Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

උද්ධමනය හා අවධමනය රටකට බලපාන්නේ කොහොම ද?

භාණ්ඩවල මිල ගණන් සහ සේවා සඳහා අය කරන ගාස්තු දරා ගත නොහැකි තරම් ඉහළ යාම නිසා මේ වන විට නිරන්තරයෙන් කතාබහට ලක් වෙන මාතෘකාවක් බවට ‘උද්ධමනය’ පත් ව ඇත. ආර්ථික විද්‍යාව පිළිබඳ සැලකිය යුතු දැනුමක් හෝ උනන්දුවක් ඇති අය අතර පමණක් කතාබහට ලක් වූ ‘උද්ධමනය’, මේ වන විට සාමාන්‍ය ජනතාව අතර පවා කතාබහට ලක් වේ.

ඊට හේතුව උද්ධමනය කෙසේ වෙතත් එහි ප්‍රතිපල බොහෝ දෙනකුට ඉතා හොඳින් අවබෝධ වී තිබීම යි.

මේ ලිපිය 2022 වසර වන විට ශ්‍රී ලංකාවේ උද්ධමන තත්ත්වය හා ලෝකයේ රටවල් ගණනාවක දැකිය හැකි උද්ධමනය පිළිබඳ ව යි.

උද්ධමනය

ආර්ථික විද්‍යාවට අනුව යම් රටක භාණ්ඩවල මිල ගණන් සහ සේවා සඳහා අය කරන ගාස්තු වැඩි වීමේ වේගය උද්ධමනය යනුවෙන් හැඳින්වේ. උද්ධමනය යනු අඛණ්ඩ සහ නිරන්තර සාමාන්‍ය මිල මට්ටමේ ඉහළ යෑමක් ලෙස ද නිර්වචනය කළ හැකි ය. මේ අනුව යම් කිසි කාල පරිචිඡේදයක දී ආර්ථිකයේ භාණ්ඩ හා සේවාවල සාමාන්‍ය මිල මටිටමේ අඛණ්ඩ වර්ධනය උද්ධමනය ලෙස වටහා ගත හැකි ය. යම්කිසි රටක රජයක් ආර්ථිකය හසුරුවන ආකාරය සහ ආර්ථිකය සම්බන්ධයෙන් ගන්නා තීරණ මත අදාළ රටේ උද්ධමන අනුපාතය ඉහළ/ පහළ යාම සිදු වේ. උද්ධමනය, ආර්ථික විද්‍යාවේ මූලික සිද්ධාන්ත වන ඉල්ලුම සහ සැපයුම සමඟ සෘජුව ම සම්බන්ධ වේ.

උද්ධමනය ඉහළ යාම නිසා මුදල් ඒකකවල වටිනාකම අඩු වී ඇති අයුරු – www.bloomberg.com

උද්ධමන අනුපාතය ඉහළ යන අවස්ථාවක දී සිදු වන්නේ රටක ජනතාව ලබන ආදායම ඉහළ නොගොස් භාණ්ඩවල මිල ගණන් සහ සේවා සඳහා අය කරන ගාස්තු විශාල අගයන්ගෙන් ඉහළ යාම යි. එවැනි තත්ත්වයක දී අදාළ රටේ මුදල් ඒකකයේ ඇති වටිනාකම නිරායාසයෙන් ම පහළ බසී. එමඟින් ජනතාවට භාණ්ඩ මිල දී ගැනීමට සහ සේවා ලබා ගැනීමට ඇති හැකියාව ද අඩු වේ.

යම් රටක උද්ධමනය තරමක් පහළ මට්ටමක පවතින්නේ නම් ඉන් අදහස් වන්නේ එම රටේ ආර්ථිකය, වර්ධනය වෙමින් පවතින බව යි. ජනතාවට සිය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ප්‍රමාණවත් ආදායමක් ලැබෙන බව ඉන් පිළිබිඹු වේ. කෙසේ වෙතත් උද්ධමනය අතිශයින් ම පහළ අගයක පවතින්නේ නම් ඉන් අදහස් වන්නේ අදාළ රටේ ආර්ථිකය කිසිදු වෙනසක් නොවී පවතින බව යි.

