ඉන්දියාව ගිනි තබන මෝදි රජයේ “අග්නිපත්”

ඉන්දියාව යනු ලෝකයේ යුද ශක්තියෙන් ඉහළ රටවල් අතර ඉදිරියෙන් ම සිටින සාමාජිකයෙක්. ඉතා විශාල ක්‍රියාකාරී මිනිස් බලයක් සහිත හමුදාවක් පවත්වා ගෙන යන රටක් ලෙස ඉන්දියාව හඳුනා ගැනෙනවා. එමෙන්ම, යුද ටැංකි 4000 කට වැඩි ගණනක් සහ සබ්මැරීන 16 ක් පමණ ඉන්දීය හමුදාව සතුව පවතිනවා. මේ හේතුවෙන් සිය ආරක්ෂක පිරිවැය සඳහා ඉන්දීය රජයට වාර්ෂික ව වෙන්  කිරීමට සිදුවන මුදල ඩොලර් බිලියන 50 කට අධික යි. එම මුදලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් හමුදාවේ විශ්‍රාම වැටුප් සහ සේවයේ නියුතු නිලධාරීන් ගේ වැටුප් සඳහා වෙන් කිරීමට සිදුවන බව පැවසෙනවා.

 වැටුප් සඳහා වෙන් කරන මුදල් කාලයත් සමඟ ක්‍රමයෙන් වැඩි වූ අතර, නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී රජයට මේ සඳහා සාර්ථක ව්‍යුහාත්මක සැලැස්මක් ඉදිරිපත් කිරීමට නොහැකි වුණා. අවසානයේ දී මෝදිගේ රජය ආරක්ෂක වියදම් සම්බන්ධයෙන් ගත් තීන්දුව තරමක් මවිතය දනවනසුලු යි.  ලෝක බලවතෙක් මෙන් ම, භූදේශපාලනික වශයෙන් වැදගත් වූ ඉන්දියන් සාගරයේ ප්‍රබලත ම බලපෑම්කරුවෙක් ද ලෙස ඉන්දියාව ගත් මෙම තීන්දුව, ජාත්‍යන්තර මාධ්‍ය රැසක අවධානය දිනා තිබුණා.

“අග්නිපත්” බඳවා ගැනීම් ක්‍රමවේදය යටතේ වැටුප් පරිමාණය නිර්මාණය වන හැටි – indianexpress.com 

අග්නිපත් සහ අග්නිවීර්

මෙතෙක් ඉන්දීය හමුදාවට අලුතෙන් සාමාජිකයන් බඳවා ගත් ක්‍රමවේදයේ සැලකිය යුතු ව්‍යුහාත්මක වෙනසක් සිදු කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා. පූර්ණ කාලීන ව සේවයේ නියුතු වන අන්දමින් හා සේවයෙන් පසුව විශ්‍රාම වැටුප් සැලැස්මකට ඇතුළු වන අන්දමින් සෙබළුන් බඳවා ගැනීමේ ක්‍රමවේදය වෙනුවට, කෙටිකාලීන කොන්ත්‍රාත් පදනමකින් නවක සෙබළුන් බඳවා ගැනීම මෙම ව්‍යුහාත්මක වෙනස යටතේ සිදු වෙනවා. ඉන්දීය රජය හඳුන්වා දුන් මේ අලුත් ප්‍රතිපත්තිය “අග්නිපත්” ලෙස හඳුන්වන අතර, අලුත් ක්‍රමවේදය යටතේ බඳවා ගන්නා සෙබළුන් “අග්නිවීර්” යනුවෙන් හඳුන්වන අලුත් හමුදා නිලයකට ඇතුළත් වෙනවා.

