පුරාණයේ වෙසක් පොසොන්වලට ගම්මානවල බැතිමතුන් බස්වල නැගලා වට වන්දනාවේ යන සිරිතක් පැවතුණා. අන්න ඒ වගේ ගිය තැනක් තමයි නැගෙනහිර පළාතට අයත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තිබෙන කුච්චවේලි නටබුන් විහාරය. දැන් “පිච්චමල් විහාරය” කියලා එය හඳුන්වනවා. උතුරු නැගෙනහිර ගිලගත් කොටි ත්‍රස්තවාදය නිසා මේ බොහෝ පුරාවස්තු අත්හැර දමා තිබුණා. ත්‍රිකුණාමලයේ සිට නිලාවැලි හරහා මේ ස්ථානයට දුර කි. මී. 32ක්. නමුත් මේ සුන්දර විහාර බිම දැකබලා ගැනීමට වැඩි දෙනෙක් නොයන්නේ ඒ ගැන දැනුවත් නැති හින්දයි. අප උත්සාහ කරන්නේ ඒ පිළිබඳ තොරතුරු ඔබට ලබාදීමට යි.
සමුද්‍ර විහාර
සමුද්‍රාසන්නයේ වනවදුලින් ගැවසී ගත් පර්වත බහුල කඳු ගැටයක් ආශ්‍රිතව මේ නටබුන් විහාරය පිහිටා තිබෙනවා. පුරාණ රජවරු රට ඇතුළත පමණක් නොව මුහුදු වෙරළේ ද විහාරස්ථාන ගොඩනංවා තිබෙනවා. ඒවා “සමුද්‍ර විහාරයැ” යි සාමාන්‍යයෙන් හැඳින්වෙනවා. පිච්චමල් විහාරය ද එවැනි පුදබිමක්. අප රටේ දකුණු, ගිනිකොණ, නැගෙනහිර, ඊසාන, උතුරු මුහුදු තීරයෙහි මෙම විහාර වැඩි වශයෙන් පිහිටා තිබෙනවා. නැගෙනහිර පළාතේ ශාස්ත්‍රවෙල, පොතුවිල්, සංගමන්කන්ද, ලංකා පටුන, ගෝකණ්ණ ආදී ස්ථානවල සමුද්‍ර විහාර පිහිටා තිබෙනවා. මේවා ඈත මුහුදට ද අලංකාරව පෙනෙන සේ ඉදිකර තිබීම විශේෂත්වයක්. ඒ කාලෙ මුහුදෙ යාත්‍රා කරන විදේශීය නාවික යාත්‍රාවලට රටේ ආගමික විභූතිය පෙන්වීමට ඒවා ඉදිකළා වෙන්නත් පුළුවන්. අද නම් ඒවායේ ඈතට පෙන්න තිබූ දාගැබ් නටබුන් වෙලා ගිහින්. සමුද්‍ර ඛාදනය නිසා මේවා අවට ගොඩබිම් කොටස් මේ වන විට වැනසී තිබෙන අතරම නිධන් හොරුන්ගේ ගැහැටත් අඩු නොකියන්න ලැබී තිබෙනවා.
කුච්චවේලි ගම්මානය
මේ ගම ධීවර වෘත්තියේ යෙදෙන ජනතාවක් වාසය කරන ප්‍රදේශයක්. ත්‍රිකුණාමලයේ සිට තරමක් දුරින් පිහිටියත් පසුගිය කාලයේ මාර්ග පහසුකම් සැලසුණු නිසා දැන් පැයක් වගේ කාලෙකින් ඒ වෙතට ගමන් කළ හැකියි. කුච්චවේලි පොලිසියට යාබදව කුච්චවේලි පැරණි තානායම තිබු භූමිය තමයි පසුව පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම්කර රැකවරණය ලබාදී තිබෙන්නේ. නිලාවරි, තිරියාය, ගල්මඩුව ආදී නෂ්ටාවශේෂ ද එයට නුදුරින් පිහිටා තිබෙනවා.
ඉතිහාස කතා
කුච්චවේලිවලට නුදුරින් පිහිටි ලෙන් ලිපියක අබිගමිය නම් ගමක් ගැන සඳහන් වෙනවා. එහි තිබෙන එම කාලයටම අයත් තවත් සෙල්ලිපියක විහාරයට දීමනාවක් කර ඇත්තේ රජකුගේ මුණුපුරකු වූ දරක නම් කුමරයකුගේ පුතෙක්. පුරාණයේ පටන්ම රාජ්‍ය අනුග්‍රහය ලැබුණු පුදබිම් මේ අවට පැවති බව ඉන් හෙළිවෙනවා. ක්‍රි. පූ. අවධියේ පටන් බෞද්ධ පූජනීය ස්ථානයක් වශයෙන් පවතින්නට ඇති කුච්චවේලි පිච්චමල් විහාරය අනුරාධපුර යුගයේ මධ්‍ය භාගය (ක්‍රි. ව. 6 සියවස) වන විට බොහෝ වන්දනාකරුවන් පැමිණෙන පූජනීය ස්ථානයක් බවට පත්වූ බව සෙල්ලිපිවලින් හෙළිවෙන තවත් කරුණක්.
