ඊජිප්තු ශිෂ්ටාචාරයට අයත් පාරාවෝ රජවරුන්ගේ සොහොන් ගැබ් විවෘත කිරීම වූ කලී කවදත් ආන්දෝලනයට තුඩු දුන් පුවත් මැවූ සිද්ධි ය. එහිදී ඉමහත් ප්‍රසිද්ධියට සේ ම ආන්දෝලනයකට ද මැදි වූ සිද්ධියක් වන්නේ ළාබාල තුතන්කාමන් පාරාවෝ රජදරුවන්ගේ සොහොන් ගැබ ක්‍රිස්තු වර්ෂ 1922 දී විවෘත කිරීම ය. එතෙක් මෙතෙක් පුරාවිද්‍යා ඉතිහාසයේ මහාර්ඝතම ධන සම්භාරයක් අනාවරණය කර ගැනුණු පාරාවෝ සොහොන් ගැබ ලෙස අවිවාදයෙන් සැලකෙන්නේ ද තුතන්කාමන් සොහොන් ගැබ ය.
පාරාවෝ ශාපය
සොහොන් ගැබ විවෘත කිරීම හා බැඳුණු පාරාවෝ ශාපය ද එකී සිද්ධිය සමඟ හට ගත් ආන්දෝලනය තවදුරටත් වර්ධනය කළේ ය. ආන්දෝලනයට හේතුවූ අනෙක් කාරණය වූයේ අනාවරණය කර ගැනුණු නිධන් වස්තු සමහරක් අබිරහස් ලෙස අතුරුදහන් වීම ය. ඒවා බොහෝමයක් සොරා ගැනුණු බවට පැතිරී ගිය කටකතා සමහරකට, තුතන්කාමන් සොහොන් ගැබ විවෘත කළ පුරාවිද්‍යාඥ හොවර්ඩ් කාටර්ගේ නම ද ඈඳී තිබීම මතභේදයට තුඩුදුන් කරුණක් විය.
සොහොන් ගැබ නිල වශයෙන් විවෘත කිරීමට පෙර කාටර් එහිවූ නිදන් වස්තු සමහරක් සොරා ගත් බවට දිගු කලක සිට ඊජිප්තුවාසීන් සැක කළ ද, එය ඔප්පු කිරීමට සමත් සාක්ෂියක් මෙතෙක් ලැබී තිබුණේ නැත. තුතන්කාමන් සොහොන් ගැබ විවෘත කිරීමේ ඓතිහාසික සිද්ධියට සියවසක් සපිරෙද්දී, කාටර් හා බැඳුණු මේ ආන්දෝලනාත්මක චෝදනාව සත්‍ය බව ඔප්පු වන සාක්ෂි කරළියට පැමිණ තිබේ. ඒ කීර්තිමත් බ්‍රිතාන්‍ය ජාතික විද්වතකු මෙන් ම වාග්විද්‍යාඥයකු ද වන ශ්‍රීමත් ඇලන් ගාඩිනර්, කාටර්ට 1934 දී ලියූ, මෙතෙක් ප්‍රකාශයට පත් නොවූ ලිපියක් පළමු වරට ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ ය.
සොහොන් ගැබේ වූ පුරාතන රූපාක්ෂර
ඇලන් ගාඩිනර්ගේ සේවය කාටර් ලබා ගෙන තිබුණේ වසර තුන්දහස් තුන්සියයක් ඉපැරණි පාරාවෝ සොහොන් ගැබේ වූ පුරාතන රූපාක්ෂර පරිවර්තනය කිරීම සඳහා ය. පසුව ඔහු කළ සේවය ඇගැයීමක් ලෙස කාටර් ඔහුට මළගියවුන්ට පුද පූජා පැවැත්වීමේ දී භාවිත කෙරෙන, ආරක්ෂාවට බඳින යන්ත්‍රයක් ලබා දී තිබේ. ඒ එය තුතන්කාමන් සොහොන් ගැබෙන් හමුවූවක් නොවන බවට තරයේ ම ශපථ කරමිනි.
අහම්බයකින් මෙන් මෙම යන්ත්‍රය එකල කයිරෝවේ පිහිටි ඊජිප්තු කෞතුකාගාරයේ සිටි බ්‍රිතාන්‍ය ජාතික අධ්‍යක්ෂවරයා වු රෙක්ස් එංගල්බැක්ට පෙන්වීමට ගාඩිනර්ට හැකි ව තිබේ. එහිදී ඔහුට දැනගන්නට ලැබී තිබෙන්නේ මහත් පුදුමයට සේම අසතුටට ද හේතුවන පුවතකි. ඒ එම යන්ත්‍රය නියත ලෙස ම තුතන්කාමන් සොහොන් ගැබෙන් සොරා ගැනුණක් බව ය. ඒ බව ඔප්පු කිරීමට සාක්ෂි ලෙස එංගල්බැක් එක ම අච්චුවෙන් තැනූ, ඒ හා සමාන තවත් යන්ත්‍ර කිහිපයක් ඔහුට පෙන්වා තිබේ.
