අංගම්මැඩිල්ල කියන්නේ අපේ නරඹන්නන් එතරම් පැමිණෙන ජාතික වන උයනක් නොවෙයි. එසේ වුවත් මේ වන උයන එයටම සුවිශේෂ ලක්ෂණ රාශියකින් යුක්ත යි. එය පිහිටා ඇත්තේ ඉතා සුන්දර දසුන් රැසක් සහිත ඓතිහාසික පෙදෙසක යි. දඹුල්ල කණ්ඩලම හරහා බකමූණට පැමිණ අංගම්මැඩිල්ලට ළඟා විය හැකියි. නැත්නම් ගිරිතලේ දියබෙදුම (ඇළහැර) පාරේ අත්තනකඩවල හරහා බකමූණට පැමිණීමෙන් මේ වෙත ළඟාවීමට හැකියාව තිබෙනවා. පොළොන්නරුවේ සිට අංගම්මැඩිල්ලට දුර කිලෝමීටර 20ක් පමණ වෙනවා.
පිහිටීම
අංගම්මැඩිල්ල, උතුරු මැද පළාතේ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි ජාතික වනෝද්‍යානයක්. උතුරින් පරාක්‍රම සමුද්‍රයත්, දකුණින් අඹන් ගඟත්, නැගෙනහිරින් ඇළහැර යෝධ ඇළත්, බස්නාහිරින් රදවියගේ ඔයෙනුත් මෙම වනෝද්‍යානය සීමා වී තිබෙනවා. මේ නිසා එයට හොඳ ස්වභාවික ආරක්ෂාවකුත් ලැබී තිබෙනවා.
මේ වනපෙත මුලින්ම පැවතියේ මින්නේරිය – ගිරිතලේ ස්වභාව රක්ෂිතයේ පළමු කොටස ලෙසයි. එම රක්ෂිතයේ දෙවැනි කොටස 1997 දී මින්නේරිය ජාතික උද්‍යානය ලෙස ප්‍රකාශයට පත් වූ අතර, අංගම්මැඩිල්ල ජාතික උද්‍යානයක් බවට පත් කළේ 2006 ජුනි මස 06 වැනි දා යි. එය ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශ කළේ එහි පාරිසරික වැදගත්කමත්, ඒ කලාපයේ වනජීවීන්ගේ ආරක්ෂාව ගැනත් සැලකීමෙන්. පරාක්‍රම සමුද්‍රයේ ජල පෝෂක ප්‍රදේශය ආරක්ෂා කිරීමත් මෙම වනයෙන් සිදුවෙනවා. වනෝද්‍යානයේ වපසරිය හෙක්ටයාර 7829ක්. මෙහි වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 1200ක් පමණ වෙනවා. වියළි කලාපීය සදාහරිත වනාන්තර ගණයට අයත් වනපෙතක් අංගම්මැඩිල්ලේ දී දැකගත හැකියි.
වසරේ ඔක්තෝබර් සිට පෙබරවාරි දක්වා ඊසාන දිග මෝසම් වැසි ලැබෙන කාලය යි. දෙසැම්බර් මාසයේ දී මේ පෙදෙසට මහවැසි ඇද වැටෙනවා. මාර්තු සිට මැයි දක්වා අන්තර් මෝසම් කාලය යි. ජුනි සිට සැප්තැම්බර් කාලය මෙම වන උයනට වියළි සමය වන අතර එහි සංචාරය සඳහා සුදුසුම කාලයත් එය යි. ගන වනාන්තර, තැනිතලා බිම්, ගංගාධාර වනාන්තර, තෙත්බිම් ආදි වශයෙන් විවිධ ආකාරයේ පරිසර පද්ධතිවලින් මේ වන උයන සමන්විත යි.
අංගම්මැඩිල්ල ගම
අංගම්මැඩිල්ල ගම උද්‍යානයේ උතුරු මායිම වන අඹන්ඟග වම් ඉවුරේ පිහිටා තිබෙනවා. ගම්වැසියන්ගේ ජීවනෝපාය කුඹුරු, සහ හේන් වගාව යි. දැන් හේන් වගාව නැති නිසා ස්ථිර බිම්වල එළවළු වගාව සිදු වෙනවා. ඔවුන්ට ජලය ලැබෙන්නේ පරාක්‍රම සමුද්‍රයෙන්. ඉංග්‍රීසි පාලන කාලයේ දී බරපතළ බෝවන රෝගයක් වැලඳී මෙම ගමේ වැසියන් ගම හැර ගොස් තිබෙනවා.
