කළුතර දිස්ත්‍රික්කයට අයත් හොරණට කොළඹ ඉඳන් කි. මී.42ක් දුරයි. පානදුර-රත්නපුර ප්‍රධාන මාර්ගය ආශ්‍රිතව තමයි හොරණ නගරය පිහිටා තිබෙන්නේ.
අතීතයේ හිරඤ්ඤ මලය නමින් මේ ප්‍රදේශය හැඳින්වූ බවට මතයක් පවතිනවා. රයිගම් කෝරළයේ අග නගරය ලෙස ද සැලකෙන්නේ හොරණ යි.
හයවන පරාක්‍රමබාහු රජුගේ කළිගු බිසවට බෝවන කුෂ්ඨ රෝගයක් වැළඳීම නිසා හිරණ්යමලයේ (ඇල්ලේ කන්දේ) පැරණි සොහොන් ගල්ගුහාව පිළිසකර කර නතර කළ බව කියැවෙනවා. ඇයව ගම්වාසීන් වනහාමි ලෙසින් හැඳින්වූ නිසා අද පවා මේ ගල්ගුහාව හඳුන්වන්නේ වනහාමිගේ ගල්ගුහාව නමින්.
කටාරම් කෙටූ ගල්ලෙන් සහිත විහාර, පුරාණ සෙල්ලිපි කිහිපයක්ම හොරණ අවට තිබීමෙන් පෙනෙන්නේ අනුරාධපුර යුගයේ සිටම මේ ප්‍රදේශයේ බුදුදහම පැතිරී ගිය දියුණු ශිෂ්ටාචාරයක් පැවති බවයි.
හොරණ රජමහා විහාරය
පැරණි යුගයකට අයත් වටිනා ගල්කැටයම් පිරි විහාරයක් හොරණ නගරය මැද තියේ කියා හිතන්නේ කවුද? හොරණ පානදුර පාර දෙපසම විහාරය පැතිරී තිබෙනවා. අද මෙය වඩාත් ප්‍රචලිතව පවතින්නේ එහි ඇති විද්‍යාරත්න පිරිවෙන නිසයි. විහාරයේ ඉතිහාසය අනුරාධපුර යුගය දක්වා ඈතට විහිදෙන බව පෙනුණත් මෙහි පැහැදිලි සාධක හමුවන්නේ 13 වන සියවසේ සිට යි. මහාචාර්ය සෙනරත් පරණවිතාන විශ්වාස කරන්නේ 13- 15 සියවස්වල පතිරාජ පිරිවෙන මෙහි පැවති බව යි.
විහාරයේ කළුගල් කැටයම් රාශියක් දක්නට ලැබෙනවා. ඒවා කෝට්ටේ 6 වැනි පරාක්‍රමබාහු යුගයට අයත් බවයි විශ්වාස කරන්නේ. එමෙන්ම 19 වැනි සියවසේ මුල් භාගයට අයත් ඉංග්‍රීසි ගෘහ නිර්මාණ ලක්ෂණ පෙන්වන ගොඩනැගිලි රැසකුත් දකින්න පුලුවන්.
සිදත් සඟරාව සහ මයුර සංදේශය ලියා ඇත්තේ පතිරාජ පිරිවෙනේ විසූ හාමුදුරුනමක් විසින්. නටබුන් වී කැලෑවට යටවී තිබූ හොරණ රජමහා විහාරයට රජයෙන් ඉඩම ලබාගෙන ඇත්තේ ක්‍රි ව 1840 දී යි. මේ කාරණය සම්බන්ධයෙන් අවුරුදු 10ක් පමණ ඉංග්‍රීසි රජය සමග ලියුම් හුවමාරු කරගැනීමට වීදාගම සෝභිත ස්වාමින් වහන්සේට සිදුවුණා. විහාර මන්දිරය ඉදිකර, පිළිමයේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපන පින්කම පවත්වා ඇත්තේ 1870 දී යි. හොරණ රජ මහා විහාරය නැවත ආරම්භ කිරීමෙන් පසුව කුඹුකේ මේධංකර සහ බණ්ඩාරගම ධම්මානන්ද යන හිමිවරු දෙනමට මෙහි වාසය පවරා තිබෙනවා.
