Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ක්‍රම ක්‍රමයෙන් ලෝකයේ ප්‍රචලිත වන විවෘත සබඳතා සංකල්පය

විවෘත සබඳතා (Open relationships) යනු ලෝකයේ බොහෝ තැන්වල සාම්ප්‍රදායික ව තහනම් වූ මාතෘකාවක්. විශේෂයෙන්ම “විවාහය” ලෙස හඳුන්වන මානව සබඳතාවේ දී දක්නට ලැබෙන ප්‍රධාන අංගයක් අභියෝගයට ලක් කරන බැවින්, බොහෝ දෙනෙක් විවෘත සබඳතා ගැන කතා කිරීමටවත් උනන්දු වන්නේ නැහැ.

 සබඳතාවක සිටින විට (විවාහයට ඇතුළත් වූ හෝ නොවූ) සිය සහකරු සමඟ පමණක් ලිංගික ව හැසිරීම (Monogamous relationships) තමයි සමාජීය ව වඩාත් පිළිගත් මතය වෙන්නේ. එය “විවාහය” ලෙස හඳුන්වන මානව සබඳතාවේ දී සමාජය දැඩි ව ආරෝපණය කළ “ගුණාත්මක පරාමිතියක්” ලෙස හැඳින්වුවත් වරදක් නැහැ. මේ ගුණාත්මක පරාමිතිය සමඟ සංස්කෘතිය, ආගමික විශ්වාස දැඩි ව බැඳී පවතිනවා. විවාහක යුවළක් හෝ අවිවාහක යුවළක් පවත්වා ගෙන යන ලිංගික ජීවිතය තුළ ඔවුන් සාමුහික ව ගන්නා ඕනෑම තීරණයකට වලංගුභාවයක් තිබෙනවා. ලිංගික ජීවිතය ඔවුන් ගේ පෞද්ගලික නිදහස සමඟ දැඩි ව බැඳී පැවතීම ඊට හේතුව යි.

මානව සබඳතා විවිධාකාරයි. ඒ අතර ගැටළුකාරී වාතාවරණ ඇති කරන සබඳතා ද තිබෙනවා – www.verywellmind.com 

ප්‍රමුඛතාවේ වෙනසක්

සරලව ම විවෘත සබඳතාවක් යනු දෙදෙනාගේ ම එකඟතාවට අනුව එක් ලිංගික සහකරුවකුට පමණක් සීමා නොවී පවත්වා ගෙන යන සබඳතාවක්. අදාළ යුවළ විවාහක වුවත්, අවිවාහක වුවත්, එම එකඟතාව පැවතිය හැකි යි. කෙසේ නමුත්, “විවෘත සබඳතා” යන යෙදුම මෙලෙස සරලව අර්ථ දැක්වීම එතරම් සාර්ථක නැහැ. එය තනි නිශ්චිත දෙයක් අර්ථ දැක්වීමට භාවිත කරන යෙදුමකට වඩා පුළුල් ප්‍රවර්ගයක් ආවරණය කිරීම සඳහා භාවිත කරන යෙදුමක් (Umbrella term) ලෙස හැඳින්විය හැකි යි.   විවෘත සබඳතාවක සිටින පුද්ගලයන් වෙතින් දැකිය හැකි පොදු ලක්ෂණය වන්නේ සිය ලිංගික ජීවිතයේ සීමා මායිම් අනෙක් අයට සාපේක්ෂ ව පුළුල් කරගෙන සිටීම යි. 

විවෘත සබඳතාවක් තුළ සිටින දෙදෙනෙක් ලිංගික ජීවිතයේ දී එකිනෙකාට ලබා දෙන ප්‍රමුඛතාව ජීවිත කාලය පුරා  සෑම විට ම පවත්වා ගෙන යන්නේ නැහැ. ඒ හැරුණුවිට ජීවිතයේ අන් ඕනෑම කාරණාවක දී  එකිනෙකාට ප්‍රමුඛතාව ලබා දීමට ඔවුන් සැදී පැහැදී සිටිනවා. විවෘත සබඳතාවක සිටින පුද්ගලයෙක් වෙනත් පාර්ශව සමඟ ලිංගික සබඳතා පවත්වා ගෙන ගිය ද එම පාර්ශව සමඟ චිත්තවේගීය සම්බන්ධතා (Emotional connections) පැවැත්වීමට උත්සාහ ගන්නේ නැහැ. බොහෝවිට එය ලිංගික ආශාව සංතෘප්ත කර ගැනීමෙන් අවසන් වන අතර, එවැන්නෙක් සිය ලිංගික සහ චිත්තවේගීය හැඟීම් යන දෙක ම ලබා දෙන්නේ සිය මූලික සහකරුට පමණ යි. 

