2000 වර්ෂයේ අගෝස්තු 28 වැනිදා රාත්‍රී 8.00 ට පමණ සමාජ සේවකයකු වූ ඩැනී ස්ටුවර්ට්, ඔහුගේ පෙම්වතා වූ පීට් ම’කියුරියෝ හමුවීම පිණිස නිව් යෝර්ක් හි උමං දුම්රියක නැඟී නගරයේ දකුණු දෙසට ගමන් කරමින් සිටියා. ලේඛකයකු සහ ග්‍රැෆික් නිර්මාණකරුවකු ලෙස සේවය කළ පීට් ම’කියුරියෝ සමඟ ඩැනී පෙම් සබඳතාවක් ඇරඹුවේ වසර තුනකට පමණ පෙර යි. ඔවුන් පීට්ගේ නවාතැනේ එකට ජීවත් වුණා. නිව් යෝර්ක් නගරයේ තරගකාරී ජීවන රටාවට හසු වූ නගරවැසියකු ලෙස එම රාත්‍රියත් සුපුරුදු රටාවෙන් ම ගෙවෙනු ඇතැයි ඩැනී එදා සිතන්නට ඇති. නමුත්, ස්වල්ප මොහොතකින් සියල්ල වෙනස් වුණා.
උමං දුම්රියපළේ දරුවා
දුම්රිය කෙමෙන් කෙමෙන් මැන්හැටන් ප්‍රදේශයේ චෙල්සි දිස්ත්‍රික්කයට අයත් “14 වැනි වීදිය” නමැති දුම්රියපළට ළඟා වුණා. දුම්රියෙන් බැස ගත් ඩැනී, ප්‍රමාදය සැළකිල්ලට ගෙන ඉක්මන් ගමනින් දුම්රියපළෙන් පිටතට පැමිණීමට සූදානම් වුණා. බිත්තියක් පාමුල තබා ඇති පොදියක් වැනි යමක් ඔහුගේ නෙත ගැටුණේ එවිට යි. පොදිය තුළින් එළියට නෙරා තිබූ කුඩා කකුල් දුටු විට එය දැරියක දමා ගිය බෝනික්කෙක්යැ යි ඩැනී සිතුවා. පඩිපෙළ නඟින අතරතුර නැවතත් ආගන්තුක පොදිය දෙස ඩැනී හැරී බැලුවේ දෛවෝපගත ලෙසින්. එවර එම කුඩා කකුල් දෙක යන්තමින් සෙලවෙන බව දුටු ඩැනී වික්ෂිප්ත වුණා. තරප්පු පෙළ වේගයෙන් බැස ගොස් පොදිය පරීක්ෂා කළ ඩැනීට දකින්නට ලැබුණේ ළදරු වයසේ සිටි පිරිමි දරුවෙක්!
“ඔහුට ඇඳුමක් තිබුණේ නැහැ. නමුත්, ඔහුව කමිසයකින් ඔතා තිබුණා. දරුවගේ පෙකණි වැල පවා ශරීරයට අර්ධ වශයෙන් සම්බන්ධ වෙලා තිබෙන අයුරු මං දුටුවා. යන්තමින් දිනක් හෝ ඊට වඩා මඳක් වයසින් වැඩි දරුවෙකු බව මට තේරුම් ගියේ එවිට යි.”
පසුකලෙක තම අත්දැකීම මාධ්‍ය හමුවේ ඩැනී ප්‍රකාශ කළේ ඒ අයුරින්.
ළදරුවකු මෙලෙස ජනාකීර්ණ පෙදෙසක අනාරක්ෂිත ව දමා යෑම ඩැනීට අදහාගත නොහැකි සිදුවීමක් වුණා. කුඩා දරුවා බෙහෙවින් නිශ්ශබ්ද වූ අතර, තමා දකින දර්ශනය දෙස පුළුල් දෑස් විදහා බොහොම අවධානයෙන් බලා සිටියා. අවට මිනිසුන් වහා ම දැනුම්වත් කළ යුතු බව ඩැනීට සිතුණා. පොලිසියට කතා කරන ලෙස අවට මිනිසුන්ට කෑ ගැසුවත්, කිසිවකු ඩැනී වෙත අවධානය යොමු කළේ නැහැ.
