1951 වර්ෂයේ එක්තරා දුක්බර දිනෙක සත් හැවිරිදි වියේ විසූ හෙලෙන් තීසෙන්, “MS Disko” නමැති මගී නෞකාවේ සිට සිය මව්බිම වූ ග්‍රීන්ලන්තය දෙස හැරී බැලුවා. “ඩෙන්මාර්කය” ලෙස හැඳින්වූ එක්තරා ස්ථානයකට නෞකාව යාත්‍රා කරන බව ඇය දැන සිටියත්, මෙවැනි ගමනක් යාමට තම මව ඉඩදුන් හේතුව කුඩා හෙලෙන් දැන සිටියේ නැහැ.
ග්‍රීන්ලන්තයේ ප්‍රධාන නගරය වූ නූක් හි වරායේ සිට නෞකාව දෙස බලා හුන් ඇයගේ මව සහ සහෝදර සහෝදරියන් දෙදෙනාට හරි හැටි සමුගැනීමක්වත් ලබා දීමට හෙලෙන්ට නොහැකි වුණා. දැන් හෙලෙන්ට වයස අවුරුදු 77 ක් වෙනවා. තවමත් ඇය ඒ සමුගැනීම සිහිපත් කරන්නේ හදපිරි ශෝකයෙන්. එදා නැව පිටත් වන විට ඇය සිතුවේ එකම එක ප්‍රශ්නයක් ගැන විතර යි.
“ඇයි අම්මා මට යන්න දුන්නේ..?”
“ලිට්ල් ඩේන්ස්” දරුවෝ
හෙලෙන් තීසන් යනු තමා සමාජ විද්‍යා පර්යේෂණයක අත්හදා බැලීමක් බව නොදැන ග්‍රීන්ලන්තයෙන් රැගෙන ගිය ඉනුයිට් ජාතික දරුවන් 22 දෙනාට අයත් තැනැත්තියක්. අවුරුදු 5-9 අතර වයස්වල පසු වූ ඔවුන්ට නැවත කිසිදාක තම පවුල් සමඟ ජීවත් වීමට අවස්ථාව ලැබුණේ නැහැ. උපන් භූමිය වූ ග්‍රීන්ලන්තයේ සංස්කෘතිය, භාෂාව ආදී සියල්ල ම ඔවුන් ගෙන් ඈත් කරනු ලැබුවා. මේ සියල්ල ම සමාජ විද්‍යා පර්යේෂණයේ අවශ්‍යතා මත සිදු වූ දේවල්. පර්යේෂණයට දායක කරගත් ළමයින් “ලිට්ල් ඩේන්ස්” නමින් හැඳින්වූ නිසා මෙම පර්යේෂණය “ලිට්ල් ඩේන්ස් පර්යේෂණය” යනුවෙන් ද ප්‍රචලිත වුණා.
වර්තමාන ග්‍රීන්ලන්තය ඩෙන්මාර්ක් රාජධානිය තුළ පවත්නා ස්වයං පාලන ප්‍රදේශයක් වන නමුත්, හෙලෙන් කුඩා දැරිවියක් ව සිටි සමයේ දී ඩෙන්මාර්කයේ යටත් විජිතයක් ලෙස ග්‍රීන්ලන්තය පැවතුණා. එකල එහි වැසියන් ඉහළ දරිද්‍රතාවකින්, අඩු ජීවන තත්ත්වයකින් සහ ඉහළ මරණ අනුපාතවලින් පීඩා විඳි අතර, 1950 ගණන් වල දී එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඩෙන්මාර්ක් මහජනතාව සහ ග්‍රීන්ලන්තයේ දේශපාලකයන් දිගින් දිගට ම එල්ල කළ පීඩනය හමුවේ ග්‍රීන්ලන්තයට වේගවත් සංවර්ධනයක් අත්කර දීමට ඩෙන්මාර්ක් පරිපාලනය සැලසුම් සකස් කළා. එහි දී ග්‍රීන්ලන්තයේ සාම්ප්‍රදායික “ඉනුයිට්” ජන සමාජයේ ජීවන රටාව, ඩෙන්මාර්ක් ආකෘතිය වෙතට උකහා ගැනීමේ වැඩපිළිවෙළක් ඩෙන්මාර්ක් පරිපාලනයට අවශ්‍ය වුණා.
