අන්තිමට සොයා ගත් සොළොස්මස්ථාන පුදබිම ගැන ඔබ දැනුවත්ද?

මීට වසර 21ට කලින් ඒ කියන්නේ 1995 ඔක්තෝම්බර් 15 වැනිදා අපේ රටේ බෞද්ධයන්ට ගොඩක් වැදගත් වන සිදුවීමක් සිදු වුණා. කාලයක් තිස්සේ බොහෝ දෙනෙක් සොළොස්මස්ථානය වන්දනා කරන ගාථාව කියලා සොළොස්මස්ථානය වන්දනා කළත් එයින් එකක් වුනු දිවා ගුහාව ඇත්තටම තියෙන්නේ කොහෙද කියන එක දැනගෙන හිටියේ නැහැ. බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවක දහවල් (දිවා) කාලයේ ගිමන් නිවා ගත්තු නිසා “දිවා ගුහාව” කියලා නම් කෙරුණු මේ ස්ථානය හරියටම තියෙන්නේ කොතනද කියන එක තහවුරු කර ගන්න පුළුවන් වුණේ ඒ දවසේ. අපේ රටේත්, ලෝකය පුරාමත් ඉන්න බෞද්ධයන්ට ගොඩක් වැදගත් වුනු ඒ සිදු වීම ගැන මතක් කර ගන්නත් එක්ක අපි අද ලිපියෙන් දිවා ගුහාව ගැන කතා කරන්න හිතුවා.

දිවාගුහාවේ පිහිටීම හා ප්‍රාග් ඓතිහාසික පසුබිම

දිවාගුහාවට, නැත්නම් බටතොට ලෙනට පිවිසෙන දොරටුව. රූපය : 4shared.com

දිවාගුහාවට, නැත්නම් බටතොට ලෙනට පිවිසෙන දොරටුව. රූපය : 4shared.com

දැරණියගල ඉඳලා මහවත්ත කන්ද, බටතොට හරහා එක්නැලිගොඩ දක්වා විහිදිලා තියෙන කඳු යායේ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, අංක 160 දරණ ඇඳිරියන්වල ග්‍රාම සේවා වසමේ තමයි දිවාගුහාව පිහිටලා තියෙන්නේ. බටතොට ලෙන කියලා කියන්නෙත් මේ දිවාගුහාවටමයි. දිවාගුහාවට මීටර් 400ක් විතර උතුරින් ස්ත්‍රීපුර කියලා හඳුන්වන අත්භූත ලොකු ගල් ලෙනකුත්, මීටර් 400ක් විතර දකුණින් දහයියා ලෙනත්, තවත් මීටර් 400ක් දකුණට ගල් පර්වතයක් මුදුනේ අක්කර 5ක විතර හෝම්පලහේන කියලා හඳුන්වන ගල් තලාවකුත් පිහිටලා තියෙනවා. මේ ස්ථානය ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් බවත් අවුරුදු තිස් දහසකට (30000) කලින් ඉඳලම මිනිස් වාසයන් තිබුන බවත් පුරාවිද්‍යා ගවේෂණ වාර්තා වලින් අනාවරණය වෙනවා.

විහාරස්ථානයේ ආරම්භය හා උරුමය

දිවාගුහා විහාරස්ථානයේ ඇති පුරාණ මකර තොරණක්. රූපය : budgettravellerssl.bolgspot.com

දිවාගුහා විහාරස්ථානයේ ඇති පුරාණ මකර තොරණක්. රූපය : budgettravellerssl.bolgspot.com

බටතොට දිවාගුහාලෙන ඇතුලේ තිබෙන නටබුන් ගැන හොයලා බලනකොට පොළොන්නරු, ගම්පොල, මහනුවර වගේ රාජධානි පැවති කාල වලදීත්, බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමයේ සහ ලංකාව නිදහස යුගයන් ලැබුවාට පසුවත් වරින්වර විහාර කර්මයන් පටන් පටන් අරගෙන තියෙන බවට සාක්ෂි දකින්න පුළුවන්. (විහාර කර්මයන් කියන්නේ විහාරයක් ගොඩ නංවන්න කරන ඉදිකිරීම් හා පූජා කටයුතු වලට.) කොහොම නමුත් සම්පත් හිඟ වීම, දුෂ්කර හා පිටිසර පරිසරය, මිථ්‍යාදෘෂ්ටික අදහස් සහ භූත බලපෑම් වගේ දේවල් නිසා මේ හැම අවස්ථාවකදීම වගේ ඒ කටයුතු අතරමග නතර කරන්න සිදු වෙලා. සැලකිය යුතු මට්ටමකට වැඩ අවසන් නොවුණු නිසා මේ විහාර කර්ම මුලින් ආරම්භ කළ හෝ අවසන් කළ දිනයන්වත්, ඒ විහාර කර්ම මොන භික්ෂු පරපුරකට අයිති වුනාද කියන එකවත් 19වන සියවසේ අවසානය වෙනකන් වාර්තා වල සඳහන් වෙන්නේ නැහැ.

