Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මාර්ග තදබදය වලකන්න නොමිලේ පොදු ප්‍රවාහන සේවා

දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් ශ්‍රී ලංකාවේ පසුගිය මාස කිහිපය තුළ ඉන්ධන මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගියා. එහි බලපෑම හේතුවෙන්  පුවාහන සේවාවන්හි ප්‍රවේශ පත්‍ර මිල ගණන් විශාල ප්‍රතිශතයකින් කිහිප වරක් ඉහළ ගියා. මේ සතියේ නැවත සිදු වන ඉන්ධන මිලෙහි සංශෝධන ද සමඟ එය තව දුරටත් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කෙරෙනවා. එනිසා එදිනෙදා රාජකාරි සඳහා යන මගී ජනතාව මෙන් ම පොදු පුවාහන සේවා භාවිත කරන මඟී ජනතාව  දැඩි අපහසුතාවකට පත්ව සිටිනවා.

මේ හේතුව නිසා ම අද වන විට පොදු ප්‍රවාහන සේවා භාවිත කරන බොහෝ  මඟී ජනතාව ඉන් විතැන් වී විකල්ප ප්‍රවාහන මාධ්‍ය හා මාර්ග භාවිතයට පෙලැඹෙනවා. එය ද රටේ නගරවල මාර්ග තදබදයක් නිර්මාණය වීම කෙරෙහි බලපාන ප්‍රධාන හේතුවක්. මේ ගැටලුව විසඳා ගත හැක්කේ අර්බුදයකින් තොර ව සිය ගමන් බිමන් නිසි කලට වේලාවට සිදු කර ගන්නට ඉවහල් වන මඟී ජනතා වුවමනා හා පහසුව සාපේක්ෂ ව සපුරාලන්නට හැකියාවකින් යුත් පොදු ප්‍රවාහන සේවාවක් රටක ක්‍රියාත්මක වීමෙන් පමණ යි.  

අසීරුවෙන් පොදු ප්‍රවාහන සේවාවල ගමන් කරන ශ්‍රී ලාංකිකයෝ – news.cgtn.com

 

මඟී ජනතා වුවමනා සාපේක්ෂ ව සපුරාලන්නට හැකියාවකින් යුත් පොදු ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කිරීම වෙනුවට මඟී ජනතාව අපහසුවට පත් කරන පොදු ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කරමින්, එම සේවාවල මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ දමන ශ්‍රී ලංකාවට, පොදු ප්‍රවාහන සේවා භාවිත කරන ජනතාවට සහන රැසක් ලබා දෙන ලෝකයේ සමහර රටවල්වලින් ලද හැකි ආදර්ශ ඉමහත්.

පොදු ප්‍රවාහන සේවා නොමිලේ

බෙල්ජියමේ හැසෙල්ට්, එස්තෝනියාවේ ටැලින්, ප්‍රංශයේ ඩන්කර්ක් යන නගරවල ජීවත් වන උදවියට මේ වන විට පොදු ප්‍රවාහන සේවාවල නොමිලේ ගමන් කිරීමට හැකිව තිබෙනවා. ලක්සම්බර්ග් රාජ්‍යයේ සියලු ම පොදු ප්‍රවාහන සේවාවල ද කිසිදු අයකිරීමකින් තොරව තම ගමනාන්තය දක්වා විශ්වාසයකින් ගමන් කරන්නට මඟීන්ට පුළුවන්. ජර්මනියේ දී සතියකට මුදල් ගෙවා ලබා ගන්නා Travel Pass එකකින් එම සතිය ඇතුළත මඟියකුට වුවමනා තරම් වාර ගණනක් ගමනාගමනයේ යෙදීමට අවස්ථාව සැලසෙනවා. 

අග්නිදිග ආසියාතික රටවල් වන ඉන්දියාව, ඉන්දුනීසියාව ආදී රටවල් ද වැඩි මඟී ජනතාවක් පොදු ප්‍රවාහන සේවා වෙත ආකර්ශනය කර ගැනීම සඳහා එම රටවල පොදු ප්‍රවාහන සේවා විවිධාංගීකරණයට ලක් කරන්නට මේ වන විට කටයුතු කරමින් සිටිනවා. ඉන්දියාව සිය ප්‍රධාන නගරවල විදුලි බස් රථ ධාවනය කිරීමේ නියාමන ව්‍යාපෘතින් ද අරඹා තිබෙනවා. ටාටා සහ අශොක් ලේලන්ඩ් සමාගම් මෙම ව්‍යාපෘතිවල පෙරමුණ ගෙන සිටිනවා.

