අද වන විට ලෝකයේ බොහෝ රටවල්වල ජනතාව කෘෂිකර්මාන්තයේ නිරත වෙනවා. ලෝක ජනගහනයෙන් 45%ක් සිය ජීවනෝපාය වශයෙන් කෘෂිකර්මාන්තයේ නිරත වන බව වාර්තාවල සටහන් වෙනවා. ලෝක බැංකුවේ වාර්තාවලට අනුව 2020 වන විට ලෝකයේ සමස්ත දල දේශීය නිෂ්පාදිතය සඳහා කෘෂිකර්මාන්තය මඟින් 4.3%ක දායකත්වයක් ලැබුණා.
එහි දී සමහර දිළිඳු රටවල්වල දළ දේශීය නිෂ්පාදිතය සඳහා 40%කට වැඩි දායකත්වයක් කෘෂිකර්මාන්තය මඟින් ලැබී තිබුණා. සෝමාලියාව- 62.7%, සියරාලියොන්- 59.5%, චැඩ්- 46.3% ඒ සඳහා හොඳම උදාහරණ ලෙසින් දක්වන්නට පුළුවන්.
ගෙවුණු දශක කිහිපය තුළ සිදුවුණු අධික කාර්මීකරණය හේතුවෙන් නවීන තාක්ෂණික ක්‍රමවේද කරළියට පැමිණියා. ඇතැම් දියුණු රටවල් එම ක්‍රම උපයෝගී කරමින් කෘෂිකාර්මික කටයුතු සිදුකරන්නට පටන් ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් වර්තමානය වන විට ගොවීන්ට කෘෂිකාර්මික කටයුතුවල පහසුවෙන් නිරත වීමට හැකි වී තිබෙනවා. එපමණක් නොව වැඩි අස්වැන්නක් ද ඔවුන්ට ලැබෙනවා. එහි දී කෘෂිකර්මාන්තය සඳහා IoT තාක්ෂණය යොදා ගැනීම බොහෝ රටවල් සිදු කරනවා. මේ තොරතුරු කෘෂිකාර්මික කටයුතු සඳහා IoT තාක්ෂණය භාවිත කරන ආකාරය යි.
IoT තාක්ෂණය යනු කුමක් ද?
IoT හෙවත් Internet of Things කියන වචනයේ අර්ථය, අන්තර්ජාලය මත පදනම් වූ උපාංග භාවිතය යි. පුද්ගල අන්තර්ජාලය (Internet of People) වෙනුවට මානව සහභාගීත්වයක් නොමැති ව උපාංග-උපාංග අතර ඇති කරන සබඳතා ජාලයක් එයින් නිරූපණය වෙනවා. එහි දී උපාංග එකිනෙක අතර දත්ත නිර්මාණය කිරීම, හුවමාරුව, වෙනස් කිරීම, මකා දැමීම, යැවීම, සහ ලැබීම සහ තීන්දු ගැනීම සඳහා එම දත්ත භාවිත කිරීම සහ ඒ මත දනම් ව ක්‍රියාත්මකවීම සිදුකරනවා. IoTහි මූලික හරය, උපාංග අතර දත්ත හුවමාරුව යි.
මිනිස්සුන්ට කළ හැකි දේවල්වලට වඩා බොහෝ දේවල් IoT උපාංගවලට කිරීමට හැකිවීම විශේෂත්වයක්. ඒවායේ කාර්යක්ෂමතාව, පහසුව මෙන්ම ඇතැම් අවස්ථාවල දී ආරක්ෂාවත් ඉතා ඉහළ යි. IoT උපාංග බොහොමයක් එක් එක් සුවිශේෂී කාර්යයක් වෙනුවෙන් ම සැකසූ ඒවා යි. එනිසා බහුකාර්ය නමුත් අමතකවීම් සිදුවිය හැකි මානව අන්තර්ජාලයකට වඩා දත්තවල විශ්වාසවන්ත බවක් මේ හරහා ගොඩකැඟෙනවා.
ස්වයංක්‍රීය ගබඩා කිරීම් සහ විශාල දත්ත (big data) විශ්ලේෂණය ද පහසුවෙන් කර ගැනීමට ඉන් අවස්ථාව ලැබෙනවා. එනිසා ඇතැම් රටවල් කෘෂිකාර්මික කටයුතු සඳහා IoT උපාංග යොදා ගන්නවා. මේ කෘෂිකාර්මික කටයුතුවල දී IoT උපාංග භාවිත කරන ආකාරය යි.
