Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වගකීම් විරහිත ගෑස් සමාගමක් සිදු කළ පෝටරිකෝ ගෑස් පිපිරුම

මේ දිනවල ගෑස්වලින් ඇති වී තිබෙන විවිධ ගැටලුකාරි තත්තවයන්ට මුහුණ  දීමට ශ්‍රී ලංකාවාසීන් වන අපට ද සිදු ව ඇත. මේ කියන්නට යන්නේ ලාභය මූලික කරගත් San Juan නම් ගෑස් සමාගමක වගකීම් විරහිත ක්‍රියා කලාපය හේතුවෙන් අමෙරිකාවේ පෝටරිකෝවල සිදුවූ ගෑස් පිපුරා යාමක් පිළීබඳ ය.

දිනය 1996 නොවැම්බර් 21 වැනිදා ය. ස්ථානය පෝටරිකෝ හි අගනුවර වන සැන් ජුවාන් හි ජනාකීර්ණ ප්‍රදේශයකි. නත්තල් උත්සව සමය ආසන්න වූ බැවින් සාප්පු විවෘත තිබු අතර පාරිභෝගිකයෝ ඒවාට ඇදෙමින් සිටියහ. මහල් හයකින් සමන්විත හම්බර්ටෝ විඩාල් සාප්පු සංකීර්ණය එ දින උදෑසන 8:35 ට පුපුරා ගියේ සියල්ලන්ම භීතියට පත් කරමින් හා ඒ අවට නවතා තිබූ වාහන පවා උඩු යටිකුරු කරමිනි.

මෙම අනතුරින් තිස් තුන් දෙනකු ගේ ජිවිත අහිමි වූ අතර තවත් 69 කට තුවාල සිදු වී තිබිණි. මේ අනතුර වූ සැණින් එවකට අමෙරිකානු ජනාධිපතිවරයා වූ බිල් ක්ලින්ටන්, පෝටරිකෝ ප්‍රදේශය ව්‍යසන කලාපයක් ලෙස නම් කරන්නට යුහුසුළු විය. විපතට පත්වූවන්ට ආධාර ලබා දීමටත්, පරීක්ෂණ කණ්ඩායම් එම ප්‍රදේශයට යැවීමටත් ඉන් හැකියාව ලැබිණි. 

Puerto Rico Gas Leak Explosion (EM-3124)
පිපිරීමට ලක් වූ ගොඩනැගිල්ල ඇතුළත – alchetron.com 

පරීක්ෂණ කණ්ඩායම් සිය පරික්ෂණ ආරම්භයේ දී ම උභතෝකෝටික ගැටලුවකට මුහුණ දුන්හ. ඒ පිපිරීමට ලක් වූ ගොඩනැගිල්ල අනාරක්ෂිත බව හේතුවෙන් ඉතා ඉක්මනින් කඩා බිඳ දැමිය යුතු බවට නගර පරිපාලකයන් තීරණය කර ඇති බව දැනගැනීමත් සමඟ ය. එම තීරණය, පරීක්ෂණ කඩාකප්පල් කිරිමේ හා සාක්ෂි සැගවීමේ අරමුණින්  සිදු කළ සැලසුම් සහගත ක්‍රියාවක් ලෙසට ද චෝදනා එල්ල විය. 

ත්‍රස්ත ක්‍රියාවක්?

පරීක්ෂණ කණ්ඩායමේ මුල් ම අවධානය යොමු වුයේ මෙය ත්‍රස්ත ක්‍රියාවක් ද යන්න පිළිබඳ ය. විශේෂයෙන් ම ඒ වනවිටත් ඇමරිකාවෙන් ස්වාධීන වීම සදහා ක්‍රියාත්මක වූ ත්‍රස්ත කණ්ඩායමක් පෝටරිකෝ හි පිපිරිම් වැනි ත්‍රස්තක්‍රියාවල නිරන්තරයෙන් ම නියුතු ව සිටිය හ. පිපිරීම සිදු වූ ස්ථානයේ කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් හෝ එවැනි උපකරණයක් හමූ නොවූ නිසා මෙය ත්‍රස්ත ක්‍රියාවක් යන තර්කය බැහැර කෙරිණි.

