යුක්‍රේනය හරහා රුසියාව යුරෝපයට “ගෑස් පෙන්වන” හැටි

යුක්‍රේනයේ ඩොන්බාස් කලාපය ආක්‍රමණය කිරීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටීන් එරට හමුදාවට නියෝග නිකුත් කිරීමත් සමඟ යුක්‍රේනය එක ම යුද පිටියක් බවට පරිවර්තනය වෙමින් තිබෙනවා. ආක්‍රමණයට නියෝග නිකුත් කිරීමෙන් ස්වල්ප මොහොතකට පසු එරට අගනුවර වන කිව් ඇතුළු ප්‍රධාන නගර කිහිපයක පිපිරුම් වාර්තා වී තිබුණා. යුදමය තත්ත්වය දිගින් දිගට ම පැවතුණහොත්, මෑත කාලයේ සිදු වූ විශාලත ම යුද ගැටුමක් වශයෙන් යුක්‍රේන-රුසියා අර්බුදය ඉතිහාසයට එක් වේවි. දෙරටේ යුද උණුසුම ලෝකයට ම බලපාන ගෝලීය ගැටලුවක් බවට පත්වෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ.

එහි ප්‍රතිඵල දැනටමත් ලෝක ප්‍රජාවට දැනෙමින් තිබෙනවා. යුක්‍රේනය ආක්‍රමණය කිරීම සඳහා රුසියානු ජනපති අවසර ලබාදීමත් සමඟ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් සියය ඉක්මවා ගොස් තිබීම ඊට සැපයිය හැකි කදිම උදාහරණයක්. මෙවැනි වාර්තාගත මිල ඉහළ යෑමක් සිදු වුණේ 2014 සැප්තැම්බර් මාසයෙන් පසුව යි.

රුසියාව යනු බලශක්ති ක්ෂේත්‍රය හමුවේ ලෝකය තුළ වැදගත් භූමිකාවක් ඉටු කරන රාජ්‍යයක්. මේ හේතුව නිසා ලෝක දේශපාලනය තුළ ඔවුන් දක්වන හැසිරීම් ගෝලීය ආර්ථිකයට බෙහෙවින් බලපානවා. නමුත්, එය සිදුවන්නේ කොහොම ද? මේ ඒ ගැන කරන සොයා බැලීමක්.

රුසියාවෙන් ආනයනය කරන ස්වභාවික වායු පරිභෝජනය කරන ප්‍රමුඛ යුරෝපීය රටවල් –  www.forbes.com 

බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්තයෙක්

රුසියාවේ පිටුබලය ලබන බෙදුම්වාදීන් සිටින “ඩොනෙට්ස්ක්” සහ “ලුහාන්ස්ක්” කලාප දෙක ස්වාධීන රාජ්‍ය ලෙස රුසියාව පිළිගෙන තිබෙනවා. ඒ සමඟ ම සිදු කළ ආක්‍රමණය හේතුවෙන් එම කලාප තුළ රුසියානු බල අධිකාරිය ඉතා ප්‍රබල මට්ටමින් ස්ථාපිත වෙමින් පවතිනවා. 2014 පටන් පැවත ගෙන එන රුසියානු-යුක්‍රේන යුද උණුසුමේ උච්චත ම අවස්ථාව මෙය බව වඩාත් පිළිගැනෙන අතර, ඒ හේතුවෙන් ඛනිජ තෙල් සැපයුම බරපතළ ලෙස අවහිර වීමේ අවදානමක් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑම කෙරෙහි වඩාත් බලපා ඇත්තේ මෙම බිය යි. රුසියාව යනු ලෝකයේ දෙවැනි විශාලත ම බොරතෙල් නිෂ්පාදකයා ලෙස වැජඹෙන රාජ්‍යය යි. ස්වභාවික වායු අපනයනය අතිනුත් ඔවුන් ඉදිරියෙන් ම සිටින ජාතියක්. ලෝක බලශක්ති අවශ්‍යතාව උදෙසා සැලකිය යුතු දායකත්වයක් රුසියාවට ලබාදිය හැකි නම් එය අඩාල කිරීමේ හැකියාවත් ඔවුන් සතු යි.

2014 සිට බොරතෙල් මිලෙහි උච්චාවචනය. වත්මන් අර්බුදයත් සමඟ බොරතෙල් මිල නැවතත් අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ගියා – www.bbc.com 

රුසියාවේ ක්‍රියාකලාපයට එරෙහිව එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් ගන්නා පියවර ද (සම්බාධක වැනි) ලෝක බොරතෙල් සහ ස්වභාවික වායු සැපයුමට බලපෑම් එල්ල කිරීමේ හැකියාවක් පවතිනවා.

