1980 වර්ෂයේ එක්තරා දිනක රොබට් ශෆ්රාන් නම් සිසුවා නිව් යෝර්ක් ප්‍රාන්තයේ පිහිටි සලිවන් කවුන්ටි ප්‍රජා විදුහලට ඇතුළත් වුණේ ජීවිතයේ තවත් එක කඩඉමක් ආරම්භ කරමින්. ඔහු කවදාවත් එම විදුහලට පා තබා තිබුණේ නැහැ. ඒ නිසා ආගන්තුක ස්ථානයකට හුරුවීමේ අභියෝගය කලින් ම සිත දරා ගෙන ඔහු විදුහලට ඇතුළත් වන්නට ඇති. එහෙත්, සිදු වුණේ අනපේක්ෂිත දෙයක්. එහි සිටි පිරිමි සිසුන් දිගු කලක සිට හඳුනන මිතුරකු පරිද්දෙන් පිටට තට්ටුවක් දමා රොබට් පිළි ගත් අතර, ගැහැනු ළමයින් ඔහු සිප වැලඳ ගනිමින් සිය මිත්‍රත්වය ප්‍රකාශ කළා.
ව්‍යාකූලත්වයට පත් වූ රොබට්, මෙවැනි අනපේක්ෂිත පිළිගැනීමට හේතුව විමසා බැලුවා. විදුහලේ පෙර වසරේ ඉගැනුම ලැබූ එඩී ගැලන්ඩ් නම් තරුණයා රූපකායෙන් තමාට අතිශයින් සමාන බවත්, එඩී යැයි වරදවා වටහාඩගත් නිසා විදුහලේ සිසු සිසුවියන් ඔහු ඉතා උණුසුම් ලෙස පිළිගත් බවත්, රොබට් වටහා ගත්තා. කුතුහලයෙන් පිරී ගිය රොබට් ශෆ්රාන්ට එඩී හමුවීමේ ආසාවක් උපන්නා. එක්තරා දිනෙක ඔහු එඩීගේ නිවස බලා ගිය අතර, දොර විවෘත වූ සැණින් ඔහු විස්මයට පත් වුණා. කැඩපතක් දෙස බලා සිටිනවාක් මෙන් රොබට් දුටුවේ තමාගේ රූපයට අතිශයින් සමාන එඩී ගැලන්ඩ් නම් තරුණයා යි.
විසිරී සිටි තුන් නිවුන්නු
එඩී සහ රොබට් සමාන වුණේ මුහුණේ හැඩයෙන් පමණක් නොවෙ යි. දේහ බරින්, සමේ වර්ණයෙන්, හිසකෙස් ස්වභාවයෙන් සහ උපන් දිනයෙන් පවා ඔවුන් සමාන වුණා. රෝහල් වාර්තාවල උපකාරයෙන් රොබට් සහ එඩී සමාන නිවුන් සොහොයුරන් බව තහවුරු කර ගැනීමට වැඩි කලක් ගත වුණේ නැහැ. සොහොයුරන් දෙදෙනා හැදී වැඩුණේ ඔවුන් ගේ ජීව විද්‍යාත්මක මව්පියන් සමඟ නොවෙ යි. ඒ බව එඩී සහ රොබට් දැනුම්වත් ව සිටියා. නමුත්, ඔවුන් කිසිවිටෙකත් තමුන්ට නිවුන් සහෝදරයෙක් සිටි බව දැනගෙන සිටියේ නැහැ. දෛවයේ සැලසුමක් මෙන් රොබට් සලිවන් විදුහලට ම ඇතුළත් වූ නිසා එය හෙළිදරව් වූ අතර, රොබට් වෙනත් විදුහලකට ඇතුළත් වූයේ නම් එය සදාකාලයට ම රහසක් වීමට ඉඩ තිබුණා.
එකල මේ අහඹු හමුවීම එක්සත් ජනපදය පුරා පුවත් මවන සිදුවීමක් බවට පත් වුණා. පුවත ප්‍රසිද්ධ වීමත් සමඟ වෙනත් විද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටි ඩේවිඩ් කෙල්මන් ද නිවුන් සොහොයුරන් දෙදෙනා දැක විස්මයට පත් වුණා. ඩේවිඩ්ගේ රූපකායත් එඩී සහ රොබට්ට අතිශයින් සමාන වීම ඊට හේතුව යි. ඩේවිඩ් වහා ම එඩී දරුකමට හදාගත් මව සම්බන්ධ කර ගනිමින් තමා හඳුන්වා දුන් අතර, නොබෝ දිනකින් තුන් නිවුන් සොහොයුරෝ එකට එකතු වුණා.