උද්ධමන දර්ශක

උද්ධමන අගය ගණනය කිරීම සඳහා භාවිත කරන දර්ශක කිහිපයක් තිබේ. ඒ අතර පාරිභෝගික මිල දර්ශකය සහ තොග මිල දර්ශකය ප්‍රධාන වේ. ඉන් පළමුවැන්න, එනම් පාරිභෝගික මිල දර්ශකය යොදාගන්නේ පාරිභෝගිකයාගේ මට්ටමින්- ප්‍රවාහනය, ආහාර සහ වෛද්‍ය ප්‍රතිකාර- වැනි මූලික අවශ්‍යතා සඳහා වැය වන මිල ගණන් ගණනය කොට ඒ හරහා උද්ධමන අනුපාතය ගණනය කිරීම සඳහා ය.

භාණ්ඩ හෝ සේවා පාරිභෝගිකයා අතට පත් වීමට පෙර නිෂ්පාදකයා, සේවා සපයන්නා සහ තොග අලෙවිකරුවාගේ මට්ටමින් සිදු වන මිල ගණන් වෙනස් කිරීම් ගණනය කොට එමගින් උද්ධමන අනුපාතය ගණනය කිරීමට තොග මිල දර්ශකය යොදා ගනී.

උද්ධමනය වර්ගීකරණය කරන අයුරු

ආර්ථික විද්‍යාවේ මූලධර්ම අනුව, ඉල්ලුම ඉහළ යාම නිසා ඇති වන උද්ධමනය, පිරිවැය ඉහළ යාම නිසා ඇති වන උද්ධමනය සහ ගොඩනඟන ලද උද්ධමනය යනුවෙන් උද්ධමනය ප්‍රධාන කොටස් තුනකට බෙදා දැක්විය හැකි ය. මේ සියලු ආකාරයේ උද්ධමන ප්‍රභේද රටක ආර්ථිකයේ ප්‍රධාන අංග වන මුදල් සහ භාණ්ඩ සැපයුම සමඟ බැඳී තිබේ.

උද්ධමනය ඇති වන ආකාර කිහිපයක් – www.investopedia.com

ඉල්ලුම ඉහළ යාම නිසා ඇති වන උද්ධමනය

භාණ්ඩ සහ සේවා සඳහා ඇති ඉල්ලුම ඉහළ යන විට ඉල්ලුම පදනම් කර ගත් උද්ධමනය ඇති වේ. තවත් ආකාරයකින් කියතොත් යම් රටක භාණ්ඩ මිල දී ගැනීමට ජනතාව සතු මුදල් ප්‍රමාණය ඉහළ යන වේගයට සාපේක්ෂ ව භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ ධාරිතාව ඉහළ නොයන අවස්ථාවක මේ තත්ත්වය ඇති වේ. භාණ්ඩ සහ සේවාසඳහා ඇති ඉල්ලුම ඉහළ මට්ටමක පවතින නමුත් ඒවායේ සැපයුම පහළ මට්ටමක පවතී නම් නිරායාසයෙන් ම ඒවායේ මිල ගණන් ඉහළ යයි. එහි අවසාන ප්‍රතිපලය උද්ධමන අනුපාතය ඉහළ යාම යි.

පිරිවැය ඉහළ යාම නිසා ඇති වන උද්ධමනය

භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම වැනි හේතු නිසා නිෂ්පාදන පිරිවැය ඉහළ යාම ද උද්ධමන අනුපාතය ඉහළ යාමට හේතු වේ. එහිදී නිෂ්පාදකයා, භාණ්ඩ නිෂ්පාදනය හෝ සේවාවන් සැපයීම සඳහා වැය වන අධික පිරිවැය පාරිභෝගිකයා මත පැටවීමත් සමග භාණ්ඩවල මිල ගණන් සහ සේවා ගාස්තු ඉහළ යයි. භාණ්ඩ මිල ඉහළ ගියත් ලැබෙන ආදායම වෙනස් නොවීම නිසා පාරිභෝගිකයන්ට එම භාණ්ඩ මිල දී ගැනීමට ඇති හැකියාව අඩු වේ. එහි අවසාන ප්‍රතිපලය වන්නේ ද භාණ්ඩ මිල දී ගැනීමට ඇති හැකියාව අඩු වීම, එනම් උද්ධමනය ඉහළ යාම යි.