බටතොට ලෙන දිවාගුහාව බව පිළි නොගත් හේතු

බටතොට ලෙන වන්දනා කරන්නේ දේව, යක්ෂ, භුත වගේ අමනුෂ්‍යයන් කියලා මිථ්‍යා මතයක් ඉස්සර කාලේ මිනිස්සු තුළ තිබුණා. මේකට ප්‍රධාන හේතුව වුණේ දිවාගුහාව කවදාවත් බෞද්ධ පූජනීය ස්ථානයක් විදිහට සංවර්ධනය කරන්න ඉඩ නොලැබුණු එකයි. හැම අවස්ථාවකදීම බාධා මතු වුණු නිසා මේ තැන අමනුෂ්‍යයන් අරක් ගත් තැනක් කියලා ප්‍රසිද්ධ වුණා.

නමුත් ලංකාවේ හෝ ඉන්දියාවේ හෝ බුදුරදුන් වැඩ සිටි කිසිම ස්ථානයක් මනුෂ්‍යයන්ට වැඳුම් පිදුම් කරන්න ඉඩ නොදී අමනුෂ්‍යයන්ට විතරක් වෙන් කරලා තිබුණ බවක් ශාසන ඉතිහාසයේ සඳහන් වෙලා නැහැ. මිනිසුන්ට වැඳුම් කරන්න සුදුසු දිවාගුහාවක් නොතිබුනා නම් හරි, ලංකාවේ බෞද්ධ ජනතාව එය නොදැක සිටියා නම් හරි සොළොස්මස්ථාන වන්දනා ගාථාවේ (“මහියංගනං නාගදීපං කල්‍යානං පද ලාංඡනං දිවාගුහං දිඝවාපී”) පස්වෙනි තැනට දිවාගුහාව ඇතුළත් කළේ ඇයි? දිවාගුහාව වැඳිම සඳහා විශේෂ ගාථාවක් බෞද්ධයන් ඈත අතීතයේ ඉඳලාම භාවිත කළේ ඇයි? මේ වගේ කාරණා නිසා සැබෑ දිවාගුහාව අනිවාර්යයෙන්ම මිනිසුන්ට වැඳුම් පිදුම් කරන්න සුදුසු තැනක් බව වැඩි දෙනාගේ පිළිගැනීමයි.

බුදුන් වැඩ සිටි ස්ථානයක මෙහෙම දේවල් සිදු වෙන්න බැරි නිසා බොහෝ දෙනෙක් බටතොට ලෙන දිවාගුහාව කියලා පිළිගන්න මැලි වුණා.

දිවාගුහාව සොයා ගැනීම පමා වුණේ ඇයි?

 

සුප්‍රසිද්ධ කැළණි විහාරයේ බිතුසිතුවම් අතර බටතොට ලෙන දැක්වෙන සිතුවම් දැක ගන්න පුළුවන්. රූපය : viplankatours.com

සුප්‍රසිද්ධ කැළණි විහාරයේ බිතුසිතුවම් අතර බටතොට ලෙන දැක්වෙන සිතුවම් දැක ගන්න පුළුවන්. රූපය : viplankatours.com

දිවාගුහාව වැඳීම සඳහා විශේෂ ගාථාවක් අතීතයේ ඉඳලාම භාවිතා කළත් දිවාගුහාව හොයා ගන්න මෑතක් වෙනකල්ම බැරි වුනා. යටාල තිස්ස රජ සමයේ ආරම්භ කළා කියලා පුජාවලියේ සඳහන් වෙන කැළණි රජ මහා විහාරයේ බිතු සිතුවම් අතරට දිවාගුහාව, නැතිනම් බටතොට ලෙන දැක්වෙන චිත්‍ර දකින්න පුළුවන්. විශේෂ වැදගත් කමක් නැති නම් බටතොට ලෙන ඒ චිත්‍රයට පසුබිම් වෙලා තියෙන්නේ කොහොමද කියන එක අදටත් වෙනත් සාධාරණ උත්තරයක් නැහැ.