අහඹු හමුවීමක සැඟවුණු අඳුර
තුන් නිවුන් සොහොයුරන්ගේ වෙන් වීම පිටුපස තිබූ හේතුව ඉතා සරල දෙයක් සේ පෙනෙන්න තිබුණා. යුදෙව් පවුල්වලට ප්‍රමුඛත්වයක් ලබා දෙන “Louise Wise Adoption Agency” නම් රැකවරණයක් නොමැති ළමයින් ස්ථානගත කිරීමේ ආයතනය හරහා මෙම දරුවන් පවුල් තුනකට ලබා දුන් බැවින්, එහි විශේෂත්වයක් තිබුණේ නැහැ. ඉදිරිපත් වූ භාරකාර මව්පියන් නිසා ඔවුන් ගේ අනාගතයත් වඩා සුරක්ෂිත වී තිබුණා. එකල තුන් සොහොයුරන්ගේ සහභාගීතවයෙන් සිදු කළ පුවත්පත් සාකච්ඡා, එකට සිටිමින් ලබා ගත් ඡායාරූප, රූපවාහිනී වැඩසටහන්, අසා සිටි සහ බලා සිටි සියල්ලන්ගේ ම හදවත් හැඟීම්බර කිරීමට සමත් වුණා. මේ අහඹු හමුවීම නීරික්ෂණය කිරීමේ දී පැහැදිලි ගැටලු තුනක් පැන නැඟෙනවා.
1. මේ පිරිමි ළමයින් උපතේ දී ම වෙන් කළේ ඇයි?
2. එලෙස වෙන් කළත්, ඔවුන්ට ජීව විද්‍යාත්මක සහෝදරයන් සිටින බව ආයතනය අදාළ පවුල් දැනුම්වත් නොකළේ ඇයි?3. දරුවන් හදාවඩා ගත් එකදු පවුලක් හෝ දැනුම්වත් කර දරු තිදෙනා ම භාර දීමේ හැකියාවක් ගැන සලකා නොබැලුවේ ඇයි?
එවැනි ආර්ථික ශක්තියක් තිබෙන පවුලක් ලැබෙන තුරු මඳක් ඉවසීමේ හැකියාවක් අදාළ ආයතනයට නොතිබීමට ඉඩක් නැහැ. එක්සත් ජනපදයේ මිනිසුන් මොහොතකට හැඟීම්වලින් උණුසුම් කළ මේ අහඹු හමුවීම, ඉතා අඳුරු සිද්ධීන් සමුදායක් වෙත විවෘත වුණේ ඉන් පසුව යි.
Nature vs. Nurture
ඉහත ගැටලුවලට පිළිතුරු සෙවීමේ දී හෙළිදරව් වූ සාක්ෂි සිතනවාට වඩා බැරෑරුම් වුණා. ළමයින්ට සුරක්ෂිත පවුල් සොයා දෙන “Louise Wise” ආයතනය, එඩී, රොබට් සහ ඩේවිඩ් වෙන් කර තිබුණේ සිතාමතාම යි. ඉන්පසු ඔවුන් විවිධ සමාජ සහ ආර්ථික මට්ටම්වල සිටි පවුල් වෙත භාර දුන් අතර, මේ සියල්ල සිදුවුණේ එක්තරා විද්‍යාත්මක පර්යේෂණයක කොටසක් වශයෙන්. මනෝචිකිත්සකවරයකු සහ මනෝ විශ්ලේෂකයකු ලෙස ක්‍රියා කළ ආචාර්ය පීටර් බී. න්‍යුබවර්, මේ විද්‍යාත්මක පර්යේෂණය පිටුපස සිටි බව පැවසෙනවා. විද්‍යාව තුළ එන “nature vs. nurture” නම් දිගුකාලීන විවාදයට සුදුසු පිළිතුරක් මේ පර්යේෂණ හරහා සොයා ගැනීම ඔහුගේ අභිලාෂය වුණා.