මෙම හෙළිදරව්ව ගාඩිනර් කෙතරම් අසහනයටත් කෝපයටත් පත් කළා ද යන්න ඔහු හැරෙන තැපෑලෙන් ම කාටර්ට ලියූ ලිපියෙන් තහවුරු වෙයි.
“ ඔබ මට ලබා දුන් වශීකරණ යන්ත්‍රය සැකයකින් තොර ව ම තුතන්කාමන් සොහොන් ගැබෙන් සොරා ගන්නා ලද්දකි. මා මෙවැනි අපහසුදායක තත්වයකට පත්කිරීම ගැන මම අතිශයින්ම කනගාටු වෙමි. නමුත් මෙය ඔබගෙන් ලැබුණක් බව මම එංගල්බැක්ට නොකිව්වෙමි.“
ආන්දෝලනාත්මක හෙළිදරව්ව සහිත ලිපිය
මෙතෙක් කලක් පෞද්ගලික එකතුවක සුරක්ෂිත ව තැබුණු මෙම ආන්දෝලනාත්මක හෙළිදරව්ව සහිත ලිපිය නුදුරේ දී ම ප්‍රසිද්ධියට පත්වනු ඇත්තේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලයෙන් දොරට වැඩීමට නියමිත ‘Tutankhamen & the tomb that changed the world’ යන කෘතිය හරහා ය. ලෝන්ග් අයිලන්ඩ් විශ්වවිද්‍යාලයේ ඊජිප්තු පුරාවිද්‍යාව පිළිබඳ විශේෂඥවරයකු වන එහි කතුවර බොබ් බ්‍රයර් ඒ ගැන පවසන්නේ මෙවැන්නකි.
“ හොවර්ඩ් කාටර් තුතන්කාමන් නිදන් වස්තු සොරා ගත් බවට කටකතා සෑහෙන කලක ඉඳලා ම තිබුණා. නමුත් දැන් නම් ඒවා ඇත්තක් බවට කිසිම සැකයක් නැහැ.“
සිය අනුග්‍රහකයා වූ කානවන් සාමිවරයාගේ ද උදවු ඇතිව කාටර්, තුතන්කාමන් සොහොන් ගැබ විවෘත කොට හරියට ම සියවසක් සැපිරෙන්නේ මෙම වසරේ දී ය. පාරාවෝ රජුගේ මරණයෙන් පසු ඊළඟ ජිවිතයට අවශ්‍ය කරන රත්රන් සිංහාසන, අශ්ව කරත්ත, හිස් පළඳනා හා තවත් දස දහස් ගණනක් වූ මහාර්ඝ කෞතුක වස්තූන්ගෙන් පිරී ගිය සොහොන් ගැබෙන් ඒවා ඉවත්කොට කයිරෝ කෞතුකාගාරයේ තැන්පත් කිරීමට කාටර්ට තවත් දස වසරක් පමණ ගත විය. නිදන් වස්තු බොහෝමයක් ඈත යුගයේ දී කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බවට කාටර් සිදු කළ ප්‍රකාශ ඊජිප්තු පුරාවිදුවන්ගේ අභියෝගයට ලක්වුණේ වරක් දෙවරක් නොවේ.
කාටත් හොරා සොහොන් ගැබ විවෘත කළා
කාටර් සමඟ පුරාවිද්‍යා කැණීම් සිදුකළ කණ්ඩායමේ සාමාජිකයකු වූ ඇල්ෆ්‍රඩ් ලුකාස් එතරම් ප්‍රකට නොවූ ලිපියකින් වරක් කියා සිටියේ කාටර් කාටත් හොරා කලින් ම සොහොන් ගැබ විවෘත කොට පසුව එම විවෘත කිරීම රහසක් ව තබා ගැනීම සඳහා එය නැවත මුද්‍රා තැබූ බව යි. බොබ් බ්‍රයර් සිය කෘතියෙන් පවසන ආකාරයට රන් අභරණ ඇතුළු කෞතුක වස්තු බොහෝමයක් සොහොන් ගැබෙන් සොරා ගෙන ඇති බවත්, ඒවා සමහරක් කුමන හෝ ක්‍රමයකින් කාටර් අතට පත් ව ඇති බවත්, කැණීම් කණ්ඩායම් සාමාජිකයන් දැන සිටිය ද, සොරාගැනීම්වලට කාටර්ගේ සම්බන්ධයක් ඇති ද යන්න ඔප්පු කළ හැකි ස්ථීර සාක්ෂි කිසිවක් නොතිබීම කාටර්ගේ වාසියට සිටියේ ය.
