ලෝකයේ අලුත් ම ප්‍රවණතාව: ත්‍රිමාණ මුද්‍රිත නිවාස

ලෝකය දිනෙන් දින, නව ප්‍රවණතා ඇති වෙනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රය සම්බන්ධයෙනුත් එහි වෙනසක් නැහැ. වැඩි වන ජනගහනයත්, සම්පත් හිඟවීමත් නිසා, වර්තමාන සහ අනාගත ලෝකයේ ජනතාව උනන්දු වන්නේ අඩු වියදමකින්, කාර්යයක්ෂ්ම ව ඉදිකිරීම් සිදු කරන්නට යි.

මෙලෙස, අඩු වියදමකින්, එහෙත් හොඳ සවිශක්තියකින් යුක්ත ව කාර්යයක්ෂ්ම ව නිවාස ඉදි කිරීමේ නවත ම ප්‍රවණතාව ලෙස ඉදිරියට පැමිණ තිබෙන්නේ, ඒවා සම්පූර්ණයෙන් ම ත්‍රිමාණ ව මුද්‍රණය කිරීම යි.

මෙලෙස නිවාස ත්‍රිමාණ ලෙස මුද්‍රණය කිරීම සඳහා යොදාගැනෙන, ත්‍රිමාණ මුද්‍රිත කොන්ක්‍රීට්, සාමාන්‍ය කොන්ක්‍රීට්වලට වඩා මිලෙන් අඩු වීමත්, ඉදිකිරීම සඳහා යන කාලය සහ ශ්‍රමය අවම වීමත් නිසා මේ ක්‍රමවේදය වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා.

ත්‍රිමාන මුද්‍රිත නිවසක ඇතුළත- UNSPLASH/Ricardo Gomez Angel

ඉදිකිරීම් ක්‍රමවේදයේ නව නැම්මක්

මේ ත්‍රිමාන මුද්‍රිත කොන්ක්‍රීට් අනාගත ඉදිකිරීම් ක්ෂේත්‍රය උඩු යටිකුරු කරනු ඇති බව විද්වත් මතය යි. විශේෂයෙන්, මෙලෙස ත්‍රිමාණ ව විවිධ ව්‍යුහ, සියුම් ලෙස මුද්‍රණය කිරීමේ හැකියාව නිසා, වර්තමාන තාක්ෂණය යොදා ගෙන ඉදිකිරීමට අතිශය අපහසු සමහර ඉදිකිරීම් ඉතා පහසුවෙන් ඉදිකිරීමේ හැකියාව ලැබෙනු ඇති.

මීට අමතර ව, වර්තමානය වන තුරුම, කල්ගත වන බරපතළ මෙන් ම, අසීරු කාර්යයක් වන නිවාස ඉදිකිරීම, ඉතාමත් පහසු මෙන් ම ඉක්මනින් කළහැකි දෙයක් වනු ඇති. මේ නිසා, මුදල් මෙන් ම කාලයත් ඉතිරි වනු ඇති බවයි විශ්වාසය.

වැලි වෙනුවට ඉවතලන වීදුරු යොදා ගැනීම

වර්තමානයේ ඉදිකිරීම් කටයුතුවලට අපි භාවිත කරන කොන්ක්‍රීට් නිසා, පරිසරයට සැලකිය යුතු බලපෑමක් වෙනවා. වසරකට, ඉදිකිරීම් සඳහා ස්වභාවික වැලි කියුබ් මිලියන ගණනක් යොදා ගැනෙනවා. මේ නිසා පරිසර සමතුලිතතාවට බලපෑම් ඇති වී තිබෙනවා. වසරකට ලෝකයේ ගොඩගැසෙන අබලි ද්‍රව්‍යවලින් 35% ක් ම ඉදිකිරීම් ක්ෂේත්‍රයෙන් ඉවත් කෙරෙන ඒවා යි.

ත්‍රිමාන මුද්‍රිත නිවාස – medium.com

මෙම ගැටලුවට කදිම පිළිතුරක් සොයා ගන්නට විද්‍යාඥයන් සමත් ව තිබෙනවා. නවීන ක්‍රමවේදයට අනුව, ත්‍රිමාණ මුද්‍රිත කොන්ක්‍රීට් තැනීමේ දී, ස්වභාවික වැලි වෙනුවට, ප්‍රතිචක්‍රීයකරණය කළ වීදුරු යොදා ගන්නට ඔවුන් ක්‍රියා කර තිබෙනවා. මෙය ද දෙයාකාරයකින් වාසිදායක වෙනවා. එක් පසෙකින් ස්වභාවික වැලි කොන්ක්‍රීට් මිශ්‍රණයට යොදා ගැනීමට වඩා, ප්‍රතිචක්‍රීකරණය කළ වීදුරු භාවිතයේ දී, වැයවන වියදම් අඩුවන අතර, අබලි ද්‍රව්‍ය ගොඩගැසීම ද අවම වෙනවා. මෙය තිරසාර සංවර්ධනය කරා මානව සංහතිය යන ගමනේ, දිගු පිම්මක් බව විද්වතුන්ගේ අදහස යි.

