මාංස අනුභවයෙන් රෝග වැලඳෙන නිසා ඇතැම් අය ඉන් වලකිනවා. තවත් සැලකිය යුතු පිරිසක් සත්ව අහිංසාවට ඉතා කැමති වුණත් සර්ව භක්ෂකයෙක් වීම නිසා මාංශ අනුභවයේ යෙදෙනවා. මොවුන්ට සතුන් නොමරා මාංශ පරිභෝජනය කරන්නට ලැබුණොත්? ඔවුන් තවත් සතුටු වනු ඇති.
සෑම වසරක ම මස් සඳහා ලොවපුරා සතුන් බිලියන 56ක් දෙනා මරා දැමෙනවා. මේ නිසා විද්‍යාඥයන් කාලයක සිට ම කෘත්‍රි ම ලෙස මාංශ නිෂ්පාදනය කිරීම (Lab grown meat) සඳහා උත්සාහ කළා. වර්තමානය වන විට ඔවුන් ඉන් සාර්ථක ප්‍රතිඵල අත් කර ගෙන තිබෙනවා.
විද්‍යාගාරයක් තුළ කෘත්‍රිම ව මාංස නිෂ්පාදනය
විද්‍යාගාරයක් තුළ කෘත්‍රිම ක්‍රම යොදා ගනිමින් පරිභෝජනය සඳහා මාංස නිෂ්පාදනයට අමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලන තන්ත්‍රයෙන් 1995 වසරේ දී අවසර ලැබෙනවා. නෙදර්ලන්ත ජාතික විද්‍යාඥයෙක් වන විලෙම් වැන් එලෙන්ට 1999 වසරේ දී කෘත්‍රිම ව නිපදවූ මාංස සම්බන්ධයෙන් පේටන්ට් බලපත්‍රය ලැබෙනවා. මෙසේ ඉතා සීඝ්‍ර ලෙස සංවර්ධනය වූ කෘත්‍රිම මාංස නිෂ්පාදනය 2013 වසරේදී තවත් යෝධ පියවරක් තබනවා. ඒ ලොව ප්‍රථම කෘත්‍රිම ව නිෂ්පාදිත මාංශ අඩංගු බර්ගරය ලන්ඩන් නුවර දී සාමාන්‍ය ජනයාට රස බැලීමට අවස්ථාව ලබා දෙමිනුයි. මේ පර්යේෂණයට අමෙරිකානු ඩොලර් 325,000 ක් වියදම් ව තිබූ අතර එය ව්‍යුහයෙන් සෑම අතින් ම සාමාන්‍ය මාංසවලට සමාන ව පිළියෙළ ව තිබුණා.
මේ පිළිබඳ තවත් විස්තර සතුන් නොමරා මස් කමු මැයෙන් අප පළ කළ ලිපිය කියවා දැන ගන්න.
මේ කරුණු කාරණා එලෙසින් පෙළ ගැසෙද්දී ඊශ්‍රායලයේ ආහාර තාක්ෂණ සමුළුව එරට ටෙල් අවිව් නුවර දී පසුගිය නොවැම්බර් මස 7 වන දා පැවැත්වුණා. මෙහිදී එහි සංවිධායකවරුන් විද්‍යාගාරයේ රෝපණය කළ වැනිලා, ‘සීනි අවම’ සීනි, මවු කිරෙහි ගුණ සියල්ල අඩංගු ප්‍රෝටීන බාර්, කැවියාර් හෙවත් මත්ස්‍ය බිත්තරවල රසට සහ ව්‍යුහයට සමාන ලෙස මුහුදු පැළෑටිවලින් සැකසූ ආහාර වැනි, අනාගත ලෝකයේ දැකිය හැකි ආහාර රාශියක් ජනතාවට හඳුන්වා දීම සිදු කළා.
