අබ්දුල් රසාක් කියන්නේ වේටර්වරයකු ලෙස සේවය කරන ශ්‍රී ලාංකිකයෙක්. පවතින ආර්ථික අර්බුදයේ වින්දිතයකු ලෙස වේටර් රැකියාවෙන් ඔහුට ලැබෙන වැටුප තවදුරටත් ප්‍රමාණවත් වුණේ නැහැ. පැය ගණනක් පුරා පවතින දෛනික විදුලි කප්පාදුව කුඩා පරිමාණයේ ව්‍යාපාරවලට සාපේක්ෂ ව බලවත් පහරක් එල්ල කළ බව සමාජයේ හැසිරෙන ඔබට මට පැහැදිලි ව පෙනෙන කරුණක්. ආපනශාලා වලට එල්ල වූ බලපෑමත් සුළුපටු නැහැ. අබ්දුල් මිතුරකුගේ යතුරුපැදිය භාවිත කරමින් ප්‍රමුඛ පෙළේ ආහාර බෙදා හැරීම් සේවාවක අර්ධ කාලීන රැකියාවක නියුතු වීමට තීරණය කළේ ඒ නිසා යි.
විදුලි ආලෝකය නැත්නම් “සඳ එළියේ” පිහිටෙන් හෝ අමතර ආදායමක් සොයා ගැනීමට ඔහු උත්සහවන්ත වුණා. නමුත්, එය ද සාර්ථක වුණේ නැහැ. ආහාර බෙදා හරිනවා වෙනුවට යතුරුපැදිය පෙට්‍රල් පෝලිම්වල තබා ගෙන කල් මැරීමට අබ්දුල්ට සිදු වුණා. ඉන්ධන හිඟය, විදුලි කප්පාදුව, ඉහළ යන ආහාර සහ ඖෂධ මිල හමුවේ බොහෝ ශ්‍රී ලාංකිකයන් දෙවැනි රැකියාවක නියැලීමට පෙළඹෙමින් සිටිනවා.
“අපි කවදාවත් මේ වගේ ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දුන්නේ නැහැ.”
අල් ජසීරා මාධ්‍ය ආයතනයට අදහස් දක්වමින් ඔහු පවසා සිටියා.
“සමහර වේලාවට මමයි මගේ නෝනයි බඩගින්නේ ඉන්න නිසා අපේ දරුවන්ට වේල් දෙකක් කන්න දෙන්න පුළුවන්. ඉස්සර නම් වේල් තුනක් දුන්නා.”
අබ්දුල් වැනි මිනිසුන්ගේ කතා ඕනෑ තරම් මෙරටින් අද සොයාගත හැකි බව අතිශයෝක්තියක් නොවෙයි. ඇතැම් විට මේ ලිපිය කියවන ඔබටත් වත්මන් අර්බුදය තුළ මුහුණ දුන් අපහසුතා සම්බන්ධයෙන් පැවසීමට කතාවක් ඇති.
අපි සිතනවාට වඩා අපි මුහුණ දෙන දරුණු ආර්ථික කඩා වැටීම ජාත්‍යන්තර මාධ්‍ය සැලකිල්ලට ගෙන තිබෙනවා. නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණුත ම ආර්ථික බිඳ වැටීම ලෙස ඔවුන් මෙම අර්බුදය හඳුන්වා දී තිබෙනවා. දශක හතක් මුළුල්ලේ දේශපාලනික වශයෙන් ලබා ගත් වැරදි තීන්දු තීරණ සහ අවපාලනය වත්මන් අර්බුදයට හේතුවක් වූ බව සත්‍යයක්. එහෙත්, අවුරුදු දෙකක් හෝ තුනක් වැනි කෙටි කාලයක් තුළ මෙතරම් දරුණු අවපාතයක් කරා අපි ක්ෂණික ව ත්වරණය වූයේ කෙසේ ද?
