Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝකයේ විවිධ විදුලි බලශක්ති උත්පාදන ක්‍රම

විවිධ හේතූ නිසා ශ්‍රී ලංකාව ද අද විශාල බලශක්ති අර්බුදයකට මුහුණ දී තිබේ. ලෝකයේ සියලු භෞතික සංවර්ධන කාර්යයන් සහ මූලෝපායයන් වර්තමානය විට මුළුමනින් ම පාහේ පවතින්නේ බල ශක්තිය මත ය. සියලු තාක්ෂණ නිමැවුම්, සියලු අති නවීන මෙවලම්වල ක්‍රියාකාරිත්වය පවතින්නේ කිසියම් හෝ බලශක්තියක් මත ය. සාම්ප්‍රදායික බලශක්ති ප්‍රභවයන්ගේ සිට නැවුම් බලශක්ති ප්‍රභව දක්වා අද ලෝක බලශක්ති ක්ෂේත්‍රය පුළුල් වන්නේ සාම්ප්‍රදායික සහ ස්වභාවික බලශක්ති මූලාශ්‍ර මේ වන විට ක්‍රමයෙන් හීනවෙමින් යන තර්ජනය හමුවේ ය.

 විවිධ විදුලි උත්පාදන බලශක්ති උත්පාදන ක්‍රම පිළිබඳ ව අත්හදා බලන්නට සහ ඒවා භාවිත කොට අනාගත ලෝකයට මුහුණ දීමට විවිධ පර්යේෂණ අද මානව සමාජයේ ක්‍රියාත්මක ව පවතියි. ගෝලීය විදුලි පරිභෝජනය ලොව පුරා අඛණ්ඩ ව වැඩිවෙමින් පවතින අතර, දැනට එයින් වැඩි ප්‍රමාණයක් ගල් අඟුරු සහ තෙල් වැනි පොසිල ඉන්ධන දහනය කිරීමෙන් ජනනය වේ. කාර්මිකරණය ආරම්භයේ දී යොදා ගත් ස්වාභාවික පොසිල ඉන්ධන (පෙට්‍රල් , ඩීසල් , ආදී) භාවිතයෙන් පමණක් වර්තමාන කාර්මික ලෝකයේ විදුලිය උත්පාදනය සඳහා අවශ්‍ය බලශක්ති අවශ්‍යතාව සම්පූර්ණ නොවේ. ඒ නිසා විකල්ප බලශක්තිවලට ලෝකය යොමු වෙමින් පවතියි. මේ ලෝකයේ විවිධ විදුලිබල උත්පාදන ක්‍රම පිළිබඳ විමසුමකි.

 ජපානයේ න්‍යෂ්ටික බලාගාරයක් – oilprice.com

විදුලි බලශක්ති ප්‍රභවයන්ගේ වාසි අවාසි

ලෝකයේ ඒ ඒ කලාපවලට සහ ඒ ඒ භූදේශගුණික පිහිටීම් රටා අනුව ප්‍රභව තෝරා ගෙන සංවර්ධනය කිරීම වෙනස් වේ. ස්වාභාවික සම්පත් බෙදීයාම සහ ස්වාභාවික පිහිටීම් අනුව විවිධ රටවල්වල බලශක්ති ප්‍රභව ගේ තෝරා ගැනීම සාපේක්ෂ වේ. සමහර විදුලි බල ශක්ති ප්‍රභේද යොදාගැනීමේ වියදම මිලෙන් අධික වන අතර, සමහර බල ශක්ති ප්‍රභේද වියදමෙන් අඩු ය.

සමහර විදුලි බල ශක්ති ප්‍රභේද පරිසර දූෂණය අවම වන අතර තවත් සමහර විදුලි බල ශක්ති ප්‍රභේද පරිසර දූෂණයෙන් ඉතාම ඉහළ අගයක් ගනියි. සමහර විකල්ප බලශක්ති ප්‍රභේදවල අපේක්ෂිත බල සැපයුම ස්වභාවයෙන්ම සීමාසහිත වන අතර සමහර විකල්ප බලශක්ති ප්‍රභේදවල අපේක්ෂිත බල සැපයුම අතිරික්ත ප්‍රමාණ දක්වා ඉහළ අගයක් ගනියි.