ඉන්දියාව සිය ප්‍රධාන නගරවල විදුලි බස් රථ ධාවනය කිරීමේ නියාමන ව්‍යාපෘතින් ද අරඹා තිබෙනවා – thehindu.com

 

ලෝකයේ නොමිලේ පොදු ප්‍රවාහන සේවා සැපයූ මුල් ම රට බවට පත්වුණේ ද ලක්සම්බර්ග් රාජ්‍යය යි.

 

ලක්සම්බර්ග් රජය ජනතාවට නොමිලේ පොදු ප්‍රවාහන සේවා සැපයීමට ඉදිරිපත් වුණේ එරට මාර්ගවල පැවතුණු අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස යි. එහි දී ලක්සම්බර්ග් රජයේ අරමුණ වුණේ ජනතාව පොදු ප්‍රවාහන සේවා වෙත ආකර්ෂණය කර ගනිමින් නගර වෙත පැමිණෙන පෞද්ගලික වාහන ප්‍රමාණය අවම කිරීම යි.

පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස් සේවාව – www.aruna.lk 

අධික රථවාහන තදබදයක් පවතින ශ්‍රී ලංකාවේ කොළඹ හා තදාසන්න බොහෝ නගරවලටත් මෙම ක්‍රමය වඩාත් උචිත යි. අප රටේ ආර්ථිකය එතරම් ශක්තිමත් නැති නිසා නොමිලේ පොදු ප්‍රවාහන සේවා ලබාදීම වෙනුවට අඩුම තරමේ සුඛෝපභෝගි පොදු ප්‍රවාහන සේවයක්වත් කොළඹ නගරය තුළ ඇරඹීම සිදු කළ හැකි යි.

එවැනි ක්‍රමයක්  කොළඹ නගරය ආශ්‍රිත ව ක්‍රියාත්මක කිරීමට පෙර දැනට පවතින ඉන්ධන අර්බුදයට ස්ථීර විසඳුමක් ලබාදීම සිදු කළ යුතු අනිවාර්ය කටයුත්තක්.

පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස් සේවාව

කොළඹ නගර ආශ්‍රිත ව පවතින අධික වාහන තදබදය අවම කිරීමේ අරමුණෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස් සේවාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට පසුගිය දා නැවතත් ආරම්භ කෙරුණා. එය මෙරට කොවිඩ් අර්බුදය පැතිර යාමට පෙර ද ක්‍රියාත්මක ව පැවතුණා. බස්රථ 25ක් යොදා ගනිමින් එහි පළමු පියවර මෙවර ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි ප්‍රවාහන බලධරයන් පවසන්නේ.

කොළඹ නගරයේ අධික මාර්ග තදබදය – dailynews.lk

 

ලක්සම්බර්ග් රජය ජනතාවට නොමිලේ පොදු ප්‍රවාහන සේවා ලබාදීම ආරම්භ කළේ 2020 වසරේ සිට යි. ඒ ජනතාවට ලබාදුන් මැතිවරණ පොරොන්දුවකට අනුව යි. මැතිවරණ පොරොන්දු කඩ කරන අප රටේ බොහෝ දේශපාලනඥයන්ට ලක්සම්බර්ග් රජය සිදු කළ එම ක්‍රියාව මහත් ආදර්ශයක්. මේ ලක්සම්බර්ග් රාජ්‍යයේ  පොදු ප්‍රවාහන සේවාව නොමිලේ ක්‍රියාත්මක වන ආකාරය යි. 