ඉන් පසු පරීක්ෂණ කණ්ඩායම් පිපිරීම් සිදුවූ ස්ථානයේ ඡායාරූප ගත කිරීම ඇරඹී ය. සිද්ධිය ඇසින් දුටු අයගේ සාක්ෂි එකතු කිරීම ද ඇරඹිණි. මේ අතර ප්‍රදේශයට ගැස් සපයන සමාගමක් ඔවුනට ද මෙම ස්ථානයේ පරීක්ෂණ කටයුතු කිරීමට අවසර ඉල්ලා සිටියේ හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නාක් මෙනි. එම ඉල්ලීම පරික්ෂණ කණ්ඩායම් ප්‍රධානී චාර්ල්ස් බැටන් එක හෙළා ම ප්‍රතික්ශේප කර තිබිණි.

පරික්ෂණ කණ්ඩායම් ප්‍රධානී චාර්ල්ස් බැටන් – Seconds from Disaster S02E13 Puerto Rico Gas Explosion – YouTube

පරික්ෂණ කණ්ඩායමට ඉදිරිපත් වූ බොහෝ සාක්ෂි පරස්පර බවක් පෙන්නුම් කළ ද, මෙම පිපීරීමට දින කිහිපයකට කලින් දුඟදක් හැමූ බව බොහෝ සාක්ෂිවලින් කියැවිණි. පිපිරීමට ලක් වූ ගොඩනැගිල්ලේ වූ සපත්තු සාප්පුවක සේවකයෙක් මෙම දුඟද සම්බන්ධ ව ගෑස් ආයතනයට දෙවරක් පැමිණිලි කර තිබිණි.

දුගඳක් ගැන පැමිණිලි

ඒ අවස්ථා දෙකේ දී ම එහි පැමිණි ගෑස් සමාගමේ සේවකයන් ගෑස් කාන්දු මීටර් මගින් ගෑස් කාන්දුවක් නොමැති බවට තහවුරු කර තිබිණි. දුගඳට හේතුව සම් සපත්තු මගින් එන ගන්ධයක් විය හැකි බව ප්‍රකාශ කර සිටියහ. අවාසනාවට, එම පැමිණිලි ඉදිරිපත් කළ සපත්තු සාප්පුවේ සේවකයා ද මෙම පිපිරීම හේතුවෙන් මිය ගොස් තිබිණි. 

 ප්‍රදේශවාසීන් ගේ නිරන්තරයෙන් ම ලද පැමිණිලි හේතුවෙන් ගෑස් සමාගම ගෑස් නළය ඇති ප්‍රදේශයේ පසේ සාම්පල කිහිප තැනකින් ම පරික්ෂා කර තිබුණත් එම කිසි ම තැනකින් ගෑස් කාන්දුවක් ගැන තොරතුරු නොලද බැවින්මෙය ගෑස් පිපිරීමක් නොවන බව ගෑස් සමාගම කියා සිටියේ ය. ඔවුන්ගේ තවත් මූලික තර්කයක් වුයේ පිපිරීම සිදු වූ ගොඩනැගිල්ලට කිසිදු ගෑස් සැපයීමක් තම සමාගම සිදු කර නොතිබූ ව ය.

ගොඩනැඟිල්ල ඇතුළත පරීක්ෂණ –  commons.wikimedia.org 

ඔවුන් නිරන්තරයෙන් ම ප්‍රකාශ කර සිටියේ මෙය අපද්‍රව්‍ය බැහැර කරන නළ පද්ධතියෙන් කාන්දු වූ මීතෙන් නිසා සිදු වූ පිපිරීමක් බවට ය. මීතෙන් පිපිරීමක් මගින් මෙවැනි පරිමාණයේ හානියක් විය නොහැකි බව මීට වසර කිහිපයකට පමණ පෙර මෙක්සිකොවේ හටගත් සිද්ධියක විමර්ශන මගින් පරීක්ෂණ කණ්ඩයම් තහවුරු කර තිබිණි. එනමුදු මෙය ගෑස් කාන්දුවකින් සිදු වූ අනතුරක් බවට තහවුරු කිරීම ද ගැටලු සහගත බව මෙම පරීක්ෂණ කණ්ඩායමට වැටහිණි.