බටහිර රාජ්‍ය සම්බාධක පැනවීමට ක්‍රියා කළහොත්, එයට ප්‍රතිචාරයක් වශයෙන් යුරෝපයට ලබා දෙන ගෑස් සැපයුම අඩාල කිරීම හරහා ව්ලැදිමීර් පුටින්ට රුසියාව සතු ස්වභාවික සම්පත් ආයුධ බවට පත් කිරීමේ හැකියාව තිබෙනවා. රුසියානු සැපයුම් මත යැපෙන එක් රටකට අඩු ගෑස් ප්‍රමාණයක් ලැබේ නම්, හිඟ ඉල්ලුම පියවීම සඳහා ඔවුන්ට වෙනත් ක්‍රම ප්‍රතිස්ථාපනය කිරීමට සිදුවන අතර, එම ක්‍රියාවලිය අනෙකුත් රටවල ගෑස් සැපයුමටත් බලපානවා.

නෝර්ඩ් ස්ට්‍රීම් නළ පද්ධතියේ ගමන් මාර්ගය – www.bbc.com

නෝර්ඩ් ස්ට්‍රීම් අර්බුදය

මේ අයුරින් රුසියාවේ නිපදවෙන ස්වභාවික වායු යුරෝපයට ගෙන එන ප්‍රධාන මාර්ගයක් ලෙස “නෝර්ඩ් ස්ට්‍රීම්” සැලකිය හැකි යි. බෝල්ටික් මුහුද යටින් රුසියාවේ සිට ජර්මනිය දක්වා දිවෙන මෙම නළ මාර්ග පද්ධතිය අදියර දෙකකින් සමන්විත යි. 2011-2012 කාල පරාසයේ දී එහි පළමු අදියර වූ “නෝර්ඩ් ස්ට්‍රීම්-1” මෙහෙයුම් කටයුතු ඇරඹූ අතර, “නෝර්ඩ් ස්ට්‍රීම්-2” ලෙස නම් කළ ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ ඉදි කිරීම් කටයුතු පසුගිය සැප්තැම්බරයේ දී අවසාන වුණා.

මේ වනවිටත් මෙහෙයුම් කටයුතු සිදුවන නෝර්ඩ් ස්ට්‍රීම් නළ පද්ධතියෙන් යුරෝපයට ලැබෙන ස්වභාවික වායු ධාරිතාව කියුබික් මීටර් බිලියන 55 ට ආසන්න යි. මෑතක දී වැඩ කටයුතු අවසාන කළ “නෝර්ඩ් ස්ට්‍රීම්-2” හරහා එම ධාරිතාව දෙගුණ කිරීමට අපේක්ෂා කර තිබුණා. ඒ අනුව යුරෝපා සංගමයට අයත් රටවල් වාර්ෂිකව භාවිත කරන ගෑස් ධාරිතාවයෙන් හතරෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් “නෝර්ඩ් ස්ට්‍රීම්” ව්‍යාපෘතිය හරහා සැපයීමට නියමිත යි.

ඇන්ජෙලා මර්කල් ජර්මනියේ චාන්සලර් ධූරය හෙබ වූ සමයේ මෙම ව්‍යාපෘතියට විශාල වැදගත්කමක් ලබා දුන්නා. ජර්මනිය ඒ වනවිටත් සිය ගෑස් අවශ්‍යතාවයෙන් 35% ක් රුසියාවෙන් ආනයනය කළ හෙයින්, “නෝර්ඩ් ස්ට්‍රීම්-2” අදියර හරහා තවදුරටත් ගෑස් සැපයුම වැඩි දියුණු කිරීමට උත්සහ කළා. කෙසේ නමුත්, එක්සත් ජනපදය, යුක්‍රේනය සහ අනෙකුත් නැගෙනහිර යුරෝපීය රාජ්‍ය මුල සිට ම “නෝර්ඩ් ස්ට්‍රීම්” ව්‍යාපෘතියට දැඩි විරෝධයක් දැක්වූවා. මෙම නළ මාර්ග පද්ධතිය හරහා යුරෝපයට එල්ල වෙන රුසියානු බලපෑම වර්ධනය වීමේ අවදානමක් පැවතීම ඊට හේතුව යි.

