මධ්‍යම සංස්කෘතික අරමුදල කියන්නේ අපේ රටේ පුරාණ ස්මාරක ආරක්ෂා කරන්නට වගේ ම ඒවා විදේශිකයන්ට නැරඹීමට පහසුකම් සැපයීමට ආරම්භ කළ රාජ්‍ය ආයතනයක්. කවුරුත් මේකට කිව්වේ සංස්කෘතික ත්‍රිකෝණය කියල යි.
මහනුවර, දඹුල්ල, පොළොන්නරුව, අනුරාධපුරය වගේ ප්‍රධාන පුරාවිද්‍යා ස්ථාන පසුගිය කාලේ සංරක්ෂණය කළේ මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින්. මෑතක සිට මේ අරමුදලේ යටගිය කෙරුවාවල් ගැන අහන්න ලැබෙනවා. ඒවාට අනුව පසුගිය කාලේ මේ අරමුදලේ බලධාරින් සහ දේශපාලනඥයන් රජයේ මුදල් නාස්ති කළ ආකාරය ගැන හෙළිදරව් වුණා.
මධ්‍යම සංස්කෘතික අරමුදල
මධ්‍යම සංස්කෘතික අරමුදල පිහිටුවන්නේ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය කළමනාකරණය කිරිම අරමුණු කරගෙන යි. මෙම අරමුදල මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීම හා සංරක්ෂණ කිරීම, පර්යේෂණ සිදු කිරීම, බිතු සිතුවම් සහ වෙනත් පුරාවස්තු සංරක්ෂණය කිරීම ආදී කටයුතු තමයි සිදුකරන්නේ. ඒ වගේ ම අපේ රටේ සංස්කෘතික සංචාරක ව්‍යාපාරය මෙහෙයවමින් ආදායමක් උපයා ගැනීමත් සිදු කරනවා. මුලින් ම සංස්කෘතික ත්‍රිකෝණය පාදක කර ගෙන ප්‍රධාන පුරාවිද්‍යා ස්ථාන 6 කින් මෙම ආයතනය ආරම්භ වුණා. පසුව එහි කටයුතු රටේ තවත් ප්‍රදේශ වෙතත් ව්‍යාප්ත කර තිබෙනවා. ඒ අනුව 2018 වන විට රට පුරා ප්‍රධාන පුරාවිද්‍යා ස්ථාන 24 ක් සංරක්ෂණය ඇතුළු උරුම කළමනාකරණ කටයුතු මේ මඟින් සිදුවෙනවා.
විදේශීය සංචාරකයන්ට මහනුවර, අනුරාධපුර, සීගිරිය, පොළොන්නරුව වැනි පුරාවිද්‍යා උරුම ස්ථාන නැරඹීමට සිදු වන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රවේශපත් මිලට ගෙනයි. ජාතික විගණන කාර්යාලයේ වාර්තාවලට අනුව 2017 දෙසැම්බර් 31 වැනි දා වනවිට විට ස්ථාවර තැන්පතුවල ශේෂය අමෙරිකා ඩොලර් 1460,000ක් වූ අතර ඉතිරිකිරීමේ තැන්පතුවල ශේෂය අමෙරිකා ඩොලර් 246398ක් වුණා.
කොවිඩ් වසංගතය පැමිණීමට පෙර විශාල විදේශ විනිමය ප්‍රමාණයක් සංචාරක ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් සංස්කෘතික අරමුදලට ලැබුණා. ඉන් කොටසක් වාර්ෂික ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලබාදීමත් සිදුවුණා. පාස්කු ප්‍රහාරය සහ වසංගතය නිසා සංචාරකයන් පැමිණීම අඩුවීමත් සමඟ එහි ආදායම අඩු වුණා. පසුගිය යහපාලන කාලේ මේ අරමුදල බාරව සිටි දේශපාලනඥයන් අරමුදලේ තැන්පත් මුදල් අවභාවිත කරමින් දේශපාලන කටයුතුවලට යොදා ගත් බවටත් චෝදනා එල්ල වුණා. 2020 ජුලි වනවිට වාර්තා වුණේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවක වැටුප් ගෙවීමටවත් මුදල් නැති බව යි.