 අදාළ පිපුරුමට සම්බන්ධ ඡායාරූප පරීක්ෂා කිරීමේදි මඳක් ඉහළට නෑමී ගිය වානේ ව්‍යුහයක් පරීක්ෂණ කණ්ඩායමේ අවධානයට යොමු විය. එම වානේ කොටස ගොඩනැඟිල්ලේ පළමු හා දෙවන මහල් අතර තිබු නිසාත්, නෑමී තිබුණු නිසාත් පිපිරීම පළමු මහලෙන් ඉහළට ඇති වූවක් බවට නිගමනය කෙරිණි. මෙම ගොඩනැඟිල්ලේ පළමු මහල පාවිච්චියට නොගන්නා බවට ද එහිදී තොරතුරු අනාවරණය විය.

 
නැවී ගිය යකඩ කොටස් – Puerto Rico Gas Explosion – YouTube

මෙම නිරීක්ෂණ සමඟ අදාළ පිපිරීම ප්‍රොපේන් නම් වායුව නිසා හටගැනීමට හැකි බවට නිගමනය කෙරුණ ද ගෑස් සමාගම එම නිගමනය ප්‍රතික්ශේප කළේ ය. මෙය තමන්ගේ ගෑස් කාන්දුවකින් සිදු වූ පිපිරීමක් බවට සාක්ෂි නොමැති බවට ඔවුහු නිරන්තයෙන් ප්‍රකාශ කර සිටියහ.

අධික ප්‍රොපේන් සාන්ද්‍රණ සහිත පස් සාම්පල

 මේ වනවිටත් ගෑස් සමාගමේ මවු සමාගම වන එන්රොන් සමූහය මෙම පරීක්ෂණ සදහා සිය විරෝධය නිල වශයෙන් පළ කර සිටියේ මෙය තමන් ඉලක්ක කර ගනිමින් සිදුවන පරීක්ෂණයක් බවට ප්‍රකාශ කරමිනි. මේ සියලු බාධක මධ්‍යයේ පරීක්ෂණ කණ්ඩායම අවට ප්‍රදේශයේ පස පරීක්ෂා කරන්නට පියවර ගත්තේ ය. ගෑස් සමාගමේ විශ්වාසනීයත්වය ප්‍රශ්න කරමින් අධික ප්‍රොපේන් සාන්ද්‍රණ සහිත පස් සාම්පල සොයා ගන්නට පරීක්ෂණ කණ්ඩායම සමත් විය. ඒ අනුව ගෑස් සමාගම නිකුත් කරන ප්‍රොපේන් පසට කාන්දූ වී ඇති බව තවදුරටත් තහවුරු කර ගනු පිණිස, එම ප්‍රදේශ ඇති ගෑස් නළ පද්ධතිය පිළිබඳ තොරතුරු තමන්ට ලබා දෙන්නැයි පරීක්ෂණ කණ්ඩායම් අදාළ ගෑස් සමාගමෙන් ඉල්ලා සිටියේ ය.

ගෑස් නළවලට අමතර ව විදුලි, ජල, දුරකථන නළ හා අපද්‍රව‍්‍ය බැහැර කරන නළ ද එම ප්‍රදේශ පුරා අක්‍රමවත් ව එළා තිබුණේ පරීක්ෂණ කණ්ඩායම් මවිතයට පත් කරමින් මෙන් හ පරීක්ෂණ තවත් අසීරු අතට යොමු කරමිනි. එහි ගෑස් කාන්දු වීම කිහිපයක් තිබුණු බව අනාවරණය කර ගත්තත් ඉන් මෙතරම් ව්‍යසනයක් ඇති කළ නොහැකි බව පරීක්ෂණ කණ්ඩායම් තේරුම් ගත්හ.