“එක්තරා කාන්තාවකගේ අවධානය දිනා ගන්න මම සමත් වුණා. නමුත්, ඇය ඉංග්‍රීසි කතා කළේ නැහැ. මම දරුවාව පෙන්වමින් කතා කළත්, ඇයට මම කියන දේ වැටහුණේ නැහැ. සමහරවිට මම යම් ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇතැයි ඇය සිතන්නට ඇති.”
දෛවෝපගත බැඳීමක්
ළදරුවාට වේදනාවක් දැනේවියැ යි සිතුණු නිසා ඔහුව සියතට ගැනීමට ඩැනී උත්සහ කළේ නැහැ. එකල අද මෙන් ජංගම දුරකථනය අත්‍යාවශ්‍ය මෙවලමක් මෙන් ප්‍රචලිත ව නොතිබූ නිසා වහාම වීදියේ පොදු දුරකථනයක් වෙත දිව ගොස් 911 අංකය ඇමතීමට ඩැනී ක්‍රියා කළා. ඊළඟ ඇසිල්ලේ ම ඔහු නැවතත් දරුවා අසලට දිව ගියා.
“පොලීසිය මගේ ඇමතුම ව්‍යාජ එකක් ලෙස සලකන්න ඉඩ තිබෙන බව මට ඒ මොහොතේ සිතුණා. ඒ නිසා මට වෙන කෙනෙක්ව අමතන්න අවශ්‍ය වුණා. එතකොට තමයි මට පීට්ව සිහිපත් වුණේ.”
විශ්වාස කිරීමට පවා අපහසු සිදුවීමක් වුණත්, ඩැනී බරපතල විහිළු නොකරන බව පීට් දැන සිටියා. අදාළ ස්ථානයට පීට් පැමිණෙන අතරතුරේ දී පොලිසිය දරුවා රෝහලක් කරා රැගෙන ගොස් තිබුණා. සිදුවීම සම්බන්ධයෙන් කට උත්තරයක් දුන් පසු ඩැනී සහ පීට් පොලිස් ස්ථානයෙන් පිටතට පැමිණියා.
“ඒ දරුවත් සමඟ ඔයා කොහොම හරි මුළු ජීවිත කාලයට ම බැඳෙන්නයි යන්නේ.”
පොලිස් රථය ඔවුන්ගෙන් ඉවත්ව ගිය විට පීට්, ඩැනීට පැවසුවා.
විනිසුරුවරයා ගෙන් ඩැනීට පැනයක්!
උමං දුම්රිය මඟ ආසන්නයෙන් සොයාගත් බිළිඳා සහ ඩැනී නමැති යහපත් සමරිතානුවා පිළිබඳ ප්‍රවෘත්තිය නිව් යෝර්ක් නගරය සිසාරා පසුදා පැතිරෙන්න පටන් ගත්තා. දරුවාගේ සුව දුක් විමසා බැලීමට ඩැනී උත්සහ කළත්, ඔහු භාර දුන් රෝහල වෙතින් තොරතුරක් ලබා ගැනීමට ඩැනී අපොහොසත් වුණා. නොබෝ දිනකින් ඩැනී සහ පීට් දෙපළ තම සුපුරුදු දෛනික ජීවිතයට නැවතත් හුරු වුණා.
වැඩි කලක් යෑමට මත්තෙන් දරුවා සොයා ගත් ආකාරය පිළිබඳ ව සාක්ෂි දීම සඳහා පවුල් උසාවි විභාගයකට සහභාගී වන ලෙස ළමා සේවා පරිපාලනයෙන් ඩැනීට කැඳවීමක් ලැබුණා. සාක්ෂි විභාගයේ දී ඩැනී තමා දන්නා දේ පැවසුවත්, විභාගය අවසාන වන තුරු ඩැනී රඳවා ගැනීමට විනිසුරුවරිය ක්‍රියා කළා. පොලිසිය ඔවුන්ගේ සාක්ෂිය ලබා දුන් පසු විනිසුරුවරිය නැවත ඩැනී දෙසට හැරුණා.
“ස්ටුවර්ට් මහත්මයා, මට මෙතන වෙන්නේ මොන වගේ දෙයක් ද කියලා ඔයා දැනුම්වත් කරන්න ඕනෑ. පිළිසරණක් නොමැති දරුවෙක් ඉන්න අවස්ථාවක දී හැකි ඉක්මනින් ඔවුන් රැකවරණ මධ්‍යස්ථානයකට යැවිය යුතු යි.”