වැටුප් ගෙවීමට මාසික ව රුපියල් මිලියන එකසිය තිහක්
සංස්කෘතික අරමුදලේ සේවක වැටුප් ගෙවීම සඳහා මාසික ව රුපියල් මිලියන එකසිය තිහක් බැගින් ලබා දෙන ලෙස බුද්ධශාසන සහ ආගමික කටයුතු අමාත්‍යාංශය මහා භාණ්ඩාගාරයෙන් එවකට ඉල්ලා තිබුණා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ 2020 වනවිට දෙදහස් තුන්සිය තිහක් වන ස්ථිර සේවකයන් පිරිසක් හා දෙසිය තිහක් වන අනියම් හා කොන්ත්‍රාත් සේවකය පිරිසක් සේවය කළා. ඔවුන්ට වැටුප් ගෙවීම සඳහා මාසික ව රුපියල් මිලියන දෙසිය තිහක මුදලක් අවශ්‍ය ව තිබුණා. අදටත් සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත්ව නැති නිසා මධ්‍යම සංස්කෘතික අරමුදල අරමුදල් හිඟයකින් පෙළෙනවා.
මිලියන 3000ක තැන්පතු තිබුණා
මධ්‍යම සංස්කෘතික අරමුදලේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් මහාචාර්ය ගාමිණි අධිකාරි එවකට ( 2020 පෙබරවාරි) පවසා ඇත්තේ 2015 දී යහපාලන ආණ්ඩුව බලයට පත්වන විට මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් මිලියන 3000 ක ස්ථාවර තැන්පතුවක් තිබුණු බව යි.
සංචිතයේ රුපියල් මිලියන 800 ක් තිබුණු බවත් ඔහු සඳහන් කරනවා. මේ මුදල් අරමුදලේ අරමුණුවලට පටහැනි කරුණු සඳහා යහපාලන ආණ්ඩුව යොදවා තිබෙනවා. වර්ෂ 2020 වනවිට රුපියල් මිලියන 1600 ක් මධ්‍යම සංස්කෘතික අරමුදලේ ණයබර තිබුණා.
සේවකයන් 3000ක් අනීතිකව බඳවාගෙන
මධ්‍යම සංස්කෘතික අරමුදල 2018 සහ 2019 අවුරුදුවල දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සේවකයන් 3000 කට ආසන්න පිරිසක් බඳවා ගෙන ඔවුන්ගේ වැටුප් වෙනුවෙන් රුපියල් කෝටි 106ක් පමණ නිකරුණේ වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසනවා. රජයේ ආයතනයකට වෙනත් රජයේ ආයතනයක් සඳහා සේවකයන් බඳවා ගැනීමට නීතියට අනුව ප්‍රතිපාදන නැහැ. මධ්‍යම සංස්කෘතික අරමුදල අනීතික ව එසේ බඳවා ගැනීම නිසා කෝටි ගණනක මුදලක් ඔවුන්ට වැටුප් ගෙවීමට වැයවී තිබෙනවා.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහා පුරාවිද්‍යා සහායකයන් (කම්කරුවන්) 2271 දෙනකු සහ මුරකරුවන් 1130 දෙනකු බඳවා ගැනීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලය 2017 වර්ෂයේ ඔක්තෝබර් 17 වැනි දින අනුමැතිය ලබා දී තිබු බව විගණන වාර්තාව හෙළි කරනවා.
