Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නසා ගන්නට තැත් කළ ජීවිතයක් වෙනස් කළ මිනිත්තු 90ක්

කෙවින් බර්තියාමීට වසර 17 කට පමණ පෙර  ගත කළේ බොහොම දුෂ්කර ජීවිතයක්. ජීවන වියදම ඉහළ මට්ටමකින් පවතින සැන් ෆ්‍රැන්සිකෝ නගරයේ ජීවත් වූ ඔහුට නොමේරූ ළදරු දියණියක් ද සිටියා. ඇය ගේ රැකවරණය සඳහා අවශ්‍ය වූ වෛද්‍ය වියදම පමණක් ඩොලර් 250,000 ට ආසන්න වූ අතර, ණය බරින් මිරිකී සිටි බර්තියාට ජීවිතයේ ස්ථාවරත්වයක් ගැන සිතීමට අවකාශයක් නොවූ තරම්. මානසික ආතතියෙන් පරිපීඩිත වූ කෙවින් බර්තියා, 2005 මාර්තු 11 වැනිදා යම් තීරණයකට එළඹුණා. සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට ආභරණයක් බඳු වූ “ගෝල්ඩන් ගේට්” පාලම වෙත ගමන් කළ ඔහු, පාලම මතින් පැන සිය දිවි නසා ගැනීමට උත්සහ කළා.

“2005 මාර්තු 11 ට පෙර මං කවදාවත් ඒ පාලම වෙත ගොස් තිබුණේ නැහැ. එතනට යන්නේ කොහොමද කියලවත් මං දැනගෙන හිටියේ නැහැ. ඉතින් මට පාලම වෙත යන විදිහ අහන්නත් සිද්ධ වුණා.”

සිය ජීවිතයේ අඳුරුත ම දිනය ගැන බර්තියා මතකාවර්ජනය සිදු කළේ එලෙසින්.

සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට ආභරණයක් බඳු ගෝල්ඩන් ගේට් පාලම සියදිවි නසා ගැනීම්වලට ප්‍රසිද්ධියක් උසුලනවා – www.history.com 

බර්තියාගේ ළමා කාලය එතරම් යහපත් ව ගෙවුණේ නැහැ. ඔහු දරුකමට හදා ගත් මාපියන් බර්තියාට වයස අවුරුදු 12 සපිරෙද්දී නීතියෙන් වෙන් වූ නිසා ජීවිතය වඩාත් දුෂ්කර වුණා. ඉන්පසු අඩු වයසින් පිය පදවිය ලැබූ කෙවින් බර්තියාට සිය නොමේරූ ළදරුවා සමඟ ජීවන අරගල‍යේ නිරත වීමට සිදු වුණා.

කෙවින් වැලකූ කෙවින්

බර්තියා තමාගේ හැඟීම් කිසිවකු සමඟ කතා කර තිබුණේ නැහැ. ඔහුගේ ඇතුළාන්තයේ තිබූ පීඩනය ඔහු ම දරා ගත් අතර, තමා මානසික අවපීඩනයෙන් පෙළෙන බවත් බර්තියා පිළිගත්තේ නැහැ.

“මං පැමිණියේ කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ් ප්‍රදේශයෙන්. කීර්තිය මත තමයි එහි සෑම දෙයක් ම ගොඩ නැඟී තිබුණේ. ඒ නිසා මං හොඳින් ජීවිතය ගත කරන බව හැමෝට ම ඒත්තු ගැන්වුවා. නමුත්, මං සිටියේ වෙහෙසට පත් වෙලා. මට තවදුරටත් මේ විදිහට ජීවිතය ගෙන යන්නට හැකියාවක් තිබුණේ නැහැ.”

ඒ අවස්ථාවේ දී බර්තියා දුටු එකම විසඳුම ක්‍රියාත්මක කිරීම සඳහා ඔහු ගෝල්ඩන් ගේට් පාලම වෙත ඇවිද ගියා.

“ඒයි..ඔහොම පොඩ්ඩක් ඉන්න!”

පාලමේ යකඩ වැට උඩින් කෙසේ හෝ අනෙක් පසට මාරු වූ වහාම බර්තියාට කිසියම් ආගන්තුකයකුගේ කටහඬක් ඇසුණා. සිය ජීවිතය අවසන් කර ගැනීමට යන බව දැන දැනත්, බර්තියා ඒ කටහඬ හමුවේ යකඩ වැට අල්ලා ගෙන මොහොතකට නතර වුණා. කවරයේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඉන් මොහොතකට පසු කෙවින් බර්තියා සිටි ඉරියව්ව යි.