පරීක්ෂණ කණ්ඩායම්- alchetron.com 

විශේෂයෙන්ම පළමු මහලේ පරිමාව ඝන මීටර 991 බැවින් එය පිරවීමට මෙම ගෑස් කාන්දුව ප්‍රමාණවත් නොවන බවට ප්‍රකාශ කිරිමත් සමඟ ගෑස් සමාගම ඔවුනට එල්ල ව තිබුණු සැකයෙන් මිදිණි. එනමුදු පරීක්ෂණ කණ්ඩායම් ප්‍රධානයා තම උත්සාහය අත හැරීමට සුදානම් වුයේ නැත. සටහන් ගත නොකරන ගෑස් නළ තිබෙදැයි ඔහු ගෑස් සමාගමෙන් විමසා සිටිය ද ගෑස් සමාගම එයට පිළිතුරු දීම නිර්දය ලෙස ප්‍රතික්ශේප කර සිටියේ ය. කෙසේ වෙතත් පරික්ෂණ කණ්ඩායම් ප්‍රධානී චාර්ල්ස් බැටන් ගේ දැඩි පෙරැත්තය මත ගෑස් සමාගම මෙම ප්‍රදේශයේ ගෑස් නළ පිළිබඳ නැවත සොයා බැලීමට එකඟත්වය පළ කළේය.  

ගෑස් සමාගමේ විශ්වාසනීයත්වය පහතට ඇද දමමින්, ඊට වසර 11කට පෙර එළූ ගෑස් නළය සඳහා අතින් සටහන් දැමූ සැලැස්මක් ලැබුණු අතර එය ඔවුන් සිතාමතා හෝ අත් වැරදීමකින් හෝ සටහන් පද්ධතියට එකතුකර නොතිබිණි.

ඝන අඩි 100කට අධික ප්‍රොපේන් වායුව

පරීක්ෂණ කණ්ඩායම මෙම නළය ගැන සිය අවධානය යොමු කිරීම ඇරඹී ය. මෙම ප්ලාස්ටික් ගෑස් නළය එක්තරා තැනක දී අර්ධ කවාකාරව නවා තිබුණේ එම නළයට දැඩි පීඩනයක් ද ගෙන දෙමිනි. එම ස්ථානයෙන් පැයකට ඝන අඩි 100කට අධික ප්‍රොපේන් වායුව ඒ වනවිටත් කාන්දු වෙමින් තිබිණි. එම ගෑස් නළය එළා වසර පහකට පමණ පසුව එම ස්ථානයේ ම එළූ ජලනළයක් හේතුවෙන් ගෑස් නළය තව දුරටත් පීඩනයට ලක් වී තිබිණි. එම ස්ථානයේ දී ගෑස් නළය කැඩී ගොස් ද තිබිණී. 

ඊළගට විසඳිය යුතු ව තිබුණේ එම කාන්දු වූ ගෑස්, පුපුරා ගිය ගොඩනැගිල්ල වෙතට ම පැමිණියේ කෙසේ ද යන්න ය. ප්‍රොපේන් වායුව ද ජලය මෙන් පස් අතරින් ගමන් කළ හැකි වායුවකි. පරීක්ෂණ කණ්ඩායම් නිලධාරීහු ප්‍රොපේන් වායුව එම කාන්දු වූ ස්ථානයෙන් මුදා හැර නිරීක්ෂණ ලබා ගත්හ. අපේක්ෂා කළ පරිදිම එම වායුව අවම ප්‍රතිරෝධය සහිත ගමන් මඟ ඔස්සේ ගමන් කර විදුලිය සපයන පරිපථය ඔස්සේ පුපුරා ගිය ගොඩනැගිල්ලේ පළමු මහල වෙත පැමිණ තිබිණි. ඒ අනුව ප්‍රහේළිකාවේ ඊළඟ ගැටලුව ද විසඳිණි. 