අර්බුදයේ ආරම්භය බදු සහන ද?
2019 නොවැම්බර් මස අග දී ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් මාස කිහිපයක් ඇතුළත වත්මන් ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය නැවත උරගා බැලීමේ ඊළඟ අදියර වන පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට කටයුතු යොදා තිබුණා. ඊට මාස කිහිපයකට පෙර බදු කපා හැරීමේ පොරොන්දුව කරළියට පැමිණුනා. ඒ වනවිටත් ජීවන තත්ත්වය හමුවේ යම් අභියෝගාත්මක කාල පරිච්ඡේදයකට මුහුණ දෙමින් සිටි ශ්‍රී ලාංකිකයන්ට බදු සහන සහනයක් ම වුවත්, ඒ පිටුපස තිබූ අවදානම බොහෝ දෙනකුට නොවැටහුණ බවක් පෙනෙන්න තිබුණා.
පොරොන්දුව ක්‍රියාත්මක කරමින් එකතු කළ අගය මත බද්ද 15% සිට 8% දක්වා අඩු කළ අතර, එයින් රජයට අති විශාල බදු මුදලක් අහිමි වුණා. මීට අමතරව, ව්‍යාපාර ගෙවන සියයට දෙකක ජාතිය ගොඩනැඟීමේ බද්ද ඇතුළු තවත් බදු කිහිපයක් අහෝසි කිරීමට රජය තීරණය කළා. මෙම තීරණ හමුවේ මහ බැංකුවේ සේවය කරන ඇතැම් ඉහළ විධායක නිලධාරීන් පවා පුදුමයට පත් වූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. සිදු කිරීමට යන බදු කප්පාදුව රටේ ආර්ථිකයට බලපෑම් එල්ල කරන ආකාරය සම්බන්ධයෙන් කිසිදු උපදේශන ක්‍රියාවලියක් නොතිබුණු බවත් සඳහන් වෙනවා.
විදේශ සංචිත සිඳී යෑම ඇරඹෙයි
බදු කප්පාදුව හරහා ජනතාවට වියදම් අතින් පහසු කාලයක් එළඹෙන බව සත්‍යයක්. නමුත්, වගකීම් ඉහළ මට්ටමකින් පවතින විට රජයට ලැබෙන ආදායම් අඩු කිරීම අවදානම් වන අතර, 2019 දක්වා පැවති ණය කළමනාකරණ සැලැස්මත් එයින් අඩපණ වුණා.
විශාල බදු කප්පාදුව 2020 දී ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව පහත වැටීමට හේතු වූ හෙයින්, ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ වෙත ප්‍රවේශ වීමේ හැකියාව ශ්‍රී ලංකාවට අසීරු වීම ඇරඹුණා. ශ්‍රී ලංකාවේ ණය බැඳීම් විදේශ සංචිත හරහා සපුරාලීමට රජය යොමු වුණේ ඉන්පසුව යි. එහි ප්‍රතිඵලයක් ලෙස 2019 ජුනි මාසය වනවිට ඩොලර් මිලියන 8864 ක් වැනි යහපත් මට්ටමේ තිබුණු ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය, 2022 ජනවාරි මාසය වනවිට ඩොලර් මිලියන 2361 ක් දක්වා පහත වැටුණු බව FIrstpost හි පළවුණු වාර්තාවක් සඳහන් කරනවා.
2020 මාර්තු මාසයේ පටන් කොවිඩ්-19 ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල වීමත් සමඟ තත්ත්වය වඩාත් නරක අතට හැරුණා. ආරම්භයේ දී වසංගතය පාලනය කිරීම අතින් ශ්‍රී ලංකාව යම් සාධනීය මට්ටමක සිටියත්, 2019 පටන් ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් ලබා දුන් තීන්දු තීරණ කොවිඩ්-19 සමඟ අන්තර්ක්‍රියා කරන්නේ කෙසේ ද යන්න වග රටක් වශයෙන් අපට අවබෝධයක් නොතිබූ තරම්. 2020 අග භාගය වෙද්දී කොවිඩ් වසංගතයේ පාලනයත් ක්‍රම ක්‍රමයෙන් අපෙන් ගිලිහී යන විට ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන ආ මාර්ග රැසක් සම්පූර්ණයෙන් ම පාහේ ඇහිරී තිබුණා.