වික්ටෝරියා වේල්ල – ceb.lk 

 

01. ජලවිදුලි උත්පාදනය හෙවත් Hydro power

කිසියම් රටක් ස්වභාවික දියඇලි, විශාල ගංගා ආදී ජල ප්‍රවාහයක් හරස්කොට ඉදිකරන යෝධ වේල්ලකින් නිකුත් කරන කිසියම් දැඩි පීඩනයකට ලක් කරන වේගවත් ජලධාරා මගින් ටර්බයින කරකවා විදුලිය උත්පාදනය කරයි. මෙය ලෝකයේ පැරණි ම විදුලිය නිපදවීමේ ක්‍රමයකි.

බෲස් න්‍යෂ්ටික විදුලි උත්පාදන මධ්‍යස්ථානය – www.nsenergybusiness.com

 

02. න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවීම හෙවත් Nuclear power plants

ජලය වෙනුවට ටයිබයින කරකැවීම සඳහා න්‍යෂ්ටික විඛන්ඩන ක්‍රියාවලියකින් අති වේගවත් වාෂ්ප, නිපදවා ඒ වාෂ්ප මගින් ටර්බයින කරකවා විදුලිය නිපදවීම න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවීම නම් වේ.

යුරෝපයේ ගල්අඟුරු බලාගාරයක් – www.bbc.com

 

03. ගල් අඟුරු විදුලි බලාගාර හෙවත් Coal power plants

ගල් අගුරු යනු ලෝකයේ පැරණිත ම බලශක්ති ඉන්ධනයකි. ගල් අඟුරු මගින් කරන්නේ ද විදුලිය උත්පාදනය සඳහා ටර්බයින කරකැවීමට වුවමනා අධි පීඩිත වාෂ්ප නිපදවන යෝධ බොයිලේරු ක්‍රියාත්මක කිරීම ය. පොළොවෙහි ඇති ගල් අඟුරු බහුලත්වයත්, එහි මිල සෙසු ඉන්ධනවලට සාපේක්ෂව අවම වීමත් නිසා එය ලෝකයේ විදුලිබල නිශ්පාදනයෙන් 40% ක් සපයනු පිණිස දායක කර ගනියි.

ස්වාභාවිත වායු විදුලි බලාගාරයක් – www.powermag.com

 

04. ස්වභාවික වායු විදුලි බලාගාර හෙවත් Natural gas power plants

මිලෙන් අඩු, කාර්යක්ෂම බවින් වැඩි සහ ඉතාම ඉහළ තාප ගතිකයකින් යුක්ත ස්වාභාවික වායු විදුලි බලාගාරවලට ලෝකයේ ඉහළ සැලකීමක් ලැබේ. එය විකල්ප විදුලි උත්පාදන බලාගාරයක් ලෙස බොහෝ රටවල භාවිතයට ගැනෙයි. ශ්‍රීලංකාවේ ද පසුගිය දිනවල වැඩිපුර කථබහට ලක්වූ LNG විදුලි බලාගාර යනු මෙම මාතෘකාවට අදාළ ක්ෂේත්‍රය යි. LNG යනු liquefied natural gasනමින් හැඳින්වෙන පොළොව යට ඇති භූගත ජලාශවල පොසිල ඉන්ධනයක් ලෙස පවතින ස්වාභාවික වායුව ය.

