විදේශ විනිමය හිඟය නිසා ඉන්ධන සහ ගෑස් වැනි දෑ ආනයනය කිරීමට නොහැකි වීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය අර්බුදකාරී තත්ත්වයකට පත් වී ඇති බව විශේෂයෙන් කිව යුතු නොවේ. විශේෂයෙන් ම ඉන්ධන හිඟය හේතුවෙන් විදුලිය උත්පාදනය ද පසුබෑමකට ලක් වීම නිසා දෛනිකව පැය ගණනාවක් පුරාවට දිවෙන විදුලිය කප්පාදු කිරීම් අත්විඳීමට ජනතාවට සිදුව තිබේ.
රටේ පොදු මෙන් ම සමස්ත ප්‍රවාහන පද්ධතියට ද මේ හේතුවෙන් අත්විඳින්නට සිදු ව ඇත්තේ බරපතළ අර්බුදකාරී තත්ත්වයකි. ඒ හා බැඳුණු අනෙකුක් පරිවාර සේවා යථාවත් ව පවත්වාගෙන යාම පිණිස ද ඉන් එල්ලවුණු බාධා ද ඉමහත් ය.
මේ තත්ත්වය තුළ ෆොසිල බලශක්ති ප්‍රභව වෙනුවට පුනර්ජනනීය ප්‍රභව භාවිතය පිළිබඳ ව විවිධ යෝජනා ඉදිරිපත් වන්නට ද විය. එම පුනර්ජනනීය ප්‍රභවයන් භාවිතයට ඇති ඉඩකඩ ගැන ද වෙනදාටත් වඩා අවධානයක් යොමු වී ඇත.
විකල්ප බලශක්ති ප්‍රභව
ඛණිජ තෙල්, ගෑස් සහ ගල් අඟුරු වැනි බලශක්ති ප්‍රභව ක්‍රම ක්‍රමයෙන් ක්ෂය වීම සහ විකල්ප බලශක්ති ප්‍රභව වෙත යොමු වීමට බොහෝ රටවල් වැඩි උනන්දුවක් නොදැක්වීම හේතුවෙන් නුදුරු අනාගතයේ දී ලොව පුරා බලශක්ති හිඟයක් ඇති වීම වැලැක්විය නොහැකි ය.
බොහෝ විද්වතුන් පෙන්වා දෙන්නේ දැනට පවතින ඛනිජතෙල්, ගෑස් සහ ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් වන්නේ යම්කිසි කාල සීමාවකට පමණක් බව යි. ඒ නිසා ෆොසිල ඉන්ධන මත පමණක් යැපීම වෙනුවට වෙනත් විකල්ප බලශක්ති ප්‍රභව වෙත යොමු වීමේ වැදගත්කම මේ වන විට විශාල වශයෙන් කතාබහට ලක් වේ.
මෙම ලිපිය බලශක්ති ප්‍රභවයන් හිඟ වීමට බලපාන කරුණු, එහි ප්‍රතිපල සහ ඊට විසඳුමක් ලෙස විකල්ප බලශක්ති ප්‍රභව වෙත යොමු වීමේ ඇති වැදගත්කම පිළිබඳව යි.
අධි පරිභෝජනය
බලශක්ති ප්‍රභව හිඟ වීම සඳහා බලපාන ප්‍රධාන සාධකවලින් එකකි- ඒවා අධික ලෙස පරිභෝජනය කිරීම. සූර්ය බලය, භූතාපජ ශක්තිය, සුළං බලය සහ ගලා යන ජලය වැනි විකල්ප බලශක්ති ප්‍රභව තිබුණ ද, බොහෝ රටවල් ඒවා පිළිබඳ ව සැලකිය යුතු අවධානයක් යොමු නොකොට ඛනිජතෙල්, ගෑස් සහ ගල් අඟුරු වැනි ෆොසිල ඉන්ධන මත පමණක් යැපීම නිසා ඒවා ඉක්මනින් ක්ෂය වී බලශක්ති අර්බුදයකට මඟ පාද යි.
