ජනපතිවරයාට සහ අගමැතිවරයාට විරෝධය පළ කරන ජන අරගලය පසුගිය ජූලි 9 වැනිදා උච්ච අවස්ථාවට පත් වුණේ රට වටෙන් ම ලක්ෂ ගණනින් ජනතාව කොළඹට පැමිණීමෙන්. ජනාධීපතිවරයාට ජනාධිපති මන්දිරය අතහැර පලා යාමට සිදුවුණා.
මෙසේ ගෝටාගෝගම අරගලය සාර්ථක වීමේ කතාව පිටුපස විවිධ විරෝධතා රාශියක් අපට දකින්නට ලැබුණා. අරගලයට පන්නරයක් එක් කරමින් රටේ ම ජනතාවගේ අවධානය දිනා ගත් මේ විරෝධතාවලට දෙස් – විදෙස් ජනමාධ්‍යවලින් ද ප්‍රචාරයක් හිමි වුණා.
මේ ලිපිය අරගලය සාර්ථක වීමේ කතාව පිටුපස වූ විවිධ විරෝධතා පිළිබඳ යි.
යට ඇඳුම් විරෝධය
”ජනතාවට යට ඇඳුම් අන්දන ලැජ්ජා නැති ආණ්ඩුවට යට ඇඳුමකින් විරෝධය පාමු” යන වැකිය රැගත් පෝස්ටරයක් මූණු පොත ඇතුළු මාධ්‍යවල ප්‍රචාරය වුණේ පසුගිය මැයි 5 වැනිදා යි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාව වැලැක්වීමට ඒ වනවිට පාර්ලිමේන්තුව අසල මාර්ගය වසා යකඩ බටවලින් දැවැන්ත පොලිස් බංකර් ඉදිකර තිබුණා. එම කටයුත්ත ඇතුළු ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළට විරෝධය පාමින් අරගලයේ නියුතු තරුණ පිරිස් යට ඇඳුම් විරෝධය ආරම්භ කර තිබුණා.
මුලින් ම කාන්තා යට ඇඳුම් විරෝධයක් ලෙස පැවැත්වීමට තීරණය කළ එය පසුව කාන්තා – පිරිමි යට ඇඳුම් විරෝධතාවක් බවට පත්වුණා. විරෝධය පැවැත්වීමට නියමින මැයි 6දා උදෑසන සිට ම යට ඇඳුම් රැගෙන විශාල පිරිසක් පාර්ලිමේන්තුව අසල පොල්දූව හන්දියට පැමිණ ඒවා මාර්ග බාධකවල එල්ලීම සිදු කළා. මෙය රට පුරා විශාල ජනතා අවධානයක් දිනා ගත් විරෝධයක් බවට පත්වුණා.
No Pants Day
No Pants Day හෙවත් යට ඇඳුම් රහිත දිනය යෙදී තිබුණෙත් මැයි 6 වැනි දා යි. No Pants Day හෙවත් යටට නොඅඳින දිනය අමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙන් ආරම්භ වූ බවටයි සැලකෙන්නේ.
විශ්වවිද්‍යාලයේ අධ්‍යයන වාරයක් අවසන් වූ පසුව එහි සතුට සැමරීම සඳහා මෙම දිනය වෙන් කිරීමට ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ සිසුන් මුලින් ම කටයුතු කර තිබෙනවා. පසුව ක්‍රමයෙන් අනෙක් යුරෝපීය රටවල විශ්වවිද්‍යාලවලට ද මෙය ප්‍රචලිත වීම සිදුවුණා. මේ වනවිට ලොව විවිධ අවස්ථාවල දී විරෝධතාවක් ලෙස යට ඇඳුම් භාවිතයට ගැනීම සිදුවෙනවා.
ආණ්ඩුවට විරෝධය පා පසුගිය 6 වැනිදා රට පුරා පැවති හර්තාල් ව්‍යාපාරයට සමගාමී ව යි මෙම විරෝධතාව ද පැවැත්වුණේ. යට ඇඳුමක් ප්‍රසිද්ධියේ වැලක පවා වනන්නේ නැති සංස්කෘතියක් සහිත ශ්‍රී ලංකාවේ කාන්තා සහ පිරිමි යටඇඳුම්, පාර්ලිමේන්තුව අසල පොලීසියෙන් අලුතින් අටවා ඇති යකඩ වැටෙහි විරෝධතාකරුවන් මැදිහත් ව එල්ලීම දකින්නට ලැබුණා. පාර්ලිමේන්තු පාර යයි සඳහන් නාම පුවරුවේ පවා යට ඇඳුම් එල්ලා තිබුණා. මේ සංකේතාත්මක විරෝධතාව ශ්‍රී ලංකාවේ භාවිතයට ගනු ලැබුවේ ප්‍රථම වරට යි.
අරගලකරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ පවසා සිටියේ යට ඇඳුම පවා සුඛෝපභෝගී භාණ්ඩයක් කර ජනතාවගේ සාමාන්‍ය දිවිපෙවෙත් අහිමි කළ පාලකයාට විරෝධය පළකිරීම මෙහි අරමුණ බව යි. විරෝධයට සහය පළ කරමින් කාන්තා සහ පිරිමි යට ඇඳුම් රාශියක් යකඩ බැරියර්වල එල්ලා තිබුණේ ගෝඨා ගෝ හෝම් ආදී වැකිද සහිත ව යි. ශ්‍රී ලංකාවේ මාධ්‍යවල පමණක් නොව ජාත්‍යන්තර පුවත් සේවාවල ද මේ විරෝධය ගැන පුවත් උනන්දුවකින් විකාශනය කෙරුණා.
සමහරුන් මේ විරෝධයට එක් වුණෙත් අමුඩයකින් සැරසීගෙන යි. පොල්දූව වටරවුමේ දී කෝටු කැබලිවල යට ඇඳුම් රඳවා ගත් කාන්තාවන් සහ පිරිමින් විරෝධතා දක්වමින් ගෝටා ගෝ හෝම් කියමින් කෑගැසීමත් සිදුවුණා.
තන පට විරෝධය
මැයි 7 වැනි දා තවත් අපූරු විරෝධතාවක් ගාලුමුවදොර ගෝටාගෝගම දී පැවැත්විම දකින්න ලැබුණා. ඒ දුක්බර කතාවක් පවසන විරෝධයක්. බෙහෙත් නැතිව දුක් විඳින පියයුරු පිළිකා රෝගීන් වෙනුවෙන් තමයි අරගල භූමියේ දී එම විරෝධය පැවැත්වුණේ. විරෝධතාවේ දී කාන්තාවන් තනපට එල්ලා විරෝධය දක්වා සිටියා.
‘පියයුරු වෙනුවෙන් හදවත් විවර කරනු’ යන තේමාව යටතේ එය සංවිධානය කර තිබුණා. තනපට විරෝධයද ලොව පුරා කාන්තා අසාධාරණයට එරෙහි ව යොදා ගත් විරෝධතා ක්‍රමයක්. 1968 දී අමෙරිකාවේ පැවැත්වුණු මිස් අමෙරිකා තරගයේ දී වර්ගවාදයට පක්ෂව කටයුතු කිරීමට එරෙහි ව කාන්තාවන් විශාල වශයෙන් වීදි බැස තනපට ගලවා ඒවා පුළුස්සමින් විරෝධය දක්වා තිබෙනවා.
විරෝධතා පාපැදි සවාරි
ඉන්ධන හිඟය මෙන් ම ඉන්ධනවලට අධික මිලක් නියම කිරීම නිසාත් පොදු ජනතාව අන්ත පීඩාවට පත්වෙලා. දැන් බොහෝ දෙනෙක් පාපැදිවල ගමන් කිරීමට හුරුව ඇති බව මහාමාර්ග දෙස බලන විට පේනවා. පසුගිය ජූලි 7 වැනි දා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකයන් පිරිසක් නුගේගොඩ ගුවන් පාලම අසල සිට විරෝධතා පාපැදි සවාරියක් ආරම්භ කළේ මෙම ඉන්ධන හිඟයට විරෝධය පළ කරමින් අරගලයට සහයෝගය දැක්වීමටයි.
ඔවුන් නුගේගොඩ සිට කොළඹ නගරයට පාපැදිවල පැමිණියේ 9 වැනිදා පැවති අරගලය පිළිබඳ ව ජනතාව දැනුම්වත් කිරීම සඳහා යි. සෑම ආචාර්යවරයෙක් ම තම පිටෙහි 9 ඉලක්කම ලොකුවට මුද්‍රිත 9 වැනිදා කොළඹට යන නිවේදනය සහිත කාඩ්බෝඩ් පුවරු පැළඳගෙනයි ගමන් කළේ. පාපැදිවල නැඟුණු ඔවුන් විරෝධතාවයේ යෙදෙමින් කොළඹ මහජන පුස්තකාලය වෙත පැමිණ එහිදී සර්ව පාක්ෂික සමුළුවකට එක්වුණා.
මෙම සවාරියට ජනමාධ්‍යවලින් සහ සමාජ මාධ්‍යවලින් ලොකු ප්‍රචාරයක් ලැබුණු අතර එය පොදු ජනතාව අතරත් කතාබහකට ලක්වුණා. පසුව 9 වැනි දින කොළඹ විශ්ව විද්‍යාලය අසලට රැස්වුණු සරසවි ආචාර්යවරුන් එහි සිට ගෝටාගෝගම දක්වා පෙළපාලියකින් ගමන් කරමින් ජන අරගලයට සහයෝගය දැක්වූවා.
