ඈත අතීතයේ සිට ම ලාංකිකයන්ගේ ප්‍රධාන ආහාරය වුණේ බත. එනිසා වසර දහස් ගණනක සිට අප රට තුළ වී ගොවිතැන සිදු කෙරුණා. එදා මෙරට විසූ රජවරුන් වැව් අමුණු ඉදිකරවා වී වගාව සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සහලින් ස්වයංපෝෂිත ව පැවතුණු අපේ රට එකල පෙරදිග ධාන්‍යාගාරය ලෙසින් හැඳින්වූවා.
වසර දහස් ගණනක සිට කිසිදු ගැටලුවකින් තොරව බත් ආහාරයට ගත් ලාංකිකයන්ට අද වන විට හිතේ හැටියට බත් කන්නට තිබුණු අවස්ථාවත් අහිමි වී ගොස් තිබෙනවා. ඒ වෙළෙඳපොළේ විශාල සහල් හිඟයක් නිර්මාණය වී තිබීම නිසා යි. මේ දිනවල පවත්නා ආර්ථික අර්බුදයට සමගාමී ව රටේ එම සහල් හිඟය ඇති වී තිබෙනවා. කොළඹ ඇතුළු ව තදාසන්න පළාත්වල මෙන් ම රටේ අනෙකුත් පළාත්වල වෙළෙඳපොළවලත් මෙම සහල් හිඟය පැතිර තිබෙනවා. සහල් නිෂ්පාදකයන්ගෙන් කොළඹ තොග වෙළෙඳුන්ට ලැබෙන සහල් තොග ඉතාමත් සීමිත බව පිටකොටුවේ තොග වෙළෙඳුන් පවසනවා.
වෙළෙඳපොළේ සහල් මිල ද ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින්නේ පාරිභෝගිකයාට දැරිය නොහැකි අන්දමින්. එපමණක් නොව මේ වන විට වෙළෙඳපොළේ විකිණීමට තිබෙන සහල් වර්ගවල මිල ගණන් ද දැරිය නොහැකි තරම් ඉහළ ගොස් තිබෙන නිසා පාරිභෝගිකයන් දැඩි ලෙස අපහසුතාවකට පත්ව සිටිනවා. එනිසා සහල් මිල දී ගැනීම සඳහා වෙළඳපොළට යන බොහෝ උදවිය මැසිවිලි නඟමින් ආපසු පැමිණෙන ආකාරය සුලබ දසුනක්.
ගෙවුණු කාලයේ අප රට තුළ පැවති රසායනික පොහොර හිඟය නිසා වී වගාව නිසි අයුරින් කරගෙන යාමට හැකි වුණේ නැහැ. එනිසා විශාල කුඹුරු අක්කර ප්‍රමාණයක් වගා නොකිරීම අද වන විට අප රටේ ඇති ව තිබෙන සහල් හිඟයට ප්‍රධානත ම හේතුව යි. අප රට තුළ වී වගාව සඳහා වඩාත් හිතකර දේශගුණිකයක් පවතිනවා.
නමුත් ගෙවුණු දශක කිහිපය තුළ මෙරට වී වගාව දියුණු තත්ත්වයකට පත්ව නැහැ. පාලකයන්ගේ දුර්වල තීරණ, තරුණ ප්‍රජාව වී වගාවෙන් දුරස් වීම, වී වගාව මඟින් ප්‍රමාණවත් තරම් ආදායමක් නොලැබීම, කම්කරු හිඟය, තවමත් සාම්ප්‍රදායික වී වගා ක්‍රම අනුගමනය කිරීම වැනි හේතු නිසා මෙරට වී වගාව එක තැන පල්වෙමින් තිබෙනවා.
1960-2021 කාලය තුළ වසරින් වසර ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනය සිදු වුණු ආකාරය පහතින් දක්වා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ වී වගාව දිනෙන් දින අභාවයට යද්දී ලෝකයේ ඇතැම් රටවල් දියුණු කෘෂිකාර්මික ක්‍රම අනුගමනය කරමින් ඉහළ වී අස්වැන්නක් ලබා ගන්නවා. ලොව වැඩි ම වාර්ෂික සහල් නිෂ්පාදනය සිදු කරන්නේ ආසියානු කලාපය තුළ යි. එසේ සාර්ථක ව වී වගා කරන ආසියානු රටවල් අතුරින් වැඩි ම සහල් නිෂ්පාදනයක් සිදු කරන රටවල් 4ක් පිළිබඳ ව සහ ඒ උදෙසා ඔවුන් අනුගමනය කරන ක්‍රමවේද විමසා බැලීම වැදගත් වන්නේ එමඟින් අප රටට ද උගත හැකි පාඩම් බොහෝ ඇති නිසා යි.
