පොත්ගුල් විහාර නමින් හඳුන්වන විහාර රාශියක් අප රටේ තිබෙනවා. ඒ සෑම විහාරයක් ම වගේ මහනුවර රාජධානි සමයට අයත් පුස්කොළ පොත් ගබඩා කර ඇති ස්ථාන යි. පුරාණයේ පොත්ගුල කියලා කිව්වේ පුස්තකාලයටනේ. පොත්ගුල් විහාරය නමින් හඳුන්වන අප රටේ පැරණි ම විහාරය තිබෙන්නේ පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය අද්දර පුරාණ නගරයේ දක්‍ෂිණ දිශානුගත ව යි. ඉතා වැදගත් පුරාවිද්‍යා ස්මාරකයක් වූ එය මහා පරාක්‍රමබාහු රජු (ක්‍රි. ව. 1151-1186) විසින් ඉදිකරවන ලද විහාරයක්. එය පොත්ගුල් විහාරය ලෙසින් හැඳින්වුවත් ඓතිහාසික මූලාශ්‍රවල නම් එවැනි නමක් හමුවන්නේ නැහැ. එය මෑත අතීතයට අයත් නමක් විය හැකි බව සමහරු පවසනවා. වනගත වෘක්ෂවලින් පිරුණු බිමක පරාක්‍රම සමුද්‍රය මායිමේ පිහිටි මේ විහාරය සුන්දර දර්ශනයක් මවා පානවා. නමුත් පොළොන්නරුවට එන සංචාරකයන්ගෙන් වැඩි දෙනෙක් මෙම ස්ථානයට එන බවක් නම් පේන්නේ නැහැ.
පාලි සෙල්ලිපිය
පොත්ගුල් විහාර සංකීර්ණයේ ශෛලමය උළුවස්‌සක තිබිය දී 1906 දී පළමු පුරාවිද්‍යා කොමසාරිස් එච්. සී. පී. බෙල් විසින් පාලි බසින් රචිත සෙල්ලිපියක් සොයා ගත්තා. එයට අනුව මෙම විහාරය මහා පරාක්‍රමබාහු විසින් මුලින්ම කරවූ බවත්, ඔහුගේ බිසෝවරුවන් දෙපළ වූ ලීලාවතී රැජින හා චන්ද්‍රවතී විසින් ප්‍රතිසංස්‌කරණය කළ බවත් කියැවෙනවා. ඒ අනුව මෙම ගොඩනැඟිලි සංකීර්ණය මහා පරාක්‍රමබාහු කර වූ බව තහවුරු වී තිබෙනවා.
පර්යේෂණ ඉතිහාසය
පොත්ගුල් විහාරය සම්බන්ධ මුල්ම පුරාවිද්‍යා ගවේෂණය පළමු පුරාවිද්‍යා කොමසාරිස් එච්. සී. පී. බෙල් විසින් මුල්වරට 1904 සහ නැවතත් 1906 සිදු කළා. ඔහු මෙහි කැණීම් කිහිපයක් සිදුකරනු ලැබු බව වාර්තා වෙනවා. බෙල්ට අනුව මේ හා සමාන තවත් ගොඩනැඟිලි පරිශ්‍රයක් ලංකාවෙන් හමු වී නැහැ. ‘පොත්ගුල් වෙහෙර’ නමින් හැඳින්වූ ගෙඩිගේ ආකාරයේ වලයාකාර ගොඩනැඟිල්ලේ වහලය කඩා වැටීම නිසා එහි ඇතුළත පිරී තිබූ අවශේෂ 1890 දී නිදන් හොරුන් විසින් සිදුකළ දරුණු කැණීම් සහ සුන්බුන් ඉවත්කිරීම් නිසා හානියක් වී තිබෙනවා. හැඩය පිළිබඳ ව කිසිම තොරතුරක් සොයාගත නොහැකි පරිද්දෙන් එය විනාශ වී තිබූ බව ද බෙල් පවසනවා. එවකට දැකිය හැකි වූ අයුරින් වහලයේ පිටත හැඩය කුමක් වුවත් ඇතුළතින් එය ක්‍රමයෙන් හීන් වෙමින් යන කේතු ආකාර වූ බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරනවා.