මෙම ස්වභාවික වායුවෙන් සියයට අනූපහක් මීතේන් වන අතර, දැනට ලෝකයේ භූගත ව පවතින පිරිසුදු ම පොසිල ඉන්ධන වායුව මෙය වේ. මෙම බලාගාර වර්ග කීපයක් ලෝකයේ භාවිත කරන අතර මෙම ස්වාභාවික වායුන් දහනය කිරීම මඟින් ලබාගන්නා චලක ශක්තිය මගින් ටර්බයින කරකවා විදුලිය උත්පාදනය කර ගනි යි. දැනට එක්සත් ජනපදය, ඇල්ජීරියාව, රුසියාව, නයිජීරියාව, කටාර්, නෝර්වේ, වැනි රාජ්‍යවල පිහිටා ඇති භූගත වායු ක්ෂේත්‍රවලින් මෙම ස්වභාවික වායුව පොළොවෙන් විශාල වශයෙන් ලබාගනියි. ඒ සඳහා ඔවුන්ට ලැබී ඇති විශාල වෙළෙඳපොළ වෙත මෙම වායුව ප්‍රවාහණය සහ ගෙන යාම සඳහා භාවිත කරන වඩාත් ලාභදායි සහ පහසුම මාධ්‍යය වන්නේ සමුද්‍රීය ප්‍රවාහණ මාධ්‍යය හෙවත් LNG, ටැංකි වශයෙන් නෞකා මගින් ගෙන යාම යි.

05. කාබනික දහන විදුලි බලාගාර හෙවත් Biomass power plants

කෘෂිකාර්මික අපද්‍රව්‍ය, සත්ත්ව සහ මිනිස් අපද්‍රව්‍ය, දහනය කළ හැකි විවිධ දැව වර්ග, සහ තවත් එබඳු කාබනික ගනයට වැටෙන ජෛව ස්කන්ධයන් දහනය කිරීමෙන් නිපදවා ගන්නා දැඩි පීඩන වාෂ්ප මගින් ටර්බයින කරකවා විදුලිය උත්පාදනය කිරීම මෙමඟින් සිදු වේ.

සුළං විදුලි බලාගාරයක් – www.voestalpine.com

 

06. සුළං විදුලි බලාගාර හෙවත් Wind power plants

විදුලිය නිපදවන ටර්බයින ඍජුව ම සුළඟින් ඇති කරවන ශක්ති බලයෙන් ටර්බයිනයට සවි කොට ඇති සුළං පෙති කරකවා, එයින් ටර්බයිනය කරකවමින් විදුලිය නිෂ්පාදනය කිරීම මෙහිදී සිදු වෙයි. පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් වශයෙන් ක්‍රියාත්මක වන මෙහි නිෂ්පාදන ධාරිතාව සහ ශක්ති ප්‍රමාණය සුළඟේ වේගයට සාපේක්ෂ අගයක් ගනියි.

07. සම උත්පාදන විදුලි බලාගාර හෙවත් Cogeneration power plants

සම උත්පාදනය යනු, විදුලි බලය නිපදවීමේ ක්‍රියාවලියේ දී පරිසරයට නිකුත්වන උත්පාදන අපද්‍රව්‍යයක් වන තාපය නැවත කිසියම් යාන්ත්‍රණයක් මගින් නැවත ලබා ගෙන එය කර්මාන්ත ක්ෂේත්‍රයේ තාපය භාවිතයෙන් කෙරෙන යාන්ත්‍රණයට ශක්ති විශේෂයක් ලෙස ලබාදීමේ ක්‍රියාවලියයි. එය ජලය උණුසුම් කිරීම, ජලය වාෂ්ප කිරීම, සිසිලන ක්‍රියාවලිය, ක්ෂේත්‍රයේ ආර්ද්‍රතාව පාලනය කිරීම, වැනි කටයුතු රාශියක් සඳහා උපකාරී වේ. මෙය සහජීවන ක්‍රියාවලියක් ලෙසද හැඳින්වේ.

විදුලිය උත්පාදන ක්‍රියාවලියේ දී හටගන්නා අධික තාපය, අපද්‍රව්‍යයක් හැටියට පරිසරයට මුදා හැරීම බලශක්තිය අපතේ යාමක් ලෙස සලකා මෙම සහජීවන ක්‍රියාවලියෙන් විදුලි බලය මෙන් ම තාප ශක්තිය ද ලබා ගැනීම ද සම උත්පාදන විදුලි බලාගාරවලින් සිදුවේ. කැනඩාවේ කාර්මික බලශක්ති දත්ත විශ්ලේෂණ මධ්‍යස්ථානයට අනුව 2012වර්ෂයේ දී සම උත්පාදන විදුලි බලාගාර පද්ධති දෙසීයයක් තිබුණු අතර,එහි මුළු ධාරිතාව ගිගා වොට් 6.5ක් විය. කැනඩාවේ ඇල්බර්ටා සහ ඔන්ටාරියා ප්‍රාන්ත විදුලි බල අවශ්‍යතාවයෙන් සියයට 67ක් සපුරා ගන්නේ සම උත්පාදන ධාරිතාවෙන් බව එකී වාර්තාවේ සඳහන් ය.

