ශ්‍රී ලංකාව සතු ජාතික දේපල අතර ප්‍රධාන තැනක් ගන්නා සපුගස්කන්ද තෙල් පිරිපහදුව මෑතකාලීන ව අවස්ථා කිහිපයක දී වසා දැමුණු බව ඔබට මතක ඇතිවෙට සැක නැත. රට තුළ උද්ගත වී ඇති ආර්ථික අර්බුදය හමුවේ පිරිපහදු කිරීම සඳහා අවශ්‍ය බොරතෙල් ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් සංචිත සපයා ගැනීමට නොහැකි වීම එය වසා දැමීමට හේතු විය.
කෙසේ වෙතත් මෙරට ඉන්ධන අවශ්‍යතාවට ද සැලකිය යුතු දායකත්වයක් දක්වන සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඒ ආකාරයෙන් වසා දැමීම හරහා රටට සිදු වන්නේ විශාල පාඩුවකි. මේ තත්ත්වය හමුවේ සපුගස්කන්ද පිරිපහදුව සහ එහි පිරිපහදු කටයුතු අඛණ්ඩ ව පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳ ව මෙම ලිපියෙන් විමසා බලමු.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව
ශ්‍රී ලංකාව සතු එක ම තෙල් පිරිපහදුව වන සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ අධීක්ෂණය යටතේ ඉදි වූයේ 1969 අගෝස්තු මාසයේ දී ය. එහි මුල්වරට පිරිපහදු කර ඇත්තේ ඉරානයෙන් මෙරටට ආනයනය කළ බොරතෙල් විශේෂයක් සහ අරාබි රටවලින් ආනයනය කළ සැහැල්ලු බොරතෙල් විශේෂයකි.
බොරතෙල් බැරල් 38,000කට ආසන්න ප්‍රමාණයක් පිරිපහදු කළ හැකි ආකාරයේ ධාරිතාවක් සහිතව පිරිපහදුව මුලින් ඉදි කර ඇත. මේ වන විට එය අක්කර 165ක භූමි ප්‍රමාණයක විහිදී තිබේ. එහි බොරතෙල් ගබඩා කළ හැකි ටැංකි 65ක් පිහිටා තිබෙන අතර ඒ අතරින් පහක බොරතෙල් මෙට්‍රික් ටොන් 40,000ක් ගබඩා කිරීමට අවශ්‍ය පහසුකම් ඇත.
වරින් වර පුළුල් වූ මෙහෙයුම් කටයුතු
1971 දී සපුගස්කන්ද පිරිපහදුව තුළ ගෑස් නිෂ්පාදනය සඳහා අවශ්‍ය පහසුකම් ස්ථාපිත කර තිබේ. එවකට එහි පිරිපහදු කළ හැකි වූ බොරතෙල් බැරල් 35,000ක් පමණ වූ ධාරිතාව බැරල් 50,000ක් දක්වා පුළුල් කර ඇත්තේ ද 70 දශකයේ මුල්භාගයේ දී ය. පසුකාලීන ව එය භූමිතෙල්, ගුවන්යානා ඉන්ධන, පෙට්‍රල් සහ ඩීසල් වැනි විවිධ වර්ගයේ ඉන්ධන නිෂ්පාදනය දක්වා පුළුල් කර තිබේ.
සැලසුම් කළ නවීකරණ කටයුත්තක් සඳහා 2018 වසරේ දී පිරිපහදුව දින 35ක කාලයක් සඳහා වසා තැබූ අතර අදාළ නවීකරණ කටයුතු සඳහා ඉංජිනේරුවන් සහ කාර්මික ශිල්පීන් 1,200කට වැඩි පිරිසක් සහභාගී වූහ.
දෛනික ඉන්ධන සහ ගෑස් නිෂ්පාදනය
සම්පූර්ණ ජාතික අවශ්‍යතාව සපුරාලීම සඳහා ප්‍රමාණවත් නොවුවත් මෙරට ඉන්ධන සහ ගෑස් අවශ්‍යතාව සපුරාලීම සඳහා සපුගස්කන්ද පිරිපහදුව සැලකිය යුතු දායකත්වයක් ලබා දෙයි. සපුගස්කන්ද තෙල් පිරිපහදුව එහි උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක කරවීමට නම් බොරතෙල් මෙට්‍රික් ටොන් 5,500ක් අවශ්‍ය වේ.