9 වැනි දා පැවැත්වෙන අවසන් අරගලයට සහාය දැක්වීමට කුරුණෑගල සිට 8 දා කොළඹ දක්වා වෛද්‍යවරු ඇතුළු වෘත්තිකයන් සහ තරුණයන් විශාල පිරිසකගේ පාපැදි චාරිකාවක් පැවැත්වුණා. එය ආරම්භ වුණේ කුරුණෑගල ගෝටාගෝගමින්. “සයිකලේ විරෝධය” නමින් තමයි එය නම්කර තිබුණේ. මෙම විරෝධතාකරුවන් 7 වැනි දා කුරුණැගල නගරය වටා පාපැදිවලින් ගමන් කරමින්. කොළඹ අරගලයට එක්වන ලෙස ආරාධනා කරමින් ප්‍රචාරක චාරිකාවක් ද සංවිධානය කර තිබුණා. ජූලි 8 වැනි දා ආරම්භ වුණු සයිකලේ විරෝධය මාර්ග අංක 06 ඔස්සේ අලව්ව, වරකාපොළ, නිට්ටඹුව, කිරිබත්ගොඩ හරහා කොළඹ අරගල භූමිය දක්වා පැමිණියා. ඔවුන් 8 වැනි දා රෑ අතරමඟ නතරවී 9 වැනි දා දහවල් වනවිට කොළඹට ළඟා වීම සිදුවුණා.
දුම්රිය විරෝධතා
මෙය කවුරුත් කලින් සංවිධානය කළ විරෝධයක් නෙවෙ යි. ක්ෂණික ව ඇතිවූ සිද්ධීයක් බවයි පේන්නේ. දුම්රිය සේවා ද බලධාරින්ගේ උපදෙස් මත 9 වැනි දා වනවිට ඇඳිරි නීතිය පැනවූ නිසා ධාවනය අත්හිටවා තිබුණා. මේ නිසා ජනතාවට ප්‍රවාහන පහසුකම් ගැටලුවක් පැන නැගුණා.
අරගලයට කොළඹට යාමට පැමිණි ජනතාව දුම්රිය නිලධාරින්ට කරුණු කියා බලවත් සේ ඉල්ලීම් කර උඩරට මැණිකේ මහනුවර සිටත්, රුහුණු කුමාරි මාතර සිටත් ධාවනය කරවා ගැනිමට සමත් වුණා. ගාල්ලෙන් සමුද්‍ර දේවි දුම්රිය ද ධාවනය වුණේ දහස් ගණනින් ජනතාව සමඟ යි. කැලණීවැලි දුම්රිය ද මේ ගමනට අවිස්සාවේලේ සිට එක්වුණා.
මේ නිසා සංවිධානයකින් තොර ව ම දුම්රිය විරෝධතා චාරිකා බවට පත්වුණේ මාර්ගය අතරමග ජනතාවගේ ද අවධානය දිනා ගනිමින්. තරුණ පිරිස් දුම්රියවල ගමන් කළේ විරෝධතා පාඨ කියමින් ජාතික කොඩි වනමින්. දුම්රිය ඉදිරිපස ගෝටා ගෝ ගෝම් බැනර සහ ජාතික කොඩි ද ප්‍රදර්ශනය කර තිබුණා.
කපුටු කාක් කාක් හඬින් දුම්රිය නළා ශබ්ද කරමින් දුම්රිය රියදුරන් ද අරගලයට සහයෝගය දැක්වුවා. තරුණ පිරිස් කොටුව දුම්රිටය ස්ථානයේ සිට අරගල භූමියට සහ ජනාධිපති මන්දිරයට ගමන් කළේ ජාතික කොඩි සහිත පෙළපාලියකින්.
විදෙස් රටවල අමුතු විරෝධතා
හොංකොං පාලනයේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ අනවශ්‍ය බලපෑම් හා ඇඟිලි ගැසීම්වලට එරෙහි ව 2014 වසරේ දී විරෝධතා රැල්ලක් ආරම්භ වුණු අතර එය හැඳින්වුණේ කුඩ විප්ලවය නමින්. ඒ සඳහා මුලිකත්වය ගන්නේ හොංකොංහි විශ්ව විද්‍යාල සිසුන් පිරිසක්. පසුව එම විරෝධයට විපක්ෂයේ පක්ෂ, මානව හිමිකම් සංවිධාන ඇතුළු මිලියනයකට අධික විශාල පිරිසක් එක්වූණා. විරෝධතාකරුවන් නිතර කුඩයක් අත තබාගෙන සිටි නිසයි ඒ නම ලැබුණේ.
ඒකාධිපතියකු ලෙස කටයුතු කරන ආර්මේනියානු ජනාධිපතිවරයාට එරෙහිව ආර්මේනියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම මාධ්‍යවේදියෙක්ද වූ නිකොල් පශින්යන් සමාජ මාධ්‍ය අරගලයක් අරඹනවා. ෆේස් බුක් භාවිත කරමින් ක්‍රියාත්මක වුණු එම අරගලය වටා මිලියන ගණනින් ජනතාව එක් වන අතර ජනාධිපතිවරයාට ධූරයෙන් සමුගන්නට සිදුවෙනවා. පාගමන් මෙන් ම සිවිල් නීති කඩ කිරීමේ විරෝධතා ද එහිදි සිදුවුණා.
අවසානයේ 2018 දෙසැම්බර් මස නව මහ මැතිවරණයක් පවත්වන අතර විරෝධතාවලට මුල්වූ නිකොල්ගේ පක්ෂය ආසන 101න් ආසන 80ක් පමණ ජයගන්නවා. ඉන් පසුව නිකොල් අගමැති ධූරයට පත් වෙනවා.