වර්ෂ 2018 දෙසැම්බර් 31 වැනි දින වන විට එයට බඳවා ගත් මුළු සේවක සංඛ්‍යාව 1089ක් ලෙස සඳහන් (පුරාවිද්‍යා සහායකයන්713ක් සහ මුරකරුවන් 376ක්). ඉන් පසු 2019 සැප්තැම්බර් 30 වැනි දා වනවිට තවත් සේවකයන් 1487 දෙනකු (පුරාවිද්‍යා සහයකයන් 934ක් සහ මුරකරුවන් 553ක්) බඳවා ගෙන තිබුණු බව විගණන වාර්තාවේ සඳහන් වෙනවා. ඉන් 1415 දෙනකු 2021 පෙබරවාරි මාසය වන විටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවයේ යොදවා තිබුණු බවයි විගණන වාර්තාව සඳහන් කරන්නේ.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලන අංශය ඉදිරිපත් කළ තොරතුරු අනුව එහි සිටින සේවක සංඛ්‍යාව 2780 ක් වුවත් ආයතනයේ ප්‍රධාන පරිපාලන නිලධාරී 2019 වර්ෂයේදී ඉදිරිපත් කළ තොරතුරු අනුව සේවක සංඛ්‍යාව 3,500 ක් ලෙස සටහන් වෙනවා. ජාතික විගණන කාර්යාලය සඳහන් කරන්නේ එම වෙනසට හේතුව පැහැදිලිව ඉදිරිපත් නොකෙරුණු බවයි.
ගොඩනැඟිලි කුලියට ගැනීමෙන් කෝටි ගණනක පාඩුවක්
මධ්‍යම සංස්කෘතික අරමුදල පසුගිය කාලයේ දී කිසිදු විචාරයකින් තොරව තැන තැන පෞද්ගලික ගොඩනැඟිලි කුලියට ගැනීමෙන් රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදු වී ඇති බවත් ජාතික විගණන කාර්යාලය සඳහන් කරනවා.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ කොළඹ ප්‍රධාන කාර්යාලය අලුත්වැඩියා කරන තෙක් පවත්වාගෙන යෑම සඳහා යැයි පවසමින් සෙත්සිරිපාය දෙවැනි අදියරේ හතරවෙනි මහලේ “ඩී” පර්යන්තය කුලී පදනම ලෙස ලබාගෙන (2017 වර්ෂයේ සිට) එම ස්ථානය වෙනුවෙන් රුපියල් කෝටි 7කට ආසන්න මුදලක් වැයකර තිබෙනවා. 2021 දී එම කාර්යාලය නැවතත් පරණ ගොඩනැඟිල්ලට ම රැගෙන ගොස් ඇත්තේ අලුත්වැඩියාවකින් තොරව බවත් ජාතික විගණන කාර්යාලය කළ විමර්ශනයකදී හෙළි වී තිබෙනවා.
අරමුදලේ සියලු අංශ පැරැණි ගොඩනැඟිල්ලේ පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් නොවන බව සඳහන් කරමින් එහි අංශ කීපයක් කොළඹ 7 බුලර්ස් පටුමගේ පෞද්ගලික ස්ථානයකට 2021 මාර්තු 16 වැනිදා රැගෙන ගොස් තිබෙනවා. එම ගොඩනැගිල්ලට කුලිය වශයෙන් රුපියල් පනස් ලක්ෂයකට වැඩි මුදලක් වැය කර තිබෙන අතර පසුව එම අංශ ද මාස 8 ක කාලයකින් පසු පරණ ගොඩනැඟිල්ලට ම නැවතත් රැගෙන ගොස් ඇති බවයි විගණන විමර්ශනවල දී හෙළි වී තිබෙන්නේ.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ සැපයුම් අංශය සඳහා නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික ගොඩනැඟිල්ලක මහල් දෙකක් කුලියට ලබා ගෙන කුලී මුදල් ලෙස රුපියල් තිස් හය ලක්ෂයක් ගෙවා තිබෙනවා. එම අංශය පසුගිය පෙබරවාරි මාසය තෙක් ම ඒ ස්ථානයට රැගෙන ගොස් නොතිබුණු බවයි අනාවරණය වී තිබෙන්නේ. පෞද්ගලික අංශයෙන් මෙලෙස ගොඩනැඟිලි කුලියට ලබා ගැනීමේ දී රජයේ තක්සේරුකරුගෙන් තක්සේරු වාර්තා පවා ලබාගෙන නොතිබූ බව විගණන කාර්යාලය සඳහන් කරනවා.