මැදියමේත් හිරු දිළෙන ෆින්ලන්තයේ සංචාරක ඉසව්

යුරෝපයේ වඩාත් ම උතුරින් පිහිටි රාජ්‍යයක් වන ෆින්ලන්තය අධික සීතල දේශගුණයකින් යුක්ත රටක්. නෝර්වේ සහ ස්වීඩනය වැනි තවත් යුරෝපා රටවල ඇතැම් භූමි ප්‍රදේශ ෆින්ලන්තයට වඩා උතුරින් පිහිටා තිබෙනවා. ෆින්ලන්තයේ භූමි ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වාගේ උතුරු අක්ෂාංශ 60ට වඩා උතුරින් පිහිටා තිබීම විශේෂත්වයක්.

එසේම රටෙන් තුනෙන් එකක් පමණ ආක්ටික් කවය තුළ පිහිටා තිබෙන ආකාරය නිරීක්ෂණය කරන්නට පුළුවන්. අධික ශීත දේශගුණයකින් යුත් ෆින්ලන්තයේ අපූරු සංචාරක ඉසව් රැසක් පිහිටා තිබෙනවා. මෙතැන් සිට ඔබට කියන්නේ ෆින්ලන්තයේ අසිරිය පිළිබඳ ව යි.

1) කෙමි හිම මාලිගය 

සුන්දර ෆින්ලන්තයට අධික හිම පතනයක් ලැබෙනවා. එනිසා සෑම වසරක ම ශීත ඍතුවේ ෆින්ලන්තයේ කෙමි නම් නගරයේ හිම මාලිගයක් නිර්මාණය කරනවා. 1996 දී මුල් ම වරට ඉදිවුණු එම අපූරු හිම මාලිගයේ අද වන විට දේවස්ථානයක්, අවන්හලක්, සහ හෝටලයක් ද ඉදිකෙරෙනවා. හිම ආපනශාලාව තුළ ඇති අයිස් මේස සහ ආසන, පිනිමුවන්ගේ ලොම්වලින්  ආවරණය කර තිබෙන නිසා ඉතාමත් අලංකාර අයුරින් දිස්වනවා. 

කෙමි හිම මාලිගය – Rove.me

 

එම ආපනශාලාවේ දී බැදපු කුකුළු මස්, බේක් කළ අර්තාපල්, ක්‍රැන්බෙරි මූස් කේක්, ෆින්ලන්ත බෙරි පායි වැනි නැවුම් ආහාරවල රස විඳින්න අවස්ථාව ලැබෙනවා.  එසේම, අවශ්‍ය නම් ‍යුවළකට මාලිගය තුළ පිහිටා ඇති හෝටලය සිය විවාහ මංගල උත්සවය පවත්වන්න වෙන්කරගන්නත් පුළුවන්.

සෑම වසරකම හිම මාලිගයට පැමිණෙන ලක්ෂයක පමණ සංචාරකයන්ගෙන් බොහෝ පිරිසක් මෙම සුන්දර හෝටලයේ රාත්‍රිය ගතකරනවා. ශීත ඍතුව පුරාවට කෙමි ප්‍රදේශය සුන්දර කරන හිම මාලිගය අද වනවිට සංචාරකයන් අතර ඉතා ම ජනප්‍රිය ස්ථානයක් බවට පත්ව තිබෙනවා. 

හිම මාලිගයේ ආපනශාලාව – Klook

 

2) ආක්ටික් කලාපයේ දොරටුව – රොවානෙමි 

ෆින්ලන්තයේ සමස්ත භූමි ප්‍රදේශයෙන් 1/3ක් පමණ ආක්ටික් කවය තුළ පිහිටා තිබෙනවා. ආක්ටික් කවය උතුරු ෆින්ලන්තයේ රොවානෙමි නගරය හරහා යන නිසා එම නගරය ආක්ටික් කලාපයේ දොරටුව යනුවෙන් හඳුන්වනවා. සුන්දරත්වයෙන් අනූන එම ප්‍රදේශය ගිම්හානයේ දී සංචාරකයන්ගෙන් පිරී යනවා.

ඒ ගිම්හාන කාලයේ පැය 24 ම එම ප්‍රදේශයට සූර්යාලෝකය පතිත වන නිසා යි. එම සුවිශේෂී සංසිද්ධිය සිදුවන ආකාරය පහත දක්වා තිබෙනවා. 

