2022 වර්ෂයේ පෙබරවාරි මාසයේ 24 වන දින ලෝක ඉතිහාසයේ නොමැකෙන දිනයක් ලෙස සඳහන් කරන්නට පුළුවන්. එයට හේතුව වන්නේ රුසියානු ජනාධිපතිවරයා සිය අසල්වැසි රාජ්‍යක් වන යුක්රේනය ආක්‍රමණය කරන ලෙස තම හමුදාවන්ට අණ දීම යි. ඉන් පසු ව ගෙවුණු යුද සමයේ දී රුසියාව, යුක්රේනයේ ප්‍රධාන නගර කිහිපයකට ම ප්‍රහාර එල්ල කරනවා. මෙහිදී රුසියාව සිතූ තරම් වේගයෙන් යුක්රේනය තම අණසකට යටත් කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙන්නේ නෑ. ඊට හේතුව අමෙරිකා එක්සත් ජනපදයේ හා යුරෝපයේ ඇතැම් රටවලත් සහය යුක්රේනයට හිමි වීම යි.
යුරෝපයේ ඛණිජ තෙල් හා ස්වභාවික ගෑස් සැපයුම්කරුවන් අතරින් ප්‍රමුඛයෙක් වන රුසියාව ඒ අතර තුර විවිධ හේතු ඉදිරිපත් කරමින් යුරෝපයේ රටවලට ගෑස් සැපයීම අඩු කිරීමට කටයුතු කරනවා. මේ හේතුවෙන් එළඹෙන ශීත කාලයේ දී යුරෝපා රටවලට උග්‍ර බලශක්ති අර්බුදයකට මුහුණදීමට සිදුවනු ඇති බවට බොහෝ විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
නෝර්ඩ් ස්ට්‍රීම් 1 අලුත්වැඩියාවක් සඳහා වසා දැමීම
රුසියාවේ සිට බෝල්ටික් මුහුද හරහා දිය යටින් ජර්මනියට දිවෙන ප්‍රධානත ම ගෑස් නළ මාර්ගය නෝර්ඩ් ස්ට්‍රීම් 1 (Nord Stream 1) ලෙස නම් කළ හැකි යි. යුරෝපා සංගමයේ රටවලට රුසියාවෙන් ආනයනය කරන සියලු ම ගෑස්වලින් 35% ක් ලැබෙන්නේ මෙම නළ මාර්ගය හරහා යි. නළයේ කාන්දුවීමක් හේතුවෙන් දින නියමයක් නොමැතිව එය වසා දැමීමට පසුගිය සැප්තැම්බර් මාසයේ දී රුසියාව කටයුතු කළා.
මෙම නළ මාර්ගයේ වැඩි ම අයිතියක් තිබෙන්නේ රුසියානු රජයට අයත් සමාගමකට යි. මෙම සමාගමේ මැදිහත්වීම මත නෝර්ඩ් ස්ට්‍රීම් 1 නළ මාර්ගයට ම සමාන්තර ව දිය යටින් නෝර්ඩ් ස්ට්‍රීම් 2 නම් ගෑස් නළ මාර්ගයක් ද ඉදිකර තිබෙනවා. එම නළ මාර්ගය හරහා ද මේ වසරේ දී යුරෝපයට ගෑස් සැපයීමට බලාපොරොත්තු වූ නමුත් අලුත් නළ මාර්ගයට මෙහෙයුම් බලපත්‍ර ලබාදීම ජර්මනිය කල්දමා තිබෙනවා.
එයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ රුසියාවේ යුක්රේන ආක්‍රමණය යි. යුරෝපා රටවල් රුසියාවට එදිරි ව තවත් වෙළෙඳ සම්බාධක රැසක් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. මෙය, එකට එක කිරීමක් ලෙස රුසියාව හිතාමතා ම සැලසුම් සහගත ව කළ වැඩක් දැයි යුරෝපා සංගමයේ බොහෝ රටවල රාජ්‍ය නායකයන් මෙන් ම යුරෝපීය කොමිසම ද සැක කරනවා.
කෙසේවෙතත් රුසියාව පවසන්නේ බෝල්ටික් මුහුදේ බෝර්න්හෝම් (Bornholm) දූපත අසල මෙම කාන්දුවීම් ඇති බව යි. රුසියාව පසුව පවසන්නේ බටහිර රටවල් පනවා ඇති සම්බාධක ඉවත් කෙරෙන තෙක් නෝර්ඩ් ස්ට්‍රීම් 1 නළ මාර්ගය ඔස්සේ යුරෝපයට ගෑස් සැපයීම කළ නොහැකි වනු ඇති බව යි.
ගෑස් සැපයීම ක්‍රමක්‍රමයෙන් අඩු කිරීම
රුසියාව යුරෝපයේ රටවලට ගෑස් සැපයීම අඩු කළේ මීට මාස කිහිපයකට පෙර සිට යි. මේ වසරේ ජුනි මාසයේ දී නළ මාර්ගය හරහා ගෑස් බෙදා හැරීම 75% කින් එනම් දිනකට ගෑස් ඝන මීටර් 170 සිට දල වශයෙන් ඝන මීටර් 40 දක්වා අඩු කිරීමට ඔවුන් කටයුතු කරනවා. නළ මාර්ගයේ නඩත්තු සිදු කිරීමේ අවශ්‍යතාව සඳහන් කරමින් ජූලි මාසයේ දී රුසියාව එය දින 10 කට වසා දැමුවා.