දඹදෙනි යුගයට අයත් සඳකඩ පහණින් පටන් ගෙන දොරටුපාල රූප, බහිරව රූප සහ කලාත්මක ඔත් පිළිමය දක්වා වූ සිංහල කලාකරුවාගේ දෑතේ දස්කම් කියාපාන මහා පිළිම ගෙය එදා පැවති තත්ත්වය අපට සිතා ගැනීමට ඉඩ සලසනවා.
සඳකඩ පහණ සහ ගල් කැටයම්
හොරණ රාජමහා විහාර භූමියෙන් ලැබී, දැනට කටුගෙයි තැන්පත්කොට ඇති සඳකඩපහණ විශේෂයෙන්ම සඳහන් කළ යුතු යි. එය අපේ සඳකඩ පහණ හැදෑරීමේ දී අනිවාර්යයෙන් සඳහන් වන ශිලා නිර්මාණයක්. දැනට මෙහි ඉතිරිව ඇත්තේ සඳකඩපහණ හතරක් පමණයි. එයින් තුනක් විහාරාංගනයේත්, එකක් කොළඹ ජාතික කෞතුකාගාරයේත් තිබෙනවා. එතරම්ම වැදගත් නොවන තවත් චාම් සඳකඩ පහණ කිහිපයක් ද විහාර බිමේ දක්නට පුළුවන්.
විදුරසුන් ගල, ගල් උලුවස්සක උඩු කොටස (එහි ඇත් පෙරහැර කොටා ඇත), විහාරයේ ගල් ආසනයේ කැටයම්, ගලින් නෙළන ලද නලා පිඹින්නාගේ රූපය, ගල්ටැම්, බලුසිංහ රූප කැටයම, සුවිශාල ගල් උලුවස්ස, කේසර සිංහ කැටයම් ගල් පුවරුව, බෙහෙත් අඹරන ගල, ගලින් නෙළූ නෙළුම් දණ්ඩ, ගණදෙවි රූපය, ලෝකඩ බුදු පිළිමය ආදිය ශේෂ වී ඇති නටබුන් අතර විශේෂයෙන් සඳහන් කළ හැකි ඒවා යි.
කුමාරින් පැන්න ගල
මෙතනට ළඟාවෙන්න නම් හොරණ ඉඳන් දිවෙන 420 කළුතර බස් පාරෙ කි. මී. හතරක් පමණ යන්න ඕනේ. හොරණ මතුගම බස් එකෙනුත් ළඟා වෙන්න පුලුවන්. බස් පාර ආසන්නයෙම වගේ රෙමුණ හරියෙදි දකුණු පැත්තෙන් වංගුවකුත් සමගම මේ පර්වතය දකින්න ලැබෙනවා. පර්වත මුදුනට මීටර් 150ක් වගේ උස යි. පර්වතය වටා ගෙතුණු අපූරු ජනකතාවක් තිබෙනවා. අභ්‍යන්තර යුද්දෙකට පිටත් වෙන්න කලින් රයිගම් බණ්ඩාර රජ්ජුරුවො තම දේවින්නාන්සෙට දැනුම් දෙනවා තමන් ආපහු ඒම විශ්වාස නැති වීත්තිය. සටන සිද්ධ වෙන්නෙ පස්දුන් කෝරළේ. තමන් යුද්දෙන් දිනුවොත් පස්දුන් කෝරළේ පර්වතයක ඉඳන් කොඩියක් වනා ඒ බව මේ පර්වතය මුදුනෙ ඉන්න දේවියට සහ පිරිසට දන්වන්න කතිකා කරගන්නවා. සටන අවසානයේ රයිගම් බණ්ඩාර රජ්ජුරුවො සටන දිනනවා. කතාවුණු විදියටම පස්දුන් කෝරලේ පර්වතයට නැගගන්න රජ්ජුරුවො විහිලුවක් කරන්න හිතාගන පණිවිඩේ දන්වන්නෙ තමන් සටනින් පැරදුණු බව අඟවමින්. ඒත් වැඩේ බරපතලකම තේරෙන්නෙ ඔහු ආපහු තමන්ගෙ රාජ්‍යයට ආවම යි. පණිවිඩේ ඇත්තය කියල හිතපු තමන්ගේ දේවිය මේ පර්වතයෙන් පහළට පැනල දිවිතොරකරගත් බව දැනගන්න රජ්ජුරුවො තමන් අතින් සිදුවුණු වරදට නොසෑහෙන්න කම්පා වෙනව. ඒ නිසා මේ පර්වතය “කුමරි පැන්න ගල ” වුණ බව තමයි පැවසෙන්නේ. මෙහි කිසිම ඓතිහාසික සාධකයක් නම් නැහැ.