වෙනිසියුලාවේ තත්ත්වය – amp.theguardian.com

ගොඩනඟන ලද උද්ධමනය

යම් රටක උද්ධමන අනුපාතය ඉහළ යාම දිගින් දිගට ම සිදු වේ යැයි බලාපොරොත්තුවෙන් සේවක වැටුප් ඉහළ දැමීම වැනි හේතු නිසා ඇති වන උද්ධමනය, ගොඩනඟන ලද උද්ධමනය යනුවෙන් හැඳින්වේ. උද්ධමනය වැඩි වන විට භාණ්ඩ මිල දී ගැනීම සඳහා වැටුප් වැඩි විය යුතු ය. මේ තත්ත්වය තුළ වැටුප් වැඩි කළ යුතු බවට ශ්‍රමිකයන් ඉල්ලීම් කරන බැවින් ඔවුන්ගේ වැටුප් වැඩි කිරීමට සිදු වේ. ඒ සමඟ ශ්‍රම පිරිවැය ඉහළ යාමෙන් භාණ්ඩවල මිල ගණන් සහ සේවා ගාස්තු ද ඉහළ යයි.

ලෝකයේ උද්ධමන අනුපාතය ඉහළ ම අගයක් ගන්නා රටවල්

වෙනිසුවේලාව- 1198.0%
සුඩානය- 340.0%
ලෙබනන්- 201.0%
සිරියාව- 139.0%
සුරිනාමය- 63.0%
සිම්බාබ්වේ- 60.7%
ආජන්ටිනාව- 51.2%
තුර්කිය- 36.1%
ඉරානය- 35.2%
ඉතියෝපියාව- 33%

වැඩි ම උද්ධමන අනුපාතය ඇති වෙනිසුවේලාව සහ සුඩානය

විශාල වශයෙන් ඛනිජතෙල් සංචිත තිබීම නිසා කලක් ඉතා ධනවත් ආර්ථිකයකට හිමිකම් කී වෙනිසුවේලාවේ උද්ධමන අනුපාතය මේ වන විට කෙතරම් ඉහළ මට්ටමක පවතින්නේ ද යත් සමහර වසරවල එය 1,000,000% දක්වා ඉහළ ගිය අවස්ථා තිබිණි. මේ ආකාරයෙන් උද්ධමනය ඉහළ යාම නිසා භාණ්ඩ මිල ගණන් ඉතා සුළු කාලයක් ඇතුළත ඉහළ යන බැවින් සමහර කාලවල වෙනිසුවේලාවේ වෙළෙඳසල් හිමියෝ භාණ්ඩවල මිල ප්‍රදර්ශනය කිරීම පවා නවතා දැමුහ.

වෙනිසුවේලාවේ උද්ධමනය විශාල වශයෙන් ඉහළ යාමට බලපෑ ප්‍රධානත ම හේතුව එරට ආර්ථිකය හැසිර වූ මූලික ම සාධකය වන ඛනිජ තෙල් මිල ගණන් උච්ඡාවචනය වීම, විශේෂයෙන් ම 2016 වසරේ දී ඉතා ශීඝ්‍රයෙන් පහළ යාම, සමඟ ඇති වූ තත්ත්වය යයි සැලැකේ.