එය නැවත විවෘත කරන විට දිනක ධාරිතාව ඝන මීටර් 40 සිට ඝන මීටර් 20 දක්වා අඩකින් අඩුකිරීමට රුසියානු බලධාරීන් පියවර ගත්තා. නැවතත් අගෝස්තුවේ දී නළ මාර්ගය හා සම්බන්ධ උපකරණවල දෝෂ ඇති බව සඳහන් කරමින් එය වසා දැමීමට ඔවුන් කටයුතු කරනවා. එම කාලය පුරාවට ම යුරෝපයේ ගෑස් මිල ක්‍රමයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඉදිරියේ දී ඇතිවීමට නියමිත ලෝක ආර්ථික අර්බුදය වෙත යන ගමන වේගවත් කිරීමට මෙම ගෑස් අර්බුදය යුරෝපයේ රටවලට බලපානු ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
යුරෝපා රටවල් ගෙන ඇති පියවර
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට පෙර ජර්මනිය සිය ගෑස් අවශ්‍යතාවෙන් 55% ක් සපුරා ගත්තේ රුසියාවෙන්. එය මේ වන විට 35% දක්වා අඩු වී තිබෙනවා.
ඉතාලිය නෙදර්ලන්තය හා ප්‍රංශය, පෝලන්තය හා හංගේරියාව වැනි රටවල් ද රුසියාවේ ගෑස් මත යැපෙන අනෙකුත් රටවල් ලෙස හඳුන්වන්නට පුළුවන්. මේ අර්බුදයත් සමඟ තම රටවල ගෑස් භාවිතය 15% කින් කපා හැරීමට යුරෝපා සංගමයේ සාමාජික රටවල් එකඟ වී තිබෙනවා.
එළඹෙන ශීත ඍතුවේ දී පොදු ගොඩනැඟිලිවල ආලෝකය සහ උණුසුම සඳහා ගෑස් භාවිතය, පෙර වසරවලට වඩා අඩු කිරීමට ජර්මනිය, ස්පාඤ්ඤය හා ස්විස්ටර්ලන්තය මේ වන විටත් තීරණය කර තිබෙනවා.
අහිතකර පාරසරික ප්‍රතිඵල නොසලකා හරිමින් තම රටවල ගල් අඟුරු හා න්‍යෂ්ටික බලාගාර භාවිතය වැඩි කිරීමටත් වසා දැමීමට නියමිතව තිබුණු බලාගාර පිළිබඳ ව නැවත සිතන්නටත් ඔවුන් පෙලැඹී තිබෙනවා. ඊට අමතර ව සාමාන්‍ය මිනිසුන් ද මේ පිළිබඳව අවධානය යොමු කර ඇති අතර ජර්මනියේ ජනතාව ගෑස් භාවිතය අවම කිරීම සඳහා දර උදුන් මිලදී ගැනීම හා සූර්ය පැනල සවිකිරීම ද සිදු කරන බව වාර්තා වෙනවා.
යුරෝපා රටවල් රුසියානු තෙල් මත පනවා ඇති සම්බාධක
යුරෝපා සංගමයේ රටවල් මේ වසරේ දෙසැම්බර් 5 වැනි දා සිට මුහුදු මඟින් ආනයනය කරන රුසියානු බොරතෙල් මිලදී ගැනීම නවත්වන්නට තීරණය කර තිබෙනවා. රුසියානු පිරිපහදු කළ තෙල් නිෂ්පාදන මුහුදු මඟින් මිලදී ගැනීම ද ලබන වසරේ පෙබරවාරි 5 සිට අවසන් කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා. හංගේරියාව සහ ස්ලෝවැකියාව වැනි සමහර යුරෝපීය රටවල් නළ මාර්ගයෙන් පමණක් තෙල් ආනයනය කරන බැවින් ඔවුන් ද එයින් ඉවත්වනු ඇත. එක්සත් රාජධානිය මේ වන විටත් රුසියානු තෙල් ආනයනය නවත්වා තිබෙනවා. ඔවුන්ගේ මෙම සැලැස්මට එක්සත් ජනපදය ද සහය දක්වනවා. චීනයට ලබාදෙන ගෑස් උදෙසා රූබල් සහ යුවාන්වලින් ගෙවීම් කිරීමට රුසියාව හා චීනය මේ වන විට එකඟ වී තිබෙනවා.
රුසියාවෙන් තෙල් ආනයනය නතර කිරීම හේතුවෙන් ඇති වන පාඩුව මඟහැරීම සඳහා යුරෝපා සංගමයට විකල්ප තෙල් සැපයුම් මාර්ග කෙරෙහි අවධානය යොමු කිරීමට මේ වන විට සිදු ව තිබෙනවා. ඔපෙක් රටවල් ද මේ වසරේ නොවැම්බර් මාසයේ සිය දෛනික ඛනිජතෙල් නිෂ්පාදනය බැරල් මිලියන දෙකකින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.