ස්වභාවධර්මය (nature) සහ ඇතිදැඩි කිරීම (nurture) යන සාධක දෙක පුද්ගලයකුගේ ගති ලක්ෂණවලට කොතෙක් දුරට බලපානවා ද යන්න මෙම විවාදයෙන් විමසා බලනවා. ඒ අනුව “nature” යන්නෙන් අදහස් වන්නේ මව සහ පියාගෙන් ලැබෙන සහජ ජීව විද්‍යාත්මක සාධක (ජාන) වන අතර, දරුවෙක් හදාවඩා ගන්නා ආකාරය සහ ලැබෙන ජීවන අත්දැකීම් “nurture” යටතට ගැනෙනවා.
සාම්ප්‍රදායිකව ගත් කල මෙම විවාදය තුළ සලකන සාධක ද්විත්වයෙන් පුද්ගල ගති ලක්ෂණ සඳහා වඩාත් බලපෑම් එල්ල කරන්නේ කුමකින්දැ යි විමසනවා. එක් පිරිසක් “nature” යන සාධකය පුද්ගල හැසිරීම් සහ ගතිගුණ කෙරෙහි වඩාත් බලපාන බව සලකමින් ඊට පිටුවහලක් විය හැකි කරුණු සොයන අතර, තවත් පිරිසක් “nurture” යන සාධකයට වැදගත්කමක් දෙමින් කරුණු දැක්වීමේ යෙදෙනවා. සාම්ප්‍රදායික රාමුව තුළ එය විවාදයක් ලෙස සලකන්නේ ඒ නිසා යි. නමුත්, සමකාලීන විශේෂඥයන් “nature” සහ “nurture” යන දෙක ම පුද්ගලයකුගේ මනෝවිද්‍යාත්මක සංවර්ධනයට අදාළ කාර්යභාරය කෙරෙහි වැදගත් වන බව පිළිගන්නවා. එම සාධක ද්විත්වය සංකීර්ණ අන්දමින් අන්තර්ක්‍රියා කරන බව ඔවුන් විශ්වාස කරනවා.
සාමාන්‍ය සමාජයේ පවා මේ කරුණ පිළිගන්නා අයුරු අපට දැකිය හැකි යි. මාපියන්ගෙන් සහජ ව උරුම වන දේ දරුවාගේ මානසික ස්වභාවයට බලපාන බව අප පිළිගන්නා අතරේ ම දරුවෙක් හදාවඩා ගන්නා ආකාරයෙනුත් දරුවාගේ මානසික ස්වභාවය හැඩ ගැස්වෙන බව අප විශ්වාස කරනවා. එහෙත්, ආචාර්ය පීටර් බී. න්‍යුබවර්ට වඩාත් ශක්තිමත් නිරීක්ෂණ අවශ්‍ය වුණා. ඒ වෙනුවෙන් ඔහු සැලසුම් කළ පර්යේෂණය නිසා ආචාර ධර්ම අහියෝගයට ලක් වුණා.
පර්යේෂණාගාර වූ නිවාස
පර්යේෂණයට සහාය වූ කූප්‍රකට ආයතනය එඩී, රොබට් සහ ඩේවිඩ් පවුල් තුනක් වෙත භාර දුන් පසු මනෝචිකිත්සකවරයා මෙම නිවෙස්වලට පැමිණ ඉතා සූක්ෂම අන්දමින් පර්යේෂණයට අවශ්‍ය නිරීක්ෂණ සිදු කර තිබුණා. හදා වඩා ගත් දරුවන් සම්බන්ධයෙන් කරන පර්යේෂණයක් ලෙස හුවා දක්වමින් තම වැඩ කටයුතු නිදහසේ කරගෙන යෑමට ඔහු සමත් වූ අතර, කිසි විටෙකත් එඩී, ඩේවිඩ් හෝ රොබට්ගේ පවුල් සාමාජිකයන්ට ඔවුන්ගේ දරුවා උපතේ දී ම වෙන් කළ තුන් නිවුන් සොහොයුරන් ගෙන් කෙනකු බව හැඟවූයේ නැහැ.