සිදු ව තිබූ හානිය- alchetron.com 

 ගෑස් සමාගමේ නොනවතින විරෝධය

San Juan ගෑස් සමාගම තවදුරටත් මෙම ප්‍රතිඵල පිළිගැනීමට එකඟ නුවූයේ ඔවුන්ගේ බලය ප්‍රදර්ශනය කරමිනි. ඔවුන්ගේ තර්කය වූයේ මෙතරම් පරිමාණයක ගෑස් කාන්දුවක් තිබුණා නම් පිපිරීමට දින කිහිපයකට කලින් ඔවුන්ගේ සේවකයන් සිදු කළ පරීක්ෂණවලට මෙම කාන්දුව නිරීක්ෂණය නොවුයේ මන්දැයි යන්න පවසමිනි.  ඒ අනුව පරීක්ෂණ කණ්ඩායම ඒ ගැන ද සිය අවධානය යොමු කළේ සියලු අපහැදිලි තැන් දුරු කර ගන්නා පියවරක් ලෙසිනි.

ගෑස් සමාගමේ සේවකයන් පොළවට විදි සිදුරු පරීක්ෂණ කණ්ඩායමේ නිරීක්ෂණයට ලක් විය. එම සිදුරු අතරින් දිග ම සිදුර සෙන්ටි මීටර් 46ක් වූ අතර එම කිසිදු සිදුරක් ගෑස් නළය දක්වා දිව ගොස් නොතිබූ බව ඔවුනට නිරීක්ෂණය විය. ගෑස් සමාගම මෙම නිරීක්ෂණය ද ප්‍රතික්ෂේප කළ අතර සිදුරු විදි සේවකයන්ගෙන් රීක්ෂණ කණ්ඩායමේ ප්‍රශ්ණ කිරීමේ දී තමන් සෙන්ටි මීටර් 46කට වඩා යටට නොවිදි බව ඔවුහු පිළිගත්හ.

ඝනත්වයෙන් වැඩි වායුවක්

ප්‍රොපේන් ඝනත්වයෙන් වැඩි වායුවක් බැවින් එය පස මතුපිටට පැමිණීමේ හැකියාව ඉතා අඩු ය. ඒ සහා වඩ ගැඹුරු සිදුරු විදිය යුතු බව මෙම සේවකයන් දැන නොසිටි බව ද තහවුරු විය. එනිසා ගෑස් කාන්දු මීටර් මගින් මෙම කාන්දුව නිරීක්ෂණය නොවුණු බවට ද කරුණු තහවූරු විය. එය ද බැටන් ඇතුළු පරික්ෂණ කණ්ඩායම සොයා ගත්තේ සේවකයන් ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ය. එම ගෑස් කාන්දු අනාවරක උපකරණ ගෑස් කාන්දු නොමැති තැනක දී  සක්‍රීය කළ යුතු අතර ඉන් පසුව ගෑස් කාන්දුව ඇතැයි සැක කරන ස්ථානයට එම අනාවරකය ගෙන ආ යුතු ය.  නමුදු අවස්ථා දෙකේදී ම අනාවරකය සක්‍රීය කර ඇත්තේ ගෑස් කාන්දුව ඇති ස්ථානයේ වීම නිසා මෙම අනාවරක ගෑස් කාන්දුවට  නිසි පරිදි පුතිචාර දැක්වූයේ නැත. San Juan ගෑස් සමාගම් සේවකයන්ට මෙම අනාවරක පරිහණය කිරීමට නිසි පුහුණුවක් ලබා දී නොතිබූ බවද හෙළි විය.

