බෙත්ලෙම් රාජකීය රෝහලේ ඇසූවන් ඇස් උඩ ඉන්දන කතාව

ලොව පුරා මානසික රෝගීන්ට ප්‍රතිකාර කරන මානසික රෝහල් පිහිටා තිබෙනවා. මින් සමහරක් ඉතා බරපතල ගණයේ මානසික රෝගවලට ප්‍රතිකාර කරන රෝහල් වෙනවා. වර්තමානය වන විට ලෝකය පිළිගන්නා හර පද්ධතීන් සහිත ව සියලු ම රෝහල් පාහේ රෝගීන්ට ප්‍රතිකාර කළත්, මීට බොහෝ කලකට පෙර තත්ත්වය එසේ වූයේ නැහැ.

අතීත මානසික රෝහල් සමහරක් තුළ සත්‍ය ලෙස ම සිදුවූ සමහර සිදුවීම්, පියවි සිහියෙන් කල් ගෙවන බොහෝ දෙනාට විශ්වාස කළ නොහැකි තරමේ කනගාටුදායක වූත්, කටුකවූත් සිදුවීම් වෙනවා. ලොව පැරණිත ම මානසික රෝහලක් වන බෙත්ලෙම් රාජකීය රෝහලේ කතාවත් එවැනි සිදුවීම් ගොන්නක් සහිත එකක්.

 එලිසා කැම්ප්ලින් බෙත්ලෙම් රෝහලට ගෙනාවේ හදිසි මේනියා තත්ත්වයක් නිසායි- Museum Of The Mind

 

රෝගීන් පෙළූ රෝහල

‘ඔබ බරපතල තත්ත්වයේ මානසික රෝගීන් රඳවා තබාගෙන ප්‍රතිකාර කරන එංගලන්තයේ බෙත්ලෙම් රාජකීය රෝහල මීට සියවස් කිහිපයකට පෙර පරීක්ෂා කර බැළුවේ නම් ඔබට භයානක චිත්‍රපටයක දසුන් සිහිවෙනු නිසැකයි.’ යනුවෙන් බෙත්ලෙම් රෝහල ගැන ලියැ වී තිබූ එක්තරා ලිපියක අන්තර්ගත වී තිබුණා. එහි තත්ත්වය එතරම්ම පහළ මට්ටමක තිබූ අතර, එහි වූයේ මානසික සෞඛ්‍ය පිරිහීම නිසා සමාජයෙන් කොන් කළ අය යි.

මින් සමහරක් දෙනා තමන්ගේ මානසික තත්ත්වය නිසා ම මිනිමැරුම් පවා සිදුකළ අය වුණා. මෙහිදී මොවුන්ගේ රෝගී තත්ත්වයන් වටහාගෙන, කාරුණික ව ප්‍රතිකාර කරනු වෙනුවට ඉතා නපුරු ලෙස මෙන් ම පහත් ලෙස ඔවුනට සැලකීම සිදු වුණා. එපමණක් නොවේ, ඔවුන් යොදාගෙන අත්තනෝමතික ලෙස විවිධ වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ ද සිදු කෙරුණා. මෙම රෝහල මිනිසුන්ගේ දැඩි විරෝධතාවයට ලක් නොවී එම තත්ත්වයෙන් ම 20 වෙනි සියවස දක්වා පැවතීම ද විශේෂත්වයක්.

 එලිසබෙත් තියු කුඩා දරුවෙක් ඝාතනය කළ නිසා රෝහල්ගත වුණා -Museum Of The Mind

 

බෙත්ලෙම් රාජකීය රෝහල ඉදිකර ඇත්තේ 1247 වසරේදී යි. මෙය මහා බ්‍රිතාන්‍යයේ මානසික ව්‍යාධීන්වලට ලක් වූවන් වෙනුවෙන් ඉදිකළ පළමු රෝහල වුණා. විශේෂයෙන් මෙය ඉදිකිරීමට ප්‍රධානත ම හේතුව වී තිබුණේ අපරාධමය මනස් ඇති මානසික රෝගීන් සමාජයෙන් වෙන් කොට තබා ගැනීමට යි.