මේ වන විට සිදු කර ඇති අධ්‍යයන මඟින් හෙළි වී ඇත්තේ බොහෝ රටවල් සිය සම්පූර්ණ බලශක්ති අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා භාවිත කරන්නේ තෙල්, ගෑස්, ගල් අඟුරු සහ යුරේනියම් වැනි ප්‍රභව බව යි. දැනට පවතින පරිභෝජන රටාව අනුව මුලින් ම ක්ෂය වී යන බලශක්ති ප්‍රභවය ඛනිජ තෙල් බව හඳුනා ගෙන ඇත. දැනට තිබෙන ඛණිජ තෙල් සංචිත ප්‍රමාණවත් වන්නේ ආසන්න වශයෙන් තවත් වසර 40-60ත් අතර කාලයකට බවට විශේෂඥයන් ගණන් බලා තිබේ. ඊට අමතර ව ස්වාභාවික ගෑස් සංචිත තවත් වසර 70කට ආසන්න කාලයකටත්, ගල් අඟුරු සංචිත ආසන්න වශයෙන් වසර 200ක කාලයකටත් ප්‍රමාණවත් බව ද ගණන් බලා ඇත.
ජනගහනය ඉහළ යාම
බලශක්ති ප්‍රභව ක්ෂය වීමට බලපාන කරුණු අතර ජනගහනය ඉහළ යාම ද ප්‍රධාන තැනක් ගනී. ඊට හේතුව ඉහළ යන ලෝක ජනගහනයට සාපේක්ෂ ව බලශක්ති ප්‍රභව ධාරිතාව ඉහළ නොයාම යි. දැනට සිදු කර ඇති සමීක්ෂණවලට අනුව 2022 වන විට බිලියන 7.9ක් පමණ වන ලෝක ජනගහනය 2050 වන විට ආසන්න වශයෙන් බිලියන 10ක් දක්වා ඉහළ යනු ඇත.
ඊට සාපේක්ෂව බලශක්ති අවශ්‍යතාව ද නිරායාසයෙන්’ම ඉහළ යන නමුත් බලශක්ති ප්‍රභව වර්ධනය වීමක් සිදු නොවේ. විශේෂඥයන් පෙන්වා දෙන්නේ ජනගහනය ක්‍රම ක්‍රමයෙන් ඉහළ යාමත් සමඟ 2030 වන විට ලෝක බලශක්ති අවශ්‍යතාව 50%ක් තරම් විශාල ප්‍රතිශතයකින් ඉහළ යනු ඇති බව යි. එබැවින් එම තත්ත්වයට පෙර සූදානමක් වශයෙන් විකල්ප බලශක්ති ප්‍රභවවෙත යොමු වීම සහ බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විධිමත් ප්‍රතිපත්ති හඳුන්වා දිය යුතු බව ඔවුන්ගේ මතය යි.
යල්පැන ගිය බලශක්ති උත්පාදන ක්‍රම
බලශක්ති හිඟය සඳහා හේතු විය හැකි තවත් ප්‍රධාන කරුණක් වන්නේ බලශක්ති උත්පාදක සමාගම් භාවිත කරන යල්පැන ගිය ක්‍රම සහ යන්ත්‍රෝපකරණ යි. එවැනි ක්‍රම සහ යන්ත්‍රෝපකරණ භාවිත කිරීම නිසා බලශක්ති ප්‍රභවයන්ගෙන් උත්පාදනය කළ හැකි උපරිම බලශක්ති ධාරිතාව ළඟා කරගත හැකි ද යන්න සැකසහිත බව විශේෂඥයන් පෙන්වා දී ඇත.
ඔවුන් පෙන්වා දෙන්නේ මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර බලශක්ති උත්පාදනය සඳහා අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කර කාර්ය සාධනයේ ඉහළ ප්‍රමිතියක් ඇති කිරීමට අදාළ ආයතන කටයුතු කළ යුතු බව යි.
බලශක්ති නාස්තිය
අනවශ්‍ය ලෙස බලශක්තිය, විශේෂයෙන් ම ඉන්ධන සහ විදුලිය, භාවිත කිරීම ද බලශක්ති ප්‍රභව හිඟ වීමට බලපාන ප්‍රධාන කරුණකි. ඉන්ධන සහ විදුලිය අනවශ්‍ය ලෙස භාවිත කිරීම නිසා ඒවා නැවත නැවතත් නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාව පැන නඟින අතර ඒ සඳහා බලශක්ති ප්‍රභව ද වැය වේ. එබැවින් විශේෂඥයන් පෙන්වා දෙන්නේ බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම ප්‍රභව ක්ෂය වීම වලක්වා ගත හැකි ප්‍රධාන ක්‍රම අතරින් එකක් බව යි.