1). චීනය
ආසියානු කලාපය තුළ පවතින ස්වයංපෝෂිත රටවල් අතුරින් එකක් වන චීනය ලොව වැඩි ම සහල් නිෂ්පාදනයක් සිදු කරන රට බවට පත් ව තිබෙනවා. අද වන විට චීනය සහල් නිෂ්පාදනය අතින් ලබා තිබෙන දියුණුවට මූලික පදනම වැටුණේ එරට 1974 දී ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය සමඟ සම්බන්ධ වීමෙන් පසුව යි. එම අවධියේ දී චීනයට පැමිණි ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ නිලධාරින් එරට වී වගාව කරගෙන ගිය ආකාරය පිළිබඳ ව අධ්‍යයනය කළා.
ඉන් පසුව උසස් තත්ත්වයෙන් යුත් වී වර්ග චීනයට හඳුන්වා දුන්නා. 1970 දශකයේ අග භාගය වන විට ගෝල්ඩන් ෂටල් 1 සහ ෂොන්ග්යු 1,4,6 යන වී ප්‍රභේද චීනය තුළ වැඩි වශයෙන් වගා කළා. එකල චීන කෘෂි විද්‍යාඥයන් වැඩි අස්වැන්නක් ලබා ගත හැකි වී වර්ග නිපදවීම සඳහා දිගින් දිගට ම පර්යේෂණ සිදු කළා.
යුවාන් ලෝන්ග්පිං නම් චීන කෘෂි විද්‍යාඥයා 1970 දශකයේ දී චීනයට දෙමුහුන් වී ප්‍රභේද හඳුන්වාදීමත් සමඟින් එරට සහල් නිෂ්පාදනයේ වැඩිවීමක් දක්නට ලැබුණා. එම වී ප්‍රභේදවලින් (15-20)% අතර වැඩි වී අස්වැන්නක් ලබා ගැනීමට හැකි වුණා. Shanyou-2 සහ Welyou-6 චීනයේ මුලින් ම නිෂ්පාදනය වුණු දෙමුහුන් වී ප්‍රභේද ද්විත්වය ලෙසින් සැලකෙනවා.
1983 දී චීන සහල් පර්යේෂණ ආයතනය ආරම්භ වුණා. ඉන් අනතුරු ව එරට සහල් නිෂ්පාදනයේ ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබුණා. 1997 දී ඇරඹුණු ව්‍යාපෘතියක් හරහා සහල් පර්යේෂණ කටයුතු තවත් පුළුල් කළා. එහි දී චීනයේ අරමුණ වුණේ අස්වැන්න අධික වී ප්‍රභේද නිපදවීම යි. ඒ අයුරින් සිදු කළ පර්යේෂණ නිසා 1999 සිට මේ දක්වා නව වී ප්‍රභේද 50කට අධික ප්‍රමාණයක් ලොවට හඳුන්වා දෙන්නට චීනයට හැකි වුණා.
වී වගාව සඳහා බහුල ව යන්ත්‍ර සූත්‍ර භාවිත කරන රටවල් අතර චීනය ඉදිරියෙන් ම සිටිනවා. ඔවුන් බිම් සකස් කිරීම, වී ඉසීම, ගොයම් කැපීම ආදී කාර්යයන් සඳහා විවිධ යන්ත්‍ර සූත්‍ර භාවිත කරනවා. එපමණක් නොව ඩ්‍රෝන යානා භාවිතයෙන් වී වගා බිම් සඳහා පළිබෝධනාශක යොදනවා. එනිසා ඔවුන්ට වී වගා කටයුතුවලට විශාල මිනිස් ශ්‍රමයක් අවශ්‍ය වෙන්නේ නැහැ.
අඩු කාලයක් තුළ වැඩි බිම් ප්‍රමාණයක් වගා කිරීමට ද ඔවුනට හැකි ව තිබෙනවා. වැඩි අස්වැන්නක් සහිත දෙමුහුන් වී වර්ග වගා කිරීම නිසා චීනයට වැඩි වාර්ෂික වී අස්වැන්නක් ලබා ගන්නවා. ෂැන්යු 63 නම් සහල් විශේෂය චීනයේ බහුල ව වගා කරන දෙමුහුන් සහල් විශේෂය බවට පත්ව තිබෙනවා.