බෙත්ලෙම් රෝහලට ඇතුළත් කර සමහර රොගීන් දීර්ඝකාලීන මේනියාව, හදිසි ව්‍යාකූල බව වැනි රෝග තත්ත්වවලින් පෙළෙද්දී, කුඩා දරුවන් ඝාතනය කළ, වෙනස් කඩාකප්පක්ලාරී අපරාධ සිදු කළ, ගණිකා තැරැව්කරුවන් ලෙස ක්‍රියා කළ අය ද මානසික රෝගීන් ලෙස සලකා මෙයට ම ඇතුළු කිරීම නිසා එහි තත්ත්වය සංකීර්ණ වුණා. මොවුන් ‘පුනරුත්ථාපනය කරමින් ප්‍රතිකාර කිරීම’ කවුරුත් බලාපොරොත්තු වූ දෙය වූ මුත් ඇත්තෙන් ම මෙහි සිදුවූයේ රෝගීන් තනිකර තැබීම සහ විවිධ වෛද්‍ය පරීක්ෂණවලට බඳුන් කිරීම වැනි දේ යි.

 ජෝජ් ජොන්සන් මිනිමැරීම නිසා රෝහල් ගත කෙරුණා- Museum Of The Mind

 

අරුම පුදුම ප්‍රතිකාර ක්‍රම

බෙත්ලෙම් රෝහලට ඇතුළත් කළ බොහෝ රෝගීන් නැවත සුව වී නිවෙස්වලට එනු වෙනුවට එහි ම මිය ගියා. එලෙස පැමිණි අතලොස්ස බාහිර සමාජයට පැමිණ තිබුණේ තම රෝගී තත්ත්වය දෙගුණ තෙගුණ කරගෙන යි.

 හැරියට් ජෝර්ඩන් රෝහල්ගත කෙරුණේ හදිසි මේනියාව නිසායි- Museum Of The Mind

 

මෙහි වූ ප්‍රතිකාර ක්‍රම ඉතා අමනොඥ ඒවා වුණා. වැඩියෙන් ම සිදු කළ ප්‍රතිකර්මයක් වූයේ රැහැනක් ඔස්සේ සීලිමට සම්බන්ධ කළ පුටුවක රෝගියා හිඳුවා එය මිනිත්තුවට වට 100 ක වේගයෙන් කරකැවීම යි.

එකල මානසික රෝග වලට සිදුකෙරෙන ජනප්‍රිය ම ප්‍රතිකර්මයක් වූ, වමනය ඇතිකරවීම ද මෙහි නිතර ම සිදු කෙරුණා. මෙහිදී රෝගීන්ට කරකැවිල්ල ඇති වූ අතර, ඔවුන් අධ්‍යයනය කර ‘වර්ටිගෝ’ රෝගීන්ට ප්‍රතිකාර සොයන්නට බලධාරීන් උනන්දු වුණා.

 හැනා ස්ටිල් රෝහල්ගත කෙරුණේ හදිසි මේනියාව හා මනෝවිකාර පෙනීම නිසායි -Museum Of The Mind

 

ආධාර අඩු වීම නිසා කඩාවැටුණු රෝහල

මුල සිට ම බෙත්ලෙම් රෝහලට බ්‍රිතාන්‍ය රජයෙන් ලැබුණේ කුඩම්මාගේ සැලකිලි යි. මේ නිසා එම රෝහලට බොහෝකොට ම යැපෙන්නට සිදුවූයේ රෝගීන්ගේ ඥාතීන් හා වෙනත් දානපතීන් පරිත්‍යාග කරන මුදල් හා වෙනත් ආධාර මත යි.

බෙත්ලෙම් රෝහලට රෝගීන් ලෙස පැමිණෙන බොහෝ දෙනා ප්‍රභූ පවුල්වලින් නොපැමිණෙන පහළ මධ්‍යම පාන්තික හෝ ඊටත් අඩු මට්ටමේ අය වීම රජයෙන් මෙලෙස අඩු සැලකිලි ලැබෙන්නට හේතුවක් වුණා.

 එලිසා ජොසොලයින් බෙත්ලෙම් වෙත ගෙන ආවේ නිතර මලානික ස්වභාවයෙන් සිටීම නිසායි- Museum Of The Mind

 

18 වන සියවස වන විට බෙත්ලෙම් රාජකීය රෝහලේ තත්ත්වය ඉතාමත් සෝචනීය තැනකට වැටුණා. එකල ඉහළ පන්තිවල ජනයා හුදු ‘විනෝදයට’ මෙහි රෝගීන් නැරඹීමට පැමිණි අතර, තවත් සමහරෙක් තමන් නිවාඩු කාලයේ පවුලේ අය සමග යන ‘විනෝද චාරිකාව’ වශයෙන් මෙහි යන්නට ද තීරණය කළා.