පරිසර දූෂණය
සාම්ප්‍රදායික බලශක්ති ප්‍රභව විශාල වශයෙන් භාවිත කිරීම නිසා පරිසර දූෂණය ද ඉහළ යයි. ඒ හේතුවෙන් කාබන්ඩයොක්සයිඩ් වැනි හරිතාගාර වායු ඉහළ යන අතර එහි අවසන් ප්‍රතිපලය ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම යි. ඒ හරහා ග්ලැසියර දිය වීම වැනි තවත් අහිතකර ප්‍රතිපල ගණනාවක් ඇති වේ. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සහ වායු දූෂණය නිසා පාරිසරික සමතුලිතතාව බිඳ වැටීමත් සමඟ මිනිසා සහ සතුන් ද එහි වින්දිතයන් බවට පත් වනු ඇත.
ආර්ථික, සමාජයීය සහ දේශපාලනික ස්ථාවරත්වය
ඕනෑම රටක ආර්ථික, දේශපාලන සහ සමාජයීය ක්ෂේත්‍රයන්හි පැවැත්මට බලපාන ප්‍රධාන සාධක අතර බලශක්ති සුරක්ෂිතතාවට හිමි වන්නේ කැපී පෙනෙන ස්ථානයකි. සමහර රටවල් තමන් සතු ඛනිජ තෙල් සහ වෙනත් බලශක්ති ප්‍රභව හේතු කොටගෙන අනිකුත් රටවල් පරයා වේගවත් සංවර්ධනයක් ළඟා කරගෙන තිබීමෙන් ඒ බව මනාව පැහැදිලි වේ. රටක බලශක්ති සැපයුම බිඳ වැටුණු අවස්ථාවල දී එය දරුණු ආර්ථික, සමාජයීය සහ දේශපාලනික ප්‍රතිපල ඇති කරයි.
ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය
විදේශ විනිමය හිඟය නිසා මේ දිනවල විදුලිය උත්පාදනය සඳහා අවශ්‍ය ඛනිජ තෙල් සහ ගල් අඟුරු සපයා ගැනීමට ඇති දුෂ්කරතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදුලිය උත්පාදනයට එල්ල වී ඇති බලපෑම ඊට කදිම නිදසුනකි.
ඒ හේතුවෙන් දෛනිකව යම්කිසි කාල සීමාවක් ව්දුලි සැපයුම කප්පාදු කිරීමට සිදුව තිබේ. විදුලි සැපයුම කප්පාදු කිරීමත් සමඟ ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන යාමට දුෂ්කර වීම, රෝහල්, පාසල්, සහ වෙනත් රාජ්‍ය ආයතන වැනි වැදගත් පරිශ්‍රයන්හි කටයුතු පවත්වාගෙන යාමට නොහැකි වීම, ස්වයං රැකියාවල නිරත පුද්ගලයන්ට ඔවුන්ගේ කර්මාන්ත කටයුතු කරගෙන යාමට නොහැකි වීම වැනි ආර්ථික හා සමාජයීය ගැටලු ගණනාවක් ඇති වී තිබේ.
රටක බලශක්ති සුරක්ෂිතතාව බිඳ වැටුණු අවස්ථාවක දේශපාලන අර්බුද සහ විදෙස් අතපෙවීම් වැනි දෑ ද ඇති විය හැක.
පුනර්ජනනීය බලශක්ති ප්‍රභව
ෆොසිල ඉන්ධන වෙනුවට භාවිතා කළ හැකි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතයට යොමු වීම හරහා වාසි රැසක් සැලසේ. ඒ අතර ඒ සඳහා වැය වන පිරිවැය අවම වීම සහ පරිසර දූෂණය අවම වීම ප්‍රධාන තැනක් ගනී.
ඒ ආකාරයෙන් භාවිත කළ හැකි පුනර්ජනනීය බලශක්ති ප්‍රභව අතර සූර්ය බලය, ජලය, සුළං බලය සහ භූතාපජ බලය වැනි දෑ වේ. සූර්ය බලයෙන් විදුලිය ලබා ගැනීම පිළිබඳ ව ශ්‍රී ලංකාව තුළ ද මේ වන විට විශාල කතාබහක් ඇති වී තිබේ.
මෑතකදී පැවති සාකච්ඡාවක් අතරතුර ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලැබෙන දායකත්වය ඉහළ නැංවීම සඳහා සහය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විශේෂඥයන්ගෙන් ඉල්ලීමක් කර තිබිණි. මේ වන විට සූර්ය බලය භාවිතයෙන් මෙගාවොට් 700ක පමණ විදුලි ධාරිතාවක් මෙරට විදුලි පද්ධතියට එක් කෙරේ. රජය මේ වන විට සැලසුම් කර ඇත්තේ සම්පූර්ණ විදුලිබල අවශ්‍යතාවෙන් 70%ක් පමණ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතයෙන් උත්පාදනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු යෙදීමට යි.