 විවෘත සබඳතාවක් යනු කුමක්දැයි අර්ථ දැක්වීමෙන් පසු මෙම ලිපියේ අරමුණත් පැහැදිලි කළ යුතු වෙනවා. විවෘත සබඳතා උත්කර්ෂයට නැංවීම හෝ පහත හෙළමින් කරුණු විස්තර කිරීමක් මෙම ලිපියෙන් සිදු වන්නේ නැහැ. සැබැවින් ම ලෝකයේ විවෘත සබඳතා ප්‍රචලිත වෙමින් තිබෙන යුගයකයි අප ජීවත් වෙන්නේ. විවෘත සබඳතාවක ස්වභාවය සහ එවැනි සබඳතා ලෝකයේ ප්‍රචලිත වීමට බලපා ඇති හේතු විමසා බැලීම පමණක් ලිපියෙන් සිදු කරනවා.

විවෘත සබඳතා යනු තනි නිශ්චිත දෙයක් අර්ථ දැක්වීමට භාවිත කරන යෙදුමකට වඩා පුළුල් ප්‍රවර්ගයක් ආවරණය කිරීම සඳහා භාවිත කරන යෙදුමක් – thepleasantrelationship.com 

විවෘත සබඳතාවක ස්වභාවය

ඩෙඩකර් වින්ස්ටන් යනු ආදර සබඳතා ආශ්‍රිත කුසලතා, ගුණාංග සහ ගැටලු නිරාකරණය සම්බන්ධයෙන් උපදේශන සේවා සහ පුහුණුව සපයන තැනැත්තියක්. 2016 දී පමණ ඇයට විවෘත සබඳතා කෙරෙහි පුද්ගලයන් දක්වන උනන්දුව වේගයෙන් වැඩි වන බව නිරීක්ෂණය වුණා. අන්තර්ජාලයත් සමඟ ඉතා සමීප ව කටයුතු කරන පුද්ගලයෙක් ලෙස විවෘත සබඳතා විශාල වශයෙන් සාකච්ඡාවට බඳුන් වන ප්‍රවණතාවක් ද ඇය දුටුවා. ඩෙඩකර් පමණක් නොව මනෝ විද්‍යා උපදේශකවරියක් වන සාරා ලෙවින්සන් ද ගෙවී ගිය දශකය තුළ ලොව විවෘත සබඳතා කෙරෙහි ඇති උනන්දුව වර්ධනය වී ඇති බව තේරුම් ගත්තා.

වින්ස්ටන් පවසන පරිදි විවෘත සබඳතා තුළ සිටින ඇතැම් පුද්ගලයන් සිය මූලික සහකරුට අමතර ව ලිංගික සබඳතා පැවැත්වීමට එකඟතාව ලබා දුන් මිතුරු හවුලක් (Friends with benefits) පවත්වා ගෙන යනවා. විශ්වාසය සුරැකීමේ උත්සාහයක් ලෙස සිය මිතුරු හවුල ගැන තමාගේ මූලික සහකරුවත් දැනුම්වත් කර තිබිය හැකි යි.

 ඇතැමුන් සිය විවෘත සබඳතාවත් සමඟ එන ලිංගික නිදහස අත් විඳින්නේ වරින් වර එක් රැයක් සහකරුගෙන් ඉවත් ව කාලය ගත කරමින්. තමා ලිංගික සබඳතා පැවැත්වූ ආගන්තුකයන් පිළිබඳ විස්තර එකිනෙකා සමඟ බෙදහදා ගැනීම හෝ නොගැනීම පූර්ව එකඟතාවක් අනුව සිදු විය හැකි යි. ඩෙඩකර් වින්ස්ටන් පවසන ආකාරයට “Don’t ask, Don’t tell” ප්‍රතිපත්තිය පවත්වා ගෙන යන ආදරවන්තයන් ඇයට හමු වී තිබෙනවා. එහි දී මූලික සබඳතාවෙන් පිටත ලිංගික ජීවිතය පිළිබඳ කිසිදු තොරතුරක් එකිනෙකා සමඟ බෙද හදා ගැනීම සිදු කරන්නේ නැහැ.

