අම්පාර, නැඟෙනහිර පළාතේ පිහිටි සශ්‍රීක නගරයක්. ඒ අවට බහුල ව සිදුවන්නේ වී වගාව යි. පුරාණ බෙදීම් අනුව අම්පාර අයිති වැව්ගම් පත්තුවට. අම්පාර නගරයේ සිට දිවයිනේ නැඟෙනහිර වෙරළ පිහිටා ඇත්තෙත් එතරම් දුරකින් නොවෙ යි. කොළඹ සිට අම්පාරට කිලෝ මීටර් 350ක් පමණ දුරක් වන අතර මහනුවර සිට දුර කිලෝ මීටර් 250ක්. වනගත සුන්දර අම්පාර නගරයේ පිහිටි දැක බලා ගත යුතු තැන් කිහිපයක් ගැන පැවසීමයි මේ ලිපියේ අරමුණ වන්නේ.
අම්පාර නගරය අද්දර ම වන රක්ෂිත මෙන් ම අලංකාර වැවක් ද පිහිටා තිබීම නිසා එහි සුන්දරත්වය ඉහළ යනවා. 1950 දක්වා කුඩා කඩමණ්ඩියක් ව පැවති අම්පාර නගරයක් බවට පත් වුණේ ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ සංවර්ධන ව්‍යාපෘති නිසා යි.
ඉතිහාස කතා
අම්පාර අයිති වන්නේ පුරාණ දිගාමඩුල්ල ජනපදයට යි. මහාවංශය අනුව දීඝායු කුමරා පිහිටුවූ මෙම ජනපදය ඉතා සුළු කලකින් ම ප්‍රබල දේශපාලන නායකත්වයක් බිහි කළා. දීඝ ගාමිණිගේ පුත් පණ්ඩුකාභය කුමරා අනුරාධපුරය සිය අණසකට ගෙන අනුරාධපුරයෙහි අගනුවර පිහිටවූ බව ඉතිහාසය පවසනවා. මෙතැන් සිට දිගාමඩුල්ල අනුරපුර මහ රජුගේ ප්‍රාදේශීය පාලන කොට්ඨාසයක් වු අතර ප්‍රධාන ධාන්‍යාගාරයක් ලෙස එහි වී වගාව පැතිර තිබුණා.
පොළොන්නරු රාජධානිය බිඳ වැටි රටේ අගනුවරය නිරිත දිග ප්‍රදේශයට තල්ලුවිමත් සමග දිගාමඩුල්ල ද වල් බිහි වන්නට වුණා. බ්‍රිතාන්‍යයේ පාලන අවසාන කාලයේ ඩී. එස්. සේනානායක කෘෂිකර්ම ඇමැති ලෙස මේ අවට ජනපද පිහිටුවා ගොවිතැන් කටයුතු නඟා සිටුවිමට උත්සාහ ගත් අතර ඔහු අගමැති වීමෙන් පසු එය වඩාත් විධීමත්ව සිදු වුණා.
අම්පාර නගරය
නැඟෙනහිර පළාතේ ප්‍රධාන නගරයක් වන අම්පාර අතීතයේ සිට ම හින්දු භක්තික දෙමළ ජනයා ද වාසය කළ පෙදෙසක්. නගරය මැද පිහිටි හින්දු කෝවිලට කිසියිම් ආපදාවක දී අං පූජා කිරීම මගින් බාරහාර වූ බව පැවසෙනවා. ඒ නිසා අංපාර වුණු බවට මතයක් තිබෙනවා. තවත් කතාවකට අනුව මෙහි කැලෑ පාරවල නිතර ගෝන මුව සතුන්ගේ අං වැටී තිබුණු නිසා අංපාර වුණු බව කියවෙනවා.
අම්පාරට ආසන්න ම නගරය වන්නේ කල්මුණේ. සියවස් ගණනාවකට පෙර පටන් මේ අවට දියුණු ජනතාවක් වාසය කළ බවට සාධක නගරයට නුදුරින් හමුවන නටබුන් ස්ථානවලින් පැහැදිලි වෙනවා. දීඝාවාපි දාගබ, බුද්ධංගල ආරණ්‍යය, රජගල, සමන්ගල, කුඩුම්බිගල, ආදී පුරාණ නටබුන් ස්ථාන රාශියක් අම්පාරට නුදුරින් පිහිටා තිබෙනවා.
ගල්ඔය බෝඩ්
ලංකාව නිදහස ලැබු පසුව අගමැති ඩී. එස්. සේනානායකගේ මූලිකත්වයෙන් ගල්ඔය බෝඩ් ලෙස හැඳින්වූ සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹුණේ 1949 දී යි. එවකට ලංකාවේ ප්‍රධාන ප්‍රධාන බහු කාර්ය සංවර්ධන කාර්යය වූයේ ගල්ඔය සංවර්ධන මණ්ඩලය යටතේ ඇරඹුණු ගල්ඔය සංවර්ධන වැඩසටහන යි. අම්පාරට නුදුරු ඉගිනියාගල සේනානායක සමුද්‍රය ඉදිවුණේ එහි ප්‍රධාන ව්‍යාපෘතියක් ලෙසයි.