Seconds from Disaster වාර්තා වැඩසටහන:

ප්‍රහේළිකා දාමයේ අවසානය

දැන් විසඳීමට ඇත්තේ ප්‍රහේළිකා දාමයේ අවසානය යි. මෙම එකතු වූ ගෑස් ප්‍රමාණය පුපුරා යාමට ගිනි පුපුර ලැබුණේ කෙසේද යන්න ය. ඉතා හොඳින් නිරීක්ෂණය කිරීමේ දී ඔවුන්ට පහළ මාලයේ වායු සමීකරණ අසල තද කළු පැහැති අවශේෂ දැක ගන්නට ලැබිණි. ඒ අනුව මෙම පුපුරායාමේ ආරම්භක ස්ථානය ද තහවුරු කර ගැනිණි. එදින වායු සමීකරණය නඩත්තු කටයුත්තක් සිදු වී තිබූ අතර එහි දි වායු සමීකරණයේ ස්විචය සක්‍රීය කිරීමේ දී මෙම පුපුරා යාම සිදු වු බව නිගමනය විය. එම නඩත්තු කටයුතු කළ තාක්ෂණික සේවකයා ද අනතුරින් මිය ගොස් තිබිණි.

33 දෙනකුට මරු කැඳ වූ මෙම සිද්ධි දාමය පරීක්ෂක කණ්ඩායම විද්‍යානුකූලව පහදා දුන්නේ ය. තම ධන බලය නැවතත් ප්‍රකට කළ San Juan ගෑස් සමාගම මෙම පරික්ෂණ පක්ෂපාතී බවත්, මෙම පිපිරීම අපද්‍රව්‍ය ප්‍රවාහනය කරන මළ පද්ධතියෙන් කාන්දු වූ මීතෙන් නිසා වූවක් බවත් නිතිඥයන් හරහා ප්‍රකාශ කර සිටියේ ය. ඒ අනුව මෙම අනතුර ප්‍රොපේන් මගින් සිදු වු බවට ස්ථිර ලෙස ඔප්පු නොකළහොත් මේ විනාශකාරී ගෑස් සමාගම මෙම පිපිරීමේ වරදින් මිදි යාමේ හැකියාව තිබෙන බව බැටන් ඇතුළු කණ්ඩායමට ඒත්තු ගියේ ය.

පිපිරීමේ වරදින් මිදි යාමේ හැකියාව

සිද්ධියෙන් මාස හයකට පසුව මෙම ගොඩනැගිල්ලේ සුන්බුන් අතරින් සොයා ගත් දෙයක් නිසා ගෑස් සමාගමේ අවසාන තුරුම්පුව ද ඉවත විසිවිණි. ඒ සපත්තු හලේ සිවිලිමේ තිබු සපත්තුවල සලකුණු නිසා ය. ඒ අනුව පිපිරීම සිදුවුයේ පොළව මට්ටමේ බවත්, මීතේන් වායුව වාතයට වඩා සැහැල්ලු වාතයක් බැවින් එය පොලොව මට්ටමේ දී පිපිරිය යා නොහැකි බවට ගෑස් සමාගම ගෙනා ප්‍රබල මතය මේ සාධක ඉදිරියේ නිහඬ විය.

සියලු සේවකයන්ට මනා පුහුණුව ලබා දෙන ලෙසත්, නිරන්තරෙයන් නිරීක්ෂණ කටයුතු කරන ලෙසත් ගෑස් සමාගමට නිර්දේශ කෙරිණි. ගෑස් සමාගමට එරෙහිව නඩු පැවරුණු අතර San Juan ගෑස් සමාගම මෙම නඩු කටයුතු උසාවියෙන් පිටත දී සමථයකට පත් කර ගත්තේ මේ කුරිරු සිද්ධියට වරද භාර නොගනිමිනි.  

කවරයේ ඡායාරූපය - හම්බර්ටෝ විඩාල් සාප්පු සංකීර්ණ පිපුරුම - wikimedia.org

මුලාශ්‍ර:

nationalgeography.com

www.usdeadlyevents.com 

Seconds from Disaster S02E13 Puerto Rico Gas Explosion - YouTube

Related Articles