නිර්මාංශික මාංස ආහාර
කෙසේ නමුත් මෙහි දී බොහෝ දෙනාගේ අවධානය යොමු වූයේ ‘මාංස ආහාර’ තිබූ කුටි වෙතට යි. අර්තාපල් සමඟ බැද තිබූ හරක්මස්, බැටළු මස් කෙබාබ්, බර්ගර්වලට යොදන මස් පෙති, කුකුළු මස සොසේජස් වැනි මාංශ ආහාර රාශියක් මෙහි දී රස බැලිය හැකි වූවා. විශේෂත්වය වූයේ මෙය සම්පූර්ණ නිර්මාංශික අයකුට වුව ද රස බැලිය හැකි වීම යි. එමෙන් ම සම්පූර්ණයෙන් ම සත්ත්ව ආහාර පසෙක ලන අයකුට වුව ද රස විඳිය හැකි චීස් ද මෙයට ඇතුළත් වුණා.
අප ලිපියේ පෙර සඳහන් කළ චීස් නිපදවා ඇත්තේ මයික්‍රොඇල්ගී විශේෂයක් යොදාගෙන යි. බැද තිබූ හරක් මස් තනා තිබුණේ පැසවන ලද ශාක ප්‍රෝටීන භාවිත කිරීමෙනු යි. කෙබාබ්, බර්ගර් වැනි දේ තනා තිබුණේ විද්‍යාගාරවල සැකසූ ශාක ප්‍රෝටීනවලින් වන අතර, කුකුළුමස් සහ හරක් මස් ගාත්‍රාවල මාංසවලට සමාන මාංස නිපදවා තිබුණේ සම්පූර්ණයෙන් ම විද්‍යාගාරවල වැවූ මාංස භාවිත කිරීමෙනු යි. මෙම ප්‍රදර්ශනයේ දැකගත හැකි වූ එකම සැබෑ සත්ත්ව ආහාරය කිරි පමණ යි.
ආහාර තාක්ෂණය පිළිබඳ ඊශ්‍රායලයේ දියුණුව
ඊශ්‍රායලයේ ආහාර තාක්ෂණයේ අනාගතය ගැන පෙරැයීමේ දී අනුමාන කළ හැකි කාරණයක් වන්නේ ඔවුන් සැබෑ සත්ත්ව ආහාරවලින් වියුක්ත වනු ඇති බව යි. ආදේශක ප්‍රෝටීන ප්‍රභව තැනීමෙහි ලා සිදුකෙරෙන පර්යේෂණ පිළිබඳ ව වර්තමානය වන විට ඊශ්‍රායෙලය දෙවැනි වන්නේ අමෙරිකා එක්සත් ජනපදයට පමණයි. 2020 වසරේ දී පමණක් ඒ සඳහා ඔවුනට ආයෝජකයන්ගෙන් ලැබී ඇති මුදල අමෙරිකා ඩොලර් බිලියනයකට ආසන්න යි.
ඊශ්‍රායලය අද වන විටත් සැලකෙන්නේ කුකුළු මස් ආහාරයට ගන්නා ලොව ප්‍රධානත ම රටක් ලෙස යි. එමෙන් ම ‘රතු මාංස’ අනුභවයෙහි ලා ලොව සිව්වැනි තැන සිටින්නේ ද ඔවුනු යි. කෙසේ නමුත් ලොව සම්පූර්ණ නිර්මාංශිකයින් වැඩිම ප්‍රතිශතයක් සිටින්නේ ද ඊශ්‍රායලයේ වීම ද සුවිශේෂී කාරණාවක් වෙනවා.
ආදේශක මාංස නිපදවීමේ අකිවාර්යතාව
මේ හේතු නිසා ආදේශක මාංස නිපදවා, වෙළෙඳපොළට නිකුත් කිරීමට සුදුසු ම රටක් ලෙස ඊශ්‍රායෙලය සැලකෙනවා. ලොව ප්‍රථමයෙන් ම ඇති කළ, ‘විද්‍යාගාර මාංස වැවීමේ’ සමාගම් අට අතුරින් තුනක් ම ආරම්භ වී ඇත්තේ ඊශ්‍රායලයේ යි. ඇලෙෆ් ෆාර්ම්ස්, සුපර් මීට් සහ බිලීවර් මීට් යන එම සමාගම් ත්‍රිත්වය හා මෑතක දී ආරම්භ කළ’ස්ටේඛෝල්ඩර් ෆුඩ්ස්’ සමාගම මේ වන විට ඉතා ඉහළ තත්ත්වයේ විද්‍යාගාර මාංස ජනතාවට නිකුත් කිරීම සඳහා සැදී පැහැදී සිටින අතර, ඔවුන් බලා සිටින්නේ ඊශ්‍රායෙල බලධාරීන් ඒ සඳහා අවසර දෙන තුරු යි.