 “අග්නිපත්” ප්‍රතිපත්තිය යටතේ පුහුණු කාලය ඇතුළු ව වසර හතරක කාලයක් සඳහා නවක සෙබළුන් ගිවිසුම්ගත වනු ඇති. ගිවිසුම්ගත කාලයෙන් පසු සෙබළුන් හමුදා සේවයෙන් නිදහස් වන අතර, ඔවුන්ට විශ්‍රාම වැටුප් සහ අනෙකුත් සෞඛ්‍ය හෝ අධ්‍යාපන ප්‍රතිලාභවලට අයිතියක් හිමි වන්නේ නැහැ. කොන්ත්‍රාත් පදනම යටතේ බදවා ගන්නා සෙබළුන් ගෙන් 25% කට පමණ වසර හතරක සේවයෙන් පසු ස්ථිර පදනම යටතේ සේවය කිරීමට අවස්ථාව උදා වෙනවා.

අග්නිපත් වැඩසටහන යටතේ නවක සෙබළුන් කොන්ත්‍රාත් පදනම යටතේ වසර හතරක කාලයක් සඳහා සේවයට බඳවා ගනු ඇති – www.bbc.com

“අග්නිපත්” ක්‍රමවේදය වඩාත් විවේචනයට ලක් වන්නේත් මේ නිසාම යි. සියයට විසිපහේ කොටසට ඇතුළත් වීම සඳහා නවක සෙබළුන් අතර තරගයක් ඇති විය හැකි බැවින්, සාමුහිකත්වය තදින් ම අගයන හමුදා සේවය තුළ ගැටලුකාරී වාතාවරණයක් ඇති වීමේ අවදානමක් තිබෙනවා. එය නිවැරදි ව හසුරුවා නොගතහොත්, විනාශකාරී ප්‍රතිවිපාක ඇති කරමින් ඉන්දියාවේ සන්නද්ධ හමුදා සංවිධානය වී ඇති ආකාරයට බලපෑම් එල්ල විය හැකි යි.

ඉන්දීය රජය මෙවැනි තීරණයක් කරා හදිසියේ ම පැමිණියේ ඇයි?

තාක්ෂණය ද? පිරිස් බලය ද?

නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව යටතේ පසුගිය වසර අටක කාලය තුළ ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යාංශය යම් යම් අර්බුදවලට මුහුණ දුන්නා. මෙම කාල පරාසය ඇතුළත ප්‍රතිපාදනවල අඛණ්ඩ හිඟයකට අමාත්‍යාංශය මුහුණ දුන් අතර, පසුගිය අය වැය හිඟයෙන් 53% ක් පමණ ප්‍රාග්ධන වියදම් යටතට වැටීමත් සමඟ ආරක්ෂක සේවයෙන් යොමු වූ ඉල්ලීම්වලින් බොහෝමයක් රජයට ඉටු කිරීමට හැකි වුණේ නැහැ.

ඉන්දියාව සහ චීනය අතර යුද ශක්තියේ සැසඳීමක් – www.livemint.com 

 චීනය සහ පාකිස්තානය වැනි විරුද්ධවාදීන්ට එරෙහි ව නවීන තාක්ෂණය භාවිතයෙන් යුද්ධයකට සැරසීමට සිදු වුණහොත්, ඒ සඳහා අවශ්‍ය නවීකරණ ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කිරීමේ අවශ්‍යතාව ඉන්දියාවට තිබෙනවා. එබැවින්, යුද වියදම් බෙදී යන අන්දම ගැන නැවත විමසා බැලීමක් “අග්නිපත්” හරහා සිදු කරන්නට යන බව අනුමාන කළ හැකි යි. වැටුප් සහ විශ්‍රාමිකයන්ට ගෙවීමට සිදු වන මුදල් විශාල ප්‍රමාණයක් “අග්නිපත්” ප්‍රතිපත්තිය හරහා ඉන්දියාවට ඉතිරි වෙනවා. එම මුදල් යුද තාක්ෂණයේ නවීකරණය සඳහා යොදා ගත හැකි යි.