ඉනුයිට් ප්‍රජාවගේ සම්ප්‍රදායයන් සහ සංස්කෘතික වටිනාකම්වලට ගෞරවාන්විතව සැලකීමේ නිහතමානීත්වයක් එකල විසූ ඩෙන්මාර්ක් ජාතිකයන් අතර පැවතුණේ නැහැ. ඩැනිෂ්වරුන් අතර ඉනුයිට් ජාතිකයන්ට සමාන තැන හිමිකර දීමට නම්, ඩැනිෂ් භාෂාව සහ ඩෙන්මාර්ක්-යුරෝපීය සංස්කෘතිය ඉගෙන ගැනීම අනිවාර්ය බවට වූ පිළිගැනීමක් එකල තිබුණා. අදාළ සමාජ විද්‍යාත්මක පර්යේෂණය හෝ ව්‍යාපෘතිය නිර්මාණය වුණේ ඒ බලපෑම මත යි.
අනන්‍යතාවය උදුරා ගැනීම
ලිට්ල් ඩේන්ස් පර්යේෂණයේ මුඛ්‍ය අරමුණ වූයේ ඉනුයිට් ප්‍රජාව අතරින් ඩෙන්මාර්ක්-ග්‍රීන්ලන්ත සබඳතා නියෝජනය කරන දර්ශීය උදාහරණ කිහිපයක් බිහි කර ගැනීම යි. ඒ සඳහා ඉනුයිට් ප්‍රජාවගෙන් ගැහැනු දරුවන් නවයක් සහ පිරිමි දරුවන් දහ තුනක් තෝරා ගත් අතර, ඔවුන් ඩෙන්මාර්ක් භාෂාව සහ එහි ජීවන රටාව ඉගෙන ගත යුතු වුණා. ගෞරවාන්විත ව්‍යාපෘතියක් ලෙස ප්‍රචාරය වූ මෙම පර්යේෂණයට ළමා සුබසාධනය සහ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින එක්තරා සංවිධානයක් සිය සහයෝගය ලබා දුන්නා. මුල දී බොහෝ මාපියන් තම දරුවන් ගෙන් වෙන් වීමට කැමැත්තක් දැක්වූයේ නැහැ. නමුත්, එකල ග්‍රීන්ලන්ත ජන සමාජය වෙළා ගෙන තිබූ දරිද්‍රතාව සහ ඩෙන්මාර්ක් සංචාරය කුඩා ළමයින්ට මහඟු ප්‍රතිඵල අත්කර දෙන්නක් බව ඩැනිෂ් බලධාරීන් ඒත්තු ගන්වා තිබූ නිසා මාපියන්ගේ බාධා අවම වුණා.
ඩෙන්මාර්කයට පැමිණි පසු ළමයින් මාස හතරක් දකුණු ෆෙඩෙට් අර්ධද්වීපයේ ෆෙඩ්ගාර්ඩන් නමැති කඳවුරක රැඳවූ අතර, දරුවන්ට ඉනුයිට් ප්‍රජාවගෙන් උරුම වූ ස්වභාෂාව කථා කිරීමත් තහනම් වුණා. ඒ වෙනුවට ඔවුන්ට ඩෙන්මාර්ක් භාෂාව ඉගෙන ගැනීමට සිදු වුණා. අලුත් වටාපිටාව දුටු ළමයින් බියට මෙන්ම පුදුමයටත් පත් වූ බව පැවසෙනවා. ග්‍රීන්ලන්තයේ විශාල වෘක්ෂ දක්නට නොලැබෙන හෙයින්, කඳවුර වසා පැතිරුණු තුරුලතා පවා ළමයින්ට ආගන්තුක හැඟීමක් ගෙන දුන්නා. පර්යේෂණයේ වැදගත්කම තහවුරු කරමින් ඩෙන්මාර්කයේ රැජන පවා මෙම ළමයින් බැලීමට පැමිණි බව පැවසෙනවා.
දහසයක් ග්‍රීන්ලන්තයට..