රොවානෙමි ප්‍රදේශයේ සංචාරක හෝටලයක් – Hotels Combined

 

ආක්ටික් හෝ ඇන්ටාක්ටික් කව යනුවෙන් හඳුන්වන්නේ සමකයේ සිට උත්තර හෝ දක්ෂිණ අක්ෂාංශ 66 1/2කට වඩා ධ්‍රැවාසන්න ව පිහිටි ප්‍රදේශ යි.

පෘථිවියේ පිහිටීම අනුව වසරේ සමහර කාලවලට ඒවාට හිරු උදා වන්නේ අංශක 90කට වඩා වැඩි ආනතියකින් යුක්ත ව යි. එනම්  ක්ෂිතිජයටත් වඩා පහළිනු යි. ඒ අනුව  ප්‍රායෝගික ව ‘හිරු උදාවීමක්’ සිදුවන්නේ නැහැ. 

පෘථිවියේ නිවර්තන සහ ධ්‍රැවීය ප්‍රදේශවල පිහිටීම (planet-earth-2017)

 

උදාහරණයක් ලෙසින් උත්තර කවයේ පිහිටි ස්ථානයක් සැලකුවහොත්, මකර නිවර්තනයට හිරු මුදුන් වෙද්දී හිරු එම ප්‍රදේශයට සාදන කෝණය අංශක 90ට වැඩි වෙනවා. එවිට සරල ව ම පැවසුවහොත්, දින ගණනකට හිරු උදා වන්නේ නැහැ.

මෙම සංසිද්ධියේ විරුද්ධ දෙය කර්කටක නිවර්තනයට හිරු මුදුන් වන විට එම ප්‍රදේශයට අත්විඳීමට ලැබෙනවා. එනම් මධ්‍යම රාත්‍රියේ පවා එහ රටවල හිරු බැස යන්නේ නැහැ. 

ෆින්ලන්තයේ උතුරු ප්‍රදේශයට මධ්‍යම රාත්‍රියේ හිරු පායා ඇති අන්දම – House of Lapland

 

එවිට හිරු ක්ෂිතිජය ආසන්නයට ම ළඟා වී නැවත ඊළඟ දිනයේ ඉහළ එන ආකාරය දැකගන්නට පුළුවන්. සරලව ම මධ්‍යම රාත්‍රී හිරු පිළිබඳ සංසිද්ධිය එය යි. එසේම ෆින්ලන්තයේ උතුරු ප්‍රදේශයට පැය 24 පුරාවට ම හිරු උදා නොවෙන කාලසීමාව ‘ධ්‍රැවීය රාත්‍රීන්’ ලෙසින් හඳුන්වනවා. රොවානෙමි ප්‍රදේශයේ ජීවත් වන ජනයා මධ්‍යම රාත්‍රියේ හිරු පායා තිබෙන දිනවල රාත්‍රී කාලයේ පවා එළිමහනේ විනෝද වනවා.

එම කාලයේ දී ඔවුන් ඔරු පැදීම, පිහිනීම, මසුන් ඇල්ලීම, කඳු නැගීම වැනි ක්‍රියාකාරකම්වල යෙදෙනවා. ෆින්ලන්ත වැසියන් මධ්‍යම රාත්‍රියේ සාද පවත්වමින් විනෝද වන්නත් අමතක කරන්නේ නැහැ. ඒ අනුව ෆින්ලන්තයේ රොවානෙමි ප්‍රදේශයට මධ්‍යම රාත්‍රියේ හිරු පායන කාලයේ දී බොහෝ අය එහි සංචාරය කරමින් විනෝද වීමට පුරුදු ව සිටිනවා. 

මධ්‍යම රාත්‍රියේ හිරු පායා තිබිය දී විනෝද වන සංචාරකයන් – House of Lapland

 

3) වර්ණවත් උතුරු එළි බලන්න හොඳ ම ප්‍රදේශය

උතුරු එළි නමින් හඳුන්වන්නේ උත්තර ධ්‍රැවය ආසන්නයේ පිහිටි රටවල්වල උතුරු අහසේ දීප්තිමත් වර්ණවලින් එහෙ මෙහෙ දුවමින් රටා අඳින මනස්කාත එළි සමුච්චයක්. මෙය සූර්යයාගෙන් විමෝචනය වන ආරෝපිත අංශු පෘථිවි වායුගෝලයේ ඉහළ ස්ථරවල ගැටී ඒවායේ අඩංගු ශක්තිය ෆෝටෝන බවට පත් වීම නිසා සිදුවන සංසිද්ධියක්.