ඒ අයුරින් දශක කිහිපයක් තුළ චීනයේ සිදු වුණු කෘෂිකාර්මික දියුණුව නිසා අද වන විට ලොව ප්‍රමුඛත ම සහල් නිෂ්පාදකයා බවට පත් ව සිටිනවා. 2021 දී සහල් මෙට්‍රික් ටොන් මිලියන 212.84ක් නිෂ්පාදනය කළ චීනය 2011-2021 කාලය තුළ සෑම වසරක ම සහල් මෙට්‍රික් ටොන් මිලියන 200කට වඩා නිෂ්පාදනය කිරීමට සමත් වුණා.
චීනය හෙක්ටයාර මිලියන 30කට ආසන්න බිම් ප්‍රමාණයක වී වගාව සිදු කරමින් වාර්ෂික ව විශාල අස්වැන්නක් ලබා ගන්නවා. අඛණ්ඩව කෘෂිකාර්මික පර්යේෂණ සිදුකිරීම සඳහා එරට රජය ලබා දුන් ඉහළ දායකත්වය හේතුවෙන් අද වන විට චීනය සහලින් ස්වයංපෝෂිත වී තිබෙනවා.
මෑතකදී ඩුබායි හි කාන්තාරයක වී වගා කර සහල් නිෂ්පාදන වාර්තාවක් තැබීමට ද චීනයේ කෘෂි විද්‍යාඥයන් පිරිසක් සමත් වුණා.
2). ඉන්දියාව
1960 දශකයේ දී ඉන්දියාව තුළ සාගත තත්ත්වයක් ඇති වුණා. එම අවස්ථාවේ ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ මැදිහත්වීමෙන් ඉහළ අස්වැන්නක් සහිත IR8 නම් වී ප්‍රභේදය හඳුන්වා දුන්නා. එම නව වී ප්‍රභේදය එකල ඉන්දියාව තුළ හැඳින්වූයේ ආශ්චර්ය සහල් යන නමින්. අලුතින් හඳුන්වා දුන් එම වී ප්‍රභේදය නිසා ලද ඉහළ අස්වැන්න හේතුවෙන් ඉන්දියාවේ සාගත තත්ත්වය පහ ව ගියා.
එතැන් සිට ඉන්දීය රජය ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ උදව් ලබා ගෙන සිය රටේ වී වගාව දියුණු කිරීමට කටයුතු කළා. 1960 දශකයේ අග භාගයේ දී ඉන්දියාව තුළ ආරම්භ වුණු සහල් පර්යේෂණ ආයතන ද්විත්වය හරහා සිදු වුණු පර්යේෂණවල ප්‍රතිඵලයක් වශයෙන් අස්වැන්න වැඩි වී ප්‍රභේද නිපදවීමට හැකි වුණා. අනතුරු ව ඉන්දියාවේ වාර්ෂික සහල් නිෂ්පාදනය ශීඝ්‍රයෙන් වර්ධනය වුණා.
වර්තමානය වන විට දුඹුරු සහල්, බාස්මතී, ජැස්මින් සහල්, මෝග්‍රා සහල්, බැම්බෝ සහල්, කළු සහල්, සුෂී සහල් වැනි සහල් ප්‍රභේද රැසක් ඉන්දියාව තුළ නිෂ්පාදනය වෙනවා. ඔවුන් ඒවා අපනයනය ද කරනවා. ඉන්දියාවේ වැඩි ම සහල් නිෂ්පාදනය සිදුවන්නේ බටහිර බෙංගාල ප්‍රාන්තය ආශ්‍රිතව යි. 2020 දී එම ප්‍රාන්තයේ ටොන් මිලියන 15.57ක සහල් නිෂ්පාදනයක් සිදු ව තිබුණා. ඊට අමතර ව උත්තර් ප්‍රදේශ්, පන්ජාබ්, තමිල්නාඩු සහ ආන්ද්‍රා ප්‍රදේශ් යන ප්‍රාන්තවල ඉහළ සහල් නිෂ්පාදනයක් සිදුවෙනවා.
2011-2021 කාලය තුළ සෑම වසරක දී ම වාගේ ඉන්දියාවේ සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 100 ඉක්මවා ගියා. එහි දී වැඩි ම සහල් නිෂ්පාදනයක් සිදු වුණේ 2020 වසරේ දී යි. එම වසරේ ඉන්දියාවේ සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 121ක් ලෙසින් සටහන් වුණා. අද වන විට ඉන්දියාව හෙක්ටයාර මිලියන 43.90ක බිම් ප්‍රමාණයක වී වගාව සිදු කරනවා.