“එයා කවදාවත් පිළිගත්තේ නැහැ සොහොන් ගැබ නිල වශයෙන් විවෘත කරන්න කලින් එයා ඒක විවෘත කළා කියලා. ඊජිප්තු රජය සෑහෙන කලක් එයාට තුතන්කාමන් සොහොන් බිම අනවසර ප්‍රදේශයක් විදිහට නම් කරලා තිබුණා. එයා නිදන් වස්තු හොරකම් කළා කියලා කටකතා හුඟක් තිබුණා.“
කාටර්ගේ කැණීම් කණ්ඩායමේ ඇතැම් සාමාජිකයන් එකල එලෙස කියා තිබිණි. සිය කෘතියෙන් බ්‍රයර් පෙන්වා දෙන්නේ කාටර් නිදන් වස්තු සොරා ගත් බවට ඊජිප්තු බලධාරින් තුළ සාධාරණ සැකයක් තිබුණ ද, ඒ බැව් ඔප්පු කිරීමට සමත් සාක්ෂි ඔවුන් සතු ව නොතිබුණු බව යි. සිය සැකය තහවුරු කිරීමට එක් නිදසුනක් ලෙස කැණීම් සාමාජිකයින් පෙන්වා දී තිබෙන්නේ සිව්වැනි සොහොන් කුටියෙන් සොයා ගත් තුතන්කාමන් රජුගේ ජීවමාන ප්‍රමාණයේ දැවමුවා වෙස් මුහුණකි. ඒ බව බ්‍රයර් සිය පොතේ සඳහන් කරන්නේ මෙලෙස ය.
රජුගේ ජීවමාන ප්‍රමාණයේ දැවමුවා වෙස් මුහුණ
“කාටරුයි එයාගේ කණ්ඩායමේ සාමාජිකයනුයි කෞතුක වස්තු තැන්පත් කරන්න භාවිත කරපු අංක හතර දරන සොහොන් ගැබේ තිබිලා තුතන්කාමන් රජුගේ ජීවමාන ප්‍රමාණයේ වෙස්මුහුණක් සොයා ගැනීමට ඊජිප්තු බලධාරින් සමත් වුණා. ඒක සකසුරුවමට ලී පෙට්ටියක අසුරලයි තිබුණේ. මේක ගැන කාටර්ගේ ලේඛන වාර්තාවලවත්, එයා පාරාවෝ සොහොන් ගැබේ තිබිලා සොයාගත් කෞතුක වස්තු ගැන සඳහන් කරමින් ලියපු පොතටවත් ඇතුළත් වුණේ නැහැ. ඒ ගැන ඇහුව ම කාටර් කිව්වේ ඒක පහළට යන පඩි පෙළක සුන්බුන් අතර තිබිලා හොයා ගත්ත එකක් කියල යි. නමුත් පස්සේ කාලෙක කාටර්ට අයිති වතු යායක පිහිටලා තිබුණු ඊජිප්තු කෞතුක භාණ්ඩ අලෙවිසලක තිබිලා තුතන්කාමන් සොහොනෙන් හමුවුණු නිධන් වස්තු කිහිපයක් ම හොයාගන්න ලැබුණා…..“
එලෙස සොයා ගැනුණු ඇතැම් කෞතුක වස්තු නිව්යෝක් නුවර මෙට්‍රොපොලිටන් කෞතුකාගාරයේ තැන්පත් වුණ ද, කෞතුකාරය 2010 වසරේ දී නිවේදනය කළේ 1920 – 1946 අතර කාලයේ දී ලැබුණු ඊජිප්තු කෞතුක වස්තු දහනවයක්කයිරෝවට යළි යැවීමට කටයුතු කරන බව යි. ඒවා සියල්ල ම තුතන්කාමන් සොහොනින් හමුවූ ඒවා බව කෞතුකාගාරය තහවුරු කළේ ය.
එංගල්බැක්ගේ සනාථ කිරීම
බ්‍රයර් වැඩිදුරටත් පවසන්නේ මෙතෙක් කල් ප්‍රසිද්ධියට පත් නොවුණු ශ්‍රීමත් ගාඩිනර්ගේ ලිපියෙන් මතු වන සාක්ෂිය අභියෝගයට ලක් කළ නොහැක්කේ, එය තුතන්කාමන් සොහොන් ගැබේ කැණීම් සිදු කළ ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥයකුගෙන් ලැබුණක් වන නිසා බව ය. එසේම එංගල්බැක්ගෙන් ලැබුණු සනාථ කිරීම ද කිසිසේත් ම අසත්‍යයක් ලෙස බැහැර කළ නොහැකි ය. කාටර් වුව ද එවැන්නක් කිරීමට නොපෙලඹෙන්නට ඇත්තේ එංගල්බැක් මෙබඳු කෞතුක වස්තු සම්බන්ධයෙන් කාටර්ටත් වඩා දැනුමෙන් හා අත්දැකීම්වලින් පෙරමුණේ සිටි නිසා වන්නට ඇත.