බටතොට ලෙන් විහාරය හෙවත් දිවාගුහාව කාලයක ඉඳලා දියුණු කරන්න නොහැකි, මනුෂ්‍ය වාසයට ඉඩ නොලැබුන ස්ථානයක් කියලා කියන්න පුළුවන් සාක්ෂි නම් බොහොමයක් තියෙනවා. මේ ලෙනේ වාසයට ගිය හැම භික්ෂූන් වහන්සේ නමක්ම අකාලයේ පිස්සු වැටී හෝ අපවත් වී ගිය බවත්, මේ ස්ථානය දියුණු කරන්න උත්සාහ කළ අය දුගී බවට පත් වී හෝ වෙනත් උපද්‍රවයන්ට ගොදුරු වී විනාශයට පත් වූ බවටත් පිළිගන්න පුළුවන් සාක්ෂි තියෙනවා. දැනට ශත වර්ෂයකට විතර කලින් මේ ලෙන් විහාරය බලපිටියේ අම්බරුක්ඛාරාම විහාරය මගින් පාලනය වුණත්, ඒ කාලයේදී භික්ෂුන් වහන්සේලා පිරිහීමට හා විනාශයට පත් වීම නිසා ඒ ස්ථානය මුළුමනින්ම අතහැරලා දාලා තියෙනවා.

දිවාගුහාවේ සංවර්ධනය

පස්සේ කාලෙකදී අලුතින් සංවර්ධන කටයුතු පටන් ගත්තත් පළාත්වාසීන් මේ කටයුතුවල සාර්ථකත්වය ගැන කිසිම විශ්වාසයක් තියලා නැහැ. දිවාගුහාව සංවර්ධනය කරනකොට විවිධ අත්භූත සහ බිහිසුණු සිද්ධි ගොඩක් සිදු වෙලා තියෙනවා. 1999 මැයි මාසේ තමයි දහසක් බාධක මැද්දේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා හා බිතු සිතුවම් පිළිසකර කරලා ධාතු නිදාන උත්සවයක් පවත්වලා තියෙන්නේ. දිවාගුහාව මහජනතාවට විවෘත කරලා තියෙන්නේ ඒ අවුරුද්දේම වෙසක් පෝය දවසේදී.

අමනුෂ්‍ය බලපෑම් ඇති වීමට හේතු

මුලින්ම මේ ලෙන් විහාරය ආරම්භ කරන්න උත්සාහ කළේ නිශ්ශංකමල්ල රජතුමා. ඔහුගේ ඥාතියෙක් වෙන කාලිංගදේශික හින්දු භක්තික රාජකීයෙක් තමන්ගේ අන්තඃපුරයේ කාන්තාවක් වුන රත්නමාලි කියන කුමාරිකාව ගැන වැරදි වැටහීමක් ඇති කරගෙන තියෙනවා. ඔහු මේ ලෙන තුලදී තමයි ඇයව දුෂණය කරලා මරලා දාලා තියෙන්නේ. වෛරයෙන් මැරුන ඒ කුමාරිකාව කන්ථමාරි නමින් භූත ආත්මයක් ලබා ගෙන එතැන් පටන් අවුරුදු 712ක් වගේ ලොකු කාලයක් මේ ලෙනට අරක්ගෙන ඉඳලා තියෙනවා කියලා විශ්වාස කෙරෙනවා. ඒ භූත ආත්මය තමයි මේ ලෙන දියුණු කරන්න ආව අය ගොදුරු බවට පත් කර ගෙන තියෙන්නේ.

ධාතු නිධාන උත්සවයෙන් පස්සේ ගල්ලෙන ඇතුළේ ඒ භූත ආත්මයට ජිවත් වෙන්න බැරි වුණු නිසා ඒ අවට සිටි පිරිසට එක එක ප්‍රශ්න ඇති වෙන්න පටන් අරන් තියෙනවා. මේ ස්ථානයට පින් දහම් කරන්න ආව කීප දෙනෙක්ටම මේ භූත ආත්මය ආවේශ වුණු බව සඳහන් වෙනවා. ජනප්‍රවාදයට අනුව ඇය වෙනුවෙන් විවිධ පුද පුජා පවත්වලා පින් අනුමෝදන් කරාට පස්සේ තමයි මේ භූත ආත්මය පිටවෙලා ගිහින් තියෙන්නේ.

දිවාගුහාවට නම ලැබුන හැටි

සමන් දෙවියන් නිරූපණය කෙරෙන සිතුවමක්. රූපය : lankawisdom.com

සමන් දෙවියන් නිරූපණය කෙරෙන සිතුවමක්. රූපය : lankawisdom.com

සමන්තකූට පර්වතයට අධිපති සුමන සමන් දෙවිඳුන්ගේ ආරාධනාවකට අනුව පන්සියයක් මහරහතුන් වහන්සේලා එක්ක බුදුරජාණන් වහන්සේ අහසින් සමන්ගිරට වැඩම කළා. තමන්ට වැඳුම් කරන්න යමක් ලබා දෙන්න කියලා සමන් දෙවියන් කළ ඉල්ලීමකට අනුව බුදුන් වහන්සේ එහිදී සිය වම් ශ්‍රී පාදය අදිටන් බලයෙන් පිහිටවලා තියෙනවා.