එවැනි පියවරක් ගැනීම වඩාත් යහපත් බව ඩැනීටත් සිතුණා. නමුත්, විනිසුරුවරියගේ ඊළඟ පැනය ඔහු කිසිසේත් අපේක්ෂා කළ දෙයක් නොවෙයි.
“මේ දරුවා හදාවඩා ගැනීමේ උනන්දුවක් ඔබට තිබේ ද?”
නඩු විභාගය අසා සිටී පිරිසගේ දෑස් ඩැනී දෙස යොමුවී තිබුණා. තරමක නිහැඬියාවකින් පසු ඩැනී තම පිළිතුර ගොනු කර ගත්තා.
“ඔව්, නමුත් මම හිතන්නේ නැහැ ඒක එච්චර ලේසි වේවි කියලා”
විනිසුරුවරිය සිනාසෙමින් ඩැනීගේ ප්‍රකාශයට එකඟ වුණා.
පීට්ගේ ස්වයං අරගලය
පීට්ගේ අනාවැකිය සත්‍ය වී ගෙන ආවත්, විනිසුරුවරියගේ යෝජනාව පීට් කිසිසේත් ම අපේක්ෂා කළ දෙයක් නොවෙයි. ඔහු එම යෝජනාවට දැඩි සේ විරුද්ධ වුණා. නැවත උසාවියට ගොස් තීරණය ආපසු හරවන ලෙස පීට් ඩැනීගෙන් ඉල්ලා සිටියා. නමුත්, ඩැනීගේ සිත බෙහෙවින් වෙනස් වී තිබුණා. අනතුරු ව දෙදෙනා අතර උණුසුම් කාල පරිච්ඡේදයක් ආරම්භ වුණා.
ඩැනී සමඟ ගත කළ පෙර ජීවිතයට පීට් වඩාත් කැමති වූ අතර, ඔවුන් දෙදෙනා මැදට දරුවෙක් පැමිණීමෙන් ඇති වන වෙනස දරා ගැනීමට පීට් සූදානම් වුණේ නැහැ. ඔහු පවත්නා ආර්ථික තත්ත්වය සහ වාසස්ථානයේ ඉඩකඩ ගැනත් වද වුණා. කෙමෙන් කෙමෙන් දෙදෙනා අතර විරසකයක් වර්ධනය වුණා. අවසානයේ දී පීට් නොමැති ව හෝ දරුවා රැක බලා ගැනීමට තරම් ඩැනී දරුවා සමඟ ආදරයෙන් බැඳුණා.
“අපි හැමෝම පවුලක් වෙනවාට කැමති යි. අපි දෙන්නම මේක එකට කරනවා නම් මම වඩාත් කැමති යි. නමුත්, ඔයා සූදානම් නැත්නම් මම තනිවම හරි මේක කරන්නම්”
තම තීරණය තුළ ම එල්බ ගෙන සිටින අතරේ දරුවා භාර දුන් රැකවරණ ස්ථානයට පීට් කැඳවා ගෙන යාමට ඩැනී උත්සහ කළා.
රැකවරණ මධ්‍යස්ථානය දරුවන්ට වාසය කිරීමට තරම් සුදුසු තැනක් නොවන බව ඔවුන්ට වහා ඒත්තු ගියා. දරුවාගේ ශරීරය මත ආසාදන පවා හටගෙන තිබුණා. පීට් සහ ඩැනී අසලින් දරුවා තැබූ විට ඔහු ඇසිපිය නොහෙළා ඉතා නිහඬ ව ඔවුන් දෙස බලා සිටින බව ඩැනී නීරික්ෂණය කළා.
“මාව මතක ද?”
පළමු වතාවට ඩැනී දරුවා ව සියතට ගනිමින් මෘදු ව විමසුවා. පීට්ගේ වාරය පැමිණි විට ඔහුගේ සිතුවිලිත් වෙනස් වෙමින් තිබුණා.
“දරුවා මුළු අතින් ම මගේ ඇඟිල්ල තදින් මිරිකුවා. මගේ හදවත විවෘත කරමින් යමක් අවබෝධ කරවිය හැකි පීඩන ලක්ෂ්‍යක් මගේ ඇඟිල්ලෙන් සොයා ගැනීමට ඔහු සමත් වුණා වැනි හැඟීමක් ඒක. ඒ මොහොතේ ම ඔහුගේ පියෙක් විය හැකි බව ඔහු මට පෙන්වා දුන්නා.”