ආචාර්ය රාජා ද සිල්වා මේ ගොඩනැඟිල්ල කාම්බෝජ ගෘහ නිර්මාණ ලක්‍ෂණ ප්‍රකට කරන බව සඳහන් කර ඇති අතර, කාම්බෝජයේ මී – බෞමේ ආරාම සංකීර්ණයට ස්වරූපයෙන් සමාන වන බව පවසනවා. 1906 ඉදිරිපත් කරන ලද බෙල්ගේ පුරාවිද්‍යා පාලන වාර්තාවක සඳහන් වන්නේ මෙම ගොඩනැඟිල්ල භික්‍ෂූන්වහන්සේලා විසින් දේශනා කරන ලද ජාතක කතා ධර්මයන් ශ්‍රවණය පිණිස තැනූ මණ්‌ඩල මන්දිරයක් විය හැකි බව යි. නමුත් පසු ව මෙය ආරාමික පුස්‌තකාලයක් බවට හඳුනාගැනීමෙන් පසු පොත්ගුල් වෙහෙර නමින් හඳුන්වන්නට පටන් ගත් බව විශ්වාස කෙරෙනවා.
මහා පරාක්‍රමබාහු විසින් කරන ලදැ යි චූලවංසයේ සඳහන් වන කපිල විහාරය මෙය බවට ද තවත් අදහසක් ඉදිරිපත් වී තිබෙනවා. එහෙත් වඩාත් ම පිළිගත හැකි අදහස වන්නේ පසුකාලීන ව බෙල් විසින් දක්‌වා ඇති ආරාමික පුස්‌තකාලයක්ය ය යන්න යි. ඒ මතය නිවැරදි නම් මේ විහාරය, ලෝක පුස්‌තකාල ඉතිහාසයේ මෙතෙක් හඳුනාගෙන ඇති පැරණිතම පුස්‌තකාල ගොඩනැඟිල්ල ලෙස ඉතිහාසයට එක් වෙනවා.
1980-1990 දශකවල සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් මෙහි ආරාමික ගොඩනැඟිලි සහ ප්‍රාකාර කැණීම් කර සංරක්ෂණය අවසන් කළා.
පොත්ගුල් විහාර ප්‍රතිමාව පැරකුම්ගේ ද?
ජනප්‍රිය මතය වන්නේ පුස්කොළ පොතක් වැන්නක් දෑතින් ගත් ප්‍රතිමාව පරාක්‍රමබාහු රජුගේ බව යි. පොත්ගුල් විහාරය නමින් හඳුනාගන්නා ලද විහාරාරාම සංකීර්ණයට උතුරින් මෙම ප්‍රතිමාව පිහිටා තිබෙනවා. අද මේ විහාර බිමට යන නරඹන්නන්ගේ දෑස්වල මුලින්ම ගැටෙන්නේ මෙම ප්‍රතිමාව යි. උසින් අඩි එකොළහ යි අඟල් හයක් පමණ වන ප්‍රතිමාව කළු ගලේ අර්ධ උන්නත ව නෙළා මතු කරගෙන තිබෙනවා. ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු මෙයින් නිරූපණය වන බව, පිළිරුව දුටු පමණින් ම වැටහෙනවා. ප්‍රතිමාවේ හිස මුදුනේ ශීර්ෂාවරණයක් සහිත යි. එය ඉහළට බැඳි කේශ කලාපයක් ලෙස ද පේනවා. හිසකෙස් බොකුටු යි. හිසෙහි ඇති ජටාමකුටය කේතූරූපාකාර වන අතර, මුහුණ උඩු රැවුලකින් හා දිගු යටි රැවුලකින් ද යුක්‌ත යි. තොල් පළල් ය. ශරීරය මඳක් සථුල බව පේනවා. ළැම ප්‍රදේශය හා උදරය පිටට නෙරාගිය ස්‌වභාවය ද ඉස්‌මතු කර තිබෙනවා. දෑත් වැලමිටෙන් නවා ඉදිරියට යොමු වී ඇති අතර, දෑත් මත ඇත්තේ හඳුනා නොගත් යම් වස්‌තුවක්. වියගසක් ලෙසත්, පුස්‌කොළ පොතක් ලෙසත් ඇතැම් විචාරකයන් විසින් හැඳින්වෙන්නේ මේ වස්‌තුව යි.