සංචාරකයන්ගේ පැමිණීම සහ ඔවුන් ගෙන් ලැබෙන ආදායම පහත වැටුණු අතර, අඩු ඉල්ලුම හේතුවෙන් තේ, රබර් වැනි අපනයන බෝගවල ඉල්ලුමත් පහත වැටුණා. ඒ අතර විදේශ විනිමය සංචිතයට මහත් රුකුලක් ලබා දෙන විදෙස් ප්‍රේෂණ පහත වැටුණේ ලොව පුරා සිටින ශ්‍රී ලාංකිකයන්ට රැකියා අහිමි වන තත්ත්වයක් උද්ගත වූ නිසා යි. අවසාන ප්‍රතිඵලය වශයෙන් දළ දේශීය නිෂ්පාදිතය 3.5% න් පහත වැටුණු අතර, ජංගම ගිණුමේ හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.9% ක් සහ මූල්‍ය හිඟය 11.1% දක්වා ඉහළ ගියා.
රටක ජංගම ගිණුම මඟින් එම රටේ භාණ්ඩ හා සේවා යන දෙඅංශයේ ම ආනයන අපනයන වටිනාකම සහ ප්‍රාග්ධනයේ ජාත්‍යන්තර හුවමාරු වීම් වාර්තා කරනවා. ජංගම ගිණුමේ හිඟය, ආනයන කරන භාණ්ඩ සහ සේවාවල වටිනාකම, අපනයන කරන නිෂ්පාදන වල වටිනාකම ඉක්මවා යෑමේ මිනුමක් ලෙස සරල ව දැක්විය හැකි යි.
රසායනික පොහොර අවුල
ආර්ථික දුෂ්කරතා කෙමෙන් කෙමෙන් මතුවන පසුබිමක ඩොලර් හිඟය හේතුවෙන් ඇතැම් ආනයනික භාණ්ඩ අත්හිටුවා දැමීමට ශ්‍රී ලංකාණ්ඩුවට සිදු වුණා. ඒ භාණ්ඩ අතර රසායනික පොහොර සහ වෙනත් කෘෂි රසායන ද්‍රව්‍ය ඇතුළත් වීම මහත් ආන්දෝලනයකට තුඩු දුන්නා. 2021 අප්‍රියෙල් අග භාගය වනවිට රටේ කෘෂිකර්මාන්තය කාබනික පොහොර භාවිතයෙන් පමණක් සිදු කරගෙන යෑමේ වැඩපිළිවෙළක් රජය ඇරඹූ අතර, එම තීරණය කෘෂි විශේෂඥයන් ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වුණා. කාබනික පොහොර වෙත සම්පූර්ණයෙන් ම යොමු වීම වැරදි උපදෙස් මත සිදු කරන විද්‍යාත්මක නොවන ක්‍රියා පිළිවෙතක් බව කෘෂි විශේෂඥයන් පෙන්වා දුන්නා.