ලක්සම්බර්ග් පිළිබඳව කෙටියෙන් 

යුරෝපා මහද්වීපයට අයත් රටවල් අතුරින් කුඩා ම රටක් වන ලක්සම්බර්ග් වර්ග කිලෝමීටර් 2586ක් පුරා විහිදී තිබෙනවා. ප්‍රංශය, ජර්මනිය සහ බෙල්ජියම යන රටවල්වලට මැදි ව පිහිටා තිබෙන ලක්සම්බර්ග් ඉතාමත් සුන්දර රටක්. මෙම රාජ්‍යය තුළ 51%ක පමණ ප්‍රමාණයක් ලක්සම්බර්ග් ජාතිකයන් වාසය කරද්දී, පෘතුගීසි, ප්‍රංශ සහ ජර්මානු ජාතිකයන් ද සැලකිය යුතු තරම් ප්‍රමාණයක් වාසය කරනවා.

එස්තෝනියාවේ ටැලින් නගරයේ පොදු ප්‍රවාහන සේවා – dw.com

ලක්සම්බර්ග් රාජ්‍යයේ ජීවත් වන උදවියගෙන් 64%ක් පමණ රෝමානු කතෝලික ආගම අදහද්දී, 23%ක පමණ ප්‍රතිශතයක් කිසිදු ආගමක් ඇදහීමෙන් වැලකීම විශේෂත්වයක්. විවිධ කාලවල දී ප්‍රංශය, නෙදර්ලන්තය සහ ජර්මනිය වැනි රටවල්වල යටත් විජිතයක් වශයෙන් පැවති ලක්සම්බර්ග් රාජ්‍යය දැනට දශක ගණනාවක් තිස්සේ ස්වාධීන රාජ්‍යයක් ලෙසින් පවතිනවා. 

ලක්සම්බර්ග් රාජ්‍යයේ සුන්දරත්වය – planetware.com

 

ආර්ථික වශයෙන් වඩාත්  දියුණු රටක් 

ලක්සම්බර්ග් රාජ්‍යයේ ආර්ථිකය ශක්තිමත් කිරීම  සඳහා බැංකු සහ මූල්‍ය සේවා ඉහළ දායකත්වයක්  ලබා දෙනවා. එම රාජ්‍යය  යුරෝපයේ වැදගත් ම පුද්ගලික බැංකු මධ්‍යස්ථානය වන අතර ප්‍රතිරක්ෂණ සමාගම් සඳහා යුරෝපයේ ප්‍රමුඛ මධ්‍යස්ථානය බවට ද පත්ව තිබෙනවා. ඒ හරහා ලක්සම්බර්ග් රාජ්‍යයට සැලකිය යුතු තරම් විශාල ආදායමක් ලැබෙනවා. වානේ කර්මාන්තය, සංචාරක කර්මාන්තය සහ කෘෂිකර්මාන්තය ලක්ස්ම්බර්ග් හි ආර්ථිකය ශක්තිමත් කරන අනිකුත් ප්‍රධාන අංශ යි.

ලක්සම්බර්ග් රාජ්‍යයේ ආර්ථිකය ස්ථාවර තත්ත්වයකට  පත්ව තිබෙන නිසා ඒක පුද්ගල ආදායම ද ඉහළ මට්ටමක පවතිනවා. 2020 වන විට ලක්සම්බර්ග් රාජ්‍යයේ ඒක පුද්ගල ආදායම ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් 116,000 ලෙසින් සටහන් වුණා. එම දත්තවලට අනුව යුරෝපයේ ඉහළ ම ඒක පුද්ගල ආදායම තිබෙන රට බවට පත්ව තිබෙන්නේ ලක්සම්බර්ග් රාජ්‍යය යි. 

ලක්සම්බර්ග් හි වානේ කර්මාන්තය – luxembourg.arcelormittal.com

 

පෞද්ගලික වාහන භාවිතය ඉහළ යාම 

ඒක පුද්ගල ආදායම ඉහළ යාම නිසා ලක්සම්බර්ග් හි ජීවත් වුණු බොහෝ උදවියට සුඛෝපභෝගි ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබුණා. කම්කරුවන්ට පවා මෝටර් රථයක් මිල දී ගැනීමට හැකි ආර්ථික තත්ත්වයක් එරට තුළ නිර්මාණය වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පහළ පෙළේ රැකියාවල නිරත වුණු උදවිය පවා සිය ගමන් බිමන් යාම සඳහා පෞද්ගලික මෝටර් රථයක් භාවිත කළා.