08.සූර්ය බලශක්ති විදුලි උත්පාදන හෙවත් Solar power

සූර්ය බල ශක්තිය භාවිත කරමින් අර්ධ සන්නායක තුළින් සූර්යය කෝෂ හරහා බල ශක්තිය උපදවාගන්නා ක්‍රියාවලියක් ලෙස, සූර්ය බලශක්ති විදුලි උත්පාදන ක්‍රියාවලිය හඳුන්වයි.

09. උදම්රළ විදුලි බලාගාර හෙවත් Tidal power plants

මුහුදු රළ, වඩදිය බාදිය උදම් රැළි උපයෝගී කරගනිමින්, ඒ චාලක ශක්තියෙන් ටර්බයින කරකවා විදුලි බලය උත්පාදනය කරගන්නා යාන්ත්‍රණය උදම්රළ විදුලි බලාගාර හෙවත් Tidal power plants ලෙස හඳුන්වයි. මෙම යාන්ත්‍රණය වර්ෂ 1966 දී විශාල බලාගාර ලෙස ආරම්භ වුව ද උදම්රළ යාන්ත්‍රණය තවමත් ගෝලීය වශයෙන් බහුල භාවිතාවකට ගොස් නැත.

භූතාපජ විදුලි බලාගාරයක් – www.dgi.com

10. භූතාපජ විදුලි බලාගාර හෙවත් Geothermal power plants

මෙම බලාගාර පිහිටුවා තිබෙන්නේ සහ පිහිටුවාලිය හැක්කේ අදාළ භූ සම්පත් සාධක පවතින කිසියම් කලාපයක හෝ රටක පමණ ය. භූතාපජ ශක්තිය, පෘථිවි අභ්‍යන්තරයේ නිරන්තර ව පවතින අධික තාපය භාවිත කරමින් එය බලශක්ති ප්‍රභවයක් ලෙස යොදා ගෙන විදුලිය නිපදවීම යි. විදුලිය නිපදවන ටර්බයින කරකැවීම සඳහා වියළි වාෂ්ප බලාගාර පහසුකම සලසා ගන්නේ භූගත ළිංවල සිට ඍජුව ම නළ මාර්ගයෙන් ටර්බයින වෙත යොමු කිරීමෙනි.

ලෝකයේ ඉහළම විදුලි පරිභෝජනය කරන රටවල්

1. චීනය
ලෝකයේ විදුලි බලය වැඩියෙන් ම පරිභෝජනය කරන රට වන්නේ ආසියානු කලාපයේ පමණක් නොව ලෝකයේ ද බලවත් රාජ්‍යයක් ලෙස නැඟී සිටින චීනය යි.
ආසියානු බලවතා වන චීනය වාර්ෂික ව පැයකට කිලෝවොට් ට්‍රිලියන 6.3 කට වඩා වැඩි බලශක්තියක් භාවිත කරමින් විදුලි පරිභෝජනයෙන් ලෝක ලැයිස්තුවේ ඉහළින් ම සිටී. ලොව විශාලත ම ගල් අඟුරු නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා යැයි කියන රට, මෑත වසරවලදී ස්වභාවික ගෑස් සහ පුනර්ජනනීය මූලාශ්‍ර වෙත සිය අවධානය යොමු කර ඇත.

චීනයේ සියලු ම ප්‍රදේශ සහ පළාත් වර්ෂ 2011 දී Synchronous networks හෙවත් සමමුහුර්ථ ජාල ඔස්සේ සම්බන්ධ කර ඇත. ලෝකයේ වැඩි ම ජනගහනය පවතින රට වශයෙන් ඉහළ ම පාරිභෝගික පිරිසක් විදුලි පරිභෝජනය කරන අතර අතිවිශාල කර්මාන්ත සමූහයක් විදුලි බලයෙන් ක්‍රියාත්මක වීමේදී ගෝලීය බලශක්ති පරිභෝජනයෙන් 24% ක් ලබා ගනියි. වැඩියෙන් ම ඛණිජ තෙල් සහ ස්වාභාවික වායු ආනයනය කරන්නා ද වනුයේ චීනය යි.