වීදුරු සහිත කොන්ක්‍රීට් මිශ්‍රණය

වර්තමානය වන විට පෙනී ගොස් ඇති පරිදි, කොන්ක්‍රීට් මිශ්‍රණයකට වැලි වෙනුවට, වීදුරු සම්පූර්ණ වශයෙන් ම ආදේශ කළ හැකි යි. කොටින්ම වීදුරු තනන්නේත් වැලිවලින් නිසා, මේ ක්‍රියාවලියේ විනිවිද භාවය පිළිබඳව ගැටලුවක් නැහැ. මේ වීදුරු සහිත කොන්ක්‍රීට් මිශ්‍රණය සාදන්නට, වෙනයම් සංකීර්ණ ක්‍රමවේද අවශ්‍ය වෙන්නේත් නැහැ.

වර්තමාන තාක්ෂණයෙන් ගොඩනැඟිලි ඉදිකිරීම සංකීර්ණ වූත්, කල්ගතවන්නා වූත්, මිල අධික වූත් ක්‍රියාවලියක් වෙනවා- zurich.com

වඩාත් හොඳ ඉදිකිරීමකට

ත්‍රිමාන මුද්‍රිත නිවාස සංකල්පය මුලින් ම ලෝකයට ගෙන ඒමට කටයුතු කළ අමෙරිකානු සමාගම මේ වෙද්දී, වැලි වෙනුවට යොදා ගන්නේ, වීදුරු බෝතල් වැනි දේ වලින් නිපදවුණු, ප්‍රතිචක්‍රීයකරණය කළ කුඩා වීදුරු කුඩු යි. මේ කුඩු, ඔවුන් තදාසන්න වීදුරු ප්‍රතිචක්‍රීයකරණය කරන සමාගමකින් ලබා ගන්නා අතර, ඒ එක කැබැල්ලක ප්‍රමාණය මිලිමීටර එකකටත් වඩා අඩු යි.

මේ වීදුරු කුඩු, වැලි ලෙස ම යොදා ගනිමින් කොන්ක්‍රීට් මිශ්‍රණය සෑදීම ඊළඟට සිදුවෙනවා. මෙලෙස නිපදවාගන්නා කොන්ක්‍රීට් බදාමය ඉන් පසු යන්ත්‍රවලින් නිකුත් කර, සමාන්‍ය මුද්‍රණ යන්ත්‍රයක් ක්‍රියා කරන පරිද්දෙන් ම ක්‍රියා කරමින්, නිවසවල බිත්ති ත්‍රිමාණ ලෙස මුද්‍රණය කිරීමට කටයුතු කෙරෙනවා.

ත්‍රිමාන මුද්‍රිත නිවාස ඉදි කෙරෙමින් – medium.com

මෙලෙස සාදාගන්නා බදාමය ඇත්තෙන් ම සාමාන්‍ය කොන්ක්‍රීට්වලට වඩා ඉහළ ගුණ දක්වන බව ද ඔප්පු වී තිබෙනවා. මේ කොන්ක්‍රීට්වල තාප පරිවාරක ගුණය ස්වභාවික වැලි යොදා ගෙන තනන කොන්ක්‍රීට්වලට වඩා ප්‍රබල බව සොයා ගෙන තිබෙනවා. මේ හේතුවෙන් උණුසුම් කාලගුණවල දී නිවසක් වායු සමනයට ලක් කරද්දීත්, ශීතල කාලගුණවල දී කාමරය උණුසුම් කරද්දීත් වැය වන ශක්තිය අවම කරගන්නට පුළුවන්.

තිරසාරභාවය වැඩිදියුණු කර ගැනීම

මේ ත්‍රිමාන මුද්‍රිත නිවාස ක්‍රමවේදයත් සමඟ තිරසාර සංවර්ධනය ළඟා කර ගැනීමට ලෝකයාට උරදිය හැකි ක්ෂේත්‍රයක් බවට ඉදිකිරීම් ක්ෂේත්‍රය පත් වෙනවා. කොන්ක්‍රීට් මිශ්‍රණවලට යොදාගැනෙන පෝට්ලන්ඩ් සිමෙන්ති වෙනුවට හුණුගල් පවුඩර් යොදාගැනීමට ද මේ වෙද්දී පිඹුරුපත් සකස් වෙමින් තියෙනවා.

