිදු කළ හැකි මාර්ග තුනක් තිබෙනවා.  ඉන් පළමුවැන්න භාෂ්මික උත්ප්‍රේරක සහිත තෙල් ට්‍රාන්ස්එස්ටරීකරණය යි.  අනෙක ඍජු, ආම්ලික උත්ප්‍රේරක සහිත ට්‍රාන්ස්එස්ටරීකරණය යි. අනෙක් මාර්ගය වන්නේ තෙල් එහි මේද අම්ලවලට පරිවර්තනය කොට, අනතුරුව ඒවා ජෛව ඉන්ධන බවට පෙරළීම යි.

මෙම ක්‍රම තුනෙන් මුලින් සඳහන් කළ භාෂ්මික උත්ප්‍රේරක සහිත ට්‍රාන්ස්එස්ටරීකරණ ක්‍රියාවලිය වඩාත් ලාභදායී ක්‍රියාවලිය වන අතර, වර්තමානයේ ලොව සිදුවන ජෛව ඉන්ධන නිපදවන ආයතන වලින් 98% ක් ම මෙම ක්‍රමය අනුගමනය කරනවා.

 භාෂ්මික උත්ප්‍රේරිත ට්‍රාන්ස්එස්ටරීකරණ ක්‍රියාවලිය –  www.researchgate.net

 

ශ්‍රී ලංකාව සහ ජෛව ඩීසල්

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ උග්‍ර ඉන්ධන හිඟයක් පවතින නිසා ජෛව ඩීසල් නිෂ්පාදනය සම්බන්ධයෙන් මහත් වූ උනන්දුවක් මෙරට ඇති වී තිබෙනවා. පොසිල ඉන්ධන ඩීසල්වලට ආදේශක ලෙස ජෛව ඩීසලුත්, පෙට්‍රල්වලට ආදේශක ලෙස ජෛව එතනෝලුත් භාවිත කරන ආකාරය, එහි වාසි සහ අඩු වියදම පිළිබඳ ව විවිධ තොරතුරු සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා. කෙසේ නමුත් විද්වතුන් පවසන්නේ එලෙස කුඩා පරිමාණයෙන් ජෛව ඉන්ධන නිපදවීම සිතන තරම පහසු නැති බවයි. එමෙන් ම භයානක බවයි.

ජෛව ඉන්ධන නිපදවීමේ දී යොදා ගන්නා ඇතැම් අමුද්‍රව්‍ය පාලිත විද්‍යාගාර තත්ත්වවලින් පිටත දී භාවිත කිරීම  භයානක වෙනවා. විශේෂයෙන් ජෛව එතනෝල් නිපදවීමේ දී භාවිත කෙරෙන මෙතනෝල් ඉතා විෂ සහිත වෙනවා. මෙතනෝල් ස්වල්ප පමණකින් හෝ ශරීගත වුවහොත් අන්ධ වීම හෝ මරණය ළඟා විය හැකි වෙනවා. ජෛව ඩීසල් නිපදවීමේ දී අවශ්‍ය උත්ප්‍රේරක පරෙස්සමකින් තොර ව භාවිත කිරීමත් සෞඛ්‍ය ගැටලු රැසකට මගපාදනවා. නිවසේ දී ජෛව ඉන්ධන නිපදවීම සඳහා යන වියදමත්, ශ්‍රී ලංකාවේ දී එයට වුවමනා උත්ප්‍රේරක සොයා ගැනීමේ අපහසුව සහ, ඒවාවල මිලගණන් මතත් අදාළ නිපැයුමේ වාසි හෝ පාඩු රඳා පවතිනවා. මේවා සුළු පරිමාණයෙන් ලබා ගැනීමේ දී, ඒකකයකට අධික පිරිවැයක් දැරීමට සිදුවෙනවා.

පළමු, දෙවන සහ තුන්වන පරම්පරාවේ ජෛව ඩීසල් නිෂ්පාදනයේ ක්‍රමවේද –  www.researchgate.net

 

පැහැබර කාරණාව

ශ්‍රී ලංකාව සහ ජෛව ඉන්ධන සම්බන්ධව ඇති පැහැබර කාරණාවනම් මධ්‍යම සහ මහා පරිමාණයෙන් අනාගතයේ දී මේවා නිපදවීමේ වාසි සහගත බව යි. විශේෂයෙන් කටු පොල් හෙවත් පාම් තෙල් මධ්‍ය පරිමාණයෙන් හෝ මහා පරිමාණයෙන් නිපදවන්නන්ට, නිරවද්‍ය විද්‍යාගාර සහ, පාලිත කර්මාන්ත තත්ත්ව යටතේ ජෛව ඉන්ධන නිපදවීමේ විභවයක් තිබෙනවා. තවත් යමකුට කර්මාන්තයක් ලෙස එඬරු වැනි ශාක යොදා ගෙන, පාලිත විද්‍යාගාර තත්ත්ව යටතේ ජෛව ඉන්ධන නිවැරදි ව නිපදවා රටේ අවශ්‍යතා වෙනුවෙන් සම්මාදම් වීමේ හැකියාවක් තිබෙනවා. මේවා පොසිල ඉන්ධන සමග, සම්මත පරිදි මිශ්‍ර කොටත් ලොව සමහර රට වල භාවිත කරනවා.

පසුවදන

ජෛව ඩීසල් ඇතුළු, ජෛව ඉන්ධන පිළිබඳව ශ්‍රී ලංකාවේ උනන්දුවක් ඇති වීම, අනාගතය අනුව සලකන කල්හී ඉතා සුබවාදී වෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ඉන්ධන අවශ්‍යතාවෙන් සුළු කොටසක් හෝ මෙරට දී නිපදවා ගැනීමේ හැකියාවක් ඇති කර ගත හොත් විදෙස් විනිමය යම් පමණකට හෝ වියදම් වීම අඩු කරගැනීමේ හැකියාවක් ශ්‍රී ලංකාවට ලැබෙනවා. කෙසේ නමුත් එය හදිසියේ කරන්නන්වාලේ නොකර, නිසි සැලසුමක් ඇතිව ක්‍රියාත්මක කළ යුතු දෙයක් වෙනවා.

කවරයේ ඡායාරූපය - ජෛව ඉන්ධන - biofuels-news.com 

මූලාශ්‍ර:

Ihsmarkit.com

Lewa.com

esru.strath.ac.uk

Related Articles