2.අමෙරිකා එක්සත් ජනපදය
ගෝලීය විදුලි පරිභෝජනයේ දෙවන ස්ථානයේ සිටින එක්සත් ජනපදය සෑම එක් වසරක් තුළ ම පරිභෝජනය කෙරෙන විදුලි බලය කිලෝවොට් පැය ට්‍රිලියන 3.9 ඉක්මවයි.

3. ඉන්දියාව
චීනයට පසුව ලෝකයේ වැඩි ම ජනගහනය සහිත රට වන ඉන්දියාව විදුලි බල පරිභෝජනයේ ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයේ පසු වෙයි. වසරකට කිලෝවොට් ට්‍රිලියන 1.54 ක් ඉක්මවන ඉන්දියාවේ විදුලි පරිභෝජනය වසර 2030 වන විට වසරකට කිලෝවොට් ට්‍රිලියන 4ක ඉහළ අගයක් කරා යනු ඇතැයි අපේක්ෂා කරයි. විදුලි උත්පාදනයේ දී ෆොසිල ඉන්ධන, විශේෂයෙන් ගල් අඟුරු මත බලශක්ති උත්පාදනය ක්‍රියාත්මක ය.

4. රුසියාව
බලශක්ති මූලයන් අතින් ඉතා පොහොසත් රාජ්‍යයක් වන රුසියාව, ඔපෙක් සංවිධානයට අයත් නොවන රටවල් අතර විශාල ම ඛණිජ තෙල් නිෂ්පාදකයා ද වෙයි. ලෝකයේ කිසිදු රටත් සතු ව නැති අසීමිත යැයි සිතිය හැකි විශාල ස්වාභාවික වායු සම්පතක් රුසියානු භූමියට අයත් ය. සෞදි අරාබිය ලෝකයේ විශාල ම ඛණිජ තෙල් නිෂ්පාදකයා වන අතර දෙවැනි තැනට පත්වන්නේ රුසියාව ය. රුසියාවේ විදුලි බල පරිභෝජනය වසරකට කිලෝවොට් පැය ට්‍රිලියන 1.06කි. එම අගය මත රුසියාව විදුලි පරිභෝජන ගෝලීය ශ්‍රේණිගත කිරීම් තුළ සිවුවන ස්ථානයේ සිටියි.

5. ජපානය
වසරකට කිලෝවොට් පැය ට්‍රිලියන 0.93ක් භාවිත කරන ජපානය ලෝකයේ විශාලත ම විදුලි පරිභෝජන රටවල් අතර පස්වැනි ස්ථානය නියෝජනය කරයි.

වර්ෂ 2017 දී ගෝලීය වශයෙන් මුළු විදුලිබල ඉල්ලුම ටෙරාවොට් පැය 25,000 ක් බව විදුලි බල සැපයම් පිළිබඳ ජාත්‍යන්තර විස්තර වාර්තාවල සඳහන් ය. වර්ෂ 2050 පමණ වන විට එය ටෙරා වොට් පැය 38700ක් දක්වා ඉහළ අගයක් ගනු ඇතැයි විශ්වාස කෙරේ. මුළුමනින් ම බල ශක්තිය මත යැපෙන අනාගත ලෝකය විදුලිය ඇතුළු බල ශක්තිය රැස් කරගැනීමේ අභිප්‍රාය තුළ සාම්ප්‍රදායික බල මූලාශ්‍රවලින් ඔබ්බට ගිය විකල්ප බල මූලාශ්‍ර වෙත යොමු වන්නට පටන් ගෙන ඇත.  

කවරයේ ඡායාරූපය - බලශක්ති අර්බුදය www.nsenergybusiness.com

මූලාශ්‍ර

 electricity.ca

www.nsenergybusiness.com

energyeducation.

www.wbdg.org

www.nrel.gov

www.elengy.com

Related Articles