පීට්ගේ ස්වයං අරගලය එලෙසින් නිමාවට පත් වුණා. ඔවුන් දෙපළ අතරට යළි සාමය පැමිනුණා.
කාර්යබහුල සමයක ඇරඹුම
දුම්රියපළේ දමා ගිය ළදරුවාගේ භාරකරුවන් වීමේ ක්‍රියාවලිය ඉක්මනින් ඇරඹීමට ඩැනී සහ පීට් ක්‍රියා කළා. ඊට පෙරාතු ව ඔවුන්ගේ වාසස්ථානය සහ පසුබිම විමසා බැලීම, දරුවාගේ ජීවිතයට අවශ්‍ය අනෙකුත් සාධක පිළිබඳ ව සොයා බැලීම, අදාළ නීතිමය කටයුතු සම්පූර්ණ කිරීම වැනි ක්‍රියාවලීන් රාශියක් හරහා යෑමට ඩැනී සහ පීට්ට සිදු වුණා. මෙතෙක් ඉතා සාමකාමී ලෙස ගෙවුණු ඔවුන්ගේ ජීවිතය ඉතා කාර්යබහුල අවධියකට එළැඹුණා. මේ නිසා පීට් තම පවුලේ හිතවතුන්ගේ උපකාරයත් අපේක්ෂා කළා. පීට්ගේ පවුලේ උදවිය ඔවුන්ගේ අලුත් ජීවිතය වෙනුවෙන් හැකි සෑම උපකාරයක් ම ලබා දුන්නා.
දරුවා භාර ගැනීමට දින දෙකක් පමණ තිබිය දී සියල්ලන් මඅවශ්‍ය භාණ්ඩ මිලට ගැනීමේ කටයුත්ත වෙනුවෙන් කලබලයෙන් කැප වුණා. ඒ අතරතුර දරුවන් රැක බලා ගැනීමේ උපදේශන පොත් කියවීමට ඩැනී සහ පීට් යුහුසුළු වුණා. අවසානයේ දී තීරණාත්මක දවස උදා වූ අතර, රැකවරණ මධ්‍යස්ථානයෙන් නිදහස් කර ගත් දරුවා සමඟ ඩැනී-පීට් යුවළ සිය නවාතැනට පැමිණියා. දරුවා ගෙන ආ දවසේ ම හිමපතනයත් ඇරඹුණා. ඩැනී එය දුටුවේ තවත් ආශ්චර්යමත් සිදුවීමක් ලෙසට යි. අභිනව පියවරුන් දෙදෙනා “කෙවින්” යනුවෙන් තම දරුවා ඇමතීමට තීරණය කළා.
කෙවින්ගේ ප්‍රියත ම කතන්දරය
ඩැනී, පීට් සහ කෙවින් කුඩා පවුලක් ලෙස ජීවිතයට මුහුණ දෙන්න පුරුදු වුණා. ඩැනී පවසන අන්දමට කෙවින් කුඩා කල පටන් ම පොත්වලට ඉමහත් ආදරයක් දක්වපු තැනැත්තෙක්. කෙවින් නිදා ගන්නා තුරු ඔහුට ඇසෙන පරිදි කතන්දර කියවීම පිය දෙපළගේ දින චර්යාවේ අනිවාර්ය කොටසක් වුණා. පීට් හට අමුතු ම ආකාරයේ අදහසක් පහළ වුණේ එවිට යි. උමං දුම්රියපොළෙන් කෙවින් සොයා ගත් අන්දම කතන්දර පොතක් ආකාරයෙන් නිර්මාණය කිරීමට පීට් කටයුතු කළා.
ඔහු ඒ කතන්දර පොත “ක්ලිප් ආර්ට්” භාවිතයෙන් සැරසීමටත් අමතක කළේ නැහැ. කාලය ගත වනවිට කෙවින්ගේ ප්‍රියත ම කතන්දර පොතක් බවට පීට්ගේ නිර්මාණය පත් වුණා. නමුත්, එහි අන්තර්ගතය ඔහුගේ ම ජීවිත කතාව බව කෙවින් දැන සිටියේ නැහැ. ඒ පිළිබඳ ව කෙවින් දැනුම්වත් වූ විට ඔහු ඉමහත් සතුටට පත් වූ අතර, පාසලේ පැවැත් වූ ප්‍රදර්ශනයක් සඳහා කතන්දර පොත රැගෙන යෑමටත් කෙවින් ක්‍රියා කළා.