ආහාර අභියෝග ජය ගත් ඊශ්‍රායෙලය
දේශපාලනික වශයෙන් තනි වී ඇති මෙන් ම ජල සම්පත අව ම ඊශ්‍රාෙයලයට, සියා ආහාර අවශ්‍යතා සපුරා ගැනීම කවදත් අභියෝගයක් වූ අතර, මේ හේතුවෙන් ආහාර හා සම්බන්ධ නව පර්යේෂණ සිදු කර, සිය පලදායීතාව වැඩිදියුණු කර ගන්නට ඔවුනට සිදුවුණා. ජලයේ ලවණතාව අඩු කිරීම, හරිතාගාර නිපදවීම, තාක්ෂණිකව ඇළ මාර්ග තැනීම සහ විද්‍යාගාරයේ ආහාර තැනීම ඔවුනට සිදුකිරීමට වූ අතර, වර්තමානය වන විට එම අභියෝග ජයගෙන, ආහාර තාක්ෂණයේ පෙරගමන්කරුවකු බවට පත් වීමට ද ඔවුන් සමත් වී තිබෙනවා.
කෙසේ නමුත් ඊශ්‍රායෙලය අද වන විට ද ආහාරවලින් ස්වයංපෝෂිත නැහැ. වර්තමානය වන විට ඔවුන්ගේ කුකුළු මස් සහ කිරි අවශ්‍යතාවලින් 90% ක් ම ඔවුන් දේශීය වශයෙන් සපුරාගන්නා මුත්, ධාන්‍ය වර්ග බහුතරයක් ආනයනය කිරීම සිදු කරනවා. ලෙබනනය හා සිරියාව සමඟ ඇති දේශ සීමා අර්බුද මෙන් ම, ඊජිප්තුව සහ ජෝර්දානය සමඟ ඇති දේශපාලනික එදිරිවාදිකම් නිසා ඒවා ඔවුන්ගෙන් ආනයනය කිරීමක් සිදු නොවන අතර, ඈත මිතුරු රටවලින් ධාන්‍ය ආනයනය කරන්නට ඔවුන් විශාල පිරිවැයක් දරනවා.
බටහිර ඉවුරේ දිනෙන් දින වැඩි වන ජනගහනය
ඊශ්‍රායෙලයේ සහ පලස්තීන බටහිර ඉවුරේ දිනෙන් දින වැඩි වන ජනගහනය නිසා, එහි වූ වගා කළ හැකි භූමි ප්‍රමාණ අවම වීමත් සිදුවෙමින් පවතිනවා. දේශගුණික වෙනස්වීම් නිසා ද සාමාන්‍ය පරිසරයේ ආර්ථික භෝග වැවීම තවත් අපහසු වෙලා. විද්‍යාගාරයේ නිපදවෙන මාංසවලට ජලය අවශ්‍ය වන්නේ සමාන්‍ය මාංසවලට වඩා 78% ක් අඩුවෙන් වන අතර, අවශ්‍ය වන භූමි වපසරියත් 95% කින් ම අවම වෙනවා.
දිනෙන් දින උග්‍ර වන ජල සහ භූමි ගැටලුව පිළිබඳ ව අවධානය යොමු කර ඇති ඊශ්‍රායෙල රජය ‘ආදේශක’ ප්‍රෝටීන නිපදවීමේ අගය වටහා ගෙන, එය ප්‍රවර්ධනය කිරීම අරඹා තිබෙනවා. විද්‍යාගාරයේ නිපද වූ මාංස මුලින් ම ප්‍රසිද්ධියේ රස බැලූ ලොව පළමු රාජ්‍ය නායකයා ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු 2020 වසරේ දෙසැම්බර් මස 7 වන දින ඉතිහාසගත වුණා. එහි රසයේ කිසිදු වෙනසක් තමන්ට නොදැනුණු බවත්, ආදේශක ප්‍රෝටීන නිපදවීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය අනාගතයේ ලෝක මධ්‍යස්ථානයක් වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කර තිබුණා. ජනපති ඉසාක් හර්සොග් ද ඊට වසරකට පසු මෙම මාංස රස බලා තිබුණා.