ඉන්දියාව එතරම් දියුණු තාක්ෂණික ක්‍රම අනුගමනය නොකිරීම නිසා චීනය තරම් ඉහළ වාර්ෂික සහල් නිෂ්පාදනයක් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
ඉන්දියාවේ සහල් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා මෑත කාලයේ දී ප්‍රධාන තාක්ෂණික ක්‍රම 2ක් හඳුන්වා දුන්නා. ඍජු බීජ සහල් තාක්ෂණය ඉන් එක ක්‍රමයක්. සෘජු ව සහල් වැපිරීම යනු ක්ෂේත්‍රයේ බීජ වැපිරීමෙන් වී වගා කිරීමේ ක්‍රියාවලිය යි. මූලික වශයෙන් බීජ සහල් පිහිටුවීමේ ප්‍රධාන ක්‍රම 3ක් තිබෙනවා. පහතින් දක්වා ඇත්තේ එම ක්‍රම 3 යි.
1) වියළි බීජ- වියළි පසෙහි වියළි බීජ වැපිරීම
2) තෙත් බීජ කිරීම- තෙත් පසෙහි ප්‍රරෝහණය වුණු බීජ වැපිරීම
3) ජලයේ වැපිරීම- ස්ථාවර ජලයේ වපුරන බීජ
සහල් උත්සන්න කිරීමේ පද්ධතිය හෙවත් SRI ඉන්දියාවේ සහල් අස්වැන්න වැඩි කිරීම සඳහා යොදා ගන්නා තවත් නව තාක්ෂණයක්. එය මූල පද්ධතියේ වර්ධනය, පාංශු ජීවීන්ගේ බහුලත්වය සහ විවිධත්වය සහ අඩු යෙදවුම්වලින් වැඩි ප්‍රතිදානයක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ශාක, පස, ජලය සහ පෝෂක කළමනාකරණය වෙනස් කිරීම මඟින් වාරි සහල්වල පලදායිතාව ඉහළ නැංවිය හැකි කෘෂි-පාරිසරික ක්‍රමවේදයක්.
3). ඉන්දුනීසියාව
ගිනිකොණදිග ආසියාවට අයත් රටක් වන ඉන්දුනීසියාව දශක ගණනාවක සිට ලෝකයේ ඉහළ ම සහල් නිෂ්පාදනයක් සිදු කළ රටවල් අතරට අයත් වුණා. 1972 දී ඉන්දුනීසියානු රජය ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය සමඟින් අත්වැල් බැඳ ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1972 දෙසැම්බර් 20 වැනිදා ඉන්දුනීසියානු ජාතික සහල් පර්යේෂණ වැඩසටහන ආරම්භ වුණා. 1978 දී එම පාර්ශව දෙක අතර අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කළා.
ඒ හරහා වී වගාවට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දීම, ඉහළ අස්වැන්නක් සහිත වී වර්ග හඳුන්වා දීම, වී වගා කටයුතු සඳහා යන්ත්‍ර සුත්‍ර භාවිත කිරීමට දිරිමත් කිරීම, සහල් පර්යේෂණ කටයුතු සඳහා ප්‍රතිපාදන ලබා දීම වැනි සේවා සැපයුණා. ඉන්දුනීසියානු සහල් නිෂ්පාදනය ක්‍රම ක්‍රමයෙන් ඉන්පසු ඉහළ ගියා. 1972 දී මෙට්‍රික් ටොන් මිලියන 19.39ක් ලෙසින් පැවති ඉන්දුනීසියාවේ සහල් නිෂ්පාදනය 1982 වන විට මෙට්‍රික් ටොන් මිලියන 33.53ක් දක්වා ඉහළ ගොස් තිබුණා.
1980 දශකය තුළ ඉන්දුනීසියානු සහල් නිෂ්පාදනය තවත් මෙට්‍රික් ටොන් මිලියන 12කින් ඉහළ ගියා. එම කාල වකවානුවේ දී වගා කටයුතු සඳහා ප්‍රමාණවත් තරම් ජලය ලබා දීම, දියුණු පළිබෝධ පාලන ක්‍රම හඳුන්වා දීම, දියුණු යන්ත්‍ර සූත්‍ර භාවිත කරමින් වී වගාවේ නිරත වීම, වැඩි අස්වැන්නක් සහිත වී වර්ග වගා කිරීම වැනි හේතු නිසා සහල් නිෂ්පාදනය වැඩි කරගැනීමට එරටට හැකියාව ලැබුණා. වර්තමානය වන විට එරට වගා කරන ප්‍රධාන වී වර්ග අතරට පන්ඩන් වංගයි, රෝජෝලෙලේ, IR 64, IR 42, C4 වැනි වී ප්‍රභේද අයත්.
