කාලවකවානු කිහිපයක් ඇතුළත රටක භාණ්ඩ හා සේවාවල මිල ගණන් අඛණ්ඩ ව ඉහළ යාම උද්ධමනය යි. යම් රටක භාණ්ඩවල මිල ගණන් සහ සේවා සඳහා අය කරන ගාස්තු වැඩි වීමේ වේගය උද්ධමන වේගය යනුවෙන් හැඳින්වෙනවා. මේ දිනවල අප රට තුළ පවතින දරුණු ආර්ථික අර්බුදය නිසා උද්ධමනය විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව 2022 සැප්තැම්බර් මාසයේ දී මෙරට උද්ධමනය අනුපාතය 69.80% තරම් ඉහළ අගයක් ගත්තා. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තා වුණු වැඩි ම උද්ධමන අනුපාත අගය යි. ශ්‍රී ලංකාවෙන් එවැනි වාර්තාගත උද්ධමන අනුපාත අගයක් වාර්තා වෙද්දී ලෝකයේ ඇතැම් රටවල්වලින් ඊටත් වඩා වැඩි උද්ධමන අනුපාත වාර්තා වෙනවා.
මේ එසේ ඉහළ උද්ධමන තත්ත්වයක් වාර්තා වූ රටවල් 4ක් පිළිබඳ තොරතුරු යි.
4). සුඩානය
අප්‍රිකා මහද්වීපයට අයත් රටක් වන සුඩානයේ උද්ධමනය ඉහළ යාම ආරම්භ වුණේ 1970 දශකය මුල් භාගයේ සිට යි. එසේ එරට උද්ධමනය ඉහළ නැඟීමට ප්‍රධාන වශයෙන් හේතු වුණේ 1973 දී ලොව පුරා පැතිර ගිය ආර්ථික අවපාතය යි. එතැන් සිට එරට බලයට පත් වුණු පාලකයන් ගෙන ගිය දුර්වල පාලනය හේතුවෙන් ගෙවුණු දශක පහකට ආසන්න කාලයක දී එරට අයවැය හිඟය විශාල ලෙස වැඩි වුණා. එම අයවැය හිඟය පියවා ගැනීම සඳහා මහා පරිමාණයෙන් මුදල් අච්චු ගැසීමට සිදු වුණා. ඒ හේතුවෙන් සුඩානයේ උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ ගියා.
එසේ බිඳ වැටුණු සුඩාන ආර්ථිකයට මරු පහරක් එල්ල වුණේ ලොව පුරා කොරෝනා වසංගතය පැතිර යාමත් සමඟ යි. කොරෝනා වසංගතය ආරම්භ වෙද්දී ආසන්න වශයෙන් 100% ලෙස පැවති සුඩානයේ උද්ධමනය අනුපාතය මාස 16ක කාලයක් තුළ 400% ඉක්මවා ගියා. ඒ හේතුවෙන් 2022 ජූලි වන විට සුඩානයේ උද්ධමන අනුපාතය 422.78% දක්වා ඉහළ ගියා. එය සුඩාන ඉතිහාසයේ වාර්තා වුණු ඉහළ ම උද්ධමන අනුපාත අගය ලෙස සටහන් වුණා.
සුඩානයේ උද්ධමන අනුපාතය 259.8%ක්
2022 වසර ආරම්භ වෙද්දී සුඩානයේ උද්ධමන අනුපාතය 259.8%ක් ලෙසින් සටහන් වුණා. පසුගිය වසරේ මුල් මාස තුන ඇතුළත එරට උද්ධමන අනුපාතය 250%ට ඉහළින් පැවතුණා. ඉන් පසු ව සුඩානයේ උද්ධමන අනුපාතය ක්‍රමයෙන් අඩු වන්නට පටන් ගත්තා. ඒ අනුව 2022 ජූලි වන විට එම අගය 125.4%ක් ලෙසින් සටහන් වුණා. අප්‍රිකානු සංවර්ධන බැංකුවේ දත්තවලට අනුව පසුගිය මාස 6ක කාලයේ දී සුඩාන ආර්ථිකය සුළු වශයෙන් වර්ධනය වී තිබෙනවා. 2022 දෙසැම්බර් වන විට එරට උද්ධමන අනුපාතය 87.3%ක් බවට පත් වුණා.