වසර 15 ක් පුරා න්‍යුබවර් ඒ පවුල් සමඟ සිටිමින් මනෝවිද්‍යාත්මක පර්යේෂණ සිදු කළා. දරුවන්ගේ සටහන් පුළුල් වශයෙන් තබා ගනිමින් ඔවුන්ගේ හැසිරීම් වීඩියෝ කිරීමට පවා ඔහු ක්‍රියා කළා. මේ සඳහා “Louise Wise” ආයතනයත් පුළුල් අනුග්‍රහයක් දැක් වූ නිසා පර්යේෂණ සම්බන්ධයෙන් කිසිදු සැක සහිත වාතාවරණයක් ඇති වීමට ඉඩක් තැබුවේ නැහැ.
තුන් නිවුන් දරුවන් හදාවඩා ගැනීමට භාර දුන් පවුල් වල පසුබිමෙත් යම් වෙනසක් තිබුණා. ඒ සෑම පවුලක්ම ජීවත් වුණේ සැතපුම් 100 ක අරයක් තුළ පිහිටි නිවාසවල යි. ඒ නිවාසවල ජීවත් වූ පියවරුන්ගේ චරිත එකිනෙකට වෙනස් වූ අතර, පවුල්වල සමාජ තත්ත්වයේත් යම් වෙනසක් තිබුණා. ඩේවිඩ් කෙල්මන් සැලකීමේ දී ඔහු හැදී වැඩුණේ තරමක ඉහළ ආදායමක් ලබන, සමාජයේ උසස්යැ යි සැලකූ පවුලක් ආශ්‍රයේ යි. ගෘහයට කොටු වූ ජීවිතයක් ගත කළ ඩේවිඩ්ට පියාගේ රැකවරණය එතරම් ම අත්විඳින්න ලැබුණේ නැහැ. වෘත්තියෙන් වෛද්‍යවරයකු වූ ඩේවිඩ්ගේ පියා, බොහෝ විට නිවසේ සිටියේ නැහැ.
රොබට් ජීවත් වුණේ ඊට හාත්පසින් ම වෙනස් පරිසයක යි. ඔහුගේ පවුල කම්කරු පංතිය නියෝජනය කළ අතර, රොබට්ගේ පියා දරුවන්ට ඉතා ළෙන්ගතු, විනෝදජනක පුද්ගලයෙක් වුණා. මේ අතර, එඩී හැදී වැඩුණේ මධ්‍යම පාංතික පවුලක් ආශ්‍රයේ යි. ඔහුගේ පියා ඉහත සඳහන් පියවරුන් දෙදෙනාට ම වඩා වෙනස් ව යමින් එඩී සමඟ ගැටුම්කාරී සබඳතාවක් පවත්වා ගෙන ගියා. එඩීට කවරදාකවත් තම පියා ගැන ප්‍රසන්න හැඟීමක් තිබුණේ නැහැ. මින් පෙනී යන්නේ “Nurture” යන සාධකය කෘත්‍රිම ව ඇති කිරීමට පීටර් න්‍යුබවර් ක්‍රියා කළ බව යි.
බිඳ වැටුණු සහෝදරකම්
තුන් නිවුන් සොහොයුරන්ගේ අහඹු හමුවීම ආරම්භයේ දී ජනතාව අතර බොහොම ජනප්‍රිය වුණා. ඔවුන් රූපවාහිනි වැඩසටහන්වලට සම්බන්ධ වෙමින් සමාන ගතිගුණ ඇති පුද්ගලයන් ලෙස ජනතාව අතර පෙනී සිටියා. නිවුන් දරුවන් අතර සමාන ගති ලක්ෂණ තිබෙන බව සමාන්‍ය සමාජයේ පවා මුල් බැස ගෙන තියෙන මතයක්. ඒ නිසා ම එඩී, රොබට් සහ ඩේවිඩ්ගේ සමාන පෙනුම, ඔවුන් එක හඬින් කථා කරන අන්දම, අවුරුදු ගණනාවක සිට වෙන් වී සිටි පසුබිමක පවා එකමුතු ව සිටින අයුරු, බොහෝ දෙනාගේ ප්‍රසාදයට හේතු වුණා. ඔවුන් තිදෙනා අතරත් එවැනි බැඳීමක් ක්ෂණික ව ඇති වන්නට ඇති. තමාගේ රූපයට මුළුමනින් ම පාහේ සර්ව සම වූ තවත් සහෝදරයන් දෙදෙනකු අහම්බෙන් හමුවන විට සහෝදර ප්‍රේමයක් ඉපදීම අනුමාන කළ හැකි කාරණයක්. ජීවිතයේ ඉතිරි කාලය එකට ගත කිරීමට ඔවුන් තීරණය කළේ ඒ නිසා යි.