ගෝල්ඩන් ගේට් පාලමේ ආරක්ෂකයා ලෙස බ්‍රිග්ස් ලැබූ ආත්ම තෘප්තිය සුළුපටු නැහැ – www.uwec.edu 

බර්තියා මොහොතකට නතර කළ ඒ කටහඬේ අයිතිකරු වන්නේ කෙවින් බ්‍රිග්ස්. ඔහු කැලිෆෝනියාවේ අධිවේගී මාර්ග ආශ්‍රිත ව මුර සංචාරයේ යෙදෙන නිලධාරියකු වශයෙන් එකල සේවය කළා. මොහොතකටවත් කලබල නොවූ බ්‍රිග්ස් යකඩ වැට මත හේත්තු වී බර්තියා සමඟ සංවාදයක් ඇරඹීමට උත්සහ කළා. බර්තියා සිටියේ ඉතාම අවදානම් ස්ථානයක නිසාත්, සුළු කලබල වීමකින් පවා සිය දිවි තොර කර ගැනීමේ තීරණයට බර්තියා නැවත තල්ලු විය හැකි නිසාත්, බ්‍රිග්ස්ට බොහොම ඉවසීමෙන් කටයුතු කිරීමට සිදු වුණා.

ජීවිතාශාව ඇති කළ මිනිත්තු 90

බ්‍රිග්ස් සහ බර්තියා අතර ඇතිවූ සංවාදය මිනිත්තු අනූවකට මඳක් වැඩි වූ අතර, එම කාලයෙන් වැඩි ප්‍රමාණයක් ලබා ගත්තේ බර්තියා යි. බ්‍රිග්ස් තරම් හොඳ ඇහුම්කන් දෙන්නෙක් බර්තියාට මීට පෙර හමු වී තිබුණේ නැහැ. බර්තියාගේ ජීවිත කතාව විනිශ්චයකින් තොර ව සාවධාන ව අසා සිටීමෙන් පසු බ්‍රිග්ස්ගේ වාරය පැමිණියා. බර්තියා යථාර්තය මත නැවතත්  පිහිටුවීමට ඔහු බලවත් උත්සාහයක් ගත්තා. බර්තියාගේ දියණිය වෙත අවධානය යොමු කරවමින් ඔහුගේ ජීවිතයේ වැදගත් දේවල් පිළිබඳ ව හැඟීමක් ඇති කිරීමට බ්‍රිග්ස් උත්සහ කළා. සිය දියණියගේ පළමු උපන්දිනය එළඹෙන මාසයේ යෙදී ඇති බවත් බර්තියාට සිහිපත් වුණේ එවිට යි.

“ජීවිතය ගැන ආපහු බලාපොරොත්තුවක් ඉපදුණා. මම මගේ දෑත් ඔහු වෙත ළං කළ වහාම තවත් නිළධාරියෙක්ගේ සහාය ඇතිව ගරාදි වැටෙන් ආපසු පාලම මතට පැමිණෙන්නට ඔවුන් උදව් කළා.”

ජීවිතාසාව නැවත ඉපදුණු සැටි කෙවින් බර්තියා වචනවලට පෙරළුවේ ඒ අයුරින්.

සෑම තැනක ම වාර්තාකරුවන් සිටි නිසා බ්‍රිග්ස් ඇතුළු පොලිස් නිලධාරීන් බර්තියාගේ මුහුණ ආවරණය කිරීමට ක්‍රියා කළා. ඉන්පසු සැන් ෆ්‍රැන්සිස්කෝවේ මහ රෝහල කරා බර්තියා රැගෙන යාමට ඔවුන් උත්සුක වුණා.

දීර්ඝ සංවාදයකින් පසු නැවතත් ජීවිතාශාව ඇති කර ගත් බර්තියා, බ්‍රිග්ස් වෙත තම දෑත් ළං කළා – www.pressdemocrat.com 

වසර අටකට පසු..

කෙවින් බර්තියා ජීවිතයට මුහුණ දීමට නැවතත්  තීරණය කළා. පාලම මත වූ සිදුවීම් සියල්ල තම මතකයෙන් ඈත් කර දැමීමට අවශ්‍ය වූ නිසා ඒ පිළිබඳ කිසිවකු සමඟ කතා නොකිරීමටත් ඔහුට අවශ්‍ය වුණා. කෙසේ නමුත්, බ්‍රිග්ස් සහ බර්තියා අතර ගෝල්ඩන් ගේට් පාලම මත සිදු වූ තීරණාත්මක සංවාදයට අදාළ ඡායාරූපයක් “සැන් ෆ්‍රැන්සිස්කෝ ක්‍රෝනිකල්” නමැති පුවත්පතේ මුල් පිටුවේ පළ වී තිබුණා.

