ගොඩවාය වරාය : පුරාණ මුහුදු සේද මාර්ගයේ තිබුණු වැදගත් තොටුපොලක්

ශ්‍රී පාදස්ථාණයෙන් පටන්ගන්නා වලවේ ගඟ මහ මුහුදට වැටෙන්නේ අම්බලන්තොට සහ හම්බන්තොට නගර වලට නුදුරින් පිහිටි ගොඩවාය නමැති කුඩා ධීවර ගම්මානයකිනි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි මෙම ගම්මානය පුරාතනයේ වැදගත් වරායක් වශයෙන් ප්‍රකටව තිබුනි. මෙය ක්‍රි. ව. 2 තරම් ඈත යුගයේ වෙළදාම් සඳහා භාවිතා වූ මුහුදු සේද මාර්ගයේ එක් නැවතුම් පොලකි.

“ගොඩවාය” යන නම  “ගොඩ පවත පට්ටන” යන වැකියෙන් උත්පාදනය වූවකි. මෙලෙස මෙම ගම්මානය නම් කර ඇත්තේ එහි වෙරළ ආශ්‍රිතව පිහිටා ඇති විශාල පර්වතයක් නිසාය.

ගොඩවායේ ඇති විශාල ගල. (ඡායාරූපය : ලශිනි කුලතුංග)

ඉන්දියානු සාගරයේ මධ්‍යස්තව පිහිටා ඇති නිසා ශ්‍රී ලංකාව ආදී කාලයේ සිටම වෙළදාම් කටයුතු සඳහා ජනප්‍රිය විය. රුහුණු රට, තිස්සමහාරාමය සහ රිදියගම නගරවලට මෙන්ම, මධ්‍යධරණී මුහුද හා චීනය සම්බන්ධ කල මුහුදු සේද මාවතටද ගොඩවාය ජනාවාසය එකසේ වැදගත්විය. මෙම වරාය කෙතරම් දියුණු තත්වයක තිබුනේද යත්, එහි සිදුවූ වෙළදාම් කටයුතු වලින් රේගු බදු උපයාගත් බවටද සාක්ෂි ඇත. මෙහිදී සොයාගෙන ඇති, බ්‍රාහ්මිණි අක්‍ෂර වලින් ලියු සෙල්ලිපියකට අනුව, ක්‍රි. ව. 2හි රුහුණුපුර රජ කල පළමු ගජබාහු රජතුමා විසින්  මෙම තීරු බදු සියල්ලම ගොඩවාය රජමහා විහාරයේ නඩත්තුව සඳහා කැප කල යුතු ලෙස නියමවා ඇත. ලෝකයේ ප්‍රථමයෙන්ම ක්‍රමානුකූලව තීරු බදු එකතු කල බව විශ්වාස කරන්නේ Palmayrah (නූතන සිරියාව) නම් නගරයේ වන අතර, එම වකවානුවේදීම ගොඩවායේ ද බදු එකතු කල බව මෙම සෙල් ලිපියෙන් තහවරු වේ.

පසුගිය දශකයේ, ගොඩවායේ සහ ඒ අවට ප්‍රදේශයේ ගවේෂණ සහ කැනීම් කටයුතු රාශියක් කර ඇත. මෙම කැනීම් වලින් ජැටියක හෝ පාලමක නටභුන් ගම්මානයට නුදුරින් ඇති මුහුදේ සොයාගෙන ඇත. කළුගල් වලින් නිම කල කණු කිහිපයක නටභුන් ද ඇති මෙම ස්ථානය නැව් ගොඩවීම සඳහා එකල රුහුණු රටේ තිබුණු සුරක්ෂිතම ස්ථානයයි. තවද, වලවේ ගඟේ පුළුල් මෝය කට හරහා රටේ අභ්‍යන්තරයට  පිටරටින් ආනයනය කල භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ඉතා යෝග්‍ය විය. බෝට්ටු සහ පාරු මෙය සඳහා භාවිතා කල ඇති බව විශ්වාස කෙරේ.

වලවේ ගඟේ මෝය කට. (ඡායාරූපය : ලශිනි කුලතුංග)

ගොඩවාය අවට මුහුදේ සිදුකර ඇති ගවේෂණ වලින් සොයාගෙන ඇති පුරාවස්තු අතර කළුගලින් නිමවූ නැංගුරමක් තිබුණු අතර, එය ගාල්ල ප්‍රදේශයෙන් සොයාගෙන ඇති නැංගුරම්වලට බොහෝ සෙයින් සමානය. මෙලෙස කළු ගල් වලින් තැනු නාවික උපකරණ පෙර යටත් විජිත යුගවල තිබු නැව්වල, විශේෂයෙන්ම චීන සහ ඉන්දු අරාබියානු යාත්‍රාවල, දක්නට ලැබුණි.  

මෙම ප්‍රදේශයෙන් සොයාගෙන ඇති වෙනත් පුරාවිද්‍යා වස්තුන්ද ඇත. පිඟන් හා වලං  කැබලි, ලී කොටන්, ජෝගු, බඳුන් සහ ගල් බංකුවක් පවා මෙහිදී සොයාගෙන ඇත. මේවා කෙතරම් පැරණිද යන්න සනාථ කිරීමට කාබන් දිනයුමක්  (carbon dating) මේ වන විට සිදුකර නැතත්, දැනට කර ඇති විශ්ලේෂණ වලට අනුව මෙම භාණ්ඩ ක්‍රි. ව. 4ට පෙර යුගයකට අයත් බව තහවුරු කර ඇත. අතීතයේ මෙම වරායේ වැදගත්කම තවත් තහවරු කරන කරුණක් නම් ගොඩවායට නුදුරින් හොයාගෙන ඇති අවුරුදු 2000ක් පමණ පැරණි නෞකාවක නටභුන් ය.

ගොඩවාය සෙල් ලිපිය සහ ඒ අවට ඇති නටභුන් මෑතකදී සොයාගත් වස්තූන් නොවුනත්, එහි තවදුරටත් විමර්ෂණ කිරීම් සිදු කලයුතුය. එසේ නමුත්, මෙම ප්‍රදේශය පිළිබඳව දැනට දන්නා කරුණු වලින් ආදී ශ්‍රී ලංකාවේ තිබුණු උසස් මට්ටම නිසැකවම දැකගත හැක.

Related Articles

Exit mobile version