2015-2018 කාලයේ එරට තිබුණු සමස්ත මෝටර් රථ ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ ගියා. එම යුගයේ දී එරට ජීවත් වුණු සෑම පුද්ගලයන් 1000ක ගෙන් 670කට ම කාර් රථයක් හිමි ව තිබුණා. එකල ලක්සම්බර්ග් රාජ්‍යය තුළ ඉන්ධන මිල ගණන් ද එතරම් ඉහළ මට්ටමක නොතිබුණු නිසා ජනතාවට පෞද්ගලික මෝටර් රථයක් නඩත්තු කිරීම එතරම් අපහසු කාර්යයක් වුණේ නැහැ. එනිසා ලක්සම්බර්ග් වැසියන් වැඩි වශයෙන් මෝටර් රථ මිල දී ගැනීමට පෙලඹුණා.

කාර් රථ බහුලව භාවිත කරන ලක්සම්බර්ග් ජනතාව – carsandcoffeedeluxe.lu

 

නගර පුරා ඇති වුණු අධික මාර්ග තදබදය

2018 වසර වන විට ලක්සම්බර්ග් හි ජනගහනය ලක්ෂ 6 ඉක්මවා තිබුණා. එම කාලයේ එරට වැසියන් ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් අසල්වැසි ජර්මනිය, ප්‍රංශය සහ බෙල්ජියම යන රටවල්වල රැකියාවල නිරත වුණා. ඔවුන් දිනපතාසිය රැකියා ස්ථානය කරා ගියේ සිය පෞද්ගලික මෝටර් රථවලින්.

ලක්සම්බර්ග් රාජ්‍යයේ ඉන්ධන මිල ගණන් අසල්වැසි රටවල්වල ඉන්ධන මිල ගණන්වලට වඩා අඩු තත්ත්වයක පවතිනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අඩු මිලට ඉන්ධන ලබාගැනීම සඳහා ලක්සම්බර්ග් වෙත පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ සංඛ්‍යාව ද වැඩි වුණා.  

ලක්සම්බර්ග් හි ප්‍රධාන නගර ආශ්‍රිත මාර්ගවල ඇති වූ අධික රථවාහන තදබදය – luxtimes.lu

 

එවැනි හේතු නිසා ලක්සම්බර්ග් හි ප්‍රධාන නගර ආශ්‍රිත ව අධික මාර්ග තදබදයක් ඇති වුණා. එම මාර්ග තදබදය නිසා හරිතාගාර වායු වැඩි වශයෙන් පරිසරයට එකතු වීම නිසා ලක්සම්බර්ග් රාජ්‍යයට පාරිසරික ගැටලුවලට ද මුහුණදීමට සිදු වුණා. අධික මාර්ග තදබදය හේතුවෙන් ජනතාවගේ කාලය නාස්ති වුණා. රටේ වාහන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙද්දී ප්‍රධාන නගර ආශ්‍රිත ව ඇති වුණු මාර්ග තදබදය පාලනය කිරීමට අපහසු තත්ත්වයකට පත් වුණා. 

මාර්ග තදබදය අඩු කරන්නට ලබා දුන් පොරොන්දු 

ලක්සම්බර්ග් මහා මැතිවරණය සෑම වසර පහකට වරක් ම පැවැත්වෙනවා. 1979 සිට මේ දක්වා පැවැත්වුණු මහා මැතිවරණවල දී ක්‍රිස්තියානි සමාජ ජනතා පක්ෂයට වැඩි ආසන ප්‍රමාණයක් දිනා ගැනීමට හැකි වුණා. ඒ කිසිම අවස්ථාවක ඔවුන්ට බහුතර බලය ලැබුණේ නැහැ. එනිසා ගෙවුණු දශක හතරක කාලය තුළ හවුල් ආණ්ඩු ලක්සම්බර්ග් රාජ්‍යය පාලනය කළා.