රසායනික පොහොර භාවිතයෙන් මතු වන සෞඛ්‍ය අවදානමෙන් ජනතාව ගලවා ගැනීම ජනතාව අතර ප්‍රචලිත කළ අරමුණ වුවත්, විදේශ මුදල් සංචිත මත පීඩනය අඩු කිරීම එහි ඉස්මතු නොවූ අරමුණ බව පැහැදිලිව ම පෙනෙන්න තිබුණා. ආර්ථික වශයෙන් දැඩි අස්ථාවරභාවයක් කරා ශ්‍රී ලංකාව වේගයෙන් ගමන් කරන බවට වූ පැහැදිලි ඉඟි ඒ වනවිටත් පළ වෙමින් තිබුණා. එසේ නම්, රටේ හදවත බඳු කෘෂිකර්මාන්තය තුළ අති දැවැන්ත සහ ක්ෂණික පෙරළියක් සිදු කිරීම කොතරම් අවදානම්දැ යි අමුතුවෙන් පැවසිය යුතු නැහැ. එහි අනිසි ප්‍රතිඵල වැඩිකල් නොගොස් ම ලාංකිකයන්ට අත් විඳින්න සිදු වුණේ ආහාර සුරක්ෂිතභාවට ද රතු එළි දැල්වුණු නිසා යි.
උත්සන්න වූ ගොවි විරෝධතා
උත්සන්න වන ගොවි විරෝධතාවය සහ දිනෙන් දින බිඳ වැටෙන ආහාර සුරක්ෂිතභාවය හමුවේ රසායනික පොහොර තහනම අර්ධ වශයෙන් ඉවත් කර ගැනීමට රජයට සිදු වුණා. කෙසේ වෙතත්, සැලකිය යුතු හානියක් ඒ වනවිටත් සිදු වී අවසන්. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාංශු සාරවත් බව සහ ශාක පෝෂණය පිළිබඳ මහාචාර්ය සමන් ධර්මකීර්ති “The Week” පුවත්පතට කළ අදහස් දැක්වීමකට අනුව රසායනික පොහොර තහනම නිසා සමස්තයක් ලෙස බෝග අස්වැන්න 25% කින් අඩු වී තිබුණා. උතුරු නැගෙනහිර පළාත්වල වී වගාව සැලකිය යුතු මට්ටමකින් පහත වැටුණු අතර, වී වගාව ප්‍රචලිත ව පවතින අනෙකුත් ප්‍රදේශවලින් අසන්නට ලැබුණේත් යහපත් ප්‍රතිචාර නොවෙ යි.
ආර්ථිකයේ ප්‍රධානත ම ආදායම් මාර්ගයක් වන තේ වගාවටත් දැඩි බලපෑම් එල්ල වූ අතර, ගම්මිරිස්, කුරුඳු සහ එළවළු නිෂ්පාදනය සියයට 30 කින් පහළ වැටුණා. කාබනික කෘෂිකර්මාන්තය අඩු අස්වැන්නක් ලබා දෙන බැවින්, වගා කළ හැකි ඉඩම් ප්‍රමාණය හැකිළෙන විට වැඩිවන ජනගහනයට සරිලන ආහාර සැපයුමක් ලබාදිය නොහැකි බව ඔහු වැඩි දුරටත් පවසා තිබුණා.
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂ ව රුපියල ස්වභාවිකව අවප්‍රමාණය වීමට ඉඩ නොදීම ඊළඟ ප්‍රබල ම ගැටලුව යි. එයින් මෙම අර්බුදයේ අහිතකර බලපෑම් නොසිතූ වේගයකින් අප වෙත ළඟා වුණා.
කෙළවරක් නොදකින රුපියලේ අවප්‍රමාණය
ශ්‍රී ලංකා මහ බැංකුව ආර්ථික ස්ථායිතාවය ශක්තිමත් කිරීම සඳහා විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලි බවක් පවත්වා ගැනීමට පසුගිය මාර්තු 7 වැනිදා තීරණය කළා. ඒ අනුව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂ ව රුපියලේ අගය වෙළඳපොළ අගය මත තීරණය වුණා. එතෙක්, රුපියල නිසි කලට අවප්‍රමාණය වීමට ඉඩ නොදුන් අතර, රුපියල නිදහසේ පා වීමට ඉඩ හැරීමත් සමඟ ම එහි ක්ෂණික ප්‍රතිඵල බොහෝ පැතිවලින් ජනතාවට අත් විඳීමට සිදු වුණා.