නරේන්ද්‍ර මෝදි යනු ඉන්දීය හමුදාව නිරන්තරයෙන් ප්‍රශංසාවට ලක් කළ නායකයෙක්. එම ප්‍රශංසාව කොතරම් ප්‍රබල ද යත්, මෝදි ආණ්ඩුවට විරුද්ධ ව ක්‍රියා කරන දේශපාලනඥයන්, මාධ්‍යවේදීන් සහ විචාරකයන්, සොල්දාදුවන්ට වඩා පහත් කාණ්ඩයක් ලෙස සැලකීමට මෝදිගේ ආධාරකරුවන් ක්‍රියා කර තිබුණා. ඉන්දීය භූමිය තුළ ගුණධර්මවල ප්‍රතිමූර්තියක් බඳු පරිපූර්ණ ආයතනයක් ලෙස ඉන්දීය හමුදාව හැඳින්වීමටත් භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයන් ක්‍රියා කළා. මේ සියලු දේවල් සිදු වුණේ ඔවුන් ගේ දේශපාලනික න්‍යාය පත්‍රයට අනුව යි. දැන් ඒ උපායමාර්ගික දේශපාලන ක්‍රියාකාරකම් යටපත් වෙමින් “ආර්ථිකය” නම් යථාර්තයට මුහුණ දීමට සිදු වී තිබෙනවා. හමුදාව උත්කර්ෂයට නැඟූ වත්මන් ඉන්දීය ආණ්ඩුව ම බොහෝ දෙනා විරුද්ධ වන ව්‍යුහාත්මක වෙනස්කම් තම හමුදාව තුළ සිදු කිරීමට උත්සහ කරමින් සිටින්නේ එහි ප්‍රතිඵලයක් වශයෙන්.

රජයට එරෙහි කෝපය පොදු දේපළ මත ආරෝපණය වූ හැටි – www.edules.com 

ඉන්දියාව ඉන්නෙත් අමාරුවෙන්!

2016 පටන් ඉන්දියානු ආර්ථිකය යම් පීඩනයකට හසුව ඇති අතර, එය යථා තත්ත්වයට පත් වූයේ නැහැ. කොවිඩ්-19 වසංගතයෙන් තදබල ලෙස බැට කෑ රටක් ලෙස එම පීඩනය තවදුරටත් තීව්‍ර වුණා. ඉන්පසු ගෝලීය මට්ටමෙන් බලපෑම් එල්ල කරමින් තිබෙන යුක්‍රේන-රුසියානු යුද්ධය ඇරඹුණු බැවින්, ඉන්දියාව ඇතුළු ලෝක බලවතුන්ට දැඩි කළමනාකාරීත්වයකින් යුතු ව ආර්ථික කටයුතු ගෙන යෑමට සිදු වුණා. උද්ධමනය ඉහළ යමින් පවතින අතර, ඉන්දියානු රුපියලත් එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ ව අවප්‍රමාණය වෙමින් පවතිනවා. පුද්ගලික ආයෝජන පහත වැටෙමින් තිබෙන පසුබිමක විදෙස් ආයෝජකයන් ද පසුගිය මාස කිහිපය තුළ කොටස් වෙළඳපොළෙන් බිලියන ගණනක ආයෝජන ඉවත් කරගෙන අවසන්. 

ඉන්දියාවේ විරැකියා අනුපාතය ඉහළ ම මට්ටමකට ළඟා වෙමින් පැවතුණත්, නාගරික පදිංචිකරුවන් නැවත ගම්වලට සංක්‍රමණය වී කෘෂිකර්මාන්තයේ හෝ ස්වයං රැකියා වල නිරත වීම ආරම්භ කළ නිසා නගරාශ්‍රිත ව පවතින විරැකියා අනුපාතය තරමක් දුරට පාලනය වුණා. රැකියාවක් සොයා ගැනීම කොතරම් බැරෑරුම් ද යත්, නීත්‍යානුකූල ව රැකියාවක නියුතු වීමේ වයසක පසුවන ඉන්දියානුවන් මිලියන 900 අතුරින් අඩකටත් වඩා රැකියා සෙවීම සම්පූර්ණයෙන් ම පාහේ නවතා දැමූ බව පැවසෙනවා.