ගෝලීය මට්ටමෙන් මානව සබඳතාවල ස්වභාවය වෙනස් වෙමින් පවතිනවා. එවිට මෙතෙක් රැක ගෙන ආ බොහෝ සම්ප්‍රදායන් බිඳ වැටීම වැලැක්විය නොහැකි යි – www.momjunction.com 

විශ්වාසය රැකෙන හැටි

ඕනෑම සබඳතාවක් යහපත්ව පවත්වා ගැනීමට නම් විශ්වාසය රැකීම අනිවාර්යයෙන් තිබිය යුතු යි. විවෘත සබඳතාවක් තුළ සිටින දෙදෙනකුටත් එය වලංගු යි. විවෘත සබඳතාවක “විශ්වාසය” යන ගුණාංගය බොහෝ විට කරුණු දෙකක් මත රැඳෙනවා. එකිනෙකා ගේ ලිංගික සෞඛ්‍යය යහපත් අන්දමින් පවත්වා ගැනීමට ඇප කැප වීම ඉන් එකක්. මූලික සබඳතාවෙන් පිටත පවත්වා ගෙන යන ලිංගික ක්‍රියාවල දී ආගන්තුකයන් සමඟ චිත්තවේගී හැඟීම් ඇති කර නොගැනීම දෙවැන්න යි. අවසානයට සඳහන් කළ කරුණ සෑම විට ම සිදු නොවන නමුත්, සබඳතාව තුළ පවතින ලිංගික නිදහස නිසා ම එය විශ්වාසය රැකීමේ අංගයක් ලෙස පැවතිමේ හැකියාවක් තිබෙනවා.

 මෙම සංකල්පය හරියාකාර ව අවබෝධ කර නොගත් තැනැත්තකුට විවෘත සබඳතාවක් යනු වංචා කිරීමට අවසර ඉල්ලීමක් යැයි සිතෙන්නට පුළුවන්. සැබැවින් ම විවෘත සබඳතාවක් තුළ සිදු වන්නේ සාම්ප්‍රදායික සබඳතාවලට සාපේක්ෂ ව වැඩිපුර නිදහස හඹා යෑමක් සඳහා ඉඩහසර ලබා දීම පමණ යි. මානව සබඳතා පිළිබඳ විශේෂඥ දැනුමැති අය පවසන ආකාරයට විවෘත සබඳතා හරහා අන්‍යෝන්‍ය ගෞරවය, විවෘත සන්නිවේදනය සහ අවංකභාවයට හානියක් සිදු වන්නේ නැහැ. කෙසේ නමුත්, එවැනි හානි සිදු වීමේ හෝ නොවීමේ හැකියාව තීරණය වන්නේ එකිනෙකා රකින විශ්වාසය මත යි.  

ප්‍රචලිත වීමේ ප්‍රවණතාවක්

 ශාස්ත්‍රීය සහ ලාභ නොලබන සංවිධාන සිදු කරන ලද ඇතැම් පර්යේෂණවලට අනුව වැඩිහිටියන් පස් දෙනකුගෙන් එක් අයෙකු සිය ජීවිත කාලය තුළ යම් ආකාරයකින් විවෘත සබඳතාවක අත්දැකීම් ලබා තිබිය හැකි බව පැවසෙනවා. 2019 දී සිදු කළ අධ්‍යයනයකට අනුව කැනඩාවේ වැඩිහිටියන් අතුරින් 2.4% ක් පමණ විවෘත සබඳතාවක සිටින බව වාර්තා කර තිබෙන අතර, කාන්තාවන් අතුරින් 31% ක් සහ පිරිමින් ගෙන් 38% ක් පමණ එක් සහකරුවෙක් මත නොයැපෙන සබඳතාවක් තුළ සිටීමට කැමැත්ත පළ කර තිබෙනවා.