ඉන්පසු ඔවුන් වසරක් පමණ කැපකරු පවුල් කිහිපයක් ආශ්‍රයේ හැදී වැඩුණු අතර, සංස්කෘතික ශෝධනය දිගින් දිගට ම සිදු වුණා. ඇතැම් දරුවන් කැපකරු පවුල් තුළ ජීවත් වීමේ දී විවිධ කෙණහෙළිකම්වලට මුහුණ දුන් බව ද පැවසෙනවා. උදාහරණයක් ලෙස හෙලෙන් තීසන් භාරගත් ගත් ඩැනිෂ් පවුල ඇය සාදරයෙන් පිළිගත්තේ නැහැ. නිවසේ ගෘහ භාණ්ඩ භාවිත කිරීමේ අවසරය පවා තමාට හිමි නොවූ බව තීසන් පවසනවා. ඇයගේ දෙවන කැපකරු පවුල කාරුණික වූ අතර, තීසන් පවුලේ ම කොටසක් ලෙස සැලකීමට එම කැපකරු මාපියන් ක්‍රියා කළා. මෙම කරුණු දෙස බැලීමෙන් පෙනී යන්නේ ළමයින්ගේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් එකල ඩැනිෂ් රජය එතරම් සැලකිල්ලක් නොදැක්වූ බව යි.
නොදැනුම්වත්ව ම පර්යේෂණයක වින්දිතයන් බවට පත් වූ මෙම ළමයින්ට ඩැනිෂ් සංස්කෘතිය බලෙන් කාවැද්දවීමක් සිදු කළා. ඉනුයිට් උරුමය සෝදා හැරීමකට ලක් කළ නිසා ඔවුන්ගේ අනන්‍යතාව ඔවුන්ට අහිමි වුණා. මෙම ළමයින් විසිදෙනා අතුරින් අඩු වරප්‍රසාදිත පසුබිමක සිටි ළමයින් 16 දෙනෙක් වසරකට මඳක් වැඩි කාලයක් ගත වූ පසු නැවත ග්‍රීන්ලන්තය වෙත පැමිණි අතර, ඉතිරි දරුවන් සයදෙනා දිගට ම ඩෙන්මාර්කයේ භාරකාර මව්පියන් ආශ්‍රයේ හැදී වැඩුණා. සමාජ විද්‍යා පර්යේෂණයේ භයානකම අවස්ථාව එළඹුණේ එතැන් සිට යි. මව්බිමට පෙරළා පැමිණි ළමයින් 16 දෙනාට නැවත සිය මාපියන් සමඟ එක්වීමේ අවස්ථාව ලැබුණේ නැහැ. ඒ වෙනුවට ඔවුන් අනත්දරු නිවසක රැඳවූ අතර, ග්‍රීන්ලන්තයේ පිහිටි ඩැනිෂ් භාෂා පාසලකට යවනු ලැබුවා.
මව්බිමේ කොන් වූ “ප්‍රභූවරුන්”
පාසල් කාලය අතරතුර දී ඔවුන්ට අනෙකුත් ස්වදේශික ළමයින් සමඟ සෙල්ලම් කිරීමට හෝ ස්වදේශික භාෂාව කථා කිරීමේ අවස්ථාව ලැබුණේ නැහැ. ළමයින් 16 දෙනා “ප්‍රභූවරුන්” ගේ මට්ටමින් සැලකූ නිසා පාසල් පරිපාලනය ඔවුන් වෙන ම කණ්ඩායමක් ලෙස තබා ගැනීමට ක්‍රියා කළා. එයින් ඇතිවූ ප්‍රතිඵලය ඉතා භයානක වූවා. දේශීය භාෂාව කතා කිරීමේ තහනම නිසා ඔවුන් සාම්ප්‍රදායික ග්‍රීන්ලන්ත සමාජයෙන් කොන් වූ අතර, පවුල පවා අහිමි වීමේ පසුබිම මැද ඔවුන් පහසුවෙන් ම මානසික ආතතියට ගොදුරු වුණා.
ස්වල්ප මොහොතකට සිය මව දැකබලා ගැනීමේ අවස්ථාව හෙලෙන් තීසන්ට හිමි වූ අවස්ථාවේ දී ඇය පත් වූ අසරණභාවය ඒ “කොන් වීමේ” දරුණුකම කියා පානවා. නූක් නගරයේ වෙරළ තීරය අසල දී සිය මව එනතුරු පෙරමඟ බලා සිටි අන්දම තීසන්ට අදටත් මතක යි.
“මම මගේ ගමන් මල්ල බිම දමා ඔවුන් වෙත දිව ගියේ මා අත්දුටු සියල්ලම පවසමින්. ඒත් අම්මා මට උත්තර දුන්නේ නැහැ.”