රෝහල සත්වෝද්‍යානයක් හෝ සර්කස් මඩුවක් මෙන් වූ අතර, එහි පැවැත්මට එන මුදල් වැඩි ප්‍රමාණය මෙලෙස පැමිණෙන්නන්ගෙන් ලැබුණු නිසා ඔවුන් රෝගීන්ට, ‘තමන් සිටින තත්වයටත් වඩ’ රෝගී ලෙස රංගනයක යෙදෙන ලෙසත් බල කළා.

 පිය- පුතු තෝමස් හා ජෝන් බේලි රෝහල්ගත කෙරුණේ හදිසියේ ඇති වූ මලානික බව නිසායි.- Museum Of The Mind

 

විලියම් හුඩ් හා බෙත්ලෙම් හි වෙනස්වීම

19 වන සියවසේ මැද භාගය වනවිට බෙත්ලෙම් රාජකීය රෝහල මිහිපිට අපායක් මෙන් වී තිබුණා. ඒ කාලයේ මෙහි පත් වී ආ වෛද්‍යවරයකු වූ විලියම් හුඩ් මෙම රෝහලෙහි තත්ත්වය වෙනස් කොට නිසි ලෙස සැකසීමට අදහස් කළා. ඔහු වඩා දියුණු පුනරුත්ථාපන ක්‍රමවේද බෙත්ලෙම් හි රෝගීන් වෙත හඳුන්වා දුන් අතර, ඔවුන්ට වඩා ගෞරවයකින් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරන්නට වෙහෙසුණා.

ඔහුගේ පැමිණීමට පෙර මෙහි වූ බොහෝ රෝගීන්ගේ අවසානය වූයේ ලිවර්පූල් වීදියේ සමූහ සුසානයකු යි. සමහරක් දෙනාගේ සිරුරු කැබලි කොට නානාවිධ වෛද්‍ය පර්යේෂණ සඳහා තබා ගැණුනා. හුඩ්ගේ පැමිණීමට පෙර මෙහි වූ රෝගීන් නිසි ලෙස ගණනය කිරීමක්වත් සිදු නොවූ අතර, ඔහු එහි එන රෝගීන් නිසි ලෙස ඡායාරූප ගත කොට, ඔවුන්ගේ රෝගී තත්ත්වයන් මොනවාදැයි නිසි ලෙස ලැයිස්තුගත කරන ක්‍රමවේදයක් සකස් කළා. අදටත් එහි වූ පසුකාලීන රෝගීන්ගේ ඡායාරූප හා විස්තර සොයා ගැනීමට ඇත්තේ ඒ නිසා යි.

 බෙත්ලෙම් රෝහලේ රෝගීන් දෙස බලා විනෝද වෙන පිරිසක් දැක්වෙන සිතුවමක්- gethistory.co.uk

 

දෙවන ලෝක යුද්ධ කාලයේ දී බෙත්ලෙම් රෝහල වඩාත් ග්‍රාමීය පෙදෙසකට ගෙන යන්නට පියවර ගැණුනා. ඒ දේශපාලනික අවශ්‍යතාවන්ට හා එහි පැමිණෙන රෝගීන්ට වඩාත් හොඳ ජීවන තත්ත්වයක් සකස් කර දීමට යි. ඒත් සමග බෙත්ලෙම් රෝහලේ අඳුරු පරිච්ඡේදය නිමාවට පත් වුණා. කෙසේ නමුත් එහි වූ සමහර ලියකියවිලි හා ඡායාරූප සංරක්ෂණය කෙරුණා. එහි තිබූ සුරැකුණු රෝගීන්ගේ ඡායාරූප සියවස් ගණනක අඳුරු මතක අදටත් ආවර්ජනය කරනවා.

කවරයේ ඡායාරූපය- බෙත්ලෙම් රාජකීය රෝහල පිහිටා තිබූ ගොඩනැගිල්ල පසුකාලීනව- fbmarchitects.com

මූලාශ්‍ර:

Allthatsinteresting.com

Museumofthemind.org.uk

Historyextra.com

Related Articles

Exit mobile version