පර්වතය උඩ මෑතක ඉදිවුන බුදුපිළිම වහන්සේ නමක්, මල් ආසනයක් වගේම ඝණ්ටාරෙකුත් දකින්න ලැබෙනවා.
පොකුණුවිට කිත්සිරිමෙවන් රජමහා විහාරය
හොරණ නගරයේ සිට පානදුර පාරේ කි. මී. 2ක් දුර යනවිට මේ විහාරයට මඟ පෙන්වන පුරාවිද්‍යා නාම පුවරුව දකින්න ලැබෙනවා. අනුරාධපුර යුගයේ රජකළ කීර්ති ශ්‍රී මේඝවර්ණ රාජ සමයට අයත් සෙල්ලිපියක් විහාර බිමේ පර්වතය මත තිබෙනවා. ඒ නිසා විහාරයට කිත්සිරිමෙවන් විහාරය යන නම ලබාදී තිබෙනවා. කීර්ති ශ්‍රී මේඝවර්ණ (ක්‍රි.ව. 301-328) රාජ්‍ය කාලයේ දී දේව නම් අමාත්‍යවරයකු විසින් මෙම ස්ථානයට සිදුකළ පූජාවක් පිළිබඳව තොරතුරු එම සෙල්ලිපියෙහි සඳහන් වෙනවා. දැන් නම් ඒ සෙල්ලිපිය බොහෝ දුරට මැකිලා ගිහින්.
මෙම විහාරයට පිවිසීමේ දී හමුවන තැනිතලා භූමියෙහි ආවාස ගෙය, ධර්මශාලාව, කෞතුකාගාරය යන ගොඩනැඟිලි පිහිටා තිබෙනවා. ලෙන් විහාර මන්දිර, ස්ථූපය, බෝමළුව ආදී අනෙක් විහාරාංග පිහිටා තිබෙන්නේ අඩි 50ක් තරම් උස් වූ ගල් තලාවක් මත යි. ඊට පිටුපසින් ඇත්තේ කුඩා වනවදුලක්. මෙම විහාරස්ථානයේ සම්පූර්ණ භූමි ප්‍රදේශය අක්කර 07ක් පමණ විශා ලයි. මෙහි ඇති චෛත්‍යය ද වසර 1500ක් පමණ පැරණි බවට සැළකෙනවා.
අනෙකුත් විහාරාංග
පුරාණ විහාරය, ශෛලමය විහාරය, ඡේතවන විහාරය නමින් විහාර මන්දිර තුනක් කිත්සිරිමෙවන් රාජමහා විහාරයෙහි පවතිනවා. පොළොන්නරුව ගල් විහාරයේ ඇති පිරිනිවන් මංචකයට සමානව තනි කළු ගලින් නෙලා ඇති පිළිමයක් ද මෙම විහාරස්ථානයේ පිහිටා තිබෙනවා. එය නිර්මාණය කර තිබෙන්නේ 19 වන සියවසේ අගභාගයේ විසූ මතෙස් නයිදේ හා ගාල්ලේ ගල්වඩුගම ආර්නෝලිස් පෙරේරා ගල්වඩුරාළ යි.