අවසන් වරට 2018 දී පැවති ලක්සම්බර්ග් මහා මැතිවරණයේ දී එරට ප්‍රධාන පක්ෂ ත්‍රිත්වය වුණු ක්‍රිස්තියානි සමාජ ජනතා පක්ෂය, ලක්සම්බර්ග් සමාජවාදී කම්කරු පක්ෂය, සහ ඩිමොක්‍රටික් පක්ෂය යන පක්ෂ ලබාදුන් ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් බවට පත්වුණේ නගර ආශ්‍රිත ව පවතින අධික මාර්ග තදබදය අවසන් කරන බව යි. එය එවර මැතිවරණයේ දී වඩාත් ආකර්ෂණීය මැතිවරණ පොරොන්දුවක් බවට පත් වුණා. 

2018 ලක්සම්බර්ග් මහ මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම – twitter.com

 

මැතිවරණයෙන් බිහිවුණු හවුල් ආණ්ඩුව 

2018 ලක්සම්බර්ග් මහා මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව වැඩිම ආසන ප්‍රමාණයක් හිමි ව තිබුණේ ක්‍රිස්තියානි සමාජ ජනතා පක්ෂයට යි. ඔවුන්ට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලයක් හිමි ව තිබුණේ නැහැ. එවැනි වටපිටාවක එම පක්ෂයට වඩා අඩු ආසන ප්‍රමාණයක් ලබා ගත් ලක්සම්බර්ග් සමාජවාදී කම්කරු පක්ෂය, ඩිමොක්‍රටික් පක්ෂය සහ කොළ පක්ෂය එකතු වී හවුල් ආණ්ඩුවක් පිහිටුවා ගත්තා. ඒ අයුරින් බලයට පත්වුණු හවුල් ආණ්ඩුවට පැවරුණු ප්‍රධානත ම වගකීම බවට පත් වුණේ මැතිවරණයේ දී ලබාදුන් පොරොන්දු ඉටු කිරීම යි. 

මාර්ග තදබදයට තිත තැබීම 

ලක්සම්බර්ග් රාජ්‍යයේ ප්‍රධාන නගර ආශ්‍රිත ව පැවති අධික මාර්ග තදබදය සඳහා විසඳුම් ලබාදීමට පෙර එම තදබදය ඇතිවීමට බලපෑ සොයා බැලීමට රජය තීරණය කළා. එහි දී ඔවුන්ට අවබෝධ වුණේ දෛනික ව වැඩි පුද්ගලික වාහන ප්‍රමාණයක් නගර හරහා ගමන් කරන බව යි.

එම තත්ත්වය අවම කිරීම සඳහා පොදු ප්‍රවාහන සේවා දියුණු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වුණා. එහි දී ඔවුන් සුඛෝපභෝගි බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළා. ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කළ ලක්සම්බර්ග් රජය තත්ත්වයෙන් උසස් පොදු ප්‍රවාහන සේවයක් ඇති කිරීමට පියවර ගත්තා. 

ලක්සම්බර්ග් හි ට්‍රෑම් රථ සේවය – dw.com

 

පොදු ප්‍රවාහන සේවා පද්ධතිය දියුණු කළත් ජනතාව කෙතරම් දුරට එම සේවා භාවිතා කරාවි ද යන සැකය මතු වුණු නිසා ජනතාව පොදු ප්‍රවාහන සේවා වෙත ආකර්ෂණය කරගැනීමේ සැලසුමක් අවශ්‍ය වුණා. ලක්සම්බර්ග් බලධාරීන් ඒ සඳහා විවිධ පිළියම් කල්පනා කළා. අවසානයේ දී ඔවුන් අරුම පුදුම තීරණයකට එළඹුණා.

ඒ එරට ජනතාවට නොමිලේ පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමට අවස්ථාව ලබා දීමට ගත් තීරණය යි. එතෙක් ලෝකයේ කිසි ම රටක් එවැනි තීරණයක් ගෙන තිබුණේ නැහැ. ලක්සම්බර්ග් රජය ගත් එම දූරදර්ශී තීරණය කෙරෙහි ජනතා අවධානය යොමු වන්නට පටන් ගත්තා.