ඉන් පසුව බුදුරජාණන් වහන්සේ තමන්ගේ දිවා කාලය සමවත් සුවයෙන් වැඩ හිඳීමට ඒ අඩවියේ පිහිටලා තියෙන ගල් ලෙනකට වැඩම කළා. මේ ගල් ලෙන බුදුරදුන් ඇතුළුව තවත් පන්සීයක් මහරහතුන්ට විවේකී සුවය ගත කරන්න ප්‍රමාණවත් තරම් විශාල ස්ථානයක්. මේ ලෙන ”දිවාගුහාව” කියලා හඳුන්වලා තියෙන්නේ ඇයි කියන එක ගැන මත දෙකක් තියෙනවා. එකක් තමයි සුර්යාලෝකය දහවල් කාලයේ ලෙන ඇතුළට වැටිලා දහවල් කාලයේ වගේම එළියක් තියෙන නිසා දිවාගුහාව කියලා නම් ලැබුවා කියන එක. බුදුන් වහන්සේ දිවා කාලය ගත කළ නිසා දිවාගුහාව කියලා නම් කළ බව අනික් අදහසයි. ඒ වගේම තමයි භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මේ ලෙනේ සමවත් සුවයෙන් වැඩ සිටි නිසා ”භගවා ලෙන” කියලත් හඳුන්වලා තියෙනවා.

දිවාගුහාව සොයා ගැනීම

දිවාගුහාව අසල ඇති ආනන්ද මෛත්‍රිය මහා නාහිමිපාණන්ගේ පිළිරුව. රූපය : flickriver.com

දිවාගුහාව අසල ඇති ආනන්ද මෛත්‍රිය මහා නාහිමිපාණන්ගේ පිළිරුව. රූපය : flickriver.com

කාලයක් පුරාවට අවිනිශ්චිතව තිබුණත් අවසානයේ බටතොට ලෙන දිවාගුහාව විදිහට නිල වශයෙන් නම් කෙරුණේ 1995 වර්ෂයේදීයි. අතිපුජ්‍ය අග්ගමහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමිපාණන් වහන්සේගේ සිහිනයක් සැබෑ කරමින් 1995 ඔක්තෝම්බර් 15 වැනිදා වල් බිහි වී තිබූ බටතොට පුරාණ ගල් ලෙන් විහාරය දිවාගුහාව හෙවත් භගවා ලෙන කියලා උන්වහන්සේ ප්‍රකාශයට පත් කළා. ඒ අනුව පුරාණ ගල් ලෙන් රජමහ විහාරය (දිවාගුහාව) 2001 ඉඳලා බැතිමතුන්ගේ පූජනිය ස්ථානයක් බවට පත් වුණා. අද දක්වාම සැබෑ දිවා ගුහාව විදිහට බටතොට ලෙන පිළිගැනෙන්නේ උන්වහන්සේගේ ප්‍රකාශයෙන් අනතුරුවයි.

සැබෑ දිවාගුහාව හොයන්න ගොඩක් මහන්සි වෙලා කටයුතු කරපු තවත් කෙනෙක් තමයි නාරාහේන්පිට සාරිපුත්ථ අභ්‍යාසනාධිපති පුජ්‍යපාද බස්නාගොඩ විමලරතන හාමුදුරුවෝ. උන් වහන්සේගේ උපදෙස් වලට අනුව 1999 අගෝස්තු මාසයේ පසළොස්වක පෝය දවසේ දිවාගුහාව තුළ පිංකම් පැවැත්වීම සිදු කරලා තියනවා. එයින් පසුව කලින් ඇති වුණා කියන දෝෂ බොහොමයක් නැති වෙලා ගියා. දිවාගුහාව මිනිසුන්ට වැඳුම් පිදුම් කරන්න සුදුසු තැනක් විදිහට වඩාත් ප්‍රසිද්ධියට පත් වුණේ ඉන් පසුවයි.

රත්නපුර දිස්ත්‍රික්කය මැණික් වලට බොහොම ප්‍රසිද්ධ වුණත් ආගමික අතින් වඩාත් වැදගත් වෙන්නේ සමන් දේවාලය සහ සමනල කන්ද පිහිටා තිබීම නිසයි. සමනල කන්ද පාමුල පිහිටා තියෙන දිවාගුහාව රුවන්පුරයේ වටිනාකම තවත් වැඩි කරන ස්ථානයක් විදිහට හඳුන්වන්න පුළුවන්. එදා ඉඳන් අද දක්වා නොකඩවා වන්දනාමාන වලට පාත්‍ර වන දිවාගුහාව මතු පරපුරටත් රැක දීම අප සතු යුතුකමක් හා වගකීමක්. ඔබත් රත්නපුර දිස්ත්‍රික්කයේ සංචාරයක් යනවා නම් දිවාගුහාව බලන්න යන්නත් අමතක කරන්න එපා.

Related Articles

Exit mobile version