මහාචාර්ය සෙනරත් පරණවිතාන පවසන්නේ මෙම ප්‍රතිමාවේ දෑතෙහි ඇත්තේ වියගහක් බවත් ඉන් මහා පරාක්‍රමබාහු රජු නිරූපණය වන බවත් ය. තවත් මතයකට අනුව මෙය ඍෂිවරයෙක්ගේ ප්‍රතිමාවක්. තවත් විද්වතුන් පිරිසක් පවසන්නේ මින් කපිල හෝ අගස්ත්‍ය ඍෂිවරයා නිරූපණය වන බව යි. එහි ප්‍රතිමා ලක්ෂණ අනුව රජ කෙනකුට වඩා ඍෂිවරයකුගේ ලක්ෂණ දරන බව යි පේන්නේ.
පොත්ගුල් විහාර ප්‍රතිමාව සම්බන්ධයෙන් අදහස් දක්‌වන පළමු පුරාවිද්‍යා කොමසාරිස්‌වරයා වූ එච්. සී. පී. බෙල් ප්‍රකාශ කරන්නේ මේ ප්‍රතිමාව තුළින් රජෙකුට උචිත ලක්‍ෂණ කිසිවක් පළ නොකරන බවක්. මෙය කපිල ඍෂිවරයාගේ රුවක් බවත් ඔහු සඳහන් කරනවා.
ප්‍රකට කලා විචාරක ආචාර්ය සිරි ගුණසිංහ සඳහන් කරන්නේ මෙම ප්‍රතිමාවෙන් නිරූපණය වන්නේ අගස්‌ත්‍ය ඍෂිවරයා බව යි. ප්‍රතිමාවෙන් පුලස්‌ති ඍෂිවරයා මූර්තිමත් වන්නේයැ යි මතයක් ඇති වී ඇත්තේ ප්‍රතිමාවේ සිරසට පිටුපසින් ඇති පුල – ස – ති යන අක්‍ෂර නිසා යි. ප්‍රතිමාවෙන් පුලස්‌ති ඍෂිවරයා නිරූපණය වෙයි නම් ඒ බව සඳහන් කළ යුතු ව තිබුණේ සැඟවුණු තැනක නොව, ප්‍රතිමාව ඉදිරිපිට හොඳින් පෙනෙන ලෙස බවට සමහරු අදහස් පළ කරනවා.
දකුණු ඉන්දීය නිර්මාණයක්
මෙම ප්‍රතිමාවෙන් දකුණු ඉන්දීය කලා ලක්‍ෂණ ප්‍රකට වන බවත්, එය දකුණු ඉන්දීය මුර්ති ශිල්පියෙකුගේ නිර්මාණයක් බවත් මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න සඳහන් කරනවා. මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ දඹදිවින් වේද ශාස්‌ත්‍රයේ පරතෙර පැමිණි වියත් බ්‍රාහ්මණයන් මෙරටට විත් අධ්‍යාපනය ප්‍රචලිත කළ බව චූලවංසයේ සඳහන් වන නිසාත්, මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න සඳහන් කර සිටින්නේ පොත්ගුල් විහාර ප්‍රතිමාවෙන් මහා පරාක්‍රමබාහු රජ දවස මෙහි පැමිණ, රජතුමාගේ ගෞරවාදරයට පාත්‍ර වූ ඉන්දීය වේද ශාස්‌ත්‍රඥයෙකු නිරූපණය වන බව යි.
දාගැබ් ගොඩැල්ල
මෙම ප්‍රතිමාවට නුදුරින් පිහිටි පස්ගොඩැල්ල දැනට දාගැබක් ලෙස හඳුනාගෙන තිබෙනවා. නමුත් එය කැණීම් කර නැති නිසා ඒ පිළිබඳ නිශ්චිත අදහසක් පළ කිරීම අසීරු යි. පරණවිතාන පවසන්නේ ඒ පරාක්‍රමබාහු රජුගේ ආදාහන දාගැබ විය හැකි බව යි.