ඒ වනවිට තීසන්ගේ ඉනුයිට් භාෂා දැනුම දුර්වලව ගොස් ඩැනිෂ් භාෂා දැනුම වර්ධනය වී තිබුණා. අවසානයේ දී සිය මව සමඟ සන්නිවේදනය කිරීමේ හැකියාව කුඩා තීසන්ට අහිමි වුණා. ඩෙන්මාර්කයේ දී වසරකට මඳක් වැඩි කාලයක් මුළුල්ලේ ඔවුන් මත ක්‍රියාත්මක වූ මොළ ශෝධනය එතරම්ම දරුණු යි!
හෙලෙන් තීසන්ට සිය මව සමඟ රැඳෙන්නට ලැබුණේ මිනිත්තු 10 ක් වැනි කෙටි කාලයක් පමණ යි. ළමයින් 16 දෙනා බලා ගත් ඩෙන්මාර්ක් ජාතික හෙදිය තීසන් අනත්දරු නිවසට නැවත රැගෙන ගියා.
“අනත්දරු නිවසට යනතුරුම මං හිටියේ හැඬූ කඳුළින්. උපන් නගරය ආපසු දකින්න මං ගොඩක් ආශා කළා. ඒත් කදුළු අතරින් මට කිසිවක් පෙනුණේ නැහැ.”
පර්යේෂණය අසාර්ථක යි.
ග්‍රීන්ලන්තය “ඩෙන්මාර්ක්කරණය” කිරීමේ සමාජ විද්‍යා පර්යේෂණය අවසානයේ දී අසාර්ථක වුණා. අදාළ ළමයින් 16 දෙනාගෙන් ග්‍රීන්ලන්ත ජන සමාජයට බලපෑමක් එල්ල නොවූ තරම්. ඒ වෙනුවට ඔවුන් දිගින් දිගට ම ඉනුයිට් ප්‍රජාව තුළ ආගන්තුකයන් බවට පත් වුණා. බොහෝ දරුවන් වැඩිවියට පත් වූ පසු සිය ආගන්තුක හැඟීමෙන් ගැලවීම පිණිස නැවත ඩෙන්මාර්ක් රාජ්‍යය වෙත පැමිණියා. ඩෙන්මාර්කයේ ජීවිතය ඔවුන්ට පහසු වුණේ නැහැ. බොහෝ දෙනෙක් රැකියා විරහිත වූ අතර, දුෂ්කර කාල පරිච්ඡේදයකට මුහුණ දුන්නා. එහි අවසාන ප්‍රතිඵලය ලෙස නැවත ඩෙන්මාර්කය වෙත පැමිණි පිරිසෙන් අඩක් පමණ මානසික රෝග හෝ මත්ද්‍රව්‍ය භාවිතයට නතු වුණා.
මෙම පර්යේෂණයේ වින්දිතයන් බවට පත් වූ සාමාජිකයන් 22 ගෙන් හය දෙනකු දැනට ජීවතුන් අතර සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. 76 හැවිරිදි ක්‍රිස්ටීන් හයිනසන් යනු පර්යේෂණයේ අඳුරු මතක මැද තවමත් ජීවන හුස්ම හෙළන සය දෙනාට අයත් තැනැත්තියක්.
“ඩෙන්මාර්ක් රජය අපේ අනන්‍යතාව සහ අපේ පවුල් උදුරා ගත්තා!”
කෝපන්හේගන් නගරයේ සුසාන භූමියක ඇවිද යන අතරේ සමාදානයේ සැතපුණු “ලිට්ල් ඩේන්ස්” වින්දිතයන්ගේ මතකය ආවර්ජනය කරමින් ඇය ඩෙන්මාර්ක් රජයට ඍජුවම චෝදනා කර සිටිනවා.