පොදු ප්‍රවාහන සේවා නොමිලේ 

2020 මාර්තු 1 වැනිදා ලක්සම්බර්ග් ඉතිහාසයේ ඓතිහාසික දිනයක් බවට පත් වුණා. ඒ එදින සිට ජනතාවට පොදු ප්‍රවාහන සේවා නොමිලේ භාවිත කිරීමට අවස්ථාව හිමි වීම යි. එහි දී බස් රථ, දුම්රිය සහ ට්‍රෑම් රථ යන පොදු ප්‍රවාහන සේවාවල ගාස්තුවකින් තොර ව ගමන් කිරීමට මහජනතාවට අවස්ථාව ලැබුණා. එම නීතිය ක්‍රියාත්මක කිරීමත් සමඟින් ජනතාව වැඩි වශයෙන් පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමට පෙලඹුණා. ඒ කිසිදු අපහසුවකින් සහ වියදමකින් තොරව ඔවුන්ට ඒවායේ ගමන් කිරීමට ලැබුණු නිසා යි. 

පොදු ප්‍රවාහන සේවාවල නොමිලේ ගමන් කරන ලක්සම්බර්ග් ජනතාව – seat61.com

 

එරට බොහෝ උදවිය රාජකාරි සඳහා දෛනිකව පුද්ගලික වාහනවලින් ගමන් කිරීම නිසා ඔවුන්ගේ ජීවිතවල තිබුණේ ඒකාකාරී බවක්. පොදු ප්‍රවාහන සේවා භාවිතා කරමින් රාජකාරි ස්ථානයට යද්දී ඔවුන්ට අලුත් මිතුරු මිතුරියන් හමු වුණා. එය බොහෝ දෙනකුගේ ජීවිතයේ තිබුණු ඒකාකාරි බව නැති කළා. ලක්සම්බර්ග් හි පොදු ප්‍රවාහන සේවාව ජනතාව අතර ජනප්‍රිය වීමට එය ද හේතුවක් වුණා. ඒ අයුරින් ක්‍රියාත්මක කළ පහසුකම් සමඟින් ලක්සම්බර්ග් හි මාර්ග තදබදය බොහෝ දුරට අඩු වී තිබෙනවා. 

අනාගත අරමුණු 

ලක්සම්බර්ග් රජය ජනතාවට නොමිලේ පොදු ප්‍රවාහන සේවා ලබාදීම ආරම්භ කළේ අරමුණු කිහිපයක් සඳහා යි. ඉන් ප්‍රධානත ම අරමුණක් වන්නේ 2025 වන විට තවත් 20%ක මඟීන් ප්‍රමාණයක් පොදු ප්‍රවාහන සේවා කෙරෙහි ආකර්ෂණය කරගැනීම යි. 2020 වන විට ලක්සම්බර් රාජ්‍යය තුළ සෑම පුද්ගලයන් 1000කට ම කාර් රථ 696ක් හිමි ව තිබුණා. එම දත්තවලට අනුව යුරෝපයේ වැඩි ම ප්‍රතිශතයක් කාර් රථ පරිහරණය කරන රට බවට පත්ව තිබුණේ ලක්සම්බර්ග් රාජ්‍යය යි.

එනිසා මෙම ක්‍රියාවලිය හරහා මාර්ගවල ධාවනය වෙමින් පවතින පුද්ගලික වාහන ප්‍රමාණය අඩු කිරීම ලක්සම්බර්ග් රජයේ තවත් අනාගත අරමුණක්. මෝටර් රථ මඟින් පිටවන අධික දුම අඩු කරමින් පාරිසරික ගැටලු විසඳීම මෙම සේවාවේ තවත් ඉදිරි අරමුණක්. ලක්සම්බර්ග් රාජ්‍යයට  එම අනාගත අරමුණු මුදුන්පත් කරගැනීමට හැකි වුණොත් ලෝකයේ බොහෝ රටවල් ඔවුන් ආදර්ශයට ගනු ඇති බවට සැකයක් නැහැ.

කවරයේ ඡායාරූපය - පොදු ප්‍රවාහන සේවා භාවිත කරන ලක්සම්බර්ග් හි ජනතාව - masstraveler.com

මූලාශ්‍ර:

bbc.com

forbes.com

cnn.com

reuters.com

acea.auto

statisticsanddata.org     

Related Articles