වයසින් වැඩෙත් ම කෙවින් සිය ජීව විද්‍යාත්මක මාපියන් ගැනත් උනන්දු වුණා. කෑමකට හෝ වෙනත් හේතුවක් මත පිටතට පැමිණි විට තම සමේ වර්ණයට සමාන පුද්ගලයන් ඔහුගේ පියවරුන් දෙදෙනාට පෙන්වීමට කෙවින් පුරුදු ව සිටියා. නමුත්, ජීව විද්‍යාත්මක මව්පියන් ගැන ඔහු පමණට වඩා සිතුවේ නැහැ. කාලයත් සමඟ තම නියම මව්පියන් සම්බන්ධයෙන් වූ උනන්දුව කෙවින් වෙතින් පහ ව ගියා.
2011 දී සමලිංගික විවාහ නීතිගත කළ එක්සත් ජනපදයේ හයවන ප්‍රාන්තය බවට නිව් යෝර්ක් පත් වුණා. ඩැනී-පීට් යුවළ ජීවිතයෙන් විවාහ වී සිටියත්, නීතිමය ආවරණයේ පවත්නා වැදගත්කම මත නිල වශයෙන් විවාහ වීමට ඔවුන් තීරණය කළා.
ජීවිතය දෙස ආපසු හැරී බැලීමක්
උමං දුම්රිය ස්ථානයෙන් සොයා ගත් දුර්වල කෙවින් දැන් අඩි හයකටත් වඩා උස, 20 හැවිරිදි වියේ පසුවන කඩවසම් තරුණයෙක්. ඔහු විද්‍යාලය තුළ මූලික වශයෙන් ගණිතය සහ පරිගණක විද්‍යාව හදාරමින් සිටිනවා. මීට අමතර ව, මැරතන් ධාවනයට සහ නර්තනයටත් කෙවින් දක්ෂ යි. පීට් පවසන පරිදි කෙවින් යනු ගෞරවනීය ලෙස ජීවත් වන, සංවේදී සහ කාරුණික පුද්ගලයෙක්. එමෙන් ම, අවධානයට අකමැති තරුණයෙක්.
“මේ දේවල් මේ විදිහට සිදු නොවුණා නම් මගේ ජීවිතය ගැන මට හිතන්නවත් බැරි වේවි. මගේ ජීවිතය දැන් පොහොසත්. ඒ වගේම සම්පූර්ණ යි. ලෝකය ගැන තිබූ මගේ දැක්ම, මේ සිදුවීම නිසා වෙනස් වුණා.”
55 හැවිරිදි ඩැනී ස්ටුවර්ට්, තම අතීතය ගැන දරන්නේ එවැනි අදහසක්.
“මගේ පුතා මගේ ජීවිතයට එනකම් මං දැනගෙන හිටියේ නැහැ මේ තරම් ගැඹුරු ආදරයක් ලෝකයේ තිබුණා කියලා.”
ඒ 52 හැවිරිදි පීට්ගේ අදහස යි.
සැබැවින් ම මෙය මානුෂිකත්වය පිරී ඉතිරී ගිය සැබෑ ලෝකයේ කතාවක්. එදා උමං දුම්රියපොළේ තරප්පු පෙළ නඟින අතරතුර ඩැනී කෙවින් දෙස නැවත හැරී නොබැලුවා නම්, කෙවින්ගේ ඉරණම ශෝකාන්තයක් වීමට ඉඩ තිබුණා. ඔහුගේ ජීවිතය වෙනත් අයුරකින් සුරක්ෂිත වීමට ඉඩ තිබුණත්, ළමා කාලය රැකවරණ මධ්‍යස්ථානයක ගෙවී යෑමේ හැකියාව ඉතා ඉහළ යි.
කෙවින් සහ ඔවුන්ගේ පවුලේ කතාව පීට් ළමා පොතක් ලෙස “Our Subway Baby” නමින් කලකට ඉහත ප්‍රකාශයට පත් කළා. එහි දී කෙවින් දරුකමට හදා ගැනීමට අවශ්‍ය නීතිමය උපදෙස් සහ උපකාර ලබා දුන් විනිසුරුවරියගේ සැබෑ නාමය වෙනුවට අන්වර්ථ නාමයක් භාවිත කිරීමට පීට් ප්‍රවේශම් වුණා. ඒ සැබෑ නම සඳහන් කරනවාට ඇය අකමැති වූ නිසා යි.