රුසියාව හමුවේ යුක්‍රේනයේ ස්වාධීනත්වය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතිනවා – www.aljazeera.com 

ඕලාෆ් එකඟ වෙයි 

ඩොලර් බිලියන 11 ක පිරිවැයක් දරා ඇති “නෝර්ඩ් ස්ට්‍රීම්-2” ව්‍යාපෘතිය හේතුවෙන් කලක පටන් ජර්මනිය සහ එක්සත් ජනපදය අතර විරසකයක් පවතිනවා. රුසියාව යුක්‍රේනයට කවදා හෝ එරෙහි වුවහොත්, නළ මාර්ගයේ අනාගතය අවදානමට ලක් වනු ඇතැයි එක්සත් ජනපදය අනතුරු හඟවා තිබූ අතර, වොෂින්ටන් පාලනය සහ නැගෙනහිර යුරෝපීය රටවල් සති ගණනාවක් වත්මන් ජර්මානු චාන්සලර්වරයාට (ඕලාෆ් ෂෝල්ස්) බලපෑම් එල්ල කළා. අදාළ නළ මාර්ගය තැනීමට භාර ව සිටින සමාගම වන “Nord Stream 2 AG” සහ එහි ප්‍රධානීන්ට සම්බාධක පනවන බව ජො බයිඩන් ප්‍රකාශ කර සිටියේ මෙවැනි පසුබිමක් මැද යි. එම සමාගම ස්විස්ටර්ලන්තයේ ලියාපදිංචි කර ඇතත්, “Nord Stream 2 AG” හි මව් සමාගම වන්නේ රුසියානු රජයට අයත් බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වන “Gazprom” සමාගම යි.

අවශ්‍යතාව කුමන මට්ටමින් පැවතුණත්, උද්ගත වූ රුසියා-යුක්‍රේන අර්බුදය සහ ජාත්‍යන්තරයෙන් එන ඉල්ලීම් හමුවේ ජර්මන් පාලනය “නෝර්ඩ් ස්ට්‍රීම්-2” නළ මාර්ගයේ මෙහෙයුම් බලපත්‍රය ලබා දීම නවතා තිබෙනවා. මෙම පියවර රුසියාවට දෙන දඬුවමක් ලෙස එක්සත් ජනපද කඳවුර අර්ථ දක්වා තිබුණත්, එයින් රුසියාවට දැනෙන බලපෑමක් සිදුවේයැ යි සිතීම උගහට යි. ජර්මනිය ඇතුළු බටහිර යුරෝපීය රටවලට නම් එමඟින් සැලකිය යුතු පාඩුවක් සිදු වනු ඇති.

ජර්මනියේ තීරණයට මේ වනවිට මිශ්‍ර ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. එයින් වඩාත් කැපී පෙනෙන ප්‍රතිචාරය වන්නේ රුසියාවේ හිටපු ජනපති දිමිත්‍රි මෙද්වදෙව් තබා තිබූ පහත අර්ථයට සමීප ට්විටර් සටහන යි.

“යුරෝපීයන්ට ඉතා ඉක්මනින් ස්වභාවික වායු ඝන මීටර් 1000 ක් සඳහා යුරෝ 2000 ක් ගෙවීමට සිදු වනු ඇත. නිර්භීත නව ලෝකයට සාදරයෙන් පිළි ගනිමු.”

මේ අතර ජර්මනියේ තීරණය පැසසුමට ලක් කරමින් යුක්‍රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලෙබා ද ට්විටර් සටහනක් තබා තිබුණා. “නෝර්ඩ් ස්ට්‍රීම්-2” මෙහෙයුම් කටයුතු නොඇරඹීම සදාචාරාත්මක, දේශපාලනික සහ ප්‍රායෝගිකව ගත් නිවැරදි පියවරක් ලෙස යුක්‍රේන විදේශ අමාත්‍යවරයා දක්වා තිබුණා.

විකල්ප බලශක්ති සැපයුම්කරුවෙක් යුරෝපා කොමිසම සොයන්නේ කලක පටන්. නමුත්, රුසියාව තරම් ඔවුන්ට වෙනත් සුදුස්සෙක් නැහැ – ecfr.eu 

රුසියාවට සම කළ හැකි විකල්පයක්..?

වසර කිහිපයක පටන් ස්වභාවික වායු, පෙට්‍රෝලියම් ඇතුළු යුරෝපයේ බලශක්ති ඉල්ලුම සැපිරීමේ ප්‍රගතිය පැවතුණේ තරමක අවම මට්ටමක යි. “නෝර්ඩ් ස්ට්‍රීම්-2” හරහා අපේක්ෂිත ප්‍රගතිය යම් මට්ටමකට ගෙන ආ හැකි වුවත්, දිනෙන් දින දරුණු අතට හැරෙන යුක්‍රේන-රුසියා අර්බුදය හමුවේ ජර්මනිය සිය ස්ථාවරය දිගින් දිගට ම පවත්වා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ගැටුම උග්‍ර වුවහොත්, යුරෝපයේ බලශක්ති ඉල්ලුමේ ඌන පූර්ණය මැද පෙරදිග කලාපය හරහා සපයා දීමට අමෙරිකා එක්සත් ජනපදය සැලසුම් කරමින් සිටිනවා. එහෙත්, කටාර් රාජ්‍යය පවසා සිටින්නේ රුසියාව නිසා අහිමි වන සැපයුම් ප්‍රතිස්ථාපනය කිරීමේ හැකියාවක් තමාට හෝ වෙනත් කිසිදු රටකට නොමැති බව යි.