සියදිවි නසා ගැනීම් වැලැක්වීමේ උත්සාහය පිළීබඳ එම ඡායාරූපය සංකේතයක් ආකාරයෙන් ජනප්‍රිය වීම ඇරඹුණු අතර, අනපේක්ෂිත ව ලැබුණු ප්‍රසිද්ධියත් සමඟ ගනුදෙනු කිරීමට බර්තියා කැමති වුණේ නැහැ. බ්‍රිග්ස්ටත් බර්තියාගේ තත්ත්වයට පත් වූ පුද්ගලයන් නැවත හමුවීමට අවශ්‍ය නොවූ බව ඔහු පවසා තිබෙනවා.

කෙවින් බර්තියා සහ කෙවින් බ්‍රිග්ස් ඔවුන්ගේ අත්දැකීම් බෙදාහදා ගැනීම සඳහා සහභාගී වූ වැඩසටහනක ප්‍රචාරක දැන්වීමක් – calendar.santa-clarita.com 

සිදුවීමෙන් වසර අටකට පසු, එනම්, 2013 මැයි මාසයේ දී ඔවුන් දෙපළ දෛවෝපගත ලෙස නැවත හමු වුණා. සියදිවි නසා ගැනීම් වැලැක්වීමේ ජීවිතාරක්ෂකයන් උදෙසා වූ අමෙරිකානු පදනම සංවිධානය කළ රාත්‍රී භෝජන සංග්‍රහයේ දී පොලිස් නිලධාරි කෙවින් බ්‍රිග්ස්ට සම්මානයක් පිරි නැමීමට නියමිත ව තිබූ අතර, එම සම්මානය බර්තියා අතින් පිරිනැමෙන පරිදි කටයුතු සැලසුම් කොට තිබුණා.

“මං ඔහුගේ දෑස් දෙස බැලූ පළමු අවස්ථාව වන්නේ එය යි. පාලම මත දී මං සිටියේ හිස පහත් කරගෙන.”

සිය ජීවිතය වෙනස් මඟකට යොමු කළ ගැලවුම්කරු වසර අටකට පසු හමු වූ මොහොතේ දී බර්තියාට දැනුණේ එවැනි හැඟීමක්.

“අපි අපේ ජීවිතවල එක හා සමාන දේවල් වලට මුහුණ දී තිබෙනවා. ඒත්, මේ තරම් අවදානම් අඩියකට මා වැටී සිටින බව දුටු කෙනෙක් මා සමඟ සිටියේ නැහැ. දියණිය වෙනුවෙන් ජීවත් වීම තමයි මට වැදගත්ම දේ. ඔබ දන්නවා ද, ඇයට දැන් අවුරුදු 10 ක්! ඔබ එදා පාලම මත මා වෙනුවෙන් සිටියේ නැත්නම් ඇය උස් මහත් වෙනවා දකින්න මට ලැබෙන්නේ නැහැ. මං මිනිසුන් බොහෝමයක් මත විශ්වාසය තබා ගෙන සිටින කෙනෙක් නොවෙයි. නමුත්, ඔබ මගේ තත්ත්වය විනිශ්චය කළේ නැහැ. විශ්වාස කළා පමණ යි. වෙනත් කිසිදු මිත්‍රත්වයකට වඩා අපේ මිත්‍රත්වය වෙනස් වන්නේ එතැනින්.”

 තමාගේ ගෞරව පූර්වක ස්තූතිය බ්‍රිග්ස් හමුවේ බර්තියා පැවසුවේ ඒ අයුරින්. කලකට ඉහත පුවත්පතක් හරහා ප්‍රචාරය වූ ඔවුන්ගේ ඡායාරූපයෙන් ඇති වූ බලපෑම බර්තියා දුටු අතර, සිය අත්දැකීම් හරහා ජිවීතාශාව අත් හැරීමට සූදානම් වන මිනිසුන් වෙනුවෙන් යමක් කළ හැකි බවත් බර්තියාට වැටහුණා.