පසු කලෙක ඔවුන් තිදෙනා ම එකතු වී “Triplet” නමින් අවන්හලක් ආරම්භ කළ අතර, ව්‍යාපාරික කටයුතු සමඟියෙන් ගෙන ගියා. ඒ අතර කාලයේ දී ඔවුන් විවාහ දිවියටත් ඇතුළත් වුණා. සියල්ල ම හොඳින් සිදු වුණා. තිදෙනා අතර තිබෙන සමාන රුචි අරුචිකම්, සහෝදර බැඳීම හමුවේ ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ ශක්තිය තිබෙන බව ඔවුන් විශ්වාස කළා. සොහොයුරන් තිදෙනා නොදැනුවත්ව ම සහභාගී වී සිටි පර්යේෂණයේ අනිටු ප්‍රතිඵල කෙමෙන් කෙමෙන් ඔවුන් ගේ ජීවිත අඳුරට ගෙන ගියා. එඩී, රොබට් සහ ඩේවිඩ් එකිනෙකට වෙනස් පවුල් පසුබිම් තුළ හැදී වැඩුණු බැවින්, ඔවුන් ගේ හැසිරීම් රටා, ගතිගුණ වල විශාල වෙනස්කම් තිබුණා. ඒවා ප්‍රබල ව ඉස්මතු වීම ඇරඹුණේ ඔවුන් එකිනෙකාට සමීප ව ජීවත් වීමට ගත් තීරණයෙන් පසුව යි. කාලය ගත වනවිට මෙතෙක් සිතාගෙන සිටි අන්දමට වඩා තිදෙනා ම එකිනෙකාගෙන් බොහෝ වෙනස් බව ඔවුන්ට දැනෙන්න පටන් ගත්තා.
“Nurture” සාධකය ප්‍රබල වුණා ද?
සොහොයුරන් තිදෙනා ජීවත් වූ එකිනෙකට වෙනස් පරිසර තත්ත්ව ඔවුන් ගේ මානසික ස්වභාවයත් හැඩ ගස්වා තිබුණා. ජීවිතයට මුහුණ දීමේ දී මතුවන ආතතිවලට එක් සහෝදරයෙක් හෝ දෙදෙනෙක් හොඳින් මුහුණ දෙන විට අනෙකා ආතතියට ගොදුරු වුණේ මේ වෙනස නිසා යි. ඔවුන් කොතරම් ප්‍රේමයෙන් සිටියත්, එකිනෙකාගේ මානසික ස්වභාවය තේරුම් ගැනීමට තරම් කාලයක් එකට සිටියේ නැහැ. මේ වියවුලේ ආරම්භය සනිටුහන් කරමින් එක් සොහොයුරෙක් අවන්හල් ව්‍යාපාරයෙන් ඉවත් වුණා. ඒ සමඟ ම එඩීගේ හැසිරීම අවිනිශ්චිත සහ අනපේක්ෂිත ස්වභාවයකට හැරුණු අතර, ඔහු මානසික අවපීඩනයට ලක් වූ ස්වභාවයක් පෙන්නුම් කළා.
කෙටි මනෝ වෛද්‍ය ප්‍රතිකාර සැසියකින් පසු එඩී නැවතත් නිවසට පැමිණිය ද, එක් උදෑසනක ඔහු සුපුරුදු පරිදි අවන්හලට පැමිණියේ නැහැ. පවුලේ සාමාජිකයෙක් නිවස පරීක්ෂා කිරීමේ දී එඩී වෙඩි තබාගෙන ඇති බව සොයා ගත්තා. අවසාන ප්‍රතිඵලය ලෙස ඔවුන්ගේ සමූහ අවන්හල් ව්‍යාපාරය බිඳ වැටුණු අතර, එකිනෙකට වෙනස් මාර්ග ඔස්සේ ගමන් කරමින් ජීවිතයට මුහුණ දෙන්නට සිදු වුණා. හැදී වැඩුණු ආකාරය සහ ජීවිත් වීමේ දී එය තෝරා ගැනීම්වලට බලපාන ආකාරය ගැන ඔවුන්ට අවබෝධයක් තිබුණේ නැහැ. බැලූ බැල්මට ම නිවුන් සොහොයුරන්ගේ ජාන උරුමයෙන් ලැබුණු සහජ සමානකම් පරයමින් ඔවුන් හැදී වැඩුණු අන්දම ඉදිරියට ආවා. එනම්, “Nurture” සාධකය ප්‍රබල වූ බවක් පෙනෙන්න තිබුණා.