1980-2020 කාලය තුළ ලොව උද්ධමනය වැඩිම රටවල්/ www.lietaer.com

 

2022 ආරම්භයේ දී සුඩානයේ උද්ධමන අනුපාතය 340.0% ක් වූ අතර එය ලෝකයේ දෙවැනියට ඉහළ ම උද්ධමන අනුපාතය ලෙස ශ්‍රේණිගත විය. සුඩානයේ උද්ධමනය මෑත වසරවල දී දැඩි ලෙස ඉහළ ගොස් ඇති අතර අමෙරිකානු එක්සත් ජනපද ඩොලර් සඳහා එරට කළු වෙළෙඳපොළක් නිර්මාණය වී තිබීම ඊට ප්‍රධාන හේතුව යි.

සුඩානයේ ඉහළ යන උද්ධමනය කෙතරම් ද යත් ඒ හේතුවෙන් ඇති වූ විරෝධතාවල ප්‍රතිපලයක් වශයෙන් 2019 අප්‍රේල් මාසයේ දී එවකට සුඩාන ජනාධිපති ඕමාර් අල්-බෂීර්ට ධුරයෙන් ඉල්ලා අස්වීමට පවා සිදු විය. මේ වන විට සුඩානයේ ක්‍රියාත්මක වන අන්තර්කාලීන පාලන තන්ත්‍රය වසර ගණනාවක් තිස්සේ දුර්වල කළමනාකරණය නිසා අර්බුදයට ලක් වූ එරට ආර්ථිකය නඟා සිටුවීමට උත්සහ කරමින් සිටී.

සුඩානයේ උද්ධමනය ඉහළ ගොස් ඇති අයුරු – www.reports.unocha.org

අධි උද්ධමනය

වෙනිසුවේලාව සහ සුඩානය වැනි රටවල දැකිය හැකි වර්තමාන තත්ත්වය අධි උද්ධමනය ලෙස හැඳින්වේ. යුදමය තත්ත්වයන්, පාලන තන්ත්‍ර වෙනස් වීම, බදු ආදායම අඩු වීම සහ විශාල වශයෙන් මුදල් මුද්‍රණය කිරීම නිසා ඇති වන ආර්ථික අර්බුදකාරී තත්ත්වයක් තුළ අධි උද්ධමනය ඇති විය හැක.

ශ්‍රී ලංකාවේ තත්ත්වය

ශ්‍රී ලංකාවේ වර්තමාන උද්ධමන තත්ත්වය සැලකීමේ දී ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය අසීමිත ලෙස ඉහළ යාමට බලපෑ කරුණු අතර ද ඉහත සඳහන් ඒවා ද වේ. විශේෂයෙන්ම වර්තමාන ජනාධිපතිවරයා බලයට පත් වී ඉතා කෙටි කාලයක් ඇතුළත මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට බදු සහන ලබා දීමත් සමඟ රජයට ලැබුණු බිලියන ගණනක විශාල ආදායමක් අහිමි විය.

ඊට අමතරව පාර්ශව ගණනාවකගේ විරෝධය මධ්‍යයේ අසීමිත ලෙස මුදල් මුද්‍රණය කිරීම ද මෙරට උද්ධමනය ඉහළ යාමට සහ ඒ තුළින් උග්‍ර ආර්ථික අර්බුදයක් ඇති වීමටත් හේතු විය.

ශ්‍රී ලංකාවේ උද්ධමනය විකාශය වී ඇති අයුරු – Daily Mirror

2022 මාර්තු වන විට ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය දැක්වුණේ 21.5%ක් වශයෙන් වන අතර එය 2008 වසරෙන් පසු වාර්තා වූ ඉහළ ම උද්ධමන අනුපාතය වේ. 2008 වසරේ දී එය 22%කට ආසන්න අගයක් ගෙන තිබිණි.

 සුප්‍රසිද්ධ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැන්කේ පසුගිය මැයි මාසයේ දී සිදු කළ අධ්‍යයනයක දී උද්ධමන අගය ඉහළත ම අගයක් ගන්නා රාජ්‍ය අතර දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත් වී තිබේ. එය ප්‍රතිශතාත්මක ව 132%ක අගයක් ගන්නා අතර, ශ්‍රී ලංකාව ඒ අනුව උද්ධමනය අතින් දෙවැනි වන්නේ සිම්බාබ්වේට පමණි.

