රට රටවල සාම්ප්‍රදායික නිවෙස්

මිනිසාගේ මූලික අවශ්‍යතාවයන් ත්‍රිත්වයෙන් එකක් විදියට ‘වාසස්ථානය’ හැඳින්විය හැකි යි. මුල් කාලයේ දී ගල් ගුහා සහ ගස් බෙන වැනි ස්වභාවික නිර්මාණයන් නිවෙස් ලෙස භාවිතා කළ මිනිසා පසු කාලීන ව ගල්, දැව, මැටි ගඩොල් සහ පිදුරු වැනි ද්‍රව්‍ය යොදා ගනිමින් නිවාස ගොඩ නැංවීම ආරම්භ කළා.

(dereksbiketrip.com)

මෙසේ මිනිසා විසින් ගොඩ නංවන ලද වාසස්ථාන පිළිබඳ මුල් කාලීන සාධක හමු වී ඇත්තේ හිම යුගයේ දී යි. එහි ජීවත් වූ හෝමෝ සේපියන්ස් සහ හෝමෝ නියන්ඩතාලෙන්සින් යන මානව දෙකොට්ඨාසය විසින් මැමත් සතුන්ගේ ඇට කැබලි සහ සම යොදා ගනිමින් කූඩාරම් නිර්මාණය කර තිබෙනවා. මේවා බොහෝම සරල වාසස්ථාන.

මිනිසුන් විසින් වඩාත් සංකිර්ණ සැලසුම් සහ පහසුකම්වලින් යුක්ත නිවෙස් තැනීම ආරම්භ කර ඇත්තේ ඉරාකය ආශ්‍රිත ව බිහි වූ සුමේරියානු ශිෂ්ටාචාරයේ දී යි. ඉන් පසු ව ඉන්දු නිම්න තැනිතලාව ඇසුරේ පැන නැගුණු මොහෙන්ජො-දාරෝ ශිෂ්ටාචාරයේ දී මෙන් ම ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාර ආශ්‍රිත ව ද නොයෙක් ආකාරයේ නිවෙස් දක්නට ලැබෙනවා.

(cabinflooresoterica.com)

මෙසේ ගොඩ නැංවුණු මුල් කාලීන නිවෙස් කාලයත් සමග වර්ධනය වූ අතර ඇතැම් රටවල තවමත් එම පැරණි නිවෙස්වලට සමාන ආකාරයට ගොඩ නංවන ලද නිවාස දක්නට ලැබෙනවා. රට රටවල දී දක්නට ලැබෙන එවැනි සාම්ප්‍රදායික නිවෙස් කිහිපයක් ගැන තොරතුරු ඔබ වෙත ගෙන එන්නටයි මේ සුදානම.

ජපානය

(tokyoguideiwish.files.wordpress.com)

‘මිංකා’ යනුවෙන් හඳුන්වන සාම්ප්‍රදායික ජපන් නිවෙස ගොඩ නංවන මෝස්තරය කිහිපයක් ම පවතින අතර සමුරායිවරු හැරුණු කොට ගොවියන්, වෙළඳුන් සහ කර්මාන්ත ශිල්පීන් යන සමාජ කණ්ඩායම් ත්‍රිත්වයේ ම සාම්ප්‍රදායික වාසස්ථානය වන්නේ එය යි.

සාමාන්‍යයෙන් ‘මිංකා’ නිවෙසක් ගොඩ නැංවීම සඳහා සරල සැකිල්ලක් යොදා ගන්නා අතර එහි වඩාත් ම ආකර්ෂණීය අංගය ලෙස සැලකෙන්නේ වහලය සඳහා යොදා ගන්නා පිරමීඩ හැඩය යි. ශත වර්ෂ ගණනාවක් තිස්සේ ක්‍රමික ව වර්ධනය වූ ‘මිංකා’ නිවෙස් හි ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ ටොකුගාවා යුගය (එනම් ක්‍රිස්තු වර්ෂ 1603 සිට 1868 දක්වා වූ කාලය) යි.

(lifter.com.ua)

ජපන් නිවෙස් ගොඩ නැංවීමේ දී මූලික වශයෙන් ම නිසි ක්‍රියාව (function) සහ සුසංයෝගය (harmony) යන සංකල්පයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බැවින් ‘මිංකා’ නිවෙසක් ගොඩ නැංවීමට පෙර සැලසුම් සකස් කිරීම සඳහා විශාල සැලකිල්ලක් අවශ්‍ය වෙනවා.