එකී උපරිම ධාරිතාවෙන් පිරිපහදු කටයුතු සිදු කෙරෙන්නේ නම් ඩීසල් මෙට්‍රික් ටොන් 1,800-1,850 අතර ප්‍රමාණයක්, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 600-650 අතර ප්‍රමාණයක්, භූමිතෙල් මෙට්‍රික් ටොන් 1,000කට ආසන්න ප්‍රමාණයක්, විදුලිය උත්පාදනය සඳහා අවශ්‍ය දැවිතෙල් මෙට්‍රික් ටොන් 2,000කට ආසන්න ප්‍රමාණයක් සහ ගෑස් මෙට්‍රික් ටොන් 70කට ආසන්න ප්‍රමාණයක් දෛනිකව නිෂ්පාදනය කළ හැකි වේ.
ආර්ථික අර්බුදය හමුවේ උද්ගත වී ඇති තත්ත්වය
විදේශ මුදල්, විශේෂයෙන් ම අමෙරිකානු ඩොලර් සංචිත හිඟය හේතුවෙන් රට තුළ උද්ගත වී ඇති ආර්ථික අර්බුදය නිසා ඉන්ධන, ගෑස්, කිරිපිටි සහ සිමෙන්ති වැනි භාණ්ඩ ගණනාවක් ආනයනය කිරීම සීමා වී ඇති බව අපි දනිමු.
මෙම ආර්ථික අර්බුදයේ ප්‍රතිපල සපුගස්කන්ද තෙල් පිරිපහදුව පවත්වාගෙන යාම කෙරෙහි ද විශාල බලපෑමක් එල්ල කර ඇත. ඒ බලපෑම කෙතරම් ද යත් පිරිපහදු කිරීම සඳහා අවශ්‍ය බොරතෙල් නොමැති වීම නිසා පසුගිය වසරේ නොවැම්බර් සිට මේ වසරේ මැයි දක්වා අවස්ථා තුනක දී සපුගස්කන්ද පිරිපහදුව වසා තැබිණි.
පිරිපහදු කටයුතු නවතා දැමීමේ අවාසි
සපුගස්කන්ද තෙල් පිරිපහදුව සම්පූර්ණ ධාරිතාවෙන් ක්‍රියාත්මක වීමට නම් බොරතෙල් මෙට්‍රික් ටොන් 5,500ක් පමණ අවශ්‍ය වන නමුත් මේ වන විට බොරතෙල් ආනයනය සීමා කිරීම නිසා එය ක්‍රියාත්මක වන්නේ දිනකට බොරතෙල් මෙට්‍රික් ටොන් 3,400ක පමණ ධාරිතාවකින් බව පසුගියදා වාර්තා විය.
එහි ප්‍රතිපලයක් ලෙස දෛනික ව නිෂ්පාදනය වන ඉන්ධන වර්ග සහ ගෑස් ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වී තිබේ. මේ වන විට සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ දිනකට නිෂ්පාදනය වන්නේ ඩීසල් මෙට්‍රික් ටොන් 800-820ක්, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 300-325ක්, භූමිතෙල් මෙට්‍රික් ටොන් 600-620ක්, විදුලිය උත්පාදනය සඳහා අවශ්‍ය දැවිතෙල් මෙට්‍රික් ටොන් 1,000ක් සහ ගෑස් මෙට්‍රික් ටොන් 35-40ක් වැනි ප්‍රමාණයක් පමණි.
පිරිපහදුවේ නිෂ්පාදනය වන දැවිතෙල් ප්‍රමාණය අඩු වීම නිසා සපුගස්කන්ද, යුගදනවි සහ කොලොන්නාව වැනි විදුලි බලාගාර සඳහා සැවි තෙල් වෙනුවට ඉහළ වටිනාකමකින් යුතු ඩීසල් ලබාදීමට ද සිදු වී තිබේ.