උද්ධමන අගය ඉහළත ම අගයක් ගන්නා රාජ්‍ය අතර දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව –  twitter.com/steve_hanke

 හැන්කේ සිදු කළ තවත් අධ්‍යයනයක ද ශ්‍රී ලංකාවේ මුදල් ඒකකය වන රුපියල අවප්‍රමාණය වීම පිළිබඳව ද සඳහන් වේ.  එයින්පැවසෙන්නේ ජූනි 24 දින වන විට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂ ව රුපියල 56.50%කින් අවප්‍රමාණය වී ඇති බව යි. 

 twitter.com/steve_hanke

අඩුම උද්ධමන අනුපාතයක් සහිත රටවල්

ලෝකයේ අඩු ම උද්ධමන අනුපාත ඇති රටවල් බොහෝ විට සෘණ උද්ධමන අනුපාතයකට හිමිකම් කියන අතර එය එය ‘අවධමනය’ ලෙස හැඳින්වේ. අවධමනය රටක මුදල් ඒකකයේ වටිනාකම වැඩි කරයි. ඒ නිසා ඉතිරි වන මුදල් ප්‍රමාණයෙන් තව තවත් භාණ්ඩ මිල දී ගැනීමට සහ සේවා ලබා ගැනීමට ජනතාව පෙලැඹේ.

එවැනි තත්ත්වයක් තුළ තරගකාරී ආකාරයෙන් භාණ්ඩ අලෙවි කිරීමට සිදු වීම නිසා භාණ්ඩ මිල සහ සේවා ගාස්තු ඉතා ශීඝ්‍රයෙන් පහළ බසී. කෙසේ වෙතත් මෙම තත්ත්වය සමහර අවස්ථාවලදී අහිතකර ප්‍රතිවිපාක ද ගෙන දේ.

2022 වසරට අදාළ දත්ත්වලට අනුව අඩුම උද්ධමන අනුපාත සහිත රටවල් අතර රුවන්ඩාව (2.0%), චැඩ් (-0.5%), මාලදිවයින (-0.2%), ජපානය (0.6%), බහරේන් (0.7%), ෆීජි (0.8%), බොලීවියාව (0.9%) සහ සවුදි අරාබිය (1.1%) ප්‍රධාන තැනක් ගනී.

අවධමනය ඇති විය හැකි ආකාර – www.wallstreetmojo.com

වඩාත්ම සුදුසු උද්ධමන අනුපාතය කුමක්ද?

උද්ධමනය අසීමිත ලෙස ඉහළ යාම මෙන් ම පහළ යාම ද සෘණාත්මක ප්‍රතිපල ගෙන දිය හැකි ය. මේ තත්ත්වය තුළ වඩාත් සුදුසු උද්ධමන අනුපාතය කුමක්දැයි ඔබට සිතෙනු ඇත. එය ඒ ඒ රටේ ආර්ථික තත්ත්වය සහ ආර්ථිකය හසුරුවන ආකාරය අනුව වෙනස් වේ. බොහෝ රටවල්වලට උද්ධමන අනුපාතය පිළිබඳව ඔවුන් ම ගොඩ නඟා ගත් ඉලක්කයක් ඇත. උදාහරණයක් ලෙස එක්සත් ජනපදය විශ්වාස කරන්නේ උද්ධමන අනුපාතය 2% මට්ටමේ තබා ගැනීමෙන් එරට පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම සහ රැකියා අවස්ථා වැඩි කිරීම යන දෑ ළඟා කරගත හැකි බව යි. 

කවරයේ ඡායාරූපය- උද්ධමනය අසීමිත ලෙස ඉහළ යාම සහ පහළ යාම යන තත්ත්වයන් දෙක ම අවාසිදායක ය - www.kitco.com

මූලාශ්‍ර:

www.worldpopulationreview.com

www.statista.com

www.bloomberg.com

 twitter.com/steve_hanke

Related Articles