ලෙන් විහාර අභ්‍යන්තරයෙහි කේන්ද්‍රීය අංගය වශයෙන් සමාධි පිළිමයක් දැකගත හැකියි. දෙපස බිත්ති දෙකෙහි අභය මුද්‍රාව සහිත හිටි ඉරියව්වෙන් යුත් බුදුපිළිම දෙකක් ද විෂ්ණු සහ සමන් දේව ප්‍රතිමා ද නිර්මාණය කොට තිබෙනවා. මෙහි සිවිලිමත් සිතුවම් සහිත යි. නමුත් මධ්‍යයේ දිරා ගිය දැව කොටස් අලුත්වැඩියා කර නව දැව පරාල එකතු කර තිබෙන නිසා සම්පූර්ණ සිතුවම් අද දැකගත නොහැකියි. සිව් කොන පමණක් දේව රූපවල සිතුවම් දැකිය හැකියි. හිටි බුදුපිළිම දෙක අවට හිස් අවකාශය පූර්ණය කිරිමට භික්ෂු රූප සිතුවම් කොට තිබෙනවා. ඊට අමතරව බිනර මල්, නෙළුම් පද්ම, ලියවැල් ආදිය ද බිත්ති අලංකාර කරනවා. ප්‍රවේශ දොරටුව දෙපස හිටි ඉරියව්වෙන් බිත්තියේ ගම්බාර දේව රුවක් ද කතරගම දේව රුවක් ද සිතුවම් කොට තිබෙනවා. පිවිසුම් දොරෙහි ඇතුළත වටා කාන්තා සහ පුරුෂ රූප ලියවැල්වල විවිධ නර්තන හා වාදන ඉරියව්වලින් සිටින ආකාරයට සිතුවම් කර තිබෙනවා. පිවිසුම් දොරටුවේ නාරිලතා මල් සිතුවම් කර ඇති අතර අද වන විට එහි වර්ණයන් මැකී ගොසින්. මෙම සිතුවම් ඉංග්‍රීසි පාලන කාලයේ ඇඳි ඒවායි. එම සිතුවම් වසර 150ක් පමණ පැරණියි.
හල්තොට ලෙනවර රජ මහා විහාරය
හොරණට නුදුරින් පිහිටි හල්තොට ලෙනවර රජ මහා විහාරය රයිගම්කෝරළයේ පිහිටි තවත් ඉපැරණිම ලෙන් විහාරයක්. මෙම විහාරස්ථානය වීදියගොඩ සඟපරපුරේ ප්‍රධාන විහාරස්ථාන 6 න් එකක් ලෙස සැලකෙනවා.
මුලින්ම කටාරම් කොටා ලෙන සකසා විහාර ආරම්භ කර ඇත්තේ අනුරාධපුර යුගයේ දී බව සැලකෙනවා. ඉන් පසුව පොලොන්නරු යුගයේ ද මෙම විහාරස්ථානය දියුණුව පැවති බව සිතිය හැකියි. කෝට්ටේ යුගය වන විට ද මෙම විහාරස්ථානය ඉතා දියුණුව පැවති බව පැපිලියාන ශිලා ලේඛනයේ සඳහන් වෙනවා. එහි සඳහන්ව ඇත්තේ ‘රයිගම් නුවර බද ලෙනවර ගල්ලෙන විහාරයට පිදූ ලබුගම හා සල්තොටින් ගෙවතු එකක් හා කුඹුරු බිජුවට තුන් පෑලක වප’ යනුවෙන්. ලෙනවර විහාරය මුහුදු මට්ටමේ සිට අඩි 600ක් උසින් කඳුගැටයක් තමයි පිහිටා තිබෙන්නේ. එම ස්ථානයට ගොඩ වූ විට නැඟෙනහිරෙන් සමනල කන්ද ද බටහිරෙන් කළුතර දාගැබත් දැකිය හැකියි.
අක්කර 10ක් විශාල පර්වතය මත පිහිටි මළුව තුළ පැරණි බෝධී වෘක්ෂය, ඝන්ඨා ස්ථම්භය හා ගල් ලෙනෙහි තනා ඇති විහාර මන්දිරයද පිහිටා තිබෙනවා. පසෙකින් විෂ්ණු කතරගම, සමන්, ආදී දේවාල දැකිය හැකියි. එයට නුදුරින් කඳු මුදුන මත තැනූ දාගැබ දැකගත හැකියි.