පොත්ගුල් විහාර සංකීර්ණය
පරාක්‍රමබාහු යයි සඳහන් ප්‍රතිමාවේ සිට මඳක් ඉදිරියට යනවිට නටබුන් විහාර සංකීර්ණයට අප පිවිසෙනවා. මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ඩි. බ්ලෙයාර් විසින් 1898 දී තමන්කඩුව කෝරලයේ පැරණි වාරිමාර්ග පද්ධති සම්බන්ධ ව ඉදිරිපත් කළ වාර්තාවක පළමුවරට මෙම ස්ථානය පිළිබඳ ව සඳහනක් හමුවෙනවා. “Pulge Vihare නමින් හඳුන්වන ස්ථානයක් පරාක්‍රමබාහු පිළිමයට මඳ දුරක් දකුණින් ඇති බවත්, මෑතක දී නිධන් සොයන්නන් විසින් එහි සුන්බුන් ටොන් ගණනක් ඉවත් කළ බවත්” ඔහු එහි සඳහන් කර තිබෙනවා. එම කාලය වන විටත් මෙම ස්ථානය ‘පොත්ගුල් වෙහෙර’ ලෙසින් හැඳින්වුණු බව එම නමේ විකෘතියක් ලෙස පෙනෙන Pulge Vihare යන්නෙන් පැහැදිලි වෙනවා.
විහාර ගොඩනැඟිලි
ගඩොල් ප්‍රාකාරයකින් වට වූ මෙය මාලක හතරක් මත ඉදිකළ අලංකාර පෙනුමකින් යුත් ගොඩනැඟිලි සංකීර්ණයක්. පහත මාලක දෙක ඉහළින් වූ මාලක දෙක වටා යන චංකමන පථයක් සේ ගත හැකියි. තුන්වැනි මාලකයෙහි ගොඩනැඟිලි නවයක් පිහිටා තිබෙනවා. මෙම ගොඩනැඟිලිවල ප්‍රවේශ දොරටු විවෘත වී තිබෙන්නේ ඉහළම මාලකය දෙසට යි. මෙම ගොඩනැඟිලි සංඝාරාම විය හැකියි. ආරාම සංකීර්ණයට ඇතුළුවීමට දොරටු තුනක් දක්නට ලැබෙනවා. නැගෙනහිර, උතුරු, සහ බටහිර දිසාවෙන් එම දොරටු පිහිටා තිබෙනවා.
පොත්ගුල
පොත්ගුල වශයෙන් හඳුන්වන ඉහළම මාලකයේ ගොඩනැඟිල්ලට පිවිසීමට පඩිපෙළක් ඉදිකර තිබෙනවා. ඇතුළුවීමේ පඩි පෙළෙහි නැගෙනහිර ප්‍රාකාරය ඇත් පවුරකින් අලංකාර කර තිබෙනවා. මෙම ගොඩනැඟිල්ල වටා යන සේ මිටි ගඩොල් තාප්පයක් දැකිය හැකියි. එය මැද පිහිටි ගොඩනැඟිල්ල වක්‍රාකාර ආකාරයක් ගන්නවා. එහි වටප්‍රමාණය අඩි 157ක්. ගෙඩිගේ ආකාරයෙන් පියස්ස ද ගඩොල් භාවිතයෙන් තනා තිබු එය වහලය දැන් කඩා වැටිලා. බිත්ති පළලින් ඉතා වැඩි යි. බිත්ති මත සිතුවම් තිබී ඇති බව ශේෂ වී ඇති රතු සහ කහ වර්ණක කොටස්වලින් පැහැදිලි වෙනවා. ගොඩනැඟිල්ලේ වලයාකාර කොටසට සම්බන්ධ ව සෘජුකෝණාශ්‍රාකාර මණ්ඩප දෙකක් නැගෙනහිර දෙසට නිර්මාණය තිබෙනවා. මෙම පළමුවන මණ්ඩපයේ ගඩොල් බිත්ති සැලකිය යුතු තරමින් දැනට ද ඉතිරි වී ඇති අතර, පසු කලෙක ඉදිකළ දෙවෙනි මණ්ඩපයේ පාදම ද දැකිය හැකියි.
වැසි ජලය මිටි තාප්පය තුළින් පිටමං කිරීම සඳහා සෑම දිසාවකින් ම ජල නළ දෙක බැඟින් යොදාගෙන තිබෙනවා. ගොඩනැඟිල්ල වටා කුඩා දාගැබ් හතරක් දැකගත හැකියි. ඒවා වට ප්‍රමාණටයන් අඩි 18ක් පමණ වෙනවා. මෙහි තිබු අලංකරණ අංග වැඩිහරියක් විනාශ වී ගොසින්.