මෙම ප්‍රවණතාව බටහිර රටවල්වලට පමණක් සීමා වූ දෙයක් ලෙස එකහෙළා පැවසිය නොහැකි යි. වඩාත් ලිබරල් අදහස් ඇති සමාජ අතර විවෘත සබඳතා පැවතීම විශේෂ කාරණයක් නොවූව ද ආසියානු සමාජ තුළ එය සැඟ ව හෝ පැවතිය හැකි යි. උදාහරණයක් ලෙස 2017 දී ඉන්දියාවේ සිදු කළ සමීක්ෂණයකට අනුව වැඩිහිටියන් ගෙන් 26% ක් තමා ගේ මූලික සහකරුගෙන් පරිබාහිර ලිංගික සබඳතා පවත්වා ඇති බව පවසා තිබෙනවා. එම සමීක්ෂණයෙන් හෙළි වූ අමතර පැතිකඩක් ලෙස ඉන්දියාවේ පවා විවෘත සබඳතා කෙරෙහි ඇති උනන්දුව වර්ධනය වෙමින් තිබෙන බව යි පැවසෙන්නේ. කෙසේ නමුත්, දැඩි සංස්කෘතික මායිම් සහ සම්ප්‍රදායන්වලට ඉඩදෙන රටවල විවෘත සබඳතා “ඉස්මතු වූ සමාජීය කරුණක්” ලෙස දකින්න ලැබෙන්නේ නැහැ. එවැනි රටවල විවෘත සබඳතා නොපවතින බවත් ඉන් අදහස් වන්නේ නැහැ.

විවෘත සබඳතා වල ඇති ප්‍රධානම ගැටලුව වන්නේ ඊර්ෂ්‍යාවක් හට ගැනීමේ ඉහළ හැකියාව යි – www.coaching-online.org 

විවෘත සබඳතා ප්‍රචලිත වෙන්නේ ඇයි?

සබඳතා ගතිකත්වය සහ ලිංගිකත්වය පිළිබඳ විශේෂඥ දැනුමැති ප්‍රවීණයන් පවසන අන්දමට බොහෝ සමාජ සහ සංස්කෘතික සාධක විවෘත සබඳතා ජනප්‍රිය වීම කෙරෙහි බලපා ඇති අතර, ගෝලීය වසංගත කාල සීමාව ද යම් බලපෑමක් එල්ල කර තිබෙනවා. මින් පෙනී යන්නේ ගෝලීය මට්ටමෙන් මානව සබඳතාවල ස්වභාවය වෙනස් වෙමින් පවතින බව යි. එවිට මෙතෙක් රැකගෙන ආ බොහෝ සම්ප්‍රදායන් බිඳ වැටීම වැලැක්විය නොහැකි යි.

“වෙනස්වන කාලයත් සමඟ අපේ රටේ මිනිසුන් ගේ ආකල්පත් වේගයෙන් වෙනස් වෙනවා. ඒ සමඟ ම බොහෝ මිනිසුන් එකිනෙකා අතර ලිංගික සබඳතා පවත්වන්නේ සාමාන්‍ය දින චර්යාවේ පුරුද්දක් වශයෙන්. එවැනි පුරුදු වලින් මිදීමේ මාර්ගයක් ලෙස විවෘත විවාහ ප්‍රචලිත වෙමින් තිබෙනවා.”

සබඳතා පිළිබඳ විශේෂඥයෙක් වන රිදීෂ් කේ. මාරු, ඉන්දියාව තුළ සිදුවන විවාහ සංකල්පයේ පරිවර්තනය දකින්නේ එලෙසින්. ඔහුට අනුව ඉන්දියාවේ මිනිසුන් විවෘත සබඳතා කෙරෙහි උනන්දු වන්නේ දික්කසාදයකින් විවාහ ජීවිතය අවසන් කර නොගෙන සතුටින් සිටීමේ මාර්ගයක් ලෙසට යි. 