අග්නිපත් ක්‍රමවේදයට වැඩියෙන් ම විරුද්ධ වූයේ එරට තරුණ ප්‍රජාව යි. ඒ අතර හමුදා සේවයට ඇතුළත් වීමේ අපේක්ෂාවෙන් සිටි තරුණයන් ද සිටියා – www.newindianexpress.com 

සංවර්ධිත ආර්ථිකයක් සහ වයස්ගත ජනගහනයක් ඇති ඇතැම් රටවල් මුහුණ දෙන අර්බුදයට සාපේක්ෂ ව ඉන්දියාවේ විශාල තරුණ ශ්‍රම බළකායක් ඇති බැවින්, තම තත්ත්වය ගැන මෝදි රජය සිටියේ තරමක අධි තක්සේරුවකින්. එහෙත්, දුර්වල අධ්‍යාපනය සහ මහජන සෞඛ්‍යයේ පිරිහීමත් සමඟ ඉන්දියාවට එම තරුණ ශ්‍රම බළකායෙන් නිසි ප්‍රයෝජන ගැනීමට නොහැකි වුණා. දැන් එය ආර්ථික පරිහානියකටත් මුල පිරීමේ අවදානමක් තිබෙනවා.

මෙවැනි අර්බුදකාරී වාතාවරණයක් මැද ඉන්දීය හමුදාවට ඇතුළත් වීම ඉතා හොඳ විසඳුමක් ලෙස තරුණයන් දකින්නේ නිරායාසයෙන්ම යි. එහෙත්, “අග්නිපත්” හරහා දැන් එම අවස්ථාවටත් වැට බැඳෙනවා.

බිඳ වැටෙන බලාපොරොත්තු

2020 දී මුහුණ දුන් වසංගත තත්ත්වය නිසා මිලියන ගණනින් ඉන්දියානුවන්ට රැකියා අහිමි වුණා. ඉන්පසු “ඉන්දීය හමුදාව” ඉතා හොඳ රැකියා අවස්ථාවක් ලෙස දැකීමේ ප්‍රවණතාව වැඩි වූ අතර, “අග්නිපත්” හරහා හමුදා සේවය අවුරුදු හතරකට සීමා වීමෙන් පසු සේවයෙන් ඉවත් වන සෙබළුන් ගේ ඉරණම සම්බන්ධයෙන් විශාල කනස්සල්ලක් දැන් ඉන්දීය ජන සමාජය තුළ ඇති වෙමින් තිබෙනවා. හමුදාවට සේවය කිරීම “රැකියාවක්” ලෙස නොසලකන තරුණ පිරිසක් ද සිටින බව සැලකිය යුතු යි. ඔවුන් තම අරමුණ වෙනුවෙන් ඉතා වෙහෙස මහන්සි වී වැඩ කරනවා. ඔවුන්ටත් “අග්නිපත්” හරහා සිදු වන්නේ අසාධාරණයක්.

“පහුගිය අවුරුදු දෙකේ දී හමුදාවට බැඳෙන්න ඕන නිසා මං ගොඩක් වෙහෙස මහන්සි වෙලා වැඩ කළා. නමුත්, අග්නිපත් යෝජනා ක්‍රමය හදිසියේ ම ප්‍රකාශයට පත් වුණ. ඉතින් මං තේරුණත්, අවුරුදු හතරකින් මට විශ්‍රාම යන්න සිදු වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ?”