මේ නිසා කුඩා කඩමණ්ඩියක්ව පැවති අම්පාර රජයේ කාර්යාල, නිල නිවාස, රජ්‍ය ආයතන සහිත නගරයක් බවට පත් වුණා. වනගතව පැවති අම්පාර අවට බිම් එළිකර කුඹුරු අස්වැද්දීම සිදුවුණා. නටබුන් වූ වැව් සංවර්ධනය වුණා. ක්‍රමවත් සැලසුම් ගත සංවර්ධනයක් තුළ ටික කලෙකින් සංවර්ධනය වූ මෙම ප්‍රදේශයට 1961 දී අම්පාර දිස්ත්‍රික්කය නමින් අලුත් පරිපාලන දිස්ත්‍රික්කයක් බිහිවූණා. එහි අග නගරය ලෙස අම්පාර සංවර්ධනය වුණා. නගර සීමාව තුළ වැදගත් වැව් තුනක් සහ වනජීවි අභය භූමියක් තිබීම අම්පාර නගරයට පමණක් විශේෂිත කාරණයක්.
අම්පාර වැව
අම්පාර නගරය තුළ ම පිහිටි වැව නගරයේ අලංකරණයට හේතු වෙනවා. එහි ජලය කෘෂිකර්මාන්තය සඳහාත් යොදා ගන්නවා. ස්නානයට සුදුසු තැනක් ලෙසත් මේ වැව ප්‍රකට යි. හරිත උයන නමින් විවේක උයනක් ද ඇවිදීමේ මං තීරු ද පසුගිය කාලයේ වැවට නුදුරින් තනා තිබෙනවා. අම්පාර වැවට මායිම්ව පිහිටා ඇත්තේ අම්පාර රක්ෂිත වනාන්තරයයි.
ඒ අසල ඇති වනාන්තරයෙන් හවසට අලිඇතුන් දියබීමට වැවට පැමිණීමත් දැකගත හැකි යි. වැව අසබඩ ම කෝවිලක් ද පිහිටා තිබෙනවා. දෙමළ බැතිමතුන් මෙන්ම සිංහල බැතිමතුන් ද සිය බාරහාර ඔප්පු කිරීම පිණිස මෙම දෙවොල කරා ඇදෙනවා. දේවාලය අම්පාර නගරයේ ඔරලෝසු කණුව පෙනෙන තෙක් මානයේ වැව් ඉවුර ආසන්නයේ පිහිටා තිබෙනවා.
අම්පාරට නුදුරු තවත් වැවක් තමයි හිමිදුරාව කියන්නේ. නිවාඩු නිකේතන ආදිය ද අවට පිහිටා තිබෙනවා.
ජපන් සාම දාගබ
අම්පාරේ පිහිටා ඇති සාම චෛත්‍යය ලොව පුරා සාමය සංකේතවත් කිරීම අරමුණු කරගෙන ජපානය මගින් පිහිටුවන ලද දාගැබ් අතරින් එකක්. මෙම සංකල්පය මුලින්ම ක්‍රියාවට නැගූ ජපානයේ නිචිදත්සු පූජි නා හිමියන්ගේ (1885-1985) අනුශාසනා පරිදි උන්වහන්සේගේ 99 වැනි ජන්ම සංවත්සරය සැමරීම නිමිති කොට ගෙන මෙය තනා තිබෙනවා. අම්පාර සාම චෙෙත්‍යය විවෘත වුණේ 1988 පෙබරවාරි 28 වන දිනයි. මෙයට අමතරව සමනල කන්දේ මෙන්ම උණවටුන, බණ්ඩාරවෙල, වලපනේ යන තැන්වල ද මෙවැනි ජපන් සාම දාගැබ් ඉදිකර තිබෙනවා.
මලයඩි වැව
මේක තියෙන්නේ අම්පාර නගරයට නුදුරු හිඟුරානේ. හිඟුරානේ ඉඳලා කිලෝමීටර් 2ක් විතර මලයඩිවලට දුර යි. මලයඩි වැව ඉතා අලංකාර පරිසයරයක පිහිටි ජලාශයක් නිසා සංචාරකයන් අතර එය ජනප්‍රිය යි. මලයඩි වැව කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය සපයන අතර ම සංචාරක කර්මාන්තයටත් දායක වී තිබෙනවා. වැව මැද අලංකාර දූපත් ද දැකගත හැකි යි. වැව අවට සංචාරක නවාතැන් පොළවල් කිහිපයක් ද දැකගත හැකි යි. වැවේ බෝට්ටු සංචාරවලටත් ඒවායේ පහසුකම් සලසා තිබෙනවා.