සාමාන්‍යයෙන් එම එළි වැඩිපුර ම දැක ගන්නට ලැබෙන්නේ ළා කොළ සහ රෝස පැහැයෙන්. ඊට  අමතර ව රතු, කහ, කොළ, නිල් හා දම් පැහැයෙන් ද උතුරු එළි  දිස්වුණු බවට වාර්තා වී තිබෙනවා. එම එළි විවිධ හැඩවලින් දිස්වන අතර ආකාසයේ තැනින් තැන විසිරුණු පුල්ලි, කැටිති, වක්‍රකාර ව්‍යුහ, නටන සේලයක් හෝ කදම්භ ආකාරයෙන් දැකගන්නට පුළුවන්.

රාත්‍රී අහස සරසන උතුරු එළි – Get Your Guide

 

ෆින්ලන්තයේ උතුරු ප්‍රදේශය ලැප්ලන්තය නමින් හඳුන්වනවා. සාමාන්‍යයෙන් උතුරු එළි බැලීමට බොහෝ දෙනකු යන්නේ ලැප්ලන්තයට යි. අවුරුද්ද පුරා ම උතුරු එළි ඇතිවුණත් ඒවා නැරඹීමට වඩාත් සුදුසු කාලය වන්නේ ශීත කාලය යි. ශීත කාලය එළඹුණු විට ලැප්ලන්තයට හිරු පායන්නේ ම නැති තරම්. එම කාලයට රාත්‍රී කාලය වඩාත් දීර්ඝ වනවා.

එවිට බොහෝ සංචාරකයන් උතුරු එළි නැරඹීම සඳහා ලැප්ලන්තය වෙත ඇදී එනවා. සාමාන්‍යයෙන් උතුරු එළි ෆින්ලන්තයට හොඳින් ම දර්ශනය වන්නේ දෙසැම්බර්-මාර්තු දක්වා කාලයේ දී යි. එම කාලයට ලැප්ලන්තයට පැමිණෙන බොහෝ සංචාරකයන් උතුරු එළි නැරඹීමෙන් පසුව පවසන්නේ තම ජීවිතයේ සිහිනයක් සැබෑවුණු බව යි. 

උතුරු එළි නැරඹීමට ඉදිව තිබෙන සංචාරක හෝටලයක් – Visit Finland

 

4) ලෙමෙන්යොකි ජාතික උද්‍යානය 

ලෙමෙන්යොකි ජාතික උද්‍යානය ෆින්ලන්තයේ පිහිටා තිබෙන සුන්දර ම ස්ථානවලින් එකක්. එය වර්ග කිලෝ මීටර  2,589ක භූමි ප්‍රදේශයක් වසා ගෙන පැතිරී තිබෙනවා. එම ජාතික උද්‍යානය තුළ දී ආක්ටික් දේශගුණයට හුරු වුණු ශාක විශේෂ දැකගන්නට පුළුවන්. සාමාන්‍යයෙන් මෙහි පැමිණෙන විදෙස් සංචාරකයන් එම අපූරු ශාක විශේෂ නරඹමින් උද්‍යානය තුළ පයින් ඇවිදගෙන යාමට කැමැත්තක් දක්වනවා.

මෙම අපූරු උද්‍යානයේ ටික දිනක් නැවතී සිටීමට කැමති උදවියට ඒ සඳහා පහසුකම් සලසා තිබෙනවා. ඒ අනුව සමහර සංචාරකයන් විශේෂ කූඩාරම්වල නැවතී වනෝද්‍යානයේ අසිරිය විඳීමට පුරුදු ව සිටිනවා.