2011-2018 කාලය තුළ ඉන්දුනීසියාවේ වාර්ෂික සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 70 සීමාවේ රඳවා ගත්තා. කොරෝනා වසංගත තත්ත්වයේ බලපෑම හේතුවෙන් පසුගිය වසර 2-3ක කාලය තුළ එරට සහල් නිෂ්පාදනයෙහි අඩුවීමක් දක්නට ලැබුණා. එනිසා 2021 දී ඉන්දුනිසියාවේ සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 55.27ක් ලෙසින් සටහන් වුණා. එම සහල් නිෂ්පාදනය සිදුකිරීම සඳහා ඔවුන් හෙක්ටයාර මිලියන 13කට ආසන්න භූමි ප්‍රමාණයක වී වගා කරනවා.
ඉන්දුනිසියාවේ වාර්ෂික සහල් අස්වැන්න වැඩි කිරීම සඳහා විකෘති වී වර්ගවලින් විශාල සහායක් ලැබෙනවා. එරට තුළ විකෘති වී වර්ග නිපදවීමේ ක්‍රියාවලිය සඳහා සහාය වන්නේ ඉන්දුනීසියානු ජාතික න්‍යෂ්ටික බලශක්ති නියෝජිතායතනය (BATAN) යි. එම විකෘති වී ප්‍රභේදවලින් විශාල අස්වැන්නක් ලබාගන්නට පුළුවන්. 1970 දශකයේ සිට මේ දක්වා BATAN මඟින් විකෘති වී ප්‍රභේද 23ක් නිපදවා තිබෙනවා.
Sidenuk, DiahSuci සහ Mira-1 එවැනි විකෘති කළ වී ප්‍රභේද කිහිපයක්. විකෘති කළ වී ප්‍රභේද නිපදවීමට අමතර ව නවීන කෘෂි තාක්ෂණික උපකරණ භාවිත කරමින් වී වගා කරන බිම් ප්‍රමාණය වැඩි කිරීමේ ව්‍යාපෘති ඉන්දුනීසියානු රජය පසුගිය කාලයේ ආරම්භ කළා.
4). බංග්ලාදේශය
බංග්ලාදේශයේ භූගෝලීය පිහිටීම අනුව ගංවතුර සහ සුළි කුණාටු වැනි ස්වභාවික විපත්වලට නිතර ගොදුරු වෙනවා. බංග්ලාදේශය අද වන විට සහල් නිෂ්පාදනය අතින් ලොව සිව්වන ස්ථානයට පත් ව සිටිනවා. ඒ සඳහා හේතු වුණේ 1970 දශකයේ සිට ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය හරහා එරටට ලැබුණු අනගි සහාය යි. එම ආයතනය හඳුන්වාදුන් වැඩි අස්වැන්නක් සහිත IR8 නම් වී ප්‍රභේදය මඟින් රටේ සහල් නිෂ්පාදනය උසස් තත්ත්වයක් කරා රැගෙන යාමට හැකි වුණා.
1975 වන විට මෙට්‍රික් ටොන් මිලියන 10.59 ක් ලෙසින් පැවති බංග්ලාදේශයේ සහල් නිෂ්පාදනය 1985 වන විට මෙට්‍රික් ටොන් මිලියන 15 දක්වා ඉහළ නැංවීමට හැකි වුණා. ඊට පසු යුගයේ දී කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය, ආසියානු සංවර්ධන බැංකුව වැනි අරමුදල් සහ ආයතන හරහා බංග්ලාදේශයේ වී වගාව දියුණු කිරීම සඳහා සහාය ලැබුණා.
අද වන විට බංග්ලාදේශයේ ගොවි පවුල් මිලියන 13ක් පමණ සිටින බව වාර්තාවල දැක්වෙනවා. ඔවුන් රටේ ඉඩම් හෙක්ටයාර මිලියන 10.5ක පමණ යොදා ගෙන වී වගාව සිදු කරනවා. බංග්ලාදේශයේ බහුල ව වගා කරන වී ප්‍රභේද අතරට BRRI Dhan සහල් ප්‍රභේද, බාලම්, බින්නි, බාස්මතී, ගඩායි ලෂ්කාරි, හාමිම් වැනි ඒවා අයත්.