ඒ ඊසාන දිග ඇසෑමයේ දිවි ගෙවන විසි හැවිරිදි දෙබොජිත් බෝරාගේ වචන යි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිදහස් දින උත්සවයකට සහභාගි වෙමින් – www.aljazeera.com 

“අග්නිපත්” වැඩ සටහන ඇතැම් හමුදා ජනරාල්වරුන් සහ ආරක්ෂක විශේෂඥයන් ගේ විවේචනයට ද ලක් වී තිබුණා. විශේෂයෙන් ම පාකිස්තානය සහ චීනය සමඟ දේශසීමා ගැටලු උණුසුම් වී ඇති අවධියක මෙම වැඩසටහන හරහා ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් එල්ල විය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

 “මේක මහ මෝඩ ක්‍රියාවක්. එයින් ආරක්ෂක අංශවල කාර්යක්ෂමතාවටත් බලපෑම් එල්ල වෙන්න පුළුවන්. මුදල් ඉතිරි කිරීම හොඳ දෙයක්. ඒත්, ආරක්ෂක හමුදාවට යන වියදමින් එය සිදු කළ යුතු නැහැ. පලපුරුදු සෙබළෙක් යුද්ධය අතරතුර මරණයට පත් වුණොත්, අවුරුදු හතරක පුහුණුවක් තිබෙන කෙනෙක් එතැනට ආදේශ කරන්න පුළුවන් ද? මේ දේවල් මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ.”

විශ්‍රාමික මේජර් ජනරාල් ෂෙනොන් සිං පවසනවා.

සෑම වසරක ම ඉන්දීය හමුදා සේවයෙන් පුද්ගලයන් හැට දහසක් පමණ විශ්‍රාම යන අතර, එම පුරප්පාඩු පිරවීම සඳහා නව බඳවාගැනීම් රැළි සියයක් පමණ ඉන්දියාවේ පැවැත්වෙනවා. පසුගිය වසර කිහිපය මුළුල්ලේ එම නවක බඳවා ගැනීම් සීමා කර තිබුණා. බලධාරීන් එම තත්ත්වය කොවිඩ්-19 වසංගත තත්ත්වයට ආරෝපණය කළ ද ප්‍රවීණයන් පවසන්නේ පවතින සම්පත් හමුදා සාමාජිකයන්ට දැනටමත් ලබා දී ඇති බැවින්, යුද තාක්ෂණය නවීකරණය කිරීමෙහිලා අරගලයක් පවතින බව යි.

උත්සන්න වූ විරෝධතා

  “අග්නිපත්” වැඩසටහන යටතේ ඉදිරි කාලය ඇතුළත නවක සෙබළුන් 46,000 ක් පමණ බඳවා ගැනීමට නියමිත යි. සෙබළුන් මාස හයක පුහුණු කාලයකට යටත් වන අතර, ඉතිරි අවුරුදු තුනහමාර සේවය සඳහා වෙන් වෙනවා. මෙම කාලසීමාව තුළ ඔවුන්ට ඉන්දියානු රුපියල් 30,000 ක මාසික ආරම්භක වැටුපක් ලැබෙන ලෙස වැටුප් පරිමාණය නිර්මාණය කර තිබෙනවා. අමතර ප්‍රතිලාභ සමඟ වසර හතරක සේවය නිමා වනවිට 40,000 දක්වා වැටුප වර්ධනය වනු ඇති.

නවත ම බඳවා ගැනීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් ඉන්දීය රජයට කුමනාකාරයේ අරමුණු තිබුණත්, ඊට විරුද්ධ ව ඉන්දියාවේ මහජනතාව දැඩි ලෙස ප්‍රතිචාර දක්වමින් සිටිනවා. ප්‍රතිසංස්කරණ ආපසු හැරවිය යුතුයැ යි බල කරමින් විරෝධතාකරුවන් දුම්රිය මැදිරිවලට ගිනි තබා ඇති අතර, ප්‍රධාන මාර්ග අවහිර කරමින් සහ පොදු දේපළවලට හානි කරමින් විරෝධතාවේ නියැළෙනවා. බිහාර් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තවල “අග්නිපත්” වැඩසටහනට එරෙහි විරෝධතා ප්‍රබල ව දක්නට ලැබුණා. පසුව එම විරෝධතා තෙලන්ගානා, බටහිර බෙංගාලය වැනි ප්‍රදේශවලටත් පැතිරුණා. ඇතැම් විරෝධතා හමුවේ පොලිසිය අනවශ්‍ය අන්දමින් බලය යොදවන බවත් විරෝධතාකරුවන් චෝදනා කර තිබුණා.