ඊශ්‍රායලයේ ‘විද්‍යාගාර මාංස එකමුතුව’
ඊශ්‍රායලයේ ‘විද්‍යාගාර මාංස එකමුතුව’ නම් එරට ප්‍රධාන සමාගම් 14 ක් සහ විද්‍යාගාර 10 ක් එක්කාසු වී පසුගිය අප්‍රේල් මාසයේ දී සාදා ගත් සංගමයක් මඟින් ‘විද්‍යාගාර මාංස’ නිපදවීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 18ක් යොදවා තිබුණා. ඒ විද්‍යාගාර මාංශ නිපදවීමේ කාර්යයක්ෂ්මතාව වැඩි කොට, වියදම අඩු කිරීමේ ක්‍රම සාමූහික ව සොයා ගැනීම සඳහා යි. පසුගිය සැප්තැම්බර් මාසයේ ඊශ්‍රායල රජය “ආහාර තාක්ෂණය සහ ආදේශක ප්‍රෝටීන ප්‍රභව වැඩිදියුණු කිරීම” දේශයේ ප්‍රධානත ම ගවේෂණාත්මක හා සංවර්ධන ප්‍රමුඛතාවක් බැව් ප්‍රකාශ කළා.
මාංස ආහාර ප්‍රමාණය අඩු කිරීමේ අභිප්‍රායය
ලොව විද්‍යාගාර ආහාර නිපදවීම සඳහා අනුග්‍රහය දක්වන රජයන් අතර ඊශ්‍රායෙලය සමඟ තරගකාරී තත්ත්වයක සිටින්නේ සිංගප්පූරුව පමණ යි. ඔවුන් 2020 වසරේ දී ලොව ‘විද්‍යාගාර කුකුළු මස් අලෙවියට අවසර ලබා දුන් පළමු රට බවට පත් වුණා. කෙසේ නමුත් ඔවුන් ඒ සම්බන්ධ පර්යේෂණ කිරීමේ දී සිටින්නේ ඊශ්‍රායෙලයට වඩා පසුපසිනු යි. ඊශ්‍රායල විද්‍යාඥයන් ද තම රට සිංගප්පූරුවෙන් පූර්වාදර්ශය ගෙන, සාමාන්‍ය වෙළෙඳපොළට ඉක්මනින් ම මෙම විද්‍යාගාර මාංස නිකුත් කිරීමට අවසර ලබාදෙනු ඇති බවට අපේක්ෂා සහගත ව බලා සිටිනවා.
2017 වසරේදී කළ සංගණනනයකට අනුව ඊශ්‍රායෙලයේ 5%ක පිරිසක් සත්ත්ව ආහාර අනුභවයෙන් සම්පූර්ණයෙන් තොර අතර, 8% ක් නිර්මාංශික වෙනවා. තවත් 23% ක් තමන් ගන්නා මාංස ආහාර ප්‍රමාණය අඩු කිරීමේ අභිප්‍රායයෙන් පසු වෙනවා. මෙම විද්‍යාගාර මාංස සත්ත්ව ඝාතන අඩු වීම මෙන් ම, සත්ත්ව කර්මාන්ත මඟින් පරිසරයට සිදුකෙරෙන බලපෑමත් අවම කිරීමට සමත් වනු ඇති බවට විද්‍යාඥයන් මත පළ කරනවා.
යුදෙව් දර්ශනයට අනුව කිරි හා මාංස ආහාර එකට අනුභව කිරීමේ යම් යම් සීමා තිබෙනවා. මෙම නව ආහාර මඟින් ඒවායේ සීමා ද බිඳලනු ඇති බවට මත පළ වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඊශ්‍රායෙල සමාජයේ විවාද මතු ව ඇති අතර, විද්‍යාගාර ප්‍රෝටීන තැනීම සම්බන්ධ විද්වතුන් පවසන්නේ, අනාගත ජන්තාව ආගමික මතවාද වශයෙන් ද යාවත්කාලීන වී, ප්‍රායෝගික ස්වරූපයකින් මෙම නවමුතා වැලඳගනු ඇති බව යි.