දේශගුණික තත්ත්වයන් නිරීක්ෂණය කිරීම
කෘෂිකාර්මික කටයුතු කෙරෙහි දේශගුණය විශාල බලපෑමක් සිදු කරනවා. යම් කිසි බෝගයක් වගා කිරීමෙන් පසු ව අස්වැන්න නෙළන කාලය දක්වා යහපත් දේශගුණයක් පැවතුණොත් පමණක් සාර්ථක අස්වැන්නක් ලබාගැනීමට පුළුවන්.
දේශගුණික වෙනස්වීම් පිළිබඳ ව දැන ගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැති වීම හේතුවෙන් ඇතැම් අවස්ථාවල අස්වනු විනාශ වෙනවා. එම තත්ත්වය මඟ හරවා ගැනීමට IoT උපාංග යොදා ගැනීමට අද වන විට බහුල ව සිදුවෙනවා.
එහි දී සිදුවන්නේ වගා ක්ෂේත්‍රය පුරා ස්ථානගත කර තිබෙන සංවේදක මඟින් දත්ත ලබා ගැනීම යි. එසේ එකතු කරන දත්ත IoT උපාංග මඟින් විශ්ලේෂණය කිරීමමෙන් අදාළ ප්‍රදේශයේ ඉදිරි මාස කිහිපය තුළ පවතින දේශගුණික තත්ත්වය පිළිබඳ ව දල අදහසක් ලබාගන්නට පුළුවන්. එහි දී ප්‍රදේශයේ දේශගුණික තත්ත්වයන් සිතියම් ගත කිරීමක් සිදුවෙනවා.
ඉන් අනතුරුව එම ප්‍රදේශයේ ඉදිරි කාලයේ පවතින දේශගුණයට අනුව වගා කටයුතු කර ගෙන යාමේ හැකියාව පවතිනවා. Smart Elements, Pycno, allMETE0 ඒ අයුරින් දේශගුණික දත්ත එකතු කරන IoT උපාංග සඳහා උදාහරණ ලෙස දක්වන්නට පුළුවන්.
හරිතාගාර ස්වයංක්‍රීකරණය
හරිතාගාර තුළ පැළ වගා කිරීම අද වන විට සුලබ ව සිදුවන දෙයක්. සාමාන්‍යයෙන් හරිතාගාරයක් ඇතුළත පරිසර තත්ත්වයන් පාලනය සිදුවන්නේ වගාකරුවන්ගේ මැදිහත්වීමෙන්. ඇතැම් අවස්ථාවල දී ඔවුන්ට සිය හරිතාගාරයේ පැළ වර්ධනය වීමට අවශ්‍ය පරිසර තත්ත්වයන් පවත්වාගෙන යාමට නොහැකි වෙනවා.
එවිට හරිතාගාරයේ පැළවල වර්ධනය බාල වෙනවා. එම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා IoT සංවේදක භාවිත කිරීම අද වන විට සුලබ ව දක්නට ලැබෙන ප්‍රවණතාවක්.
එහි දී සිදුවන්නේ හරිතාගරය තුළ ස්ථානගත කර තිබෙන IoT සංවේදක මඟින් ආලෝකය, උෂ්ණත්වය, පාංශු තත්ත්වය සහ ආර්ද්‍රතාව වැනි හරිතාගාර තත්ත්ව පිළිබඳ නිවැරදි තත්‍ය කාලීන තොරතුරු ලබා ගැනීම යි. ඉන් පසුව එම දත්ත විශ්ලේෂණය කර අවශ්‍ය හරිතාගාර තත්ත්ව ස්වයංක්‍රීය ව සකස් කිරීමේ හැකියාව පවතිනවා. එම මූලධර්මය හරිතාගාර ස්වයංක්‍රීකරණය යනුවෙන් හැඳින්වෙනවා. Farmapp සහ Growlink ඒ අයුරින් භාවිත කරන IoT නිෂ්පාදන යි.
බෝග කළමනාකරණය
කෘෂිකර්මාන්තයේ නිරත වෙමින් සාර්ථක අස්වැන්නක් ලබා ගැනීම සඳහා හොඳින් බෝග කළමනාකරණය සිදු කළ යුතු යි. එය ඉතාමත් හොඳින් සිදු කිරීම සඳහා IoT උපාංග භාවිත කරනවා. IoT සංවේදක ක්ෂේත්‍රය තුළ තබා බෝග වගාව සඳහා විශේෂිත වුණු දත්ත රැස් කරනවා. උෂ්ණත්වය, වර්ෂාපතනය, පත්‍ර ජල විභවය, බෝග සෞඛ්‍යය වැනි දේ පිළිබඳ ව එහි දී දත්ත එකතු කරනවා.