මාර්තු 07 වැනිදා ගත් තීරණයෙන් පසු ඩොලරයට සාපේක්ෂ ව රුපියලේ අගය 230 ක් ලෙස දැක්වුණු අතර, ඉතා ඉක්මනින් එම අගය රු. 260, 270, 275 ලෙස වේගයෙන් අවප්‍රමාණය වීමට ලක් වුණා. අද වනවිට මෙම අගය තුන්සියය ඉක්මවා ගොස් තිබෙන්නේ අවප්‍රමාණයේ කෙළවර ගැන අවිනිශ්චිත හැඟීමක් ඇති කරමින්. මෙය අද අප මුහුණ දෙන උග්‍ර මිල ඉහළ යාම්වලට සෘජුව ම බලපා තිබෙනවා.
රුපියල ස්වභාවික ලෙස අවප්‍රමාණය නොවීම
ආර්ථික විද්වතුන් සහ ව්‍යාපාරික ප්‍රජාව මීට බොහෝ කලකට පෙර සිට ම රුපියල ස්වභාවික ලෙස අවප්‍රමාණය වීමට ඉඩ හරින ලෙස මහ බැංකුවට සහ රජයට යෝජන කර සිටියා. නමුත්, වගකිව යුතු පාර්ශව දිගින් දිගට ම අමෙරිකානු ඩොලරයට සාපේක්ෂ ව රුපියලේ අගය කෘත්‍රිම ලෙස ස්ථාවර කරගෙන සිටියා. මෙලෙස රුපියල ස්ථාවර අගයක පවත්වා ගෙන යාම සඳහා විදේශ වත්කම්වල ශක්තිය අත්‍යාවශ්‍ය යි. එහෙත්, ශ්‍රී ලංකාවේ විදේශ සංචිත වේගවත් පිරිහීමකට ලක් වූ නිසා රුපියල එක ම අගයක පවත්වා ගැනීම අසීරු වුණා. එය හිටි හැටියේ ම අවප්‍රමාණය වීමට ඉඩ හැරීමෙන් අපගේ වෙළඳපොළ විශාල කම්පනයකට මුහුණ දුන්නා.
සිල්ලර කඩයේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගන්නා පාරිභෝගිකයාගේ සිට විදෙස්ගත ව අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික ශිෂ්‍යයා දක්වා ම එම කම්පනය පැතිරී ගියා. ක්‍රම ක්‍රමයෙන් කාලානුරූප ව රුපියල අවප්‍රමාණය වීමට ඉඩ දුන්නා නම් මෙතරම් ක්ෂණික අහිතකර බලපෑම් සහ මිල වැඩි වීම්වලට මුහුණ දීමට සිදු නොවන බව ආර්ථික විද්වතුන් පෙන්වා දී තිබුණා.
කළු කඩ බිහිවීම
නිසි කලට ක්‍රමික ව රුපියල අවප්‍රමාණය වීමට ඉඩ නොදුන් ක්‍රියාවේ තවත් අහිතකර ප්‍රතිඵලයක් වන්නේ කළු කඩ බිහි වීම යි. එසේ නොකළා නම් පෙර පරිදි ම සැලකිය යුතු විදේශ විනිමය නිවැරදි මාර්ග ඔස්සේ මෙරටට පැමිණීමට ඉඩ තිබුණා. ඩොලරයට නිසි රුපියල් අගය නොගෙවීම මඟින් හවාලා සහ උන්ඩියල් ක්‍රමයට මුදල් එවීම විදෙස්ගත ලාංකිකයන් අතර පෙර නොවූ විරූ ලෙස ප්‍රචලිත වුණා. විදේශ විනිමය පදනම් කරගත් කළු කඩ ලෝකයට එය අලුත් දෙයක් නොවුණත්, ඩොලරයට කළු කඩෙන් ගෙවන රුපියල් අගය සහ නිල විනිමය අනුපාතය අතර ඇති වූ විශාල වෙනස, කළු කඩ වෙත විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් නැඹුරු වීමේ උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කළා. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂ ව රුපියලේ අගය දිගු කලක් කෘත්‍රිම ලෙස ස්ථාවර කරගෙන නොතිබුණා නම් විදෙස් මුදල් ප්‍රේෂණය මෙතරම් අර්බුදකාරී නොවීමටත් ඉඩ තිබුණා.