වනෝද්‍යානය
ගමට නුදුරුව උද්‍යානයට අයත් ‘අංගම්මැඩිල්ල’ වනජීවී බංගලාව පිහිටා තිබෙනවා. මින්නේරිය, කවුඩුල්ල, සෝමවතිය, ජලගැලුම් නිම්න යන වනෝද්‍යාන අතරින් වන නිවහනක් ඇත්තේ අංගම්මැඩිල්ලේ පමණයි. එය පෙර දැනුම් දී වෙන්කර ගැනීමෙන් සංචාරකයන්ට නවාතැන් ගැනීමට පුළුවන්.
කියවන්න: බලධාරින්ගේ කුඩම්මාගේ සැලකිලි නිසා වැනසෙන ජල ගැලුම් නිම්නය
පල්ලේගම – හඳුන්ගමුව මාර්ගය අසලින් ආරම්භ වන සුදුකන්ද, වස්ගමුව වනෝද්‍යානය මැදින් ගොස් අංගම්මැඩිල්ල වනය හරහා ද උස්පහත් වෙමින් ඇදී යනවා. සුදුකන්ද පාමුල පිහිටි මහයියාව වැව උද්‍යානයට යාබදව පිහිටි ජලාශයක්. වස්ගමුව වනෝද්‍යානයේ සිට උතුරට ගමන් ගන්නා අලිඇතුන් අඹන් ගඟ තරණය කර අංගම්මැඩිල්ල හරහා පරාක්‍රම සමුද්‍රයට පිවිසෙනවා. අලිඇතුන්ගේ සංක්‍රමණ මාර්ගයක් නිසා මෙහි අලිඇතුන් බහුලව ගැවසෙනවා.
වනසතුන්
අලින්ට අමතරව වියළි කලාපීය වනාන්තරවල හමුවන බොහෝ සතුන් මේ වනයේ සැරිසරනවා. මෙහිදී මුගටියන්, ඉත්තෑවන්, ගෝනුන්, මුවන්, සිවලුන්, අඳුන් දිවියන්, වල් බළලුන්, උණහපුළුවන්, වැලිමුවන්, මී මින්නන් දැක බලා ගැනීමට අවස්ථාව හිමිවෙනවා. කොටියා සහ වලසා ගැවසුණ ද උන් දැකගැනීම නම් ලේසි පහසු කටයුත්තක් නොවෙයි. දඬු ලේනා, රිලවා, සහ වඳුරා ද මේ වනයේ තුරු මත සිටිනයුරු සුලබ දර්ශනයක්. උද්‍යානයේ පිහිටි අංගම්මැඩිල්ල අමුණ අසල පිහිටි කිඹුලාවළ නම් ස්ථානයේ කිඹුලන් බහුලව ගැවසෙනවා.
පිට රතු කෑරලා, වත රතු මල් කොහා, කහ කුරුල්ලා, නිල් පෙඳ බිඟුහැරයා, පුංචි බිඟුහරයා, මොණරා, අළු කෑඳැත්තා, වලිකුකුළා ඇතුළු විශේෂ 150ක් පමණ වන පක්ෂීන්ට මේ වනපෙත අභය භූමියක්. සමනළ විශේෂ, කෘමි විශේෂ පමණක් නොව උරග විශේෂ ද රැසක් මෙහි දිවි ගෙවනවා. ඒ අතර නයා, පොළඟා, පිඹුරා, මල්සරා කැපී පෙනෙනවා. මහයියාව වැව අසල දී අඩක් දිරා ගිය ගස් මත ගිමන් හරින බමුණු උකුස්සන්, කහ කොකා, කහ මැටි කොකා, සුදු මැදි කොකා, කරවල් කොකාගේ හා කිරලුන්ගේ දර්ශන ද ඔබට එහිදී දැකගැනීමට ලැබේවි.
ගස්වැල්
දැවමය වටිනාකමින් යුත් පලු, බුරුත, කළුවර, කුඹුක්, මිල්ල, මී, ගොඩකිරල, හල්මිල්ල, නෙරලූ, වීර, මොර, වෙලං, පානක්ක, යකඩමරං, දවුල් ගස් මෙහි පැතිර තිබෙනවා. වටිනා ඖෂධීය අතිඋඩයන්, බිං කොහොඹ වැනි පැළෑටි ද, ඉලුක්, පොහොන් ආදී තෘණ ශාඛ ද, ඊට අමතරව නෙලූ පැළෑටි ද උද්‍යානය තුළ හමුවෙනවා. අඹන් ගඟ දෙපස සහ ආකාශ ගංගා ඇළ මාර්ගය දෙපස කුඹුක්, මී, තිඹිරි වැනි ජලය ප්‍රිය කරන ගසින් යුත් ගංගාධාර වනාන්තර දකගත හැකියි.