රුවන්වැලි මහ සෑයට වන්දනා කිරිමට දුටුගැමුණු රජතුමාට පිච්ච මල් ගෙන ගියේ මෙම ප්‍රදේශයෙන් බවත්, එම නිසා මෙම විහාරය පිච්චමල් විහාරය ලෙස හඳුන්වා ඇති බවත් ජනප්‍රවාදයන්ට අනුව කියැවෙනවා. එම ජනප්‍රවාදයේ පදනමක් ඇති බවක් නම් අපට පේන්නෙ නැහැ.
සෙල්ලිපි සාධක
මෙහි පිහිටි ස්ථූප ලාංඡන සහිත පර්වතයේ වම් පැත්තේ 6 වැනි සියවසට අයත් සෙල්ලිපියක් කොටා තිබෙනවා. එහි සංස්කෘත ශ්ලෝක දෙකක් දැකගත හැකියි. එයින් කියැවෙන්නේ මේ පිනෙන් සත්ත්වයා සසර සයුරෙන් එතෙර කරන්න යන ප්‍රාර්ථනය යි. එහි සඳහන් දාගැබ් කොටවන ලද්දේ සෙල්ලිපිය ලියූ පුද්ගලයාම බව ඉන් පෙනෙනවා. එහෙත් කරවූ අයගේ නම එහි දක්වා නැහැ. ඔහු දාගැබ් කෙටවූ පිනෙන් බුද්ධත්වය ප්‍රාර්ථනා කර තිබෙනවා. මේ පැතුම මහායාන ප්‍රාර්ථනයක් බව එල්ලාවල මේධානන්ද හිමියෝ පවසනවා. නැගෙනහිර වෙරළ තීරය පුරා ක්‍රිස්තු වර්ෂ හත හා අට වන සියවස්වල ලියන ලද සංස්කෘත සෙල්ලිපි රැසක් හමුවන අතර ඇතැම් ඒවා මෙම විහාරය ඇතුළු අවට බොදු පුදබිම්වලින් හමුවෙනවා. මෙම පුදබිම රජ දවස මහායාන බෞද්ධ මධ්‍යස්ථානයක්ව පැවැති බවට සමහර උගතුන් අදහස් පළ කරනවා.
මෙහි පිහිටි තවත් සෙල්ලිපියක සඳහන් කර ඇති අයුරින් මේ පූජනීය ස්ථානයේ ඉපැරැණි නාමය කණිකාරවෙල්ලි විහාරය බව හෙළිවී තිබෙනවා. මෙම නාමය අට්ඨකතාවල ද සඳහන්. එවකට මෙම විහාරය විදේශික යාත්‍රිකයන් පවා පැමිණෙන ස්ථානයක් වන්නට ඇති බව පේනවා.
දාගැබ් කැටයම
මෙම කැටයමේ ස්තූප 1966 දී ඉතා හොඳින් පැවතුණු බවත්, 1978 වන විට ඉන් සමහරක් කොටස් කඩාදමා තිබූ බවත් මෙහි ගවේශනයක නියැලුණු එල්ලාවල මේධානන්ද හිමියන් පවසනවා. ත්‍රිකුණාමලය කුච්චවේලිහි පිහිටි පිච්චමල් විහාරයේ නෂ්ටාවශේෂ ස්වභාවික උපද්‍රව නිසා විනාශ වීමක් ගැනත් පසුගියදා වාර්තා වුණා. මෙම විහාරයේ මුහුද දෙසට ඇති පර්වතයක් කොටුවලට බෙදා දාගැබ් 16ක් කොටා තිබෙනවා. අඩි හතරක් දිග හා පළල සහිත ඉඩ ප්‍රමාණයක වෙන්කළ කොටු තුළයි මේ දාගැබ් කැටයම් කර තිබෙන්නේ. දාගැබ්වල පේසා වළලු ද දක්වා තිබෙනවා. එම පර්වතය නිතර මුහුදු රළට නිරාවරණය වීම නිසා විනාශ වීමේ අවදානමට ලක්ව තිබෙනවා. මුලින්ම කෙළින් පවතින්නට ඇති ඒ පර්වතය පසුකාලීනව පෙරළි ගොස් තිබෙනවා. දාගැබ් කැටයම හා සෙල්ලිපිය කරවූ පුද්ගලයා එය විහාරයට පැමිණෙන සැදැහැවතුන්ට පෙනෙන සේ කරවන්නට ඇති බව යි පේන්නේ.