පිරිපහදුවේ කටයුතු ක්‍රියාත්මක නොවූවත් එහි සේවකයන්ට වැටුප් ගෙවිය යුතු බැවින් ඒ සඳහා ද මිලියන ගණනක මුදලක් වැය වේ. යම්කිසි ආයතනයකට පැවැරී ඇති කාර්‍යභාරය ඉටු නොවී, එහි සේවකයන්ට වැටුප් ගෙවීමට සහ අනිකුත් නඩත්තු කටයුතු සඳහා මුදල් වැය කිරීම එම ආයතනය ලබන විශාල අලාභයකි.
තෙල් පිරිපහදුව මාස ගණනාවක් තිස්සේ අක්‍රිය තත්ත්වයේ පවතින විට එහි ඇති යන්ත්‍රෝපකරණවල විවිධ දෝෂ හටගන්නා බැවින් ඒවා යථා තත්ත්වයට පත් කිරීමට විශාල වියදමක් දැරීමට සිදුව තිබේ. අක්‍රිය තත්ත්වයේ තිබූ පිරිපහදුව යළි ක්‍රියාත්මක කිරීමේ දී යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක කිරීම සඳහා පමණක් සඳහා බොරතෙල් විශාල ප්‍රමාණයක් වැය කළ යුතු වේ.
නැවැතත් වැසී යාමේ අවදානමක්?
පසුගිය මාර්තු මස දින නියමයක් නොමැති ව නවතා දැමූ සපුගස්කන්ද පිරිපහදුවේ පිරිපහදු කටයුතු මැයි මස අවසන් සතිය තුළ යළි ආරම්භ විය. මැයි මස 27 වැනි දින බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක් පමණ මෙරටට ළඟා වූ අතර එම බොරතෙල් තොගය මේ වන විට පිරිපහදු කරමින් තිබේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පසුගිය ජූනි 2 වැනිදා සඳහන් කර තිබුනේ එදින සිට දින 14ක කාලයක් ඇතුළත බොරතෙල් තොගයක් රැගත් නැවක් මෙරටට ළඟා වනු ඇති බව යි. කෙසේ වෙතත් මේ වන තෙක් බොරතෙල් තොගයක් මෙරටට ලැබී නැත.
අග්‍රාමාත්‍යවරයා පසුගිය දිනක සඳහන් කර තිබුණේ බොරතෙල් තොගයක් ගෙන්වා ගැනීම සඳහා වන ගෙවීම් මේ වන විට සිදු කර ඇති බව යි. ඉදිරි දින කිහිපය ඇතුළත අදාළ ඇණවුම මෙරටට ලැබෙනු ඇති බව ද ඔහු සඳහන් කළේය.
බොරතෙල් රැගත් නෞකාවක් දිවයිනට ලබන 28 වැනිදා ළඟා වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ උසස් නිලධාරියෙක් සඳහන් කළේ ය.
මෙරටට බොරතෙල් තොගයක් ලැබෙන දිනයක් පිළිබඳ ව නිශ්චිතභාවයක් නොමැති වීම තුළ දැනට පවතින තොගය අවසන් වූ පසු සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු නැවතත් නවතා දැමීමට සිදු වනු ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දී තිබේ. ඔවුන් සඳහන් කරන්නේ දැනට පිරිපහදු කරමින් පවතින බොරතෙල් තොගය එළඹෙන සතිය වන විට අවසන් වීමට නියමිත බව යි.
බලධාරීන්ගේ අදහස
සපුගස්කන්ද පිරිපහදුව නැවත වැසී යාමේ අවදානමක් තිබෙන බැවින් ඒ සඳහා ගෙන ඇති පියවර මොනවාද සහ මීළඟ බොරතෙල් තොගය මෙරටට ලැබෙනු ඇත්තේ කවදාද යන්න විමසූ අවස්ථාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරියෙක් මාධ්‍ය වෙත සඳහන් කර තිබුනේ තෙල් පිරිපහදු කටයුතු අක්‍රිය වීමට ඉඩ නොතබන බව යි.
කෙසේ වෙතත් බොරතෙල් තොගයක් ලැබෙනු ඇත්තේ කවදාද යන්න නිශ්චිතව සඳහන් කිරීමට ඔහු අපොහොසත් වී තිබිණි.