යුරෝපා කලාපයේ බලශක්ති අර්බුදය දරුණු වීමේ මූලික ලක්ෂණ මේ වනවිටත් පහළ වෙමින් තිබෙනවා. “ඉන්වෙස්ටෙක්” බැංකු සමූහයේ විශ්ලේෂකයකු වන මාටින් යං පවසන පරිදි එක්සත් රාජධානියේ පමණක් ගෘහස්ථ ඉන්ධන බිල්පත් හි වාර්ෂික අගය පවුම් 3000 දක්වා ළඟා විය හැකි යි. දැනටමත් එක්සත් රාජධානියේ පෙට්‍රල් මිල වාර්තාගත ලෙස ඉහළ යමින් පවතිනවා.

රුසියාව සහ යුක්‍රේනය යනු ලෝකයේ ප්‍රමුඛතම තිරිඟු නිෂ්පාදකයන් දෙපළක්. ඔවුන්ගේ ගැටීම ලෝක ආහාර අවශ්‍යතාවය කෙරෙහිත් යම් බලපෑමක් එල්ල කරනු ඇති – www.statista.com 

යුරෝපයේ පාන් කූඩය

රුසියාවේ සහ යුක්‍රේනයේ තිරිඟු සහ ඉරිඟු මත සැලකිය යුතු මට්ටමකින් යැපෙන තුර්කිය සහ උතුරු අප්‍රිකානු කලාපයත් දැඩි අවදානමකට මුහුණ පාමින් සිටිනවා. ඔවුන්ගේ දෛනික ආහාර වේලක මිල ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බව දැනටමත් අනාවැකි පළ වෙමින් තිබෙන අතර, විකල්ප සැපයුම්කරුවකු දෙසට හැරුණත්, ඉන්ධන අර්බුදයෙන් මිදිය නොහැකි නිසා ආහාර මිල ඉහළ යෑම වැලැක්විය නොහැකි යි. යුක්‍රේනය ඇතැම් විටෙක “යුරෝපයේ පාන් කූඩය” ලෙසත් හඳුන්වනවා. රුසියාව සහ යුක්‍රේනයේ තිරිඟු නිෂ්පාදනය එකට සැලකීමේ දී ලෝක තිරිඟු අවශ්‍යතාවෙන් හතරෙන් එකකට ආසන්න ප්‍රමාණයක් පැමිණෙන්නේ මේ රටවල් ද්විත්වයෙන්.

යුක්‍රේනය සහ රුසියාව අතර පවත්නා ගැටුමේ වක්‍රාකාර බලපෑම් මුලින් ම එල්ල වන්නේ යුරෝපයට වුවත්, ලෝකයේ අනෙක් කලාපවලට එම බලපෑමේ අවම වීමක් සිදු වන්නේ නැහැ. සැපයුම් හිඟය හමුවේ යුරෝපය වෙනත් අපනයනකරුවන් වෙත යොමු වීමේ ප්‍රවණතාවක් ඉබේම ඇති වන හෙයින්, ඔවුන්ගේ විකල්ප සැපයුම්කරුවන් ස්ථිර සැපයුම්කරුවන් ලෙස පත් කරගෙන සිටින රටවලටත් බලපෑම් එල්ල විය හැකි යි. ඒ අනුව රුසියාවට සම කළ හැකි විකල්ප බලශක්ති සැපයුම්කරුවකු වෙත යොමු වීමේ යුරෝපා සැලසුම අසාර්ථක වීමේ වැඩි ඉඩක් පවතිනවා. ඔවුන් වෙනත් සැපයුම්කරුවන් දෙසට හැරුණත්, සිදු වන්නේ වෙළඳපොළ තවත් තරගකාරී වීම පමණ යි. එවිට දැඩි ණය අර්බුදයකින් පෙළෙන අප්‍රිකානු සහ ඇතැම් දකුණු ආසියාතික රටවල් කබලෙන් ළිපට වැටීම වැලැක්විය නොහැකි යි.

කවරයේ ඡායාරූපය: රුසියානු-යුක්‍රේන ගැටුම ලෝකයේ නවතම බලශක්ති අර්බුදය බවට පත් වෙමින් තිබෙනවා - www.ft.com

මූලාශ්‍ර: 

 www.bbc.com

indianexpress.com

www.aljazeera.com

Related Articles

Exit mobile version