සබඳතා විවිධත්වය

පොදුවේ ගත් කල ගෝලීය මට්ටමෙන් විවෘත සබඳතා ප්‍රචලිත වීම පිටුපස ඇති ප්‍රධානත ම හේතුව වන්නේ ලිංගික තෘප්තිය යි. අප පිළිගැනීමට කැමති වුවත්, අකමැති වුවත්, ලිංගිකත්වයේ දී නව අත්දැකීම් භුක්ති විඳීමට කැමති ජීවියෙක් ලෙස මනුෂ්‍යයා හැඳින්විය හැකි යි. සිය සහකරුවා සමඟ පමණක් ලිංගික ජීවිතය භුක්ති විඳීමට කැමති (monogamous) මිනිසුන් ලිංගික තෘප්තිය නොලබන බව ඉන් අදහස් වන්නේ නැහැ. අප තේරුම් ගත යුතු කාරණය වන්නේ වෙනස් ආකාරයෙන් සිතන පතන මිනිසුන් ද අප අතර සිටින බව යි. ඒ අතර එක් සහකරුවෙක් හරහා ජීවිත කාලය ම සිය ලිංගික ජීවිතය සංතෘප්ත කළ නොහැකි බව විශ්වාස කරන මිනිසුන් ද සිටිය හැකි යි. සමාජයේ ස්වභාවය අනුව එවැනි මිනිසකු ගේ නිදහස ද තීරණය වනු ඇති.

කාලය සමඟ වෙනස් වන මානව සබඳතාවල ස්වභාවය ගැටලු ඇති කරන බවත් මෙහිලා සඳහන් කළ යුතු යි. විවෘත සබඳතාවලටත් එම කාරණය පොදුවේ බලපානවා. විවෘත සබඳතාවල ඇති ප්‍රධානම ගැටලුව වන්නේ දෙදෙනා අතර ඊර්ෂ්‍යාවක් ගොඩ නැඟීමේ ඉහළ හැකියාව යි. බාහිර පුද්ගලයකු සමඟ ලිංගික සබඳතා පැවැත්වූ පසු ඔහු හෝ ඇය කෙරෙහි චිත්තවේගී හැඟීම් ඇති වුවහොත්, විවෘත සබඳතාව තුළ සිටින දෙදෙනා අතර ගැටලු මතු වීම වැලැක්විය නොහැකි යි. පසුකලෙක එය විශාල මානසික අවපීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වීමට පුළුවන්.

මේ සියල්ල පුද්ගලික තේරීම් පමණක් වන අතර, ඒවා එකම රාමුවක සිට අර්ථ දැක්වීමෙන් සිදු වන්නේ සමාජයේ එක්තරා කොටසක් අනවශ්‍ය පීඩනයකට යටත් වීම පමණ යි – datingcoachlive.com

විවෘත සබඳතාවල සිටින පුද්ගලයන් ලිංගාශ්‍රිත රෝග වලට නිරාවරණය වීමේ අවදානමත් සාපේක්ෂ ව ඉහළ යි. ලැබෙන නිදහස හමුවේ බාහිර හවුල්කරුවන් සතුටු කිරීමට යාමෙන් ලිංගික ජීවිතය තුළ විවිධ ඇබ්බැහිවීම්වලට නතු වීමේ ඉඩක් ද තිබෙනවා.

 මේ සියල්ල පුද්ගලික තේරීම් පමණ යි. ඒවා උත්කර්ෂයට හෝ පහතට හෙළමින් සංවාද ගොඩ නැඟීම එතරම් ප්‍රතිපලදායක නැහැ. මානව සබඳතා අතිශයින් විවිධ බව අප තේරුම් ගත යුතු යි. ඒවා එකම රාමුවක සිට අර්ථ දැක්වීමෙන් සිදු වන්නේ සමාජයේ එක්තරා කොටසක් අනවශ්‍ය පීඩනයකට යටත් වීම පමණ යි. එබැවින්, අනෙකා ගේ පුද්ගලික නිදහසට සහ තීරණ වලට ගරු කිරීම ඉතා වැදගත්. 

කවරයේ ඡායාරූපය: විවෘත සබඳතා ලෝකයේ බොහෝ තැන්වල සාම්ප්‍රදායිකව තහනම් වූ මාතෘකාවක්. නමුත්, එය ප්‍රචලිත වීමේ අඩුවක් ද නැහැ.  guardian.ng

මූලාශ්‍ර:

www.verywellmind.com

www.bbc.com

www.hindustantimes.com

www.brides.com 

Related Articles