මෙවැනි ගල් කැටයමක් ලංකාවේ වෙනත් කිසිම විහාරයකින් හමු නොවන නිසා මෙහි පුරාවිද්‍යාත්මක අගය ඉතා ඉහළ යි.
විහාර නටබුන්
පිච්චමල් විහාරයේ කරන ලද කැණීම්වලින් පැරැණි ප්‍රතිමා මන්දිරයක ශේෂ, තවත් ගොඩනැගිලිවල ගඩොල් පාදම් සොයාගැනීමට ලැබුණා. මෙම ප්‍රතිමා මන්දිරයෙන් හිටි බුද්ධ ප්‍රතිමාවක් සහ ප්‍රතිමා ශීර්ෂ දෙකක් හමුවුණා. මෙම ප්‍රතිමා අනුරාධපුර යුගයේ මුල්භාගයට අයත් බව ඒවායේ ලක්ෂණ අනුව පෙනෙන කරුණක්. ප්‍රතිමා අසල තිබී ක්‍රි. ව. හතරවන සියවසට අයත් රෝම කාසි කිහිපයක් ද මතුවුණා.
කුච්චවේලියේ පර්වත ආශ්‍රිතව පිහිටි ගල්ලෙන් එදා බවුන් වඩන භික්ෂුන්ගේ වාසස්ථාන වන්නට ඇති බව පේනවා. පසුකාලීනව එම ලෙන් වලසුන් ඇතුළු වන සතුන්ගේ වාසයට නතු වූ නිසා මෙම ස්ථානය වලස් කන්ද (කරන්ඩි මලෙයි) යනුවෙන් හැඳින්වුණා.
පිච්චමල් විහාරයේ පිහිටි පැරැණි දාගැබ හා ලෙන් ඇතුළු අවශේෂ 2013 අගෝස්තු 13 දින අංක 1823/73 දරන ගැසට් නිවේදනය මගින් පුරාවිද්‍යා ස්මාරකයක් වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා. මෙහි නටබුන්ව පැවති කුඩා දාගැබ පසුගිය කාලයේ සංරක්ෂණය කිරීම සිදුවුණා.
පුරාවිද්‍යා කැණීම්
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1978. 11. 18 වන දින මෙම ස්ථානයේ මුල්වරට ගවේශන හා කැණීම් ආරම්භ කළා. මෙහි අවට භූමියේ කරණ ලද කැණීම්වල දී පිළිම ගෙවල් දෙකක නටබුන් ද ඒ අවට ප්‍රාකාර බැම්මක් ද හමුවී තිබෙනවා. එම බැම්ම අසල ඇති තානායම් ගොඩනැගිල්ල 1984 වර්ෂයේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගෙන තිබෙනවා. නමුත් මෙහි කැණීම් දිගටම සිදුවී නැහැ.
මෙම ස්ථානයෙන් හමුවන එක් පිළිම ගෙයක බැම්ම සඳහා හුණුගල් යොදා ගෙන තිබෙනවා. මෙම පිළිමගෙයට බටහිරින් ආරණ්‍යවල තිබෙන පධානඝරයක්යැ යි අනුමාන කළ හැකි ගොඩනැගිල්ලක නටබුන් හමුවී තිබෙනවා. තවත් නටබුන් ගොඩනැගිලිවලට අයත් ගල් කණු කිහිපයක් කුච්චවේලි පොලිසිය පවතින භූමිය තුළත් දැකගත හැකියි. හුණු ගල්වලින් නිර්මාණය කරන ලද ගොඩනැගිල්ල අසල පොළොවේ කැණීම් කිරිමේදී මතුපිට වැළලී තිබු බුදු පිළිමයක් හා සිරස් දෙකක් හමුව තිබෙනවා. මෙම පිළිමය හිටි පිළිමයක්. එය කැඩීබිඳී ගිය ප්‍රතිමාවක්. එම පිළිම අසලින් රෝම කාසි කිහිපයක් හා වළං කැබලි කිහිපයක් ද සොයා ගෙන තිබෙනවා. රෝම කාසි ක්‍රිස්තු වර්ෂ හතරවන සියවසට අයත් ඒවා බව කියැවෙනවා.