වැදගත් ම සාධකයට අවම වටිනාකමක්!
මෙතරම් අර්බුදකාරී අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහාය අවසාන වශයෙන් පැතීම කාලෝචිත විසඳුමක් වන්නේ නිරායාසයෙන්ම යි. ඉතා තියුණු ආර්ථික අවපාතයකට මුහුණ දුන් විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පැතූ උදාහරණ ලෝකයේ තිබෙනවා. ප්‍රසිද්ධ ම උදාහරණය වන්නේ ආජන්ටිනාව යි. අතීතයේ දුෂ්කර කාලවල දී ශ්‍රී ලංකාව IMF වෙත හැරුණු අවස්ථා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නොමැති ව පවා රජයට මූල්‍ය ඒකාග්‍රතාවය කරා ගමන් කිරීමටත්, අර්බුදය හමුවේ විශ්වාසනීය ප්‍රකෘති සැලැස්මක් ලබා දීමටත් හැකි ව තිබූ බව විද්වතුන් පෙන්වා දී තිබුණා. ඒ සෑම පියවරකට ම පොදුව බලපාන ප්‍රධානත ම සාධකය වන්නේ කාලය යි.
වර්තමාන රජය රටේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පවා සාකච්ඡා පැවැත්වීමට ආරම්භයේ දී උනන්දු වුණේ නැහැ. කාලයත් සමඟ උග්‍ර ප්‍රශ්නයක් තිබියදීත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම කෙරෙහි රජය අවධානයක් යොමු නොකිරීම ඉතා ගැටලුකාරී තත්ත්වයක් ලෙස පෙනෙන්න තිබුණා. දැන් ඒ පිළිබඳ ව අවධානයක් යොමු කළත්, ආර්ථික හදිසි අවස්ථාවකට මුහුණ දෙන අපට කාලය සම්බන්ධයෙන් පැහැදිලිව ම ප්‍රශ්නයක් තිබෙනවා. ගෑස්, ඉන්ධන පෝලිම්, ඖෂධ හිඟය, එකී නොකී මේ සියල්ලෙන් අප දකින්නේ ඒ ආර්ථිකමය හදිසි තත්ත්වය යි.
ආර්ථික විශ්ලේෂකයන් සහ විපක්ෂ දේශපාලනඥයන් දිගින් දිගට ම පැවසුවේ ඉදිරි මාස ඇතුළත ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරා නොගියහොත්, ණය ගෙවීම් පැහැර හරින රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් විය හැකි බව යි. ඒ අනාවැකිය ද යම්තාක් දුරකට සත්‍ය කරමින් වත්මන් මහ බැංකු අධිපති ශ්‍රී ලංකාවේ විදේශ ණය වාරික සහ පොලී අනුපාත ආපසු ගෙවීම තාවකාලිකව අත් හිටුවන බවත්, සාකච්ඡා මාර්ගයෙන් ණය ප්‍රතිව්‍යුගතකරණයට යොමුවන බවත්, අප්‍රියල් 12 වැනිදා ප්‍රකාශ කළා. මේ වනවිට ශ්‍රී ලංකාව ආර්ථික අවපාලනය හමුවේ ඉතා කෙටිකලකින් අර්බුදයට පත් වූ රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තරයේ “රෝල් මොඩලයක්” බවට පත් වෙමින් තිබෙනවා.
එය කොතරම් ඛේදනීය තත්ත්වයක් ද!