ඉන් අනතුරු ව එම දත්ත විශ්ලේෂණය කර බෝග වර්ධනය වීමට අවශ්‍ය සාධක නිසි පරිදි ලැබෙනවා ද යන කාරණය පිළිබඳ ව අවබෝධයක් ලබාගන්නවා. එපමණක් නොව බෝගවල වර්ධනය නිසි පරිදි සිදු නොවීම, බෝගවලට ලෙඩ රෝග වැලඳීම වැනි දේ පිළිබඳ දත්ත එකතු කරගැනීමටත් ඉන් අවස්ථාව ලැබෙනවා. අකතුරු ව එවැනි බෝගවලට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම මඟින් ලැබෙන අස්වැන්නට වැඩි කරගන්නට පුළුවන්. Arable සහ Semios වැනි සමාගම් එවැනි IOT උපාංග නිපදවනවා.
ගව පාලනය අධීක්ෂණය සහ කළමනාකරණය
ලෝකයේ ඇතැම් රටවල්වල විශාල ගව ගොවිපොළ පිහිටා තිබෙනවා. එවැනි ගොවිපොළවල ගවයන් දහස් ගණනක් සිටින නිසා උන් පාලනය කිරීම තරමක් අපහසු යි. එවැනි ගොවිපොළවල සේවය කිරීම සඳහා විශාල සේවකයන් පිරිසක් බඳවා ගතහොත් ගොවිපොළේ නඩත්තු වියදම් ද වැඩි වෙනවා.
එවැනි තත්ත්වයක් යටතේ ගොවිපොළේ විවිධ ස්ථානවල IoT සංවේදක ස්ථානගත කරමින් ගවයන් පිළිබඳ නිරීක්ෂණය කිරීම විශාල ගව ගොවිපොළ ආශ්‍රිත ව සිදු වෙනවා.
ගවයන් ආහාර ගන්නා ආකාරය පිළිබඳ දත්ත, ලෙඩ රෝග වැලඳුණු ගවයන්ගේ දත්ත, අලුත ඉපදුණු පැටවුන් පිළිබඳ දත්ත, උන් ගොවිපොළ තුළ ගමන් කරන සීමා පිළිබඳව දත්ත ආදිය එහි දී IoT සංවේදක හරහා ලබා ගන්නවා. ලෙඩ රෝග වැලඳුණු ගවයන්ට නිසි පරිදි ප්‍රතිකාර කිරීම, ගවයන් අතරමංවීම වැලැක්වීම, අලුත ඉපදුණු පැටවුන්ගේ සෞඛ්‍යය තත්ත්වය නිරීක්ෂණය කිරීම වැනි දේ නිසි පරිදි සිදුකරමින් ගොවිපොළ පාලන කටයුතු හොදින් සිදුකරගෙන යාමේ හැකියාව ඉන් ලැබෙනවා. ඒ සඳහා භාවිත කරන IoT උපාංග නිපදවන සමාගම් අතර Allflex, Cowlar, සහ SCR වැනි ඒවා ඉදිරියෙන්ම සිටිනවා.
නිරවද්‍ය කෘෂිකාර්මය සඳහා භාවිත කිරීම
නිරවද්‍ය කෘෂිකර්මය යනු කාර්යක්ෂම සහ නිවැරදි දත්ත භාවිත කරමින් කෘෂිකර්මාන්තයේ යෙදීම යි. එහි දී IoT සංවේදක මඟින් කෘෂිකාර්මික කටයුතු නිසි පරිදි කරගෙන යාමට අවශ්‍ය දත්ත එකතු කරනවා. පාංශු තත්ත්වය, ආලෝකය, උෂ්ණත්වය, ආර්ද්‍රතාවය, Co2 මට්ටම, පළිබෝධ ආසාදන වැනි දේ පිළිබඳ ව එහි දී දත්ත රැස් කරනවා.
එම දත්ත මඟින් ගොවීන්ගේ වගාවට අවශ්‍ය ජලය, පොහොර සහ පළිබෝධනාශකවල ප්‍රශස්ත ප්‍රමාණ තක්සේරු කිරීමට හැකිවෙනවා. එමඟින් වියදම අඩුවෙන් වගා කටයුතු කරගෙන යාමට හැකිවන අතර ම බෝග වගාවේ ගුණාත්මක බව වැඩි කර ගැනීමට ද හැකිවෙනවා. CropX සහ Mothive ඒ ආකාරයේ IoT උපාංග නිපදවන සමාගම් ලෙසින් දක්වන්නට පුළුවන්.