අංගම්මැඩිල්ල රජ බැම්ම
වනෝද්‍යානයේ පිහිටි වටිනා පුරාවිද්‍යාත්මක ස්ථානය ලෙස සැලකෙන්නේ පුරාණ අමුණ යි. උද්‍යානය ප්‍රකාශයට පත් කිරීමට පෙරත් නරඹන්නන් මේ ස්ථානයට ආවේ මේ පැරණි වාරි වික්‍රමය දැකබලා ගැනීමට යි. පැරණි අමුණ අවට විශාල ගස්වැල් බහුල යි. එයට ගම්වැසියන් කියන්නේ රජ බැම්ම කියලයි.
අමුණේ තාක්ෂණය
මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංගාවක් වන අඹන් ගඟේ ජලය පරාක්‍රම සමුද්‍රයට ලබාගැනීම සඳහා පොළොන්නරු යුගයේ දී යි මේ අමුණ ඉදිකර තිබෙන්නේ. පුරාණ අමුණේ නටබුන් තවමත් දැකගත හැකියි. හතරැස් ගල් කුට්ටි උපයෝගී කරගනිමින් අමුණ තනා තිබෙන්නේ අඹන් ගඟ මැද දූපතක් සේ ස්‌වභාවිකව පිහිටි ගල්තලාවක් ද උපයෝගී කරගෙන යි. හතරැස් ගල් කුට්ටි උපයෝගීකර ගැනීමෙන් එය නිර්මාණය කර තිබෙනවා. ගල්පර්වතය හාරා, අත්තිවාරමක් සලකුණු කර, ඒ මත එකිනෙක ගල්කුට්ටි තබා බැඳ තිබෙනවා. අමුණ පිට පැත්තේ මුල්ගල් පිහිටුවීම සඳහා පිහිටි ගල තුළ විශාල අගලක් කපා තිබෙනවා. අගලට ඇතුළතින් ගලෙහි හාරන ලද වළවල් පෙළක් දක්‌නට පුළුවන්. විශාල ගල්කණු සිටුවා ජල පහර හරස්‌කර තනන ලද බැම්ම ඉදිකිරීමට සහාය සඳහා මේ වළවල්වල එකල දැව කණු යොදා තිබෙන්නට ඇති බව පේනවා.
ආකාශ ගංගාව
පුරාණ අමුණට ආසන්නව ඩී. එස්. සේනානායක කාලේ තැනූ අලුත් අමුණ තවමත් පරාක්‍රම සමුද්‍රයට ජලය ගෙන යනවා. මේ ඇළ මාර්ගය මහාවංශයේ නම්කර තිබෙන්නේ ආකාශ ගංගාව කියලයි. අංගම්මැඩිල්ල ඇළ මාර්ගය ශාඛා දෙකකින් යුතුව නිර්මාණය කර ඇති අතර, ඉන් එකක් පරාක්‍රම සමුද්‍රයටත් අනික මින්නේරිය වැවටත් වැටෙන ලෙස ජලය බෙදා හරින ලද්දේ කිලෝමීටර 38ක් පමණ දිග ආකාශ ගංගා ඇළ මාර්ගය උපයෝගී කරගෙන යි. මෙම ජලය ඇළ මාර්ග දෙකකින් ගෙන යාමට වාරි ශිල්පීන් උත්සාහ ගෙන තිබුණේ ජලයෙහි වේගය පාලනය කිරීමට, ඇළ කණ්‌ඩි ආරක්‌ෂා කිරීමට හා පහත් භූමිවලට ජලය බෙදා හැරීමට අතුරු ඇළ ශාඛා සැකසීමට අවශ්‍ය නිසා බව මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර සඳහන් කරනවා.
දුම්බර කඳුවැටියෙන් පෝෂණය වන අඹන් ගඟ කඳුකරය පසුකරගෙන අංගම්මැඩිල්ල තැනිතලා ස්‌ථානයට පැමිණෙන විට ඉතා විශාල ජල කඳක් රැගෙන එනවා. අඹන් ගඟ ශාඛා දෙකකින් ගලා එන ස්‌ථානයේ ඇති විශාල ගල් තලාව උපයෝගීකර ගනිමින්, අංගම්මැඩිල්ල ඇළ නිර්මාණයේ දී විශාල හතරැස් ගල් කුට්‌ටි අමුණු බැම්මට හා ඇළ කණ්‌ඩි ශක්‌තිමත් කිරීමට යොදා ගෙන තිබෙනවා.