“අග්නිපත්” ක්‍රමවේදයට විරුද්ධ වූ පිරිස් ප්‍රචණ්ඩ ලෙස හැසිරුණා – www.thestatesman.com 

තෙලන්ගානා ප්‍රාන්තයේ සෙකන්දරාබාද් නගරයේ හමුදාවට බැඳීමට අපේක්ෂාවෙන් සිටි තරුණ අපේක්ෂකයන් සිය ගණනක් දුම්රිය ස්ථානයකට ඇතුළු වී එහි නවතා තිබූ මැදිරි ගිනිබත් කරමින් කඩ සාප්පුවලට හානි සිදු කරමින් ප්‍රචණ්ඩ ආකාරයෙන් හැසිරුණු බව මාධ්‍ය වාර්තා කර තිබුණා. දුම්රිය ස්ථානයට ඇතුළු වූ පිරිස ඊටත් වඩා වැඩි බව ඇතැමුන් ගේ අදහස යි. ඉන්පසු විරෝධතාකරුවන් දුම්රිය මාර්ගය අවහිර කළ අතර, දුම්රිය ගමනාගමනය පැය ගණනාවක් නවතා දැමීමට කටයුතු කළා. මේ දක්වා පැවති විරෝධතා හේතුවෙන් එක් අයකු මිය ගොස් දහතුන් දෙනෙක් තුවාල ලබා තිබෙනවා.  විරෝධතාකරුවන් සන්සුන් කිරීමේ උත්සාහයක් ලෙස ෆෙඩරල් රජය අවුරුදු 23 දක්වා අපේක්ෂකයන්ට පළමු වසර තුළ පවතින යෝජනා ක්‍රමය යටතේ අයදුම් කිරීමට ඉඩ දී බවත් වාර්තා වෙනවා. 

“අග්නිපත්” වැඩසටහනේ ඇති ආන්දෝලනාත්මක ස්වභාවය කෙසේ වුවත්, තම සුවිශාල හමුදාව තවදුරටත් නඩත්තු කිරීමෙන් ඉදිරියේ දී ප්‍රායෝගික ගැටලු පැන නඟින බව ඉන්දීය රජයට වැටහී අවසන්. යුද තාක්ෂණය තවදුරටත් දියුණු කිරීමේ පියවරක් ලෙස “අග්නිපත්” වැඩසටහන ඉදිරිපත් වන බව මතුපිටින් පෙනෙන යථාර්තය වුවත්, මුළු ලෝකය ම ආර්ථික අර්බුදයකින් බැට කන අවස්ථාවක මෙවැනි තීරණයක් හදිසියේ ම ඉස්මතු වීමත් නොසලකා හරින්නට බැහැ. ඉන්දියාව වැනි ප්‍රබල ආර්ථිකයක් සහ ආරක්ෂාව තර්ජනයක් ඇති රටක් පවා මෙවන් තීරණවලට එළඹෙනවා නම්, කුඩා ආර්ථිකයක් සහ අධික ණය බරක් ඇති ඇතැම් රටවල් දරණ විශාල ආරක්ෂක වියදම් කෙරෙහි නැවත හැරී බැලීමට සිදුවන මොහොතක් එළඹෙනු ඇති.

කවරයේ ඡායාරූපය:

"අග්නිපත්" නිසා කැළඹීමට පත් විරෝධතාකරුවන් සිදු කළ විනාශය - time.news

මූලාශ්‍ර:

www.bbc.com

www.aljazeera.com

 www.businessinsider.in

 www.bbc.com

Related Articles

Exit mobile version