බොහෝමයක් නිවෙස් ගොඩ නැංවීමේ දී මූලික ම අමුද්‍රව්‍ය ලෙස දැව යොදා ගන්නා අතර වහලය ආවරණය කිරීම සඳහා පිදුරු, සයිප්‍රස් පොතු හෝ උළු යොදා ගන්නවා. සාම්ප්‍රදායික ජපන් නිවෙසක මුළුතැන්ගෙය, නාන කාමරය සහ වැසිකිළිය සඳහා වෙන් කරන ලද ඉඩ ප්‍රමාණයක් පැවතුණ ද අනෙක් කාමර සියල්ල ම ගොඩ නංවනු ලබන්නේ කෑම කාමරය, නිදන කාමරය, අධ්‍යයනාගාරය හෝ සාලය යන ඕනෑම එකක් ලෙස භාවිතා කළ හැකි වන ආකාරයට යි.

රුසියාව

(lifter.com.ua)

දැව යොදා ගනිමින් ගොඩ නංවන ලබන සාම්ප්‍රදායික රුසියානු නිවෙසක් හඳුන්වන්නේ ‘ඉස්බා’ ලෙස යි. සාමාන්‍යයෙන් මාර්ගයට ආසන්න ව අංගනයක් මධ්‍යයේ තනන ‘ඉස්බා’ නිවෙස ආශ්‍රිත ව පිදුරු මඩුවක්, ධාන්‍ය ගබඩාවක් සහ දැව වැටක් දක්නට ලැබෙනවා.

සාම්ප්‍රදායික ව ‘ඉස්බා’ නිවෙසක් ගොඩ නැංවීම සඳහා යොදා ගන්නේ ලණු, පොරව, පිහි සහ ඉස්කෝප්පය යන ආයුධ පමණ යි. ඉතාමත් කාලාතුරකින් පමණ යි ඇණ සහ කියතක් භාවිතා කරන අයුරු දක්නට ලැබෙන්නේ. ‘ඉස්බා’ නිවෙසක් නිර්මාණය කිරීමේ දී මූලික අමුද්‍රව්‍ය ලෙස දෙකට පලන ලද පයින් කඳන් යොදා ගන්නා අතර හිඩැස් පිරවීම සඳහා යොදා ගන්නේ ගංගාවලින් එකතු කර ගන්නා මැටි යි.

(lifter.com.ua)

වර්තමානයේ දී ‘ඉස්බා’ නිවෙසක් ගොඩ නැංවීම සඳහා විවිධ ලෝහ වර්ග සහ නූතන ආයුධ යොදා ගැනීම සිදු කරනවා. එසේ ම මුල් කාලයේ දී දැවයේ පැහැයෙන් තිබෙන්න ඉඩ හරින ලද නිවාස වර්තමානය වන විට නොයෙක් පැහැයන්ගෙන් වර්ණ ගනවන අයුරු දක්නට හැකි යි.

සාමාන්‍යයෙන් නිවසේ ඇති විශාලත ම කාමරය දහවල් කාලයේ දී සාලය ලෙස ද සවස් යාමයේ දී කෑම කාමරය ලෙස ද රාත්‍රියේ දී නිදන කාමරය ලෙස ද සැලකීම ‘ඉස්බා’ නිවෙසක ඇති විශේෂත්වය යි.

ඉන්දියාව

ප්‍රාන්ත ගණනාවකින් සමන්විත ඉන්දියාවේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට ආහාර, ඇඳුම් පැලඳුම්, සිරිත් විරිත්, ආගමික ඇදහිලි සහ භාෂාවන් වෙනස් වෙනවා සේ ම වාසස්ථාන ද වෙනස් වෙනවා.

(housing.com)

තමිල්නාඩුවේ දී වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ‘තීනායි’ යනුවෙන් හඳුන්වන දිගු ආලින්දයකින් යුක්ත නිවාස යි. ‘තීනායි’ නිවෙසක ටෙරා-කොටා වහලයේ බර දරාගෙන සිටින්නේ විශාල දැවමය කණු මගින්. වර්තමානයේ දී සෑම නිවෙසක ම පාහේ ටෙරා-කොටා වහලයක් දක්නට ලැබුණ ද අතීතයේ දී ටෙරා-කොටා වහලය මගින් පෙන්නුම් කරන ලද්දේ ධනවත් බව යි. එම නිසා ගොවියන්ගේ නිවෙස් සෙවිලි කරන ලද්දේ පිදුරු යොදා ගෙන යි.