Three Identical Strangers
2018 දී මේ සිදුවීම් දාමය පසුබිම් කරගත් වාර්තා චිත්‍රපටය නිකුත් වුණා. “Three Identical Strangers” යනුවෙන් විකාශය වූ ඒ වාර්තා චිත්‍රපටය එකල මහත් ආන්දෝලනයට තුඩු දුන් අතර, චිත්‍රපටය ලැබුණු ප්‍රසිද්ධිය නිසා පීටර් න්‍යුබවර් සිදු කළ පර්යේෂණයේ ගැඹුර තව දුරටත් විමසා බැලිය යුතු යි යන කතිකාවත ඇති වුණා. න්‍යුබවර්ගේ සිදු කළ අධ්‍යයනයේ ප්‍රතිඵල කිසි විටෙක ප්‍රකාශයට පත් කළේ නැහැ. ඒවා යේල් විශ්ව විද්‍යාලයේ මුද්‍රා තබා තිබුණා. වාර්තා චිත්‍රපටය නිර්මාණය කරමින් සිටි කාලයේ දී එහි නිෂ්පාදක කණ්ඩායම මුද්‍රා තබා තිබූ වාර්තා වෙත ප්‍රවේශය ලබා ගැනීම උදෙසා නිවුන් සහෝදරයන් සමඟ සටන් කළා.
මාස ගණනක පරිශ්‍රමයකින් පසු දශක ගණනාවක් තිස්සේ අනාවරණය නොකළ වාර්තා පිටු එකොළොස්දහසකට ආසන්න ප්‍රමාණයක් විවෘත කර ගැනීමට කණ්ඩායමට හැකි වුණා. කෙසේ නමුත්, වාර්තා චිත්‍රපටයෙන් අධ්‍යයන වාර්තා ගැන වැඩිදුර යමක් පැවසෙන්නේ නැහැ. වාර්තා වෙත ප්‍රවේශ වීම සඳහා අවසර ලබා දෙන විට චිත්‍රපටයේ වැඩ කටයුතු අවසාන වී තිබීම ඊට හේතුව යි. වාර්තා වල කරුණු අතිශයින් පුද්ගලික වූ නිසා ඒවා වින්දිතයන්ගේ පවුල් අතර පමණක් සංසරණය කෙරුණා.
වාර්තා චිත්‍රපටය හරහා සිදු වූ අනෙක් විශාලත ම බලපෑම වන්නේ එඩී, රොබට් සහ ඩේවිඩ් වෙන් කළ ආකාරයෙන් ම වෙන් කළ වෙනත් නිවුන් දරුවන් ගැනත් තොරතුරු හෙළි වීම යි. උදාහරණයක් ලෙස වාර්තා චිත්‍රපටය නැරඹූ මිෂෙල් මෝර්ඩ්කොෆ් ද “Louise Wise” ආයතනය හරහා දරුකමට ලබා දී තිබූ බැවින්, ඇයත් තමාට නිවුන් සහෝදරයන් සිටීදැ යි සෙවීමට උනන්දු වුණා. ඒ සැකය තහවුරු කරමින් ඇයගේ නිවුන් සහෝදරිය හමු වීමට ඇයට හැකි වුණා. ආචාර ධර්ම අභියෝගයට ලක් කළ පර්යේෂණයක වින්දිතයන්ට සාධාරණය ඉටු වුණේ මේ අයුරින්. එහෙත්, ඔවුන්ට සහෝදරයන් ලෙස එකට සිටීමට තිබූ කාලය ආපසු කෙසේ ලබා ගන්න ද!