ලෙමෙන්යොකි ජාතික උද්‍යානය – peakvisor

 

වනෝද්‍යානය තුළින් ගලා බසින ලෙමන්යොකි ගංගාව ද සංචාරකයන් අතර වඩාත් ජනප්‍රිය යි. ඒ ගංගාව ආශ්‍රිත ව බෝට්ටු සවාරියක් යෑමේ අවස්ථාව සංචාරකයන්ට ලැබෙන නිසා යි. එම අපූරු බෝට්ටු සවාරිය සේම  කඳු නැගීම සඳහා මෙම උද්‍යානය තුළ සකස් කර ඇති විශේෂ මංතීරුත් සංචාරකයන් අතර වඩාත් ජනප්‍රිය යි.

මෙම උද්‍යානය තුළ දී  දුඹුරු වලසුන්, වෘකයන්, රාජාලීන්, ගෝනුන් සහ පිනිමුවන් වැනි සතුන් දැකගන්නට පුළුවන්. උද්‍යානය තුළ නැවතී කාලය ගත කරන උදවියට එම සතුන් අපහසුවකින් තොර ව දැක ගැනීමේ අවස්ථාව හිමි වනවා. 

ලෙමෙන්යොකි ගංගාවේ සුන්දරත්වය – Itinari

 

5) සුමෙන්ලින්නා බළකොටුව 

ෆින්ලන්තය තුළ පිහිටා තිබෙන ප්‍රධානත ම බළකොටුවක් වන සුමෙන්ලින්නා හි ඉතිහාසය 1748 වසර දක්වා දිව යනවා. එකල ෆින්ලන්තය පැවතියේ ස්වීඩන් පාලනය යටතේ යි. එදා ෆින්ලන්ත පාලකයන් මෙම අපූරු මුහුදු බළකොටුව ඉදිකළේ සෝවියට් රුසියානු සතුරන්ගෙන් ආරක්ෂා වීම සඳහා යි.

ස්වීඩන් අද්මිරාල්වරයකු වුණු ඔගස්ටස්  එහෙරෙන්ස්වර්ඩ්ගේ මැදිහත්වීමෙන් ඉදිකිරීම් ආරම්භ වුණු මෙම බළකොටුවේ වැඩ අවසන් වීමට වසර ගණනාවක් ගත වුණා. හෙක්ටයාර් 210ක භූමි ප්‍රමාණයක් ආවරණය කරන මෙම බළකොටුව කුඩා දූපත් 6ක් පුරා පැතිර තිබීම විශේෂත්වයක්. 

සුමෙන්ලින්නා බළකොටුව – Unesco

 

ආරක්ෂිත බිත්තිවලින් සමන්විත ගොඩනැඟිලි 200කින් පමණ සමන්විත බළකොටුව කිලෝ මීටර 6ක් දිගට විහි දී යනවා. මිලිටරි ගෘහනිර්මාණ ශිල්පීය ක්‍රමවලට අනුව ඉදිකර තිබෙන මෙම බළකොටුව තුළ උමං ආරක්ෂක පද්ධතියක් පවා පැවතීම විශේෂත්වයක්. එකල පැවති නවීන ආරක්ෂක උපක්‍රම අනුගමනය කරමින් ඉදි කළ බළකොටුව දිගින් දිගටම සංරක්ෂණය කළා.

එනිසා යුද්ධවලින් පසුව පවා බළකොටුව අයිති වුණු පාර්ශව එය හොඳින් නඩත්තු කළා. අද වන විට ෆින්ලන්තයේ තිබෙන ඉපැරණි උරුමයක් බවට පත් ව තිබෙන මෙම ඓතිහාසික බළකොටුව සංචාරකයන් අතර වඩාත් ජනප්‍රිය ස්ථානයක්. එදා භාවිත කළ යුද උපක්‍රම පිළිබඳ ව මෙහි දී හොඳ අවබෝධයක් ලබාගන්නට පුළුවන්. ඒ අයුරින් බළකොටුවේ තිබෙන ඉපැරණි වැදගත්කම ගැන සැලකූ යුනෙස්කෝව 1991 වසරේ සිට එය ලෝක උරුමයක් ලෙසින් ප්‍රකාශයට පත් කළා.

කවරයේ ඡායාරූපය- ෆින්ලන්තයේ උතුරු එළි - Daily Sabah

මූලාශ්‍ර:

planetware.com

unesco.org

wildnordics.com

Related Articles

Exit mobile version