ගෙවුණු දශක 2ක පමණක් කාලය තුළ බංග්ලාදේශයේ වාර්ෂික සහල් නිෂ්පාදනය ශීඝ්‍රයෙන් ඉහළ ගියා. එහි ප්‍රතිඵලයක් ලෙස 2020 වන විට බංග්ලාදේශයේ වාර්ෂික සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 54.90ක් තරම් ඉහළ අගයක් ගත්තා. බංග්ලාදේශය අද වන විට හෙක්ටයාර මිලියන 12කට ආසන්න බිම් ප්‍රමාණයක් වී වගාව සඳහා වෙන් කර තිබෙනවා.
නිතර ස්වභාවික ආපදාවලට ලක්වෙද්දීත් බංග්ලාදේශය ඉහළ වාර්ෂික වී අස්වැන්නක් ලබා ගන්නේ ගෙවුණු කාලය තුළ එරට පර්යේෂකයන් නිර්මාණය කළ ස්වභාවික ආපදාවලට පවා ඔරොත්තු දෙන වී ප්‍රභේද නිසා යි. බංග්ලාදේශයේ ශ්‍යාමනගර් හි ජිවත් වන දිලිප් ටරාෆ්දාර් නම් ගොවියා පසුගිය කාලයේ දී ස්වභාවික ආපදා සඳහා ඔරොත්තු දෙන වී ප්‍රභේදයක් සොයා ගත්තා. චාරුලතා නමින් හැඳින්වෙන එම වී ප්‍රභේදය ලුණු සහිත පසෙහි වර්ධනය වෙනවා. එපමණක් නොව ජලයට සහ අධික සුළඟට ද ඔරොත්තු දෙනවා.
ගෙවුණු දශක කිහිපය තුළ බංග්ලාදේශ වී පර්යේෂණ ආයතනය හරහා ද ස්වභාවික ආපදා සඳහා ඔරොත්තු දෙන සහල් ප්‍රභේද රැසක් නිපදවා තිබෙනවා. BRRI dhan 6,28,29,33 ඒ අතුරින් කිහිපයක්. එසේ බංග්ලාදේශය තුළ නිපදවූ නව සහල් ප්‍රභේද නිසා ගෙවුණු කාලයේ එරට වාර්ෂික වී අස්වැන්න වැඩි වුණා.
ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනය
ලෝකයේ සහල් නිෂ්පාදනය කරන රටවල් අතුරින් මුල් ස්ථාන 20 හි පමණ රැඳී සිටින ශ්‍රී ලංකාව 2021/22 කාලය තුළ මෙට්‍රික් ටොන් මිලියන 2.92ක සහල් නිෂ්පාදනයක් සිදු කර තිබෙනවා. ඊට පෙර වසරේ මෙරට සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 3.39ක් ලෙසින් සටහන් වුණා. ශ්‍රී ලංකාවේ වාර්ෂික සහල් නිෂ්පාදනය මුල් ම වරට මෙට්‍රික් ටොන් මිලියන 1 ඉක්මවා ගියේ 1970 දී යි. 2002 දී එම ප්‍රමාණය මුල් ම වරට මෙට්‍රික් ටොන් මිලියන 2 පසු කර ගියා.
අප රටේ වාර්ෂික සහල් නිෂ්පාදනය මුල්ම වරට මෙට්‍රික් ටොන් මිලියන 3 ඉක්මවා ගියේ 2011 දී යි. 2018-2020 දක්වා ගෙවුණු වසර 3ක කාලය තුළ මෙරට වාර්ෂික සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 3.1 ඉක්මවා ගියා. අවසන් වසර දෙකේ දී එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 3ට වඩා අඩු වුණා. අද වන විට අප රටේ වී වගාව සිදු කරන සමස්ත භූමි ප්‍රමාණය ආසන්න වශයෙන් හෙක්ටයාර මිලියන 0.708ක්. මේ වන විට මෙරට පවතින රසායනික පොහොර හිඟය නිසා ඉදිරි වසරවල දී මෙරට වාර්ෂික සහල් නිෂ්පාදනය තවදුරටත් අඩුවනු ඇති. එවිට ජනතාවට මහා ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බවට විද්වතුන් අනතුරු අඟවා තිබෙනවා.