වසර අටකට පසු රාත්‍රී භෝජන සංග්‍රහයක දී ඔවුන් නැවත මුණ ගැසුණා – www.dailymail.co.uk 

කෙවින් බර්තියා පදනම

වර්තමානයේ දී කෙවින් බර්තියා සිය දිවි නසා ගැනීම් වැලැක්වීමේ උපදේශකවරයකු වශයෙන් සේවය කරන අතර, ඔහුගේ නමින් පිහිට වූ පදනමක් පවා තිබෙනවා. ගැටලුවලට විසඳුමක් ලෙස ජීවිතය අවසාන කර ගැනීමට තරම් මානසිකව පීඩාවට පත් වූ මිනිසුන් සමඟ ගැටලු සාකච්ඡා කරමින් ඔවුන් දිරිමත් කිරීමේ වැඩපිළිවෙළක් එම පදනම හරහා ක්‍රියාත්මක වෙනවා.

“පසුගිය වසර පහ පුරාවටම මං මගේ ජීවන අත්දැකීම පවසමින් එක්සත් ජනපදය පුරා සංචාරය කළා. ඒ ගමන් අතරතුර මට වැටහුණු එක දෙයක් තමයි නිසි මඟට පැමිණීම සඳහා මිනිසුන්ට ‍යමකුගෙන් පුංචි තල්ලුවක් අවශ්‍යයි කියන එක. ජීවිත ගමනේ දී අප වෙනත් දිශාවකට හරවා යවන අවස්ථා එළඹෙනවා. නමුත්, ඒ අවස්ථා අපේ ජීවිතයේ ගමනාන්තය විය යුතු නැහැ. ඔබගේ ජීවිතය ආපසු යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා යම් උපකාරයක් අවශ්‍ය නම්, මං ඒ වෙනුවෙන් ඔබ පුහුණු කිරීමට කැමති යි.”

පදනමේ හරය කෙවින් බර්තියා සාරංශගත ව පැහැදිලි කරන්නේ ඒ අයුරින්. ඔහු දැන් දරුවන් තිදෙනකුගේ පියකු වශයෙන් සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා.

බර්තියාගේ ජීවන ගමන එලෙසින් ආදර්ශමත්ව ගත වෙද්දී, ඔහුගේ ගැලවුම්කරුවා වූ කෙවින් බ්‍රිග්ස්ගේ ජීවිතය අදාළ සිදුවීමෙන් වෙනස් වූ අන්දම පැහැදිලි නොකළහොත්,  එය විශාල අඩු පාඩුවක්.

කෙවින් බ්‍රිග්ස් – www.pressdemocrat.com 

“හායි, මං කෙවින්..”

1994 දී කෙවින් බ්‍රිග්ස් මුලින් ම රාජකාරි ආරම්භ කළේ රථ වාහන ගමනාගමනය ආශ්‍රිත සිදුවීම් හසුරුවන්නෙක් ලෙස යි. ඔහුට සියදිවි නසා ගැනීමට සූදානම් වන පුද්ගලයන්ගේ මනෝභාවය තේරුම් ගනිමින් කටයුතු කිරීමේ කිසිදු පලපුරුද්දක් හෝ පුහුණුවක් ලැබී තිබුණේ නැහැ. එකල සාමාන්‍යයෙන් මසකට සියදිවි නසා ගැනීම් 4-6 ක් අතර ගණනක් ගෝල්ඩන් ගේට් පාලමෙන් වාර්තා වන තරමට ගැටලුව උග්‍ර වී තිබුණා.

පාලම මත සියදිවි නසා ගැනීමට තැත් කළ පළමු පුද්ගලයා හමු වූ අවස්ථාවේ දී තමා ඉතා වැරදි අන්දමින් ක්‍රියා කළ බව බ්‍රිග්ස් පවසා තිබෙනවා.

“ඇත්තටම මට කිසිම පුහුණුවක් තිබුණේ නැහැ. මෙය ඉතා නරක දර්ශනයක් විදිහට තමයි මට හිතුණේ. ඒ වගේම මං බය වුණා. ඇය පැන්නොත් ඇයගේ මරණයට මා වග කිව යුතු ද, මොනවද මෙතන වෙන්නේ, මේ කිසිම දෙයක් ගැන මට අවබෝධයක් තිබුණේ නැහැ. අන්තිමේ දී ආරම්භයේ පටන් ම මගේ ප්‍රවේශය වැරදි බව මට වැටහුණා. ඉතින් මං ඔවුන්ට සමීප වී කතාබස් කිරීමට පුරුදු වුණා. මුලින් ම කරන්නේ ඔවුන්ට මා හඳුන්වලා දෙන එක. හරියට මෙන්න මේ වගේ,

‘හායි, මං කෙවින්. මම අධිවේගී මාර්ග වල මුර සංචාරයේ යෙදෙන්නෙක්. ඔබත් සමඟ ටිකක් කතා කළාට කමක් නැද්ද?”