(myekbote.com)

සාම්ප්‍රදායික පන්ජාබි නිවෙසක් හඳුනා ගැනීම සඳහා වඩාත් උපකාරී වන්නේ අංගනය මධ්‍යයේ දක්නට ලැබෙන පූජා පැවැත්වීම සඳහා වෙන් කරන ලද වර්ණවත් මල් පාත්ති සහිත බිම් කඩ යි. මේවා සම්පූර්ණයෙන් ම ගඩොල් සහ දැවමය දොරවල් යොදා ගනිමින් ගොඩ නංවා තිබෙන අතර නිවසේ වැදගත් ම අංගය ලෙස සැලකෙන්නේ ‘බෛතක්’ නමින් හඳුන්වනු ලබන පවුලේ සංවාද සඳහා යොදා ගන්නේ විශාල සාලය යි.

(theuntourists.com)

කල්කටාවේ සාම්ප්‍රදායික නිවාස සඳහා බ්‍රිතාන්‍ය ආභාසය බෙහෙවින් ම බලපා තිබෙනවා. බොහෝමයක් නිවෙස් මධ්‍යයේ ‘අංගල්’ ලෙස හඳුන්වන විවෘත ආලින්දයක් පවතිනවා. සාමාන්‍යයෙන් ආලින්දය අවසානයේ පූජා මණ්ඩපය ගොඩ නංවන අතර එයට යාබද ව පවතින්නේ කාන්තාවන් සඳහා වෙන් කරන ලද සඳලුතලය යි. බ්‍රිතාන්‍ය ආභාසය නිසාවෙන් කල්කටාවේ නිවාස බොහෝමයක දඟර පියගැට පෙළ සහ මල් ලියවැල් සහිත වහල දක්නට හැකි යි.

ඊජිප්තුව

වසර පුරා ඊජිප්තුවේ පවතින උෂ්ණාධික බව හේතුවෙන් සාම්ප්‍රදායික ඊජිප්තු නිවාස ගොඩ නැංවීම සඳහා මැටි ගඩොල් යොදා ගන්නවා. එසේ ම නිවසේ වහලය ගොඩ නැංවීම සිදු කරන්නේ දැවමය කණු මත සිහින් මැටි තට්ටුවක් ඇතිරීම මගින්.

උෂ්ණාධික කාලවල දී බොහෝමයක් ඊජිප්තු ජාතිකයන් රාත්‍රියට වහල මත නිදා ගැනීම සිදු කරන නිසා නිවස ඉදිරිපස වහල කරා දිවෙන මැටි පියගැට පෙළක් දක්නට හැකි යි.

(photoscapes.eu)

සාම්ප්‍රදායික ඊජිත්තු නිවෙසක් තනි කාමරයකින් පමණක් සමන්විත වෙන අතර දවල් කාලයේ දී එය අඳුරු ව සහ සිසිල් ව තබා ගැනීමට ඊජිත්තු ජාතිකයන් වග බලා ගන්නවා.

එතරම් ගෘහ භාණ්ඩ නොමැති මෙම කාමරයේ පිදුරුවලින් වියන ලද බුමුතුරුණු, දැවමය ඇඳන් සහ දැවමය පාපුට දක්නට හැකි යි. සාම්ප්‍රදායික ඊජිප්තු නිවෙසක වැසිකිළිය ගොඩ නංවන්නේ නිවසට තරමක් ඈතින් මිදුලේ කොනකට වන්න යි.

නෙදර්ලන්තය

(cheesefarms.com)

නෙදර්ලන්තයේ සාම්ප්‍රදායික නිවෙස් වර්ග කිහිපයක් ම පවතින අතර එයින් ජනප්‍රිය ම නිවෙසක් ලෙස ‘සාන්ස්’ යනුවෙන් හැඳින්විය හැකි යි. මෙම නිවෙස් බොහෝ විට වර්ණ ගන්වනු ලබන්නේ හරිත පැහැයෙන් හෝ එහි විවිධ ප්‍රභේදයන්ගෙන්. මේවා නිර්මාණයේ දී ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස දැව යොදා ගන්නා අතර බොහෝ නිවෙස්වල මිදුලේ සුළං මෝලක් දක්නට පුළුවන්.

ඉතින් මේ ලිපියෙන් ලොව වටා සාම්ප්‍රදායික නිවෙස් ගැන යම් අදහසක් ඔබට ලැබෙන්නට ඇති අපි හිතනවා. මේ සම්බන්ධයෙන් ඔබ දන්නා කරුණු එහෙම තියෙනවානම් comment එකකින් අපිට ඒ ගැන කියන්නත් අමතක කරන්න එපා.

කවරයේ පින්තූරය: (artleo.com)

මූලාශ්‍ර: localhistories.org, en.wikipedia.org, quatr.us, dutchcommunity.com, redesignreport.com, housing.com, blog.mytwinplace.com

Related Articles

Exit mobile version