පෝර්ට්ලන්ඩ් සිමෙන්ති තැනීමේ දී පරිසර හානියක් වෙනවා, ඒ වගේම ලෝකයේ සියලු කාබන්ඩයොක්සයිඩ් විමෝචන වලින්, 8% ක් ම සිදුවෙන්නේ, ඉදිකිරීම් ආශ්‍රිත ක්ෂේත්‍රවලිනු යි.

පෝට්ලන්ඩ් සිමෙන්තිවලට වඩා, හුණුගල් යොදා ගෙන සාදන සිමෙන්ති නිෂ්පාදන ක්‍රියාවලිය, සාපේක්ෂ ව පරිසර හිතකාමී වෙනවා වගේ ම, ඒවායින් සාදන ත්‍රිමාණ ව්‍යුහ මුද්‍රණය කළ හැකි සිමෙන්ති ද තත්ත්වයේ කිසිදු අඩුවක් නොමැතිව තනා ගන්නට ලැබීම නිසා, නිෂ්පාදකයන් පවසන්නේ වර්තමානය වන විට නිවාස ඉදිකිරීම සඳහා යොදාගත හැකි හොඳ ම කොන්ක්‍රීට් වර්ගය මෙය බව යි.

New Story | Introducing the World's First 3D Printed Community
ත්‍රිමාන මුද්‍රිත නිවාස ඉදි කෙරෙන අයුරු – medium.com

වර්තමාන ඉදිකිරීම්වල තවත් විශාල ගැටලුවක් වන්නේ, ඒවායේ අධික බර යි. භූකම්පන වැනි ස්වභාවික ව්‍යසනවලදී සුවිශාල ජීවිත සහ දේපළ හානි සිදුවීමට මේ සාධකය බලපවත්වනවා. කෙසේ නමුත්, මේ නවත ම ක්‍රමවේදයෙන්, ඇතුළත වායු රික්තක සහිත, ශක්තිමත්, බරින් අඩු ඉදිකිරීම් සිදු කළ හැකි වෙනවා.

මෙමඟින්, ව්‍යුහවල බර සෑහෙන පමණකින් අඩු කර ගත හැකි වනවාක් මෙන් ම, මෙලෙස ඉදිකිරීමෙන්, ඒවායේ තාප සන්නායකතාව ද 40% කින් ම අඩු කරගන්නට හැකියාව තිබෙනවා. මෙය ශීතල දේශගුණයක් සහිත ප්‍රදේශවලට ඉතා වැදගතa වෙනවා. මීට අමතර ව, සාමාන්‍ය ඉදිකිරීමකට වඩා අවශ්‍ය වන අමුද්‍රව්‍ය ප්‍රමාණයත් අවම වීමෙන්, නිවාස ඉදිකිරීම ඉතාමත් සරල දෙයක් බවට පත් කරගත හැකි වෙනවා.

ත්‍රිමාන මුද්‍රිත කොන්ක්‍රීට් බිත්ති- Mehdi Chougan

මේ නවතම ත්‍රිමාණ මුද්‍රිත ක්‍රමය භාවිතයෙන්, අපට ඉතා සංක්‍රීර්ණ නිර්මාණයක් වුව ද, සිතැඟි පරිදි ඉදි කර ගත හැකි යි. මීට අමතරව, අනතුරුදායක තැන්වල කාර්මිකයින් යොදාගෙන සිදු කෙරෙන ඉදිකිරීම් ද අවම වන නිසා, ඒ සම්බන්ධ ජීවිත හානි සිදුවීම ද අවම වෙනවා.

මේ තාක්ෂණය තවමත් පවතින්නේ පර්යේෂණ මට්ටමේ යි. කෙසේ නමුත් ඒවා ඉතාමත් සාධනීය මට්ටමක පවතිනවා. බොහෝ විට නුදුරු අනාගතයේදී ම, මෙවැනි ආරක්ෂිත, අඩු වියදම්, සැහැල්ලු නමුත් සවිශක්තිමත් ගොඩනැඟිලි වාණිජ මට්ටමින් ඉදිකෙරෙන කාලයක් උදා වනු ඇති.

කවරයේ ඡායාරූපය -ත්‍රිමාණ මුද්‍රිත ක්‍රමය භාවිතයෙන් ඉදි කළ නිවෙසක් - dw.com
මූලාශ්‍ර:
Weforum.org
Iconbuild.com
Architecturaldigest.com

Related Articles

Exit mobile version