බුද්ධංගල ආරණ්‍යය
වැව්ගම්පත්තුව උතුරු ප්‍රාදේශීය ආදායම් කොට්‌ඨාසයේ තමයි එය පිහිටා ඇත්තේ. අම්පාර නගර සීමාවට මේ වනාන්තරය සහ ආරණ්‍ය භූමිය අයත් වෙනවා. එහි විශාල විශ්‍රාම ශාලාවක් ද නවාතැන් ගත හැකි කාමර කිහිපයක් ද පිහිටා තිබෙනවා. ආරණ්‍යය බුද්ධංගල අභය භූමිය තුළයි පිහිටා තිබෙන්නේ. වර්ෂ 1974 නොවැම්බර් 9 දා මෙම වනය අභය භූමියක් ලෙස ප්‍රකාශ කළා.
එහි විශාලත්වය හෙක්ටයාර් 1814ක්. පූජා භුමියට අක්කර 200ක පමණ භූමියක් අයත් වෙනවා. මෙහි වනය පලාගෙන අඩි 500ක් පමණ ඉහළට නගින පර්වත කූට 5ක් පැතිර තිබෙනවා. එම පර්වත පාමුල අලංකාර ස්වභාවික පොකුණු දක්නට ලැබෙනවා. පොකුණු මැදින් ඉහළ නගින පර්වත මත ඉපැරණි නටබුන් සහ මෑතක දී ඉදිකළ විහාරාරාමත් දැකගත හැකි යි.
බුද්ධන්ගල පර්වතය මතට අම්පාරේ කඳු හිස් වන වඩිනාගල, රජගල ආදී කඳු අපූරුවට දැකගත හැකි යි. මොනරාගලට අයත් ගෝවින්දහෙළත් යාන්තමින් පේනවා. අනුරාධපුර යුගයේ දී කුඩුම්බිගල, රජගල මෙන් ම බුද්ධංගල ද පළාතේ ප්‍රකට බෞද්ධ ආරණ්‍ය ලෙස පැවතුණ බව හෙළි වී තිබෙනවා. අනුරාධපුර යුගය බිඳ වැටීමත් සමඟ වනයට යට වී වනසතුන්ගේ අභයබිමක් බවට පත්ව තිබූ මේ පුදබිම යළිත් බෞද්ධ භික්ෂූ වාසයට නතු වන්නේ 1964 දී කළුතර ධම්මානන්ද හිමියන් වැඩම කිරීමත් සමඟයි.
ඒ වනවිට මේ පර්වත භුමිය දඩමස් වේළන්නන්ගේ කෙම්බිමක් ව පැවති බව පැවසෙනවා. උන්වහන්සේ සමඟ මෙම පූජා භූමිය යළිත් සංවර්ධනය කිරීමට බටයායේ ආරියවංශ හිමිත් එක්වී කටයුතු කර තිබෙනවා. ආරණ්‍ය අසල බුද්ධංගල සිංහල ගොවි ජනපදය පිහිටුවීමටත් උන්වහන්සේ මූලික වුණා. ඊට පසු මෙම පුදබිම යළිත් භික්ෂු වාසයට සුදුසු භූමියක් බවට පත් වුණා.
1972 වසරේදී වත්මන් චෛත්‍යය ඉදිකිරීම පිණිස පුරාණ වටදාගෙය කැණීම් සිදුකරද්දී ධාතු කරඬුවක් හමුවීම බුද්ධංගල නවෝදයේ ප්‍රධානත ම සාධකය වශයෙන් සැලකෙනවා. මෙහි දාගබ කැණීම් කිරීමේ දී ලැබුණු කරඬුවක වූ නෙලුම් මල් දෙකක ශරිපුතශ සහ මොගලන යන්න කොටා තිබූ අතර ඒවාය් තිබූ ධාතුන් සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතු බව හෙළි වී තිබෙනවා. මේ ධාතු නැත්පත් කර දාගබ ප්‍රතිසංස්කරණය කර ඇත්තෙත් අමුතු අන්දමකට යි. ඒ වාර්ෂික පොසොන් උත්සව කාලෙයේ දී දාගබ් ගර්භය අසළට ගොස් ධාතු නැරඹිය හැකි අයුරින්.
කොන්ක්‍රීට් පුවරුවක් තාවකාලිකව ඉවත් කිරීමෙන් පසු ධාතු ගර්භය විවෘත කළ හැකි ලෙස දාගබ තනා තිබෙනවා. එයට පිවිසීමට යකඩ බාල්ක යොදා අටල්ලක් නිර්මාණය කර තිබෙනවා. මෙම දාගබ 1974 දී විවෘත කර තිබෙන්නේ එවකට ජනාධිපති ව සිටි විලියම් ගොපල්ලව යි. පුරාණ කටාරම් කෙටූ ලෙන් මෙන්ම ගොඩනැඟිලිවල නටබුන් ද බුද්ධන්ගල දී දැකගත හැකි යි.