මට මුලින් ම ඔවුන්ගේ අවසරය අවශ්‍ය යි. ඊට පස්සේ තමයි ඔවුන්ව ශක්තිමත් කිරීමේ සංවාදය මා අරඹන්නේ.”

සිය මුල්ම අත්දැකීමෙන් පසු මුහුණ දුන් තවත් එවැනිම හමුවීම් හරහා සිය දිවි නසා ගැනීමට තැත් කරන පුද්ගලයන්ගේ මනෝභාවය, ආවේගය සහ ඔවුන් සන්සුන් කරමින් යථාර්තය මත පිහිටුවීමේ හැකියාව බ්‍රිග්ස් දියුණු කර ගත්තා.

කෙවින් බර්තියා-  www.executivespeakers.com 

 

එතැන් පටන් සියදිවි නසා ගැනීමට තැත් කළ පුද්ගලයන් 200 කට අධික ගණනක් සමඟ කටයුතු කිරීමට කෙවින් බ්‍රිග්ස්ට හැකි වී තිබෙනවා. බර්තියා යනු ඔහුගේ කතාවෙන් ශක්තිමත් වී ජීවිතය ගැන ආපසු සිතූ තවත් එක තැනැත්තෙක්.

ගෝල්ඩන් ගේට් පාලමේ ආරක්ෂකයා

“බර්තියා පසු වුණේ ප්‍රබල කෝපයකින්. ඔහුට මාත් සමඟ කිසිදු සම්බන්ධතාවක් පවත්වා ගැනීමට අවශ්‍ය වුණේ නැහැ. ඔහු දිගින් දිගටම ‘පස්සට වෙන්න! පස්සට වෙන්න!’ කියමින් මට කෑ ගැසුවා. තවත් එක පියවරක් හෝ ඉදිරියට තැබුවොත් පාලමෙන් පනින බව ඔහු අනතුරු හැඟෙව්වා. මං එක පියවරක් හරි ඉදිරියට තිබ්බා නම් අද ඔහු අප අතර නැහැ.”

බ්‍රිග්ස් පවසන පරිදි බර්තියා සමඟ කළ මිනිත්තු 90 ක සංවාදයේ දී ඔහු කතා කළේ මිනිත්තු හතරක් හෝ පහක් පමණ යි. අනෙක් සියලු ම කාලය බර්තියාගේ ජීවිත කතාව වෙනුවෙන් වැය වුණා.

“මෙතන මොකද වුණේ? මොකක්ද හැරවුම් ලක්ෂ්‍ය? ඔබගේ තත්ත්වය හමුවේ මා උපකාරයක් වුණේ කොහොම ද?”

බර්තියා සිය තීරණය වෙනස් කරමින් පොලිස් භාරයට පත් වූ අවස්ථාවේ දී බ්‍රිග්ස් එලෙස විමසා තිබෙනවා.

“ඔබ මට සවන් දුන්නා. ඔබ මට කතා කිරීමට ඉඩ දුන්නා.”

බර්තියාගේ පිළිතුරෙන් ලැබුණු ආත්ම තෘප්තිය බ්‍රිග්ස්ට මුළු ජීවිත කාලයට ම ප්‍රමාණවත් බව නම් නොඅනුමාන යි.

පසු කලෙක ඔවුන් ඉතා හොඳ මිතුරන් බවට පත් වුණා – www.marinij.com 

2013 දී අධිවේගී මාර්ග මුර සංචාරකයෙක් ලෙස තමා ලබා දුන් සේවයෙන් විශ්‍රාම යෑමට කෙවින් බ්‍රිග්ස් තීරණය කළා. නමුත්, සියදිවි නසා ගැනීම් වලක්වාලීමේ සේවය ඔහු නතර කළේ නැහැ. මුර සංචාරකයෙක් ලෙස සේවය කරන කාලයේ දී කෙවින් බ්‍රිග්ස්ට “ගෝල්ඩන් ගේට් පාලමේ ආරක්ෂකයා” යන සොඳුරු නාමය පටබැඳී තිබුණේ එනිසා යි.

කවරයේ ඡායාරූපය: ගෝල්ඩන් ගේට් පාලමේ උතුරු කුළුණේ දී කෙවින් බ්‍රිග්ස් සහ කෙවින් බර්තියා සංවාදයේ යෙදෙන අයුරු -  www.npr.org

මූලාශ්‍ර:

www.theguardian.com

www.npr.org

www.10tv.com

kevinberthiafoundation.org 

Related Articles