පමා වී ඉල්ලූ සමාව
2015 දී සමාජ විද්‍යා අත්හදා බැලීමට සහයෝගය ලබා දුන් රාජ්‍ය නොවන සංවිධානය, පර්යේෂණයේ දී තමා ඉටු කළ කොටස සම්බන්ධයෙන් සමාව අයැද සිටියා. ඒ සමඟ ම අතීතයේ සිදු වූ අසාධාරණය වර්තමානයේ දී හෝ නිවැරදි කිරීමට උත්සහ ගන්නා ප්‍රචාරක කණ්ඩායම් ඩෙන්මාර්කය තුළ බිහි වීම ඇරඹුණා. ඉන් වසර පහකට පසු ප්‍රචාරක කණ්ඩායම්වලින් එල්ල වූ පීඩනය හමුවේ ඩෙන්මාර්ක් රජය ද සිදුවීම සම්බන්ධයෙන් සමාව අයැද සිටියා.
කෙසේ නමුත්, දැනට ජීවතුන් අතර සිටින වින්දිතයන් සයදෙනා සඳහා වන්දි ගෙවීමේ යෝජනාව ප්‍රතික්ෂේප වූ හෙයින්, වින්දිතයන්ගේ නීතිඥවරයා 2021 දෙසැම්බර් අග දී කෝපන්හේගන් දිස්ත්‍රික් උසාවියේ නඩුවක් ගොනු කළා. එහි දී ඩැනිෂ් ක්‍රෝනර් 250,000 වන්දි ඉල්ලීමක් සිදු කර තිබුණා. මානව හිමිකම් පිළිබඳ යුරෝපීය සම්මුතියේ 8 වැනි වගන්තිය යටතේ පැමිණිලිකරුවන්ගේ පුද්ගලික සහ පවුල් ජීවිතයට ඇති අයිතිය මෙන් ම, වත්මන් ඩෙන්මාර්ක් නීතියට අනුව මානව හිමිකම් උල්ලංඝණය වීමක් ඩෙන්මාර්ක් රජයෙන් සිදු වූ බවත් එහිදී චෝදනා කෙරුණා.
සමාව සහ නිසි ගෞරවය
ඩෙන්මාර්ක් රජය පසුගිය සතියේ දී අදාළ වන්දි මුදල් ජීවතුන් අතර සිටින වින්දිතයන් සඳහා ගෙවීමට එකඟ වුණා. සමාජ විද්‍යා පර්යේෂණය පොදුවේ ග්‍රීන්ලන්තය සහ ඩෙන්මාර්කය මුහුණ දුන් අඳුරුත ම කාල පරිච්ඡේදයක් බව එරට සමාජ සහ වයස්ගත පුද්ගලයන්ගේ කටයුතු පිළිබඳ අමාත්‍ය ඇස්ට්‍රිඩ් ක්‍රාග් ප්‍රකාශ කර තිබුණා.
වත්මන් ඩෙන්මාර්ක් රජය අතීත අපකීර්තිය හමුවේ මීට පෙර සමාව අයැද තිබුණත්, වන්දි මුදල් පිරි නැමීමට තීරණය කළ පසු වින්දිතයන් මුහුණට මුහුණ හමුවී නැවත සමාව අයැදීමට තීරණය කළා. ඒ අනුව කෝපන්හේගන් නගරයේ පිහිටා ඇති ඩෙන්මාර්ක් ජාතික කෞතුකාගාරයේ පැවති නිල උත්සවයේ දී ජීවතුන් අතර සිටින වින්දිතයන් හමු වී පෞද්ගලික ව සමාව අයැදීමට එරට අගමැතිනි මෙටේ ෆෙඩ්රික්සන් ක්‍රියා කර තිබුණා.
“ඔබ සියලු දෙනා අත්විඳි දේවල් ඉතා භයානක යි. එය හදවතක් නැති, අමානුෂික මෙන්ම අසාධාරණ ක්‍රියාවක්.”
උත්සවය අතරතුරේ දී වින්දිතයන් අමතමින් මෙටේ ෆ්‍රෙඩ්රික්සන් පවසා සිටියා.
දශක කිහිපයක ඇවෑමෙන් හෝ “ලිට්ල් ඩේන්ස්” දරුවන්ට නිසි ගෞරවය ලබා දී සාධාරණත්වය ඉටු කිරීමට ඩෙන්මාර්ක් රජය ගත් තීරණය සැබැවින්ම මානුෂික ක්‍රියාවක්. එවැනි ක්‍රියා හරහා වත්මන් සමාජයට යහපත් ආදර්ශ සැපයෙන අතර, ඉතිහාසයේ අඳුරුතම අවස්ථා නැවත නැවත සිදුවීමේ සම්භාවිතාවයත් හීන වී යනවා.