3). වෙනිසියුලාව
දකුණු අමෙරිකානු මහද්වීපයට අයත් රටක් වන වෙනිසියුලාව ගෙවුණු දශක කිහිපයේ දී ලොව ප්‍රමුඛත ම බොර තෙල් නිෂ්පාදකයෙක් බවට පත් ව සිටියා. 1950 දශකයේ සිට 1980 දශකයේ මුල් භාගය දක්වා වෙනිසියුලාවේ ආර්ථිකය සමෘද්ධිමත් එකක් වුණා. 1980 දශකයේ මැද භාගයේ සිට එරට ආර්ථිකය කඩා වැටෙන්නට පටන් ගත්තා. ඒ 1980 දශකයේ මැද භාගයේ දී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළ බැසීමත් සමඟ යි.
එවකට වෙනිසියුලාවේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ජේමි ලුසින්චි එරට ආර්ථික කඩාවැටීම පාලනය කිරීම සඳහා නිසි පියවර ගැනීමට අසමත් වුණා. ඔහුගේ දුර්වල ආර්ථික කළමනාකරණය හේතුවෙන් 1986 දී අමෙරිකානු ඩොලර් බිලියන 60.39ක් බවට පත්ව තිබුණු දල දේශීය නිෂ්පාදිතය, 1989 වන විට අමෙරිකානු ඩොලර් බිලියන 43.53ක් දක්වා අඩු වුණා. එපමණක් නොව 1986 දී 6.51% ලෙස පැවති ආර්ථික වර්ධන වේගය 1989 වන විට ඍණ 8.57ක් දක්වා පහත බැස්සා.
එතැන් සිට වෙනිසියුලා ආර්ථිකය වේගයෙන් කඩා වැටෙන්නට පටන් ගත්තා. එරට පැවති භාණ්ඩ හිඟය, සිවිල් අරගල, බොලිවාර් මුදල් ඒකකය අවප්‍රමාණය වීම, දේශපාලන අස්ථාවරත්වය වැනි හේතු නිසා වෙනිසියුලාවේ නොසන්සුන්කාරී තත්ත්වයක් දිගින් දිගට ම පැවතුණා.
වෙනිසියුලාවේ දේශපාලන අස්ථාවරත්වය
1999-2013 යුගයේ එරට පාලනය කළ හියුගෝ චාවේස්ට ද රටේ ආර්ථිකය ස්ථාවර තත්ත්වයකට පත් කිරීමට හැකි වුණේ නැහැ. ඔහුගේ මරණයෙන් පසු වෙනිසියුලාවේ දේශපාලන අස්ථාවරත්වය තව තවත් වැඩි වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් වෙනිසියුලාවේ උද්ධමනය වාර්තාගත ලෙස ඉහළ ගියා. මේ හේතු මත2019 පෙබරවාරි වන විට එරට උද්ධමන අනුපාතය 344509% තරම් ඉහළ අගයක් ගත්තා.
2022 වසර ආරම්භ වෙද්දී වෙනිසියුලාවේ බොරතෙල් නිෂ්පාදන ධාරිතාවට යථා තත්ත්වයට පත් වුණා. ඔපෙක් සංවිධානයේ දත්තවලට අනුව එරට දෛනික බොරතෙල් නිෂ්පාදනය බැරල් ලක්ෂ 6-7 අතර අගයක් ගත්තා. ගෙවුණු වසරේ දී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ද ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් වෙනිසියුලාවට බොරතෙල් අලෙවියෙන් ලැබුණු ආදායම වැඩි වුණා.
ඒ හරහා එරට ආර්ථිකය ස්ථාවර වන්නට පටන් ගත්තා. එනිසා 2022 ජනවාරි වන විට 472%ක් තරම් ඉහළ අගයක් ගත් වෙනිසියුලාවේ උද්ධමන අනුපාතය 2022 ඔක්තෝබර් වන විට 155.8% දක්වා අඩු වුණා. එසේ උද්ධමන අනුපාතය විශාල ලෙස අඩු වුණත් ලෝකයේ ඉහළ ම උද්ධමනයක් පවතින රටවල් කිහිපය අතර වෙනිසියුලාව තවමත් රැඳී සිටිනවා.
2). ලෙබනනය
මීට දශක කිහිපයකට පෙර ලෙබනනයේ ආර්ථිකය ස්ථාවර තත්ත්වයක පැවතුණා. එනිසා 2019 වසර මැද භාගය වෙද්දීත් එරට උද්ධමන අනුපාතිකය 10%ට වඩා අඩු මට්ටමක තිබුණා. එරට ආර්ථිකයේ කඩා වැටීම ආරම්භ වුණේ 2019 වසර අග භාගයේ දීයි.
වසර කිහිපයක් පුරා රටේ පැවති දේශපාලන අර්බුදය, එරට මහ බැංකුව ණය ගෙවීම සඳහා ඉහළ පොලී අනුපාතවලට මුදල් ණයට ගැනීම, රාජ්‍ය බැංකු ව්‍යාපාර සඳහා කෙටි කාලීන ණය ලබා දීම අත්හිටුවීම වැනි හේතු නිසා එම ආර්ථික අර්බුදය නිර්මාණය වුණා.
එම ආර්ථික අර්බුදය නිර්මාණය වී මාස කිහිපයක් ගත වෙද්දී ලොව පුරා කොරෝනා වසංගතය පැතිර ගියා. එය ලෙබනන් ආර්ථික අර්බුදය තවත් උත්සන්න වීමට හේතුවක් වුණා. දිගින් දිගට ම රාජ්‍ය ආදායම අඩුවීම හේතුවෙන් මුදල් අච්චු ගැසීම නිසා ලෙබනනයේ මුදල් ඒකකය අවප්‍රමාණය වුණා. විදේශ විනිමය සංචිත ක්ෂය වීම හේතුවෙන් සමහර භාණ්ඩ ආනයනය කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වුණා. එනිසා ලෙබනනයේ භාණ්ඩ හිඟයක් ඇති වී බඩු මිල ඉහළ ගියා. ඒ අනුව ලෙබනනයේ උද්ධමන අනුපාතය 2021 වසර අග භාගය වෙද්දී 200% ඉක්මවා ගියා.
2022 ජනවාරි වන විට ලෙබනනයේ උද්ධමන අනුපාතය 239.69%ක් ලෙසින් සටහන් වුණා. එය ලෙබනන් ඉතිහාසයේ වාර්තා වුණු ඉහළ ම උද්ධමන අනුපාත අගය යි. එතැන් සිට ගෙවුණු මාස 5 ක කාලයේ දී ලෙබනනයේ උද්ධමන අනුපාතය 200% වැඩි සීමාවේ පැවතුණා. එරට උද්ධමන අනුපාතය තරමක් දුරට පහළ යාම ආරම්භ වුණේ 2022 ජූලි මාසයේ සිට යි.
එසේ අඩු වුණු උද්ධමන අනුපාතය නොවැම්බර් වන විට 142.37%ක් බවට පත් වුණා. උද්ධමන අනුපාතය තරමක් අඩු වුණත් ලෙබනනය තවමත් ඉහළ උද්ධමනයක් පවතින රටක්. එම තත්ත්වය සමනය වීමට තවත් වසර කිහිපයක් ගතවනු ඇති බව ආර්ථික විශේෂඥයන්ගේ මතය යි.
1). සිම්බාබ්වේ
රොබට් මුගාබේගේ දූෂිත පාලනය නිසා 1990 දශකයේ මැද භාගයේ සිට එරට ආර්ථිකය කඩා වැටුණා. රටේ ජනතාවට රැකියා සහ මුදල් නොමැති වෙද්දී මුගාබේ රජය කළේ සීමාවක් නොමැතිව මුදල් අච්චු ගැසීම යි. කර්මාන්ත හා නිෂ්පාදන කඩා වැටීමෙන් භාණ්ඩ හිඟයක් ඇති වුණු විට ඒ සුළු භාණ්ඩ ප්‍රමාණය මිලට ගැනීමට සඳහා විශාල තරගයක් ඇති වුණා. එවිට බඩු මිල ඉහළ ගියා.
මුදල් හිඟ වීම හේතුවෙන් එරට ආණ්ඩුව මුදල් තව තවත් අච්චු ගැසුවා. අයහපත් කළමනාකරණය හේතුවෙන් නිෂ්පාදන අඩපණ වුණා. භාණ්ඩ හිඟයට ප්‍රතිකර්මයක් නොවූ හෙයින් මෙම ක්‍රියාවලිය චක්‍රයක් සේ ඇදී ගියා. ආණ්ඩුව ද තමන් සතු එක ම උපක්‍රමය වුණු මුදල් අච්චු ගැසීම දිගට ම කර ගෙන ගියා.
සිම්බාබ්වේ ඩොලරය තුන් වතාවක් අව ප්‍රමාණය කිරීමෙන් පසුවත් මෙම කඩා වැටීම පාලනය කරගන්නට ආණ්ඩුවට නොහැකි වුණා. අවසානයේ ඩොලර් ට්‍රිලියන 100 මුදල් නෝට්ටුවක් පවා අච්චු ගැසීමට ඔවුන්ට සිදු වුණා.
එතැන් සිට ඉහළ ගිය සිම්බාබ්වේ උද්ධමන අනුපාතය 2020 ජූලි වන විට 837.53% දක්වා ඉහළ ගියා. එය සිම්බාබ්වේ ඉතිහාසයේ වාර්තා වුණු ඉහළම උද්ධමන අනුපාත අගය යි. එසේ ඉහළ ගිය උද්ධමන අනුපාතය 2021 දෙසැම්බර් වන විට 60% දක්වා පහත වැටුණා. 2022 දී නැවතත් සිම්බාබ්වේ උද්ධමන අනුපාතය ඉහළ ගියා. ඒ අනුව 2022 අගෝස්තු වන විට සිම්බාබ්වේ උද්ධමන අනුපාතය 285% දක්වා වැඩි වුණා. එය පසුගිය කිහිපයේ සුළු වශයෙන් අඩු වුණා. ඒ අනුව 2022 දෙසැම්බර් වන විට එම අගය 243.8% ලෙස සටහන් වුණා. එයින් නිගමනය කළ හැක්කේ සිම්බාබ්වේ දේශයේ ඉහළ උද්ධමනය තවත් වසර ගණනාවක් පවතිනු ඇති බව යි.
ශ්‍රී ලංකාවේ උද්ධමනය
2000 සිට 2020 දක්වා ගෙවුණු වසර 20ක කාලය ඇතුළත ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය ඉහළ ගියේ 2008 සහ 2009 වසරවල ලෝක ආර්ථික අර්බුදය පැවති අවස්ථාවේ දී යි. එකල මෙරට උද්ධමන අනුපාතය 30%ට ආසන්න වුණා.
එදා සිට කොරෝනා වසංගතය ආරම්භ වන තුරු ම මෙරට උද්ධමන අනුපාතය 15%ට අඩුවෙන් පැවතුණා. 2022 ජනවාරි වන විටත් ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය සටහන් වුණේ 14.2%ක් ලෙස යි. එම අගය ශීඝ්‍රයෙන් ඉහළ යාම ආරම්භ වුණේ 2022 අප්‍රේල් මාසයේ සිට යි.
එසේ ඉහළ ගිය මෙරට උද්ධමන අනුපාතය 2022 සැප්තැම්බර් වන විට 69.80% ලෙස සටහන් වුණා. එය මෙරට ඉතිහාසයේ වාර්තා වුණු වැඩි ම උද්ධමන අනුපාතය යි. පසුගිය දෙසැම්බර් වන විට ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය 57.2% දක්වා අඩු වුණා. එසේ අප රටේ උද්ධමනයේ යම් අඩුවීමක් වාර්තා වුණ ද මෙරට උද්ධමනය පෙර පැවති තත්ත්වයට පත් වීමට තවත